ඕලන්ද පීඩන සමය

ඕලන්ද පීඩන සමය

ඕලන්ද පීඩන සමය ගැන අද බොහෝ කතෝලිකයන් නොදන්නාවට සැක නැත. ආසියාවේ කිතුනු ඉතිහාසය ගැන මේ දවස් වල පර්යේෂණ කරන වියතුන්ගේ කනස්සලුවට හේතු වී ඇත්තේ ආසියාවේ කිතුනුවන් තමන්ගේ ම ඉතිහාසය නොදැන සිටීමයි. ලක්දිව අප කතෝලිකයෝ ද එම චෝදනාවෙන් බැහැර නොවෙති.

ඕලන්ද සමය වනාහී මෙරට කතෝලික ඉතිහාසයේ භයානක දුර්ගම යුගය ලෙස හැඳින්වීය හැකිය. ක්‍රි.ව. 1658 මෙරට පෘතුගීසි රාජ්‍ය පාලනය සම්පුර්ණයෙන්ම නිමාවට පත්විය. ඔවුන් දැරූ රාජ්‍ය බලය ඕලන්දයින් වෙත පැවිරිණි. පෘතුගීසින් කතෝලිකයින් වුවත් ඕලන්දයින් කිතු දහම ප්‍රතිසංස්කරණයට භාජනය කළ "රෙපරමාදු" කිතුනු ලබ්ධිකයෝ වුහ. මෙහි පැමිණිස්වල්ප ට එම කිතු දහම පැතිර වීම ඔහුන්ගේ (රජයේ) අරමුණ විය. මේ අරමුණ සාක්ෂාත් කර ගැනිම සඳහා කොළඹ, ගාල්ල සහ යාපනය යන නගරවල පාලක සභා පත් කරන ලදී. ඒ ඒ නගරය තුළ විසු දේවගැති වරුන්, මෙන්ම තේවාචාර්‍යවරුන් හය දෙනා බැගින් ද එහි ගිහියන් අතුරින් වැඩිහිටි ස්වල්ප දෙනකු ද මෙම මණ්ඩලවලට පත් කරන ලදී. මොවුන්ගේ පරම කාර්‍ය වුයේ "මිත්‍යා දෘෂ්ටීන්" සහ පාප් තනතුර කෙලෙසීමයි. මේ සඳහා ඔහුන් වැඩියක්ම උපයෝගී කැර ගත්තේ පාසල් ජාලයයි.

පාසල් ජාලය බෙහෙවින් උපයෝගී කැර ගත් මොහු මේ සඳහාම ප්‍රදේශයේ දිසාපති කොළඹ නගරයේ බදු අයැදුම්කරු, නගරයේ සියලු දේවගැතිවරු සහ සිවිල් පාලන හෝ යුද හමුදා නිලධරයන් සිව් දෙනකු ඇතුළුව කමිටු පත් කරනු ලැබුවේ ආණ්ඩුකාරයාණන් විසිනි.

මෙම කමිටුවට විශේෂ බලතල අයත් විය. පාසල් බැලීමට මෙන්ම දේශීය වැසියන්ගේ විවාහ, ගුරු පත්වීම් ආදි සියල්ලක් එම කමිටුවේ විෂය පථයට අයත් විය. ඒ අනුව වරදකරුවනට දඩ ගැසීමේ බලයද ඔහුනෙ වෙත පැවරී තිබුණී. දඩ ගසනු ලැබුවන් අතර සතියේ දිනවල පාසලට නොපැමිණි අය මෙන්ම ඉරුදින දේව මෙහෙයට නොපැමිණි අයද වුහ. ඕලන්ද පාලනය යටතේ විදේශිකයනට ඕලන්ද බස හැදෑරීමට ද පාසල් කාණ්ඩ දෙකක් විය. ඕලන්දයින් මෙරට මුහුදු බඩ පළාත් තුළ පාලනය අල්ලා ගත් අවදියේ මෙහි බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ලබ්ධිකයෝ සිටියහ.

එහෙත් ඕලන්ද පාලකයන්ගේ ප්‍රතිපත්තිය වුයේ ඔවුන් ඕලන්දයේ අනුගමනය කළ රෙපරමාදු කිතු දහම වෙත මේ සියලු දෙනා බලහත්කාරයෙන් හරවා ගැනීමයි. මේ සඳහා ඔවුන් ප්‍රථමයෙන් ම කළේ කතෝලිකයිනට එරෙහිව ආඥාවක් නිකුත් කිරිමයි. ක්‍රි.ව. 1659 නිකුත් කරන ලද මෙම ආඥාව යටතේ කතෝලික දහම පිළිපැදිම මෙන්ම ප්‍රචාරය කිරිමද මරණීය දණ්ඩනයට යටත්ව තහනම් විය.

කතෝලික දෙව්මැඳුරු මෙන්ම පාසල් සියල්ල ද පැහැර ගනු ලැබුහ. පුජාප්‍රසාදී තුමන් සියලු දෙනා රටින් පිටුවහල් කරන ලදි. එතුමනට ආරක්ෂාව සැපැයීම මෙන්ම පුජකතුමකු රහසිගතව සිටින හෝඩුවාවක් දැන, රජයට නොදන්වා සිටීම මරණීය දණ්ඩනය ලැබිය් හැකි වරදක් විය. කතෝලික බැතිමතුන් සියලු දෙනා තම දරු දැරියන් ද සමඟ රෙපරමාදු දෙව්මැඳුරු කරා ගොස් බෞතිස්මය ලබා එම සභාවට කුලවැද්දිය යුතු විය. එසේම ඔහුන්ගේ විවාහ එහිම සිදුකල යුතු විය. තම දරුවන්ට රෙපරමාදු දහම ඉගැන්විය යුතු අතර මළවුන් භුමදාන කිරිමද රෙපරමාදු පිළිවෙත් අනුව කළ යුතුව තිබිණි. එකල මෙහි සිටි සියලු වහලුනට ඕලන්ද භාෂාව ඉගැනිම නියෝග විය. එසේ නොකළවුන්ගේ හිස කෙස් මුඩුකර (හිස බූගා) දමන ලදී. මේ සියල්ල මැද කතෝලික ධර්මය පිළිගත් දේශීය සිංහල සහ දමිළ සැදැහැවත්හු මෙන්ම මෙහි රැඳී සිටි පෘතුගීසිහු ද ජිවිතය පරදුවට තබා තම විශ්වාසය ආරක්ෂා කැර ගත්හ. රජයේ සම්බාධක දහසක් මැද පසුබැස්සේ ඔවුන් නොවේ. අධික දුෂ්කරතා හා දුක්ඛිත තත්ත්වයක් මැද අවමානයට පත් වී සිටියද වැඩි දෙන තම දහම පාවා දී නොසැලී සිටියහ.

අවසානයේ දී අප කතෝලික පිරිස එඩිතරව රජයේ නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියා කළෝය. මෙයින් මෙල්ල වු ඕලන්ද රජය "නෙත් පියවා" සිටිමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ හේතුවෙන් කතෝලිකයිනට කිහිප පොළක තාවකාලික දෙව්මැදුරු පවා ඉදිකැර ගත හැකි විය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබාගත් කතෝලිකයෝ වෙසෙසින් කොළඹ නගරය තුළ දෙව්මැඳුරු කිහිපයක් තනා ගත් හ. කොම්පඤ්ඤවීදියේ ශුද්ධවු ජපමාල දෙව්මැඳුර, පිටකොටුවේ මරයතුමියගේ දෙව්මැඳුර සහ කොච්චිකඩේ ශු.අන්තෝනි මුනිඳුන්ගේ දෙව්මැඳුර මින් ස්වල්පයකි. මේ දෙව්මැඳුරු ඕලන්ද සමයට හිමිකම් කියන අතර ඒවා ඉදිකරන ලද්දේ කතෝලික සභාවට අයත් ඉඩම්වලමය. (S.G. Perera - Historical Sketches Pg 84)

ඕලන්ද සමය ගැන ඉතා රුචිජනක කතාවක් ඇත. ඒ මෙසේය. ලංකාවේ ඕලන්ද පීඩනය ගැන දැනගත් ඉන්දියාවේ කොච්චි(න්) හි සිටි එකතරා ජේසු නිකායික සහෝදර තුමෙක් ඕලන්දයිනට දඬුවම් පතා යාච්ඤා කළේය. එහෙත් ඔහුට කිසිවෙක් දර්ශනය වී එසේ නොකරන ලෙස නියෝග කළෝය.

හේ කියේ "කුමක් නිසාද පෘතුගීසින්ගේ කුරිරු මිලේච්ජ ක්‍රියාවන් සඳහා ඔහුනට දඬුවම් පැමිණ වීමට මම ඕලන්දයින් තෝරා ගතිමි. ඔවුන් එය නිම කළ සැනෙකින් ලුණු වතුරේ දියවී යන්නාක් මෙන් පහවී යන්නෝයැ"යි කියාය. මේ දර්ශනය කළ ප්‍රකාශනය ලේඛන ගතකැර ඇත. හරියටම ඉන් පසළොස් වසරකට ඉක්බිති ඕලන්දයෝ ලුණු මෙන් දියැවී ගියෝ ය. (S.G. Perera - Historical Sketches Pg 81-82)

ඉහත සඳහන් පීඩන සමය තුළ කතෝලිකයිනට වඩාත්ම සහය දක්වන ලද්දේ මහනුවර රාජසිංහ රජතුමන් විසින් ය. කතෝලිකයන්ගේ විපත දැනගත් එතුමා ඔවුනට තම රාජ්‍ය තුළ ආරක්ෂාව සලසා දුන්නේය. එසේම ශාන්ත ජුසේවාස් පියතුමාට මෙන්ම සෙසු ඔරතෝරියාන නිකායික පුජකතුමන්ලාට ද රැකවරණය ලැබුණේ මහනුවර රාජසිංහ රජුගෙන් ය.

ක්‍රි.ව. 1796 දී ඕලන්ද පාලනය නිම විය. ඔහුන් සතුව තිබු මුහුදුබඩ පළාත් සියල්ල ඉංග්‍රීසින් අතට පත් විය. ක්‍රි.ව. 1796 ඉංග්‍රීසි යුද්ධාණ්ඩුකාරයා ලෙස පත්වුයේ කර්නල් ජේම්ස් ස්ටුවට් ය. හේ ඕලන්දයින්ගේ ද විරුද්ධතා නොසලකා මසක් ගතවන්නට පෙර ලන්දේසි ආඥාපනත අවලංගු කර දැමුවේය. මේ අනුව කතෝලික පූජක තුමනට "ඔහුන්ගේ ආගමික කටයුතු නිදහසේ කිසියම් බාධාවක් නොමැතිව කැරගෙන යෑමට මාගේ අවසර ඇතැයි" ඔහු විසින් නිවේදනය කරන ලදි. මීට අමතරව ක්‍රි.ව. 1806 මැයි මස 27 වැනි දින තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරතුමෝ අගවිනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ගේ ද අනුමැතිය පිට කතෝලිකයින්ගේ නිදහස ට බාධා කෙරෙන ලෙස ලන්දේසින් විසින් පනවා තිබු සියලු අණපනත් අවලංගු කොට නිවේදනයක් නිකුත් කළෝය. (එස්.ජී.පෙරේරා - ලංකා ඉතිහාසය බ්‍රිතාන්‍යය හා නිදහස් යුග 1796-1956, පිටු 116)

මෙයින් තාන්න මාන්න මෙන්ම රාජ්‍ය වරප්‍රසාද හා ධන සම්පත්ද නොසලකා, ඝෘජුව සිට, දුෂ්කරතා සහ පීඩන සියල්ලට එඩිතරව මුහුණ දී තම විශ්වාසයට සාක්ෂි දැරූ අපගේ ආදිවර මුතුන් මිත්තෝ ජය ගත් හ. ඔහුනට අප සදා ණය ගැති වන අතර ඔවුන්ගේ ඒ උදාර ගති පැවතුම් අප අතර අද ඇත්තේ දැයි සිතා බලනු වටී.

සටහන ~ ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ