ආදරවන්තයින්ගේ දිනය කතෝලික සභාවට සම්බන්ධ නැති සමාජ පිළිවෙතක්!
ලෝක ඉතිහාසයේ වැලන්ටයින් කිහිප දෙනෙකු පිළිබඳව සඳහන් වෙනවා. විශේෂයෙන් තුන්වැනි ශත වර්ෂයේ ඉතාලියේ ජීවත් වූ මේ දෙදෙනාගෙන් එක් කෙනෙක් රෝමයේ. අනිත් කෙනා ජෙනෝවා නගරයේ. දෙදෙනාගේම කතාවල් එක සමානයි. එක් අයෙක් රදගුරුතුමෙක්. අනිත් කෙනා පියතුමෙක්. මේ දෙදෙනාම දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ සමයේ සිරගත කරන ලදුව අවසානයේ හිස ගසා මරණයට පත් කරන ලද බව සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනාවම මරණයට පත් කරන ලද දිනය පෙබරවාරි 14 වූ නිසා ගොඩක් දෙනෙක් සිතනවා මේ දෙදෙනාම එක් අයෙක් කියලා. මේ මුනින්ද්‍රයා ගැන කතන්දර රාශියක් තිබෙනවා. මෙතුමා ප්‍රසිද්ධියට පත් වන්නේ ඇයි? ඒක තමයි බොහොම වැදගත්ම කාරණය.
දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයා ආඥාවක් නිකුත් කරනවා රටේ තරුණයන්ගේ විවාහය අවලංගු කරන්න ඕනා. එහෙම නැත්නම් කල් දමන්න ඕනා කියලා. ඊට හේතුව ඔහුට ඕන වෙනවා අවිවාහක තරුණයන් වැඩි වැඩියෙන් හමුදාවට බඳවා ගන්න. ඔහු සඳහන් කරනවා විවාහක අය හමුදාවට බැඳුනහම කරදරයි. ඒගොල්ල හොඳට සටන් කරන්නේ නැහැ. තමන්ගේ බිරිඳ ගැන, දරුවන් ගැන හිතනවා. ගෙදර යන්නේ කොයි වෙලේද කියා බල බල ඉන්නවා. ඒනිසා ඔවුන් සටනට සම්පූර්ණ අවධානය දෙන්නෙ නැහැ කියලා. ඒනිසා ඔහු ආඥාවක් නිකුත් කරනවා රෝමයේ ජීවත්වන කිසිම තරුණයෙකුට විවාහ වෙන්න බැහැ. විවාහය කල් දාන්න ඕනා. විශේෂයෙන් යුද්ධයක් අත ළඟ තිබෙන අවස්ථාවක විවාහ වීම තහනම් කියලා.
ජනප්‍රවාදයේ සහ ඇතැම් ලේඛන වල සඳහන් වෙනවා මේ වැලන්ටයින් කියන පියතුමා, ඒ ආඥාවට පිටුපාලා රෝමයේ සිටි තරුණ තරුණියන්ව හොර රහසේම විවාහ කරන්න පටන් ගත්තා කියලා. මේක ආරංචි වුණහම අධිරාජ්‍යයා මෙතුමව හිරගත කරනවා. හිරගත කරලා ඔහොම ඉන්නකොට එම හිරගෙදර බාරව ඉන්න ජේලර් මහතාට දුවෙක් ඉන්නවා ජූලියා කියලා. මේ ජූලියා අන්ධ තරුණියක්. දවසක් මේ ජූලියා හිර ගෙදරට ආපු දවසක පියතුමා ඇය සමග යාච්ඤා කරන කොට ප්‍රාතිහාර්යාත්මකව අන්ධ බව නැති වෙලා ජූලියාට පෙනීම ලැබෙනවා. එක ජනප්‍රවාදයක කියනවා මේ ජූලියා වැලන්ටයින් පියතුමාට ආදරේ කළා කියලා. අපි දන්නේ නෑ එහි සත්‍යතාවය මොකක්ද කියලා. අවසානයේ අර අධිරාජ්‍යයා මේ වැලන්ටයින් පියතුමාව හිස ගසා මරා දමන්නට නියෝග කරනවා. එතුමා මරා දමන්ට නියම කෙළේ පෙබරවාරි 14 වන දිනයකයි. එම දිනයට පෙර දිනයේ මේ වැලන්ටයින් පියතුමා ජූලියාට ලිපියක් ලියනවා. එහි සඳහන් වන්නේ 'From Your Valentine' 'ඔබගේ වැලන්ටයින්' කියලයි. ඉතින් ඒ අනුව අද පවා වැලන්ටයින් දිනයට සුබ පැතුම් යවන්නේ From Your වැලන්ටයින් කියලයි. කිසිම විටෙක තමන්ගේ පෞද්ගලික නම ලියන්නේ නැහැ. එතැනදි සියලුදෙනා වැලන්ටයින්ලා වෙනවා. මේ කතාව එක්තරා විදිහකින් දායක වුණා කියලා කියනවා ආදරවන්තයින්ට හා විවාහක උදවියට මේ වැලන්ටයින් මුනින්ද්‍රයාත් එක්ක සම්බන්ධ කරන්න.
ඒ සමඟම මීට අදාළ තවත් කතන්දර කිහිපයක්ම තිබෙනවා. එයින් ප්‍රධානතම එක තමයි ක්‍රිස්තු පූර්ව 6 වැනි ශතවර්ෂයේ රෝමයේ තිබිලා තියෙනවා "ලූපර්කාලියා" කියලා විශේෂ මංගල්‍යයක්. ඔය මංගල්‍යය ක්‍රිස්තියානි ශීල ධර්ම ප්‍රතිපත්ති වලට විරුද්ධව යන විවිධ පිළිවෙත් සහිත මංගල්‍යයක්. එවකට රෝමයේ සිටි "ජෙලාෂියුස්" ශුද්ධෝත්තම පියතුමා ඔය "ලූපර්කාලියා" මංගල්‍යයෙන් ජනතාව මුදා ගෙන වඩාත් ධාර්මික ශීල ප්‍රතිපත්ති සහිත ක්‍රිස්තියානි මංගල්‍යක් හඳුන්වා දෙන්නට අවශ්‍ය වූ නිසා වැලන්ටයින් මුනිතුමාගේ මංගල්‍යය පෙබරවාරි 14 දිනයට ගේනවා. "ලූපර්කාලියා" මංගල්‍යය පැවැත්වූයේ පෙබරවාරි 15 වැනිදායි. මේ දිනය පෙබරවාරි 14 ගෙනැල්ලා උන්වහන්සේගේ අදහස වුණේ මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්නටයි. ජෙලාෂියුස් ශුද්ධෝත්තම පියතුමා වඩාත් ඉස්මතු කළේ වැලන්ටයින් මුනිතුමාගේ ප්‍රාණ පරිත්‍යාගී බවයි. විවාහක අය වෙනුවෙන්, ආශිර්වාදකාර බන්ධනය වෙනුවෙන් එතුමාගේ පරිත්‍යාගී බව මිස ඔහුගේ ආදර කතන්දරය නොවෙයි. මේ වැලන්ටයින් දිනය ගැන අවබෝධ කරගන්නට "ලූපර්කාලියා" කියන මංගල්‍යය පිළිබඳව සුලමුල සොයා බලන්නට අවශ්‍යයි. මේ මංගල්‍යය රෝම ඉතිහාසය දක්වා දිව යනවා. අද පවා කවුරුන් හෝ රෝමයට ගියොත් එරට සිහිවටන මිලදී ගන්න තියෙන ඕනෑම තැනක තියෙනවා එක සිහිවටනයක්. ඒක තමයි රෝමය සංකේතවත් කරන්නේ. ඒ තමයි වෘක ධේනුවකගෙන් කිරි උරාබොන පුංචි ළමයි දෙදෙනෙකු සහිත පුංචි ප්‍රතිමාවක්. අපි ප්‍රංශයට ගියොත් එහි සංකේතය "අයිෆල් කුළුණ" වන්නා සේ රෝමයට ගියොත් එහි සංකේතය මේ වෘක ධේනුවකගෙන් කිරි උරාබොන මේ ළමයි දෙදෙනාගේ සංකේතයයි.
මේ සංකේතයේ කතන්දර බොහොම රසවත් එකක්. රෝමයේ බොහොම සුප්‍රකට රජ කෙනෙක් හිටියා "අමුලියස්" කියලා. මේ රජතුමා තමන්ගේ භාර්යාවගේ අකීකරුකම ඒ වගේම අවිශ්වාසකම නිසා ඈට දඬුවම් කරන්න හිතාගෙන ඇයට දාව උපන් නිවුන් පිරිමි දරුවන් දෙදෙනා "ටයිබර්" ගඟේ ගිල්වා මරා දමන්න තීරණය කළා. සේවකයෙකුට අණකළා බිසවට හොරෙන් මේ දරුවන් දෙදෙනා ගඟට ගිහිල්ලා දාන්න. මේ දරුවන් දෙදෙනා රැගෙන ගිය සේවකයා ඒ දරුවන් දෙන්නා ගැන අනුකම්පා හිතිලා කූඩයක මේ දෙන්නා දමලා ගඟේ පා කර හරිනවා. ජනප්‍රවාදයේ මේක ලස්සනට විස්තර කරනවා. ගඟට අධිපති දේවතාවිය මේක අරගෙන ගිහිල්ලා සෙවණ තියෙන ගසක මුලක් ගාව ගඟ ඉවුරේ මේ කූඩය රඳවනවා. පස්සේ එතැනට එන වෘක ධේනුවක් මේ කූඩය අරගෙන ගිහිල්ලා අර ළමයි දෙන්නට තමන්ගේ කිරි දීලා ඇති දැඩි කරනවා. පස්සේ කාලයක මේ දරුවන් දෙදෙනාව හම්බ වෙනවා ගොපල්ලන් ජෝඩුවකට. ඔවුන් මේ ළමයින්ව අරගෙන ගිහිල්ලා උස්මහත් කළා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒ දරුවන් දෙදෙනා නමින් "රෝමියුලස් සහ රේමුස්". අද පවා රෝම ඉතිහාසයේ සඳහන් වන්නේ රෝමය බිහිවන්නේ මේ දෙදෙනාගෙන් බවයි.
පුරාණ කාලයේ සිට මේ මංගල්‍ය පවත්වන්නේ වෘක ධේනුවකට සහ සශ්‍රීකත්වයට. විවාහයෙන් පස්සේ දරු ඵල ලැබීමේ සශ්‍රීකත්වය පිණිස මේගොල්ලෝ මෙය සිද්ධ කරනවා විශේෂ වත් පිළිවෙතක් ලෙස. දරු ඵල සශ්‍රීකත්වය කියන එක නිසා මේ කරන පිළිවෙත ටිකක් අමුතුයි. මෙම පිළිවෙත සිදු කිරීම සඳහා "ලුපර්ජි" කියලා වෙනමම පූජකවරු ඉන්නවා. මේ මංගල්‍යය දවසේදී ඒගොල්ලො එළුවෙක් සහ බල්ලෙක්ව මරණවා. එළුවා මරලා ඒ මරපු පිහියෙන්ම ඒ පූජකයො දෙන්නෙකුගේ නළලේ එම ලේ තවරනවා. පසුව පූජකයෝ නිරුවත් වෙනවා. එම ලේ පිහි දාන්නෙ කිරි පොඟවා ගත් පුළුන් කෑල්ලකිනුයි. දැන් අද පවා ඔය වැලන්ටයින් දිනයේ දී රතු රෝස මල් දෙන්නෙ රතුපාට හා සුදු පාට වැලන්ටයින් දිනයේ පාට දෙක නිසයි. ඒක තමයි හේතුව. රතු පාට ලේ සහ එම ලේ පිහදාන්නට කිරි සුදු පාට නිසා. එම පූජකයො දෙන්නා අර එළුවාගේ හම අරගෙන විවාහක කාන්තාවන්ට අර හමින් තලා ගෙන යනවා. විවාහක කාන්තාවන් තුළ විශ්වාසයක් තිබුණා ඒ එළු හමින් පහර කෑවම තමන්ට අනිවාර්යයෙන්ම දරු ඵල ඇති වෙනවා කියලා. මේ වගේ දේවල් අපේ ශීල ධර්ම ප්‍රතිපත්ති වලට විරුද්ධයිනෙ. සතුන් මරාගෙන, ලේ තවරගෙන, නිරුවත්ව පාරවල් වල දුව දුව. මේවා නිසා කතෝලික සභාව පස්සෙ කාලෙක මේ වෙනුවට වෙනත් දේවල් ආදේශ කරන්න පටන් ගත්තා. හැබැයි පසුව ඔය "ලූපර්කාලියා" කියන මංගල්‍යය ඔය තරම් අශීලාචාර නොවී පසුව ඒ ශිෂ්ඨසම්පන්න වෙනවා. ඒකෙදි කාන්තාවෝ තමන්ගේ නම් ලියපු කොළ කැබැල්ලක් භාජනයකට දමනවා. පිරිමි උදවිය ඇවිල්ලා ඒ කොළ කැබැල්ලක් ගත්තම එහි නම සඳහන් කාන්තාව සමඟ එදා සිට අවුරුද්දක් යනකම් එකට ජීවත් වෙනවා. සමහර වෙලාවට විවාහ වෙනවා. එසේ නොමැති නම් අවුරුද්දකට පස්සෙ වෙන් වෙනවා. එතකොට මේක එදා ජෝඩු එකතු කිරීමේ දිනයක් හැටියටත් ලුපර්කාලියා මංගල්‍යය හැඳින්වූවා. මේ හැම දෙයක්ම නිසාම තමයි පළමුවෙනි ජෙලාෂියුස් ශුද්ධෝත්තම පියතුමා වැලන්ටයින් ප්‍රාණපරිත්‍යාගීවරයා සහ ආශිර්වාදකාර බන්ධනයේ තියෙන ශුද්ධත්වය ඉස්මතු කරන්න මේ මංගල්‍යය ඉදිරියට ගෙනෙන්නේ. අද වැලන්ටයින් දිනයේ එදා තිබූ ආශිර්වාදකාර බන්ධනයවත්, දරු ඵල ලැබීමවත් නෙමෙයි තියෙන්නේ. අද තියෙන්නේ භද්‍ර යෞවනයේ ප්‍රේමයක්. බොහොම ලඳ බොළඳ ආදරයක් ගැන තමයි අද තියෙන්නේ. අද වැලන්ටයින් කෙනෙක් හම්බ වෙනවා කියන්නේ ප්‍රේමවන්තයෙක් හම්බෙනවා කියන එකයි. ඒගොල්ලො විවාහ වෙන්න හිතලවත් නෑ. කවුරු හරි පෙබරවාරි 14 වැනිදා රතු මලක් දුන්නොත් එහි තේරුම තමන්ට ඔහු හෝ ඇය ආදරය ප්‍රකාශ කරා කියන එකයි.
මේ පිළිබඳව තවත් කතන්දරයක් තිබෙනවා. 14 වැනි ශතවර්ෂයේ එංගලන්තයේ ඉන්නවා "ජෙෆ්රි චෝස" කියලා එංගලන්ත රාජ්‍ය සේවකයෙක්. ඔහු කවියෙක්. ඔහු කවි එක්දහස් ගණනක් ලියලා තියෙනවා. ඔහුගේ එක කවියක් තියෙනවා 1370 සිට 1380 දක්වා කාලය තුළ තමයි ලියලා තියෙන්නේ. ඔහු ලියූ 1575 වෙනි කවි පන්තියේ එක පේළියක මෙන්න මෙහෙම තියනවා. "On this Feast of Saint Valentine all birds come to find their mates" "වැලන්ටයින් මංගල්‍යය වන මෙදින සියලු කුරුල්ලො තමන්ගේ කිරිල්ලියන් සොයා ගැනීම සඳහා පැමිණෙත්වා" ඔහු මේක ලියන්නේ දෙවැනි රිචඩ් රජතුමා ඈන් කියන කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීමේ දිනය නිමිත්තෙනුයි.
ඇත්තෙන්ම කියනවා නම් වැලන්ටයින් පිළිබඳව වර්තමානයේ අවබෝධය මේ තත්ත්වයට එන්නේ මේ සමඟයි. මේකට ජෙලාෂියුස් පියතුමාවත්, වැලන්ටයින් මුනිවරයාවත්, මුල් කාලයේ සිදුවීම්වත්, ලූපර්කාලියා මංගල්‍යයවත් සම්බන්ධ නෑ. ඒක වෙනමම කතන්දරයක්. ජෙෆ්රි චෝස කියන කවියා ජීවත්වන්නේ 1300 ගණන් වල. ඔහුගේ කවි පන්තියක තියෙන ඒ කවිය නිසා එංගලන්තයේ විශේෂ ප්‍රබෝධයක් ඇති වෙනවා. විශේෂයෙන්ම ඉහළ රදළ පැලැන්තිය අතර. වැලන්ටයින් කරගෙන ආදර වදන් ලිවීම ආරම්භ කරමින් ලියූ ආදර වැකි 1415 වසරේ තමයි ලියැවෙන්නේ. එය එංගලන්ත කෞතුකාගාරයේ තවම සුරක්ෂිතව තිබෙනවා. චාල්ස් කියන ආදිපාදවරයා තමයි මෙය තමන්ගේ බිරිඳට ලියන්නේ. ඔහුව සිරගත කරනවා ලන්ඩන් ටවර් එකේ. එහි සිට ඔහු බිරිඳට ලියනවා "ඔබගේ ආදර වලන්ටයින් වන මගෙන් කියලා". ඒ වගේම පස් වැනි හෙන්රි රජ්ජුරුවෝ මුදල් ගෙවලා වෙනමම කවියකුව තමන්ගේ මාළිගාවට ගෙන්වා ගත්තා කියා ඔහු ප්‍රේම කළ කුමරියට වැලන්ටයින් වැකියක් ලියවා ගැනීමට.
1962-1965 දක්වා පැවති දෙවන වතිකාන සමුළුවෙන් පස්සේ සභාවේ සාන්තුවර නාමාවලිය නැවත සමීක්ෂණයට, විමර්ශනයකට හා හැදෑරීමකට ලක්වෙනවා. පසුව සංශෝධනය වෙනවා. ඒකෙදි ගත් එක් ප්‍රතිපත්තියක් තමයි, ඉතිහාසයේ දත්ත තහවුරු කළ නොහැකි සාන්තුවරුන් සහ සාන්තුවරියන් නාමාවලියෙන් ඉවත් කිරීම. 1969 වසරේ එක සිදු වුණා. ඒනිසා අප දන්නා සමහර සාන්තුවරුන් හා සාන්තුවරියන්, සාන්තුවරු නාමාවලියෙන් ඉවත් කෙරුණා. උදාහරණයක් ලෙස සාන්ත ක්‍රිස්ටෝපර් මුනිතුමා, සාන්ත බාර්බරා මුනිවරිය, සාන්ත බිබියානා නම් මුනිශ්වරිය ආදී මුනිවරුන් හා මුනිවරයන් දැක්විය හැකිය. මේ අපගේ මාතෘකාවට අදාල වැලන්ටයින් කියන මුනිවරයාත් ඒ අතරට ගැනෙනවා. එතුමාගේ නමත් ඒ නාමාවලියෙන් ඉවත් කෙරුණා. එයට හේතුව ඒ අයගේ ශුද්ධවන්තභාවය ගැන අවිශ්වාසයකින්වත් ඒ අය එක්ක තියෙන තරහවකටවත් නෙමෙයි. වඩාත් විශ්වාසනීයත්වයක් සාන්තුවර ජීවිත කතාවලට ගේන්න ඕන නිසා සහ ඉතිහාසගත දත්ත සොයා ගැනීමට අසීරුවුණු නිසයි. මේ තත්ත්ව යටතේ වැලන්ටයින් මුනිවරයා පිළිබඳ කතා ද වඩාත් ජනප්‍රවාදයට බරයි.
එතුමා පිළිබඳව ඉතිහාසගත දත්ත තොරතුරු සොයා ගැනීමට අසීරු වූ නිසා එතුමාගේ නම ද සාන්තුවර නාමාවලියෙන් ඉවත් කෙරුණා. එතුමාගේ දිනය වූ පෙබරවාරි 14 වැනි දිනට වෙනත් සාන්තුවරුන් දෙදෙනෙක් ආදේශ කළා. සාන්ත සිරිල් සහ සාන්ත මෙතොදියස් කියන සාන්තුවරුන් දෙදෙනා තමයි අද පෙබරවාරි 14 දිනට සිටින්නේ. ඒ අනුව වැලන්ටයින් කියන සන්තුවරයෙකුගේ මංගල්‍යයක් අද නැහැ. අපි බොහෝම පැහැදිලිව කියන්නට ඕනා, වර්තමානයේ දී අපගේ දේවස්ථානවල පෙබරවාරි 14 දිනයට එක එක දේවල් කරන්නට යොමු වෙනවා. මොකද ගොඩක් උදවිය මේ වැලන්ටයින් දිනය කතෝලික සභාවෙන් පටන් ගත්තු දෙයක් හැටියටයි හඳුන්වන්නේ. එය වැරදියි. එතකොට කවුරුන් හෝ විමසා සිටියොත් ගෙනාවෙ කතෝලික සභාවද කියලා. එයත් නැහැ කියලා තමයි අපිට පිළිතුරු දෙන්න වෙන්නෙ. මුල් කාලවලදී ලූපර්කාලියා වලින් මනුෂ්‍යයන් ඈත් කරන්න තමයි ජෙලාෂියුස් ශුද්ධෝත්තම පියතුමා වැලන්ටයින් මුනිතුමාගේ මංගල්‍යය ආදේශ කළේ. අද තිබෙන වැලන්ටයින් පිළිවෙත් එකල තිබුණේ නැහැ. වැලන්ටයින් මුනිතුමා තමන්ගේ ප්‍රාණ පරිත්‍යාගී බව සහ වෛවාහික ප්‍රේමයට එතුමාගේ දායකත්වය නිසයි එතුමා ජනප්‍රියත්වයට පත් වන්නේ. නමුත් 1400 වසරින් පසුව මේක වෙනස් වෙනවා. ජෙෆ්රි චෝස කියන බ්‍රිතාන්‍ය ජාතික කවියාගේ එම කවි පෙළියෙන් පස්සේ තමයි මේ සම්ප්‍රදායන් බිහි වෙන්නේ. එතකොට කවුරුන් හෝ කියනවා නම් පෙරදිග සංස්කෘතිය විනාශ කරන්නට ගෙන ආ අශෝභන හා අශික්කිත දෙයක් හැටියට මේ වැලන්ටයින් දිනය, එහෙම එකකට කතෝලික සභාව දායක වෙලා නැහැ.
අද ලෝකයේ පමණක් නොව අප රටේ ද හැමදේම වාණිජකරණය වෙලා. වාණිජ ලෝකය බලන්නේ කොහෙන්ද, මොන දේකින් ද සල්ලි හොයාගන්න පුළුවන් කියලයි. දෙවියන් විකුණල හරි සල්ලි හොයන්න පසුබට වෙන්නේ නැහැ. නත්තල ඔවුන් විකුණනවා. ඒගොල්ලොන්ට පාස්කුව, මහා සිකුරාදා විකුණන්න බෑ. පුළුවන් නම් ඒකත් කරයි. මේ වැලන්ටයින් දිනය ඒ වගේ විකුණන එකක් තමයි. ඔවුන් තමන්ට විකුණන්න පුළුවන් ඕනෑම දෙයක් දැක්ක ගමන් විකුණනවා. මේ වැලන්ටයින් දිනය යුරෝපයෙයි විශේෂ කොට මුලින්ම ප්‍රචලිත වුණේ. එංගලන්තයේ පටන් ගත්තෙ. ආදරය ප්‍රකාශ කිරීම සහ ආදරවන්තයින්ගේ දිනය හැටියට. අද පවා යුරෝපීය රටක අප හිටියොත් ඕනෑම තැනක අවන්හල් ඉදිරිපිට, සංඥා පුවරු ඉදිරිපිට පාර දෙපස පෙබරවාරි 14 වැනිදාට රතු රෝස මල් විකුණන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේකත් එක්තරා විදිහක ව්‍යාපාරයක්. එම ව්‍යාපාරිකයෝ තමයි මේ දිනය ප්‍රචලිත කරන්නේ. ඔවුන් ජනමාධ්‍ය තුළින් මේක උලුප්පලා පෙන්වනවා. ආදරය ප්‍රකාශ කිරීමේ හොඳම දවස අදයි කියලා රටේ තරුණ තරුණියන් එකතු කරමින් නොයකුත් වැඩසටහන් දියත් කරනවා. තරුණ පරපුරට ඔවුන් ආදරයෙන් කරන දෙයක් බව බැලූ බැල්මට පෙනුනට යටින් තියෙන්නෙ ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණුයි. මේක ඇවිල්ල කෙලින්ම "සේල්" කිරීමේ ප්‍රශ්නයක්. මේක ආගම සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙයි. ඒනිසා වත්මන් තරුණ පරපුරට අපට කියන්න තියෙන්නේ ඔබ බුද්ධිමත් වෙන්න, මොනවද අපි කරන්නේ, මොනවද අපි මිලදී ගත යුත්තේ කියා ඔබම තීරණය කරන්න.
අප ජීවත් වන මේ රටේ ඉතාමත් තීරණාත්මක ආර්ථික තත්ත්වයක් තියෙන වෙලාවක අපිට ඕන වෙන්නේ වැලන්ටයින් දිනයක් නොවේ. අද අපගේ තරුණ තරුණියන්ට, ජනතාවට අවශ්‍ය රතු රෝස මල්, තෑගිබෝග, ආදර සංකේත නොවෙයි. කිරිපිටි නැහැ. ගෑස් නැහැ. භූමිතෙල් නැහැ. ඒ අස්සේ දැන් ලයිට් නැහැ. අද මිනිස්සු ඉතාමත් අසීරු ජීවන අරගලයක යෙදී ඉන්න වෙලාවක මේ වගේ දේවල් අපි පිටු දකින්න ඕනා. ලෝකයේ මෙන්ම අප රටේත් විවිධ දේවල් වලට, ජන කොටස් වලට එක එක දින වෙන් කරලා තියනවා. ඒකේ ඇති වැරැද්දක් නැහැ.
ළමා දිනය, වැඩිහිටි දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, කම්කරු දිනය, කාන්තා දිනය ආදී වශයෙන්. එයින් කරන්නේ අපගේ අවධානය එක දෙයක් වෙත යොමුකරලා ඒ පිළිබඳව වැඩිදුරට කතා කරන එකයි, මිනිසුන් දැනුවත් කරන එකයි. නමුත් අපි වගේ සංස්කෘතියක් තියෙන රටකට ආදරය ප්‍රකාශ කිරීමේ දිනයක් අවශ්‍ය ද කියා සිතා බලන්න ඕනා. මේ ආදරවන්තයින්ගේ දින එක්තරා විදිහකට බටහිරින් ආපු රෝමානු කතෝලික පසුබිමක් තියෙන නමුත් රෝමානු කතෝලික සභාවට සම්බන්ධ නැති එක්තරා සමාජ පිළිවෙතක්. ඒ සමාජ පිළිවෙත අපි දැනගන්න ඕනා. අපගේ සංස්කෘතිය තුළ කොහොමද මේක හසුරුවාගන්නේ කියලා. ඒ නිසා තමයි පියතුමන්ලා සහ සමහර බෞද්ධ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා පවා මේ දිනයට තරුණ තරුණියන්ට අධ්‍යාත්මික වැඩසටහන්, භාවනා වැඩසටහන් සංවිධානය කරන්නෙ.
මේ දිනයේ දී භද්‍ර යෞවනයේ අන්ධ ප්‍රේමයෙන් මුසපත් වෙන්නැතුව අතරමං වෙන්නෙ නැතුව දෙවියන් වහන්සේගේ හා මනුෂ්‍යයාගේ ගැඹුරු ප්‍රේමය මොකක්ද කියලා අවබෝධ කරගෙන, ප්‍රේමය පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරන දිනයක් හැටියට මේ දවස ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එය වඩාත් සුදුසුයි. අපගේ ආගම පැත්තෙන් ගතහොත් දැනට කතෝලික සභාව මේ සම්බන්ධයෙන් කිසිම පිළිවෙතක් නැහැ. ඒනිසා අපගේ දේවස්ථානවල මෙන්න වැලන්ටයින් මුනිතුමා කියලා සුරුවමක් හදලා එක සුරුවම් කූඩුවක දමලා, එදාට පූජාවක් තියල විවාහ වෙන්න ඉන්න අයව ගෙනල්ලා ආශිර්වාද කරන එක සුදුසු නැහැ. ඒක නොකළ යුතු දෙයක් .ඒ වගේ දේවල් කරන්න යන්න ඕනෙ නෑ අපි.
අවසාන වශයෙන් එක දෙයක් කියන්නට ඕනා. මේ සම්බන්ධයෙන් ඉතිහාසය එහි විකාශනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් දැනගන්නට ඕනා. සමහරවිට අපි මේ පිළිබඳව දන්නේ පොඩ්ඩයි. කෑල්ලක් විතරයි දන්නේ. එහෙම කෑලි කෑලි දැනගන්න එක නම් වඩාත් භයානකයි. එහෙම දැනගෙන අපි එක එක දේවල් කරන්ට පෙළඹෙනවා. ශුද්ධ වූ ජුවාම් තුමාගේ පළමුවෙනි ලිපියේ 4 වෙනි පරිච්ඡේදය කියනවා දෙවියන් වහන්සෙ නම් ප්‍රේමයයි. කතෝලික අප එම දිනයට කරන්න ඕන දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොහොමද අපි උරුම කරගන්නේ කියා සිතා කටයුතු කිරීමයි.
මේ වැලන්ටයින් දිනය සම්බන්ධව ඉතිහාසය, මධ්‍යතන යුගයේ සිදුවීම් හා වර්තමානයේ සිදුවන දේ පිළිබඳව අප මුලින් දැනගෙන අපගේ ජනතාව දැනුවත් කරන්න ඕනා. ඒ පණිවිඩය අපි හැකි තරම් සමාජගත කරන්න ඕනා. මේ දිනය කතෝලික සභා විසින් අප රටේ සංස්කෘතිය, වටිනාකම් විනාශ කරන්ට ගෙනාපු එක්තරා විදිහක කූට උපක්‍රමයක් ලෙස සමහරු දකින්න පුළුවන්. අපගේ ශුද්ධවන්තයින් ඉස්සරහට දාගෙන ලංකාවේ සංස්කෘතික වටිනාකම් විනාශ කරන්නට අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අද වෙළෙඳ ලෝකය ඇවිල්ලා අර "රේන්ද පටි" කඩාගත් අශ්ව කරත්තයක් වගේනේ. අපිට පණිවුඩ දෙන්න පුළුවන්. නමුත් ඒකේ කිසිම පාලනයක් නැති රටේ කොහොමද වෙළද ලෝකය පාලනය කරන්නෙ. අපි කඩේකින් මිලදී ගන්නා වතුර බෝතලයක මිල පාලනයක් නැති කොට අපි කොහොමද රතු රෝස මලකට මිල පාලනයක් දමන්නේ.
අපි වෙළඳ ලෝකයට යමක් කියන්නට ඕනා. අපගේ ශුද්ධ වූ බයිබලයට අනුව අප උපයන ඕනෑම ආදායමක් එක පැත්තකින් සාධාරණ වෙන්න ඕනා. යුක්තිගරුක, සදාචාර සම්පන්න වෙන්න ඕනා. එහෙම බැලුවොත් අද මේ වෙළඳ ලෝකෙ කරන දේවල් සදාචාර සම්පන්න ද කියා අසන්නට සිදු වෙනවා. ලංකා වගේ රටක සමහර දේවල් අතිශයෝක්තියකින් කිරීම වෙළෙඳ ප්‍රජාව පවා කිසියම් විදියකින් සීමාවකට ලක් කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ආදරය ප්‍රකාශ කරන්න මීට වඩා ගොඩක් විදි තියෙනවා. ඒ හැම දෙයක්ම අප රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට හා වටිනාකම් වලට අනුකූලව සිදු විය යුතුයි.
~ ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා
ටී. සුනිල් ප්‍රනාන්දු ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට ලියන ලද ලිපියකි. (13/02/2022)