සීගිරි කාශ්‍යප රජු හා කිතු දහම අතර සම්බන්ධය

සීගිරි කාශ්‍යප රජු හා කිතු දහම අතර සම්බන්ධය
Photo by Brian Kyed / Unsplash

සිගීරි කාශ්‍යප සටන් බිමේදී මිය යෑමෙන් පස්සේ මුගලන් රජු රජ වුණා කියලයි අපේ වංශකතා කියන්නේ. ඒත් පරණවිතාන මහත්තයා කියන විදිහට සීගිරි කාශ්‍යප රජු සීගිරිය තුළදීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට මියයනවා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් ඒ වෙනකොට ස්වර්ණපුරයේ (වර්තමාන මැලේසියාවේ) හිටපු මුගලන්ට රජකම බාර ගන්න කියලා ආරාධනා කරනවා. එරටදී ක්‍රිස්තු භක්තික පුජකයෙක්ගේ ඇසුර ලබපු මුගලන් රජතුමා ක්‍රිස්තු භක්තිකයෙක් බවට පත්වෙනවා. ඔහු ලංකාවේ පළවෙනි ක්‍රිස්තු භක්තික රජු විදිහට පරණවිතාන හඳුන්වා දෙනවා. නමුත් අවසාන කාලයේදී මහානාම හාමුදුරුවන්ගේ ධර්මදේශනාවක් හේතුකොට නැවතත් මුගලන් රජු බුද්ධාගම වැළඳගත්තා කියලත් පරණවිතාන කියනවා. තෙවරක් ඇදහිල්ල ප්‍රතික්ෂේප කලත් මිය යන්නේ කිතුණුවකු ලෙස නිසා අපේ රටේ පලමු කිතුනු රජු වන්නේ මුගලන් රජතුමයි...

කාශ්‍යප රජුගේ කාලයේ මුගලන් කුමරු රටින් පිටවී අග්නිදිග ආසියාතික රටවල් වන වන මලයද්වීපයේ සහ ස්වර්ණපුරයේ (වර්තමාන ඉන්දුනීසියාවෙ සුමාත්‍රාව) විසුවේය. (සී.ක. පිටු 79)

මේ කාලයේදී කනිටු මාඝ බ්‍රාහ්මණයාට මුගලන් කුමරුන්ව ස්වර්ණපුරයේදී මුණ ගැසුණි. ධාතුසේන සහ කාශ්‍යප රජුන්ට අනුග්‍රහය දැක්වූ තම පියා වන මාඝ බ්‍රාහ්මණයාගේ මරණයෙන් පසුව තම පියා දැරු "පුරෝහිත" තනතුර තමාට නොලැබුණු හෙයින් කාශ්‍යප රජු සමග අමනාපයට පත් වු කනිටු මාඝ බ්‍රාහ්මණය ලක්දිව හැරගොස් පුන්ද්‍ර දේශයට පැමිණ පසකලෙක සිරියාවේදී කිතු දහම වැළඳගෙන එහි විසූ කිතුනුවකු විවාහ කර ගත්තේය. ඔහුගේ භාර්යාවගේ මරණින් පසුව ඔහුට ස්වර්ණපුරයේදී මුගලන් කුමරුන් හමුවිය. ඔහුගේ අභිප්‍රාය වූයේ කාශ්‍යප රජතුමන් මරණයට පත්කර මුගලන් කුමරුන්ට රජකම ලබා දී තමන්ට අහිමි වූ පුරෝහිත තනතුර ලබා ගැනීමය. කාශ්‍යප රජුගේ සේනා බලය හේතුකොට ඔහුව යුද්ධයකින් පරාජය කරන්නට බැරි බවත්, රජකම ලබාගන්නට නම් ඔහුව මරණයට පත් කළ යුතු බවත් පැවසූ කනිටු මාඝ බ්‍රාහ්මණයා, එය එසේ සිදුවුවහොත් කිතුනුවකු වීමට පොරොන්දු වේදැයි මුගලන් කුමරු ගෙන් විමසූ විට එලෙස ඔහු පොරොන්දු විය. (සී.ක. පිටු 79-83)

කාශ්‍යප රජු මරණයට පත්වූයේ කූඨ කනිටු මාඝ බ්‍රාහ්මණයාගේ කුමන්ත්‍රණයක් හේතුවෙනි. මෙයට කාශ්‍යප රජතුමන්ගේ බිසවත් හවුල් වුනි. තමන් සමඟ තනිව සීගිරි පර්වතය මත රාත්‍රිය ගතකිරීමට කාශ්‍යප රජුන්ව ඇය පොළඹවාගත් අතර, එම රාත්‍රියෙදීම රජතුමන් හදිසියේ රෝගාතුරවී අභිරහස් ලෙස මරණයට පත් විය. ("සී.ක." පිටු 84)

මුගලන් කුමරුන් කනිටු මාඝ බ්‍රාහ්මණයාටද දුන් පොරොන්දුව අනුව, කාශ්‍යප රජුගේ මරණයෙන් පසුව ඔහු බෞතිස්මය ලබා ගැනිමට එකඟ වුවද එසේ එකඟවුයේ කිතුදහමේ ඇති හරයන් කිසිවක් අවබෝධ කරගෙන නොව හුදෙක් කිතු දහමේ ගුප්ත බලයකින් ලක්දිව රජකම ලබා ගෙන, කාශ්‍යප රජුන්ට පක්ෂපාතිවු අය විනාශ කොට, තමන්ට ලක්දිව රජ තනතුරේ රැඳි සිටිමේ බලලෝභී අභිලාෂයෙන්ය. රජකමට පත් වූවාට පසු ඔහුගේ මෑණියන් සහ පිරිවර ඉදිරියේ දී කනිටු මාඝ බ්‍රාහ්මණයා විසින් මුගලන් රජතුමන් බෞතීස්ම කරන ලදී. ("සීගිරි  කථාන්තරය" පිටු 85,86 සහ 89)

මේ අනුව මුගලන් රජතුමා ලංකා ඉතිහාසයේ පළමුවන කිතුනු රජුන් හැටියට පිළිගැනීමට සිදුවේ. ("ලංකා කිතුනු පුරාණය" පිටු 103)

මුගලන් රජතුමා බෞතිස්මය ලැබුවද ඔහු විසින් සිය ආගම හුදෙක් බලයේ සිටීමට පමණක් උපයෝගී කරගත හැකි ආයුධයක් සේ සලකන ලදී . ඔහුගේ දාමරික ක්‍රියාවන් සහ දරුණු මිනිස් ඝාතන කිතු දහමේ ඉගැන්වීම් වලට පටහැනිය. (සී.ක. පිටු 77,91,104.) එවන් අමානුෂික ඝාතනයන් නිසා පුන්ද්‍ර දේශයේ විසූ කිතුනු නායක පූජකතුමන් විසින් ඔහුව කිතු සසුනෙන් නෙරපා දමන ලදී. (සී.ක. පිටු 106) මුගලන් කිතු දහම වැළඳ ගත්තා සේම තුන්වරක්ම සිය දහම වෙනස් කළේය. ("සී.ක." පිටු 94,107,108) නමුත් අවසානයේදී ඔහු මියගියේ කිතුනුවකු වශයෙන්ය. (සී.ක. පිටු 115)

මුගලන් රජු තෙවරක් කිතු දහම අතහැර බුදුදහම වැළඳ ගත්තේ මහාවංශය නිබන්ධනය කළ මහානාම ස්ථවීර හිමියන්ගේ අනුශාසනා හේතුකොට ගෙනය. මහානාම ස්ථවීරයන් යනු (ධාතුසේන රජු විසින් පුළුස්සා මරණයට පතකළ තම නැගණිය වන සංඝා කුමරියගේ පුත්) කනිටු මිගාර සහ (ධාතුසේන රජුගේ දියණිය සහ කාශ්‍යප රජුගේ නැගණිය වන) සංඝා කුමරියගේ පුත්‍රයාය. මුගලන් රජු කිතුනුවකු වශයෙන් පැවතුනොත් දිවයිනේ පාලන බලය මෞරිය වාංශිකයට නැතිවේය යන බිය මහානාම හිමියන්ට තිබුණි. (සී.ක. පිටු 94,107,114,115)

මුගලන් රජතුමාගේ කාලයේ දී පුන්ද්‍ර රාජ්‍යයෙන් ලංකාවට පැමිණි සිරියානු ජාතික ටෝමසා (තෝමස්) නමැති කිතුනු පුජකතුමන්ගේ අනුශාසනා අනුව කනිටු මිගාර සෙන්පති කිතුදහම පතල කිරිමට දැඩි උත්සාහයක් දැරුවේය. දෙවන වරට මුගලන්‍ රජු කිතු දහම වැළඳ ගත්තේ මෙම පියතුමගේ දේශනාවන්ට සවන් දීමෙන්ය. මිගාර විසින් ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් දොළොස්දෙනා නමින් "දොළොස් මහා සෑය" ලෙස නම්කල තාපසාරාමයක් සීගිරීයේ උතුරු දිග්භාගයේ ඉදි කරන ලදි. කාශ්‍යප රජු යුගයේ ඉදිකරන ලද "අභිෂේක - ජිනස්‍ය" (ක්‍රිස්තුන් වහන්සේ) වෙත් කැප් කළ පූජනීය ස්ථානයටද මුගලන් රජු විසින් විශේෂ අනුග්‍රහක් දක්වන ලදි. (සී.ක පිටු 94,102,110.)
( උතුරු දිග්භාගයේ කැනිම් කටයුතු විද්‍යාත්මක සිදුවු දිනක සීගිරි කිතුනු ඉතිහාසය පිළිබඳ සඳහන් වී ඇති මෙවන් කරුණු සනාථ වනු ඇත.)

මුගලන් රජුගේ මහ් සෙනෙවි වු කනිටු මිගාර විසින් සීගිරි පර්වතය මත " කුරුස ලාංජනය" පිහිටුවන ලදි. මෙයින් අමනාපයට පත් වු තම පුත් මහානාම ස්ථවීරයන් ඉන්දියාවට ගොස් බෝධිමන්ද තාපසාරාමයේ විසුහ. පසුව ඔහු නැවත සීගිරි රාජධානියට පැමිණ මහානාග - පර්වත තාපසාරාමයේ වාසය කළේය. ("සී.ක." පිටු 94,106,120)

මුගලන් රජු විසින් නිකුත් කළ රත්තරන් කාසිවල එක් පැත්තක කිතුනු ලාංජනය තිබුණි. ("සීගිරි  කථාන්තරය" පිටු 99)

ක්‍රි.ව. 495 සිට 512 දක්වා වසර 17 ක් මුගලන් රජු ලක්දිව පාලනය කළේය. (සී.ක. පිටු 108)

මිගාර සෙනෙවි සහ ඔහුගේ පුත් කනිටු මිගාර සෙනෙවි දෙදෙනා කිසි කලක සිය කිතුනු ඇදහිල්ල වෙනස් කර නැත. කාශ්‍යප සහ මුගලන් රජුන් දෙදෙනාගේම පාලන යුහයේ දී කනිටු මිගාර සෙනෙවි කිතු දහම පතල කිරීමට මහත් ප්‍රයත්නයක් දැරුවේය. (සී.ක. පිටු 102,106,112,115)

මුගලන් රජුගෙන් පසුව (ක්‍රි.ව. 512 දී) ඔහුගේ පුත් කුමාරදාස රජකමට පත්විය. මේ රජුද සිය පාලන කාලයේ මුල් වසර තුන කිතුනුවෙකු වශයෙන් ගෙවු අතර, පසුව (හතරවෙනි වසරේදි) මහානාම ස්ථවීරයන්ගේ අනුශාසනා හේතුවෙන් බුදුදහම වැලැඳ ගත්තේය. ඔහුගෙන් පසුව (ක්‍රි.ව. 521 දී) රජකමට පත් වු ඔහුගේ පුත් ක්‍රිස්තුසේන (නොහොත් කිත්සෙන්) රජුගේ පාලනය මාස හතකට පමණක් සිමා වුණී. මෞරිය වංශයේ අවසන් පාලකයා මොහුය. (සී.ක. පිටු 108)
කාශ්‍යප රජ දවස විප්‍රවාසීව සිටි මුගලන් කුමරා පෙරළා පැමිණිම. හෙතෙම ඉතා කෲර ලෙස කාශ්‍යප රජුගේ හිතවතුන් හා ඥාතීන් වදයට පත් කල කුරිරු රජකු විම. එවතුදු විප්‍රවාසී කාලවේදි කිතු දහම වැළඳ ගැනිම. එබැවින් හෙතෙම ලංකාවේ පළමු කිතුනු රජු ලෙස මුගලන් රජතුමා හැඳින්විය හැකිය. තෙවරක්ම සිය ඇදහිල්ල වෙනස් කලද මිය යන්නේ කිතුනුවෙකු ලෙසිනි. එබැවින් ඔහු ලංකාවේ පළමු කිතුනු රජු ලෙස සැලකීමට සිදුවේ. මින් පසු කුමාරදාස සහ ක්‍රිත්ති සේන යන කිතුනු රජවරු කෙටිකාලයක් රටේ රජ කලහ.

සීගිරය රාජධානියේ අවසානයත් සමඟ ලක්දිව කිතුනු ඇදහිල්ලට රාජ්‍ය මට්ටමින් එතෙක් ලැබු අනුග්‍රහය නොලැබුනත්, මෙය දිවයින තුළ කිතුදහමේ ව්‍යාප්තියේ අවසානය නොවේ. ("සීගිරි කථාන්තරය" පිටු 117)

(ඉහත සඳහන් කරුණු සියල්ල"ලක්දිව කිතුනු පුරාණය" ග්‍රන්ථයේ පිටු 68 සිට 116 දක්වා සඳහන් වී ඇත.)

අපි කිසිසේත්ම ඉතිහාසය විකෘති කර නෑ. සාක්ෂි සාධක ඇතිවයි මේ සියල්ල තේවත්ත ජාතික බැසිලිකාවේ හෙළ කිතුනු ඉතිහාසය අපි පිළිඹිබු කලේ. ඇතැම් අය මේ ඉතිහාසය විකෘති කර සිංහල බෞද්ධ සංස්කෘතිය කොල්ලකනවා කියලා අපිට චෝදනා කරනවා. සමහර ඔය බොදු බල සේනා ජාති වාදි ආගම් වාදි අවුස්සන ඇතැම් බලවේග මේ සම්බන්ධයෙන් නඩු ගාණනාවක් ගොනු කර තියෙනවා. එහෙත් ඒ එක නඩුවක්වත් ඔහුනට ජයගත නොහැකිවුනේ සත්‍ය ඉතිහාසය අප සතු හෙයිනි. අපි ඉතිහාසය විකෘති කර බොරු ඉතිහාසයක් ගෙතුවා නම් තේවත්ත බැසිලිකාව වැනි සෑම ජනකොටසමක ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි දේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරිමට හැකිද? එහි ඉතිහාසය බොරු නම් මේ වනවිට සියල්ල ඉවත් කිරිමට සිදුවනු ඇත.  

එය සමාන්‍ය කෙනෙක් ට උනත් වැටහෙන කරුණක්‍ ය. සිංහල සංස්කෘතික බෞද්ධ ආගමත් එක්ක පැවත එන එක ඇත්ත. නමුත් මේ සිංහල සංස්කෘතිය අයිති බෞද්ධ අයට පමනක්ද? කතෝලික දහම යනු බටහිර දහමක් නොවන බව අපි මතක් කර දෙන්නට කැමත්තෙමු. ජේසුස් වහන්සේ උපන්නේ පලස්තීනය නම් ආසියාවට අයිති රටකිනි. වරද ඇත්තේ එම දහම බටහිරට ගොස් අප රටට පැමිණීමයි. කතෝලික දහම යනු විශ්වීය දහමයි. එය සෑම රටකම ඒ ඒ සංස්කෘතියන් අනුව හැඬගැසී යන තම රටේ සංස්කෘතියට මුල් තැන් දෙන දහමකි. සිංහල කතෝලික අපි අනුගමනය කල යුතු වන්නේ බටහිර දේ නොව අපේ කමට අපේ දේශයට ගැලපෙන සිංහල සංස්කෘතියටයි. දේශීය සංස්කෘතියට හැඩ ගැසීම කලෝචිතය.

ඔහුන් කරන තව චෝදනාවක් තමයි අපි පරදේස්සක්කාරයන් කියලා හංවඩු ගැසීම. ලක් දෙරණ තුල කතෝලික දහම ස්තාපිත වෙන්නේ පෘතුගීසින්ගේ බව ඔහුන්ගේ පිළිගැනිම වේ. එනමුදු සත්‍ය එය නොවේ. පෘතුගීසින් පැමිණීමට පෙර කිතු දහම ශ්‍රී ලාංකාවට පැමිණියා. කිතු දහම අපේ රටට තුන් වරක් පැමිණිම ගැන අපි පෙර ලිපි වල සාක්ෂි සාධක ඇතිව ඉදිරිපත් කලා.

  • ජේසුස් වහන්සේගේම ශ්‍රාවකයෙක් වන සාන්ත තෝමස් අපෝස්තුළු තුමා ඉන්දියාවේ දහම් ප්‍රචාරය කිරිමට පැමිණිමේදි උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ නගරයේ දහම් දේශනා කිරිම
  • පෘතුගීසින් මඟින් ශ්‍රී ලංකාවට කතෝලික දහම පැමිණීම
  • ලන්දේසි පීඩන සමයේ කිතුනුවන්ට හිරහැර සමයේ සාන්ත ජුසේ වාස් පියතුමා මඟින් සිරිලකට කිතු දහම පැමිණීම.

(ලක්දිව කිතුණු ඉතිහාසය රාගම තේවත්ත බැසිලිකා පුදබිමේ ලෝකඩ මූර්ති වලින් ඉදිරිපත් කළ තිබුනාට එහි ඇති කතාව දන්නේ කීයෙන් කී දෙනාද? එහි මුර්තිය සමඟ කතාව කෙටියෙන් මෙසේ සඳහන් කරමි)

Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ පිටුව මගින් උපුටා ගැනීමකි

(මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුනු සම්බන්ධයෙන් වියතුන් විවිධ මත දරණ අතර අප වෙබ් අඩවියෙන් සිදු කරන්නේ එම අදහස් ඉදිරිපත් කිරීමක් පමණයි)