කතෝලික සභා ධර්මෝපදේශය පිළිබද ඔබ දත් නොදත් තතු

කතෝලික සභා ධර්මෝපදේශය පිළිබද ඔබ දත් නොදත් තතු
Photo by Timothy Eberly / Unsplash

💠 ධර්මෝපදේශය පිළිබඳ යටගියාව 💠

✴️කතෝලික ආගම වැළඳ ගැනීමට සූදානම් වූ අයගේ පහසුව සඳහා 4 – 6 වන සියවස කාලයේ දී විශ්වාස ලක්ෂනය, සක්‍රමේන්තු හත (ප්‍රසාද නිධාන) , දස පනත සහ යාච්ඤාව පිළිබඳ විස්තර ඇතුළත් පොත් සකස් කරන ලදී. පළමුව දේශන වශයෙන් පවත්වන ලද මේ ඉගැන්වීම් පසුව ග්‍රන්ථාරූඪ කෙරිණ.

උදා :- අම්බ්‍රෝස් තුමා (399)
ජෙරුසෙලමේ ශුද්ධවූ සිරිල් තුමා (315-387) ශු.අගුස්තීනු (357 – 430)
ශු.ජෝන් ක්‍රිසොස්තම්තුමා (349-407)

✴️ධර්මෝපදේශයේ ස්වර්ණමය යුගය වශයෙන් මෙම යුගය සැලකෙන අතර මෙම ලේඛකයන් දැමූ පදනම මත ඊට පසු යුගවලදී සහ විවිධ යුගවලදී නොයෙකුත් පුද්ගලයන් විසින් ධර්මෝපදේශ සකස් කරන ලදී.

💠 ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාව නොහොත් රෝමානු ධර්මෝපදේශය ( 1566) 💠

✴️රෙපරමාදු විප්ලවය පසුබිම් කරගෙන ට්‍රෙන්ට් හි පවත්වන ලද මන්ත්‍රණ සභාවේ (1545- 1563) දර්ශනය සහ ඉගැන්වීම් ජනතාව අතරට ගෙන යාම සඳහා ධර්මෝපදේශ පොතක් ශු. චාර්ල්ස් බොරෝමියෝ තුමන්ගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලදුව 1566 දී 6 වන පියුස් පාප්තුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ධර්මෝපදේශය ජනප්‍රිය කිරීමෙහිලා රෙපරමාදු ප්‍රරතිසංස්කරණයේ පුරෝගාමියා වූ මාර්ටින් ලූතර් විශේෂ ස්ථානයක් හිමි කරගනියි.

✴️ඔහුගේ අදහස් ප්‍රචාරය කිරීම සඳහා කුඩා ධර්මෝපදේශයක් ද (ළමුන් සඳහා) , වැඩිහිටියන් සඳහා වෙනම ධර්මෝපදේශයක් ද (1520) සකස් කළේය. මෙම පොත් ඔහුගේ මව්බස වන ජර්මන් බසින් (කුඩා ධර්මෝපදේශය) ප්‍රශ්න උත්තර සරල ක්‍රමයට සකස් කර තිබූ බැවින් ඉමහත් ප්‍රචාරණයක් ලැබිණි. මෙයට පිළිතුරු වශයෙන් ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම් ඇතුලත් සුප්‍රකට ධර්මෝපදේශකයෙකු වූ මිලාන්හි රදගුරු තැන්පත් චාර්ල්ස් බොරෝමියෝ තුමාගේ ප්‍රධානත්වයෙන් ලතින් බසින් රචනය කරන ලද රෝමානු ධර්මෝපදේශය අරමුණු කර තිබුණේ පූජකතුමන්ලාවය. මෙම උල්පතින් උරා බී ජනතාවගේ දහම් පිපාසය සංසිඳුවීම එතුමන්ලාට පැවරුණු කාර්යය විය. තවද මෙම රෝමානු ධර්මෝපදේශය පදනම් කරගෙන යුරෝපීය රටවල් කිහිපයක මව් බසින් ජාතික ධර්මෝපදේශ සකස් විණි. ශා.රොබට් බෙලර්මින් තුමන් විසින් (1597 – 1598) ඉතාලි බසින් රචනය කරන ලද ධර්මෝපදේශය විශේෂ සිද්ධියක් විශේෂ ප්‍රසිද්ධියක් ගත් අතර ධර්මදූත රටවල භාවිතය සඳහා රෝමයේ සත්‍ය විශ්වාසය පතළ කිරීමේ නියෝජනය විසින් නියම කරන ලදී. තව ද ශ්‍රී ලංකාවට පෘතුගීසි මිෂනාරීන් සහ ගෝවෙන් පැමිණි ජාකොමේ ගොන්සාල්වේස් පියතුමන් විසින් හඳුන්වාදෙන ලද්දේ ද මෙම ධර්මෝපදේශ පොතයි.

✴️18 – 19 සියවස් වල දී හටගත් කර්මාන්ත විප්ලවය , ප්‍රංශ විප්ලවය , භෞතික වාදය හා අදේවවාදය පැතිරීයාම හේතුවෙන් ආගමික ජීවිතය හා විශ්වාසය පිරිහීමට පටන් ගත් අවස්ථාවේදී ඒවායින් පැන නැගුනු ප්‍රශ්ණවලට ද පිළිතුරු සපයන කාලානුරූපී ධර්මෝපදේශක අවශ්‍යතාව සභාවට දැනුනෙන් රෝමානු ධර්මෝපදේශය ට සමාන නව ධර්මෝපදේශයක් පිළියෙල කිරීමට පළමුවන වතිකාන මන්ත්‍රණ සභාව (1870) අදහස් කළ නමුත් ප්‍රංශ ජර්මන් යුද්ධය හදිසියේ ආරම්භ වූ බැවින් ඒ මන්ත්‍රණ සභාව එය ක්‍රියාත්මක කිරීමට පෙර නිමවිය. එයත් සමග එම අදහස් ද ඇණ හිටීය.

✴️එහෙත් 1870 – 1950 යන කාල සීමාවේ දී ධර්මෝපදේශයේ පණිවිඩය හා ඒ ඉදිරිපත් කරන ක්‍රම පිළිබඳ ගැඹුරු පර්යේෂණ යුරෝපයේ විශේෂයෙන් ජර්මනිය , බෙල්ජියම, ප්‍රංශය හා ඔස්ට්‍රියාව යන රටවල පවත්වන ලදී. ජර්මනිය , නෙදර්ලන්තය හා ඇමරිකාව යනාදී රටවල නව ධර්මෝපදේශ පොත් සකස් කිරීම ඇරඹිණි.

✴️1962 – 1965 පවත්වන ලද දෙවන වතිකාන මන්ත්‍රණ සභාව මෙම ඉගැන්වීම් ඇතුළත් ලේඛන 16 ක් අඩංගු කරමින් දෙවන වතිකාන මන්ත්‍රණ සභා ප්‍රකාශන යනුවෙන් ප්‍රකාශය කරන ලදී. 6 වැනි පාවුළු පාප්තුමා නිතර පැවසූ අන්දමට නූතන යුගයේ සුවිශේෂ ධර්මෝපදේශය දෙවන වතිකාන මන්ත්‍රණ සභා ප්‍රකාශනයයි. එහෙත් මෙම ප්‍රකාශන තුළ තිබූ ගැඹුරු දේවධාර්මික ඉගැන්වීම් සාමාන්‍ය සැදැහැවතුනට තේරුම් ගැනීමට අපහසු බැවින් එම අදහස ඉෂ්ට නොවීය. තවද මෙම මන්ත්‍රණ සභාව හේතුවෙන් සභාව තුළ ඇති වූ නිදහස් වාතාවරණය අනුව ඇතැම් දහම්ධරයෝ සභාවේ ඉගැන්වීම් සභා සම්ප්‍රදායට පටහැනි වන සේ විවිධාකාර ලෙස අර්ථකථනය කරමින් පොත් පත් ලියන්නටත් සඟරා මගින් ඒවාට ප්‍රසිද්ධියක් දෙන්නටත් පටන් ගත්හ. සභා නිල රදගුරු බලය ද නොතකා මෙසේ කිරීමෙන් ධර්මය පිළිබඳ ව්‍යාකූල තත්වයක් හටගනී. කිතුනුවන්ගේ සම්ප්‍රදායික විශ්වාසයට මෙය බලවත් අභියෝගයක් වූ අතර පැකිලීමට ද හේතුවක් විය . තවද එක් අතකින් අදේවවාදය, භෞතිකවාදය, හේතුවාදය අන්ත මානවවාදයේ විෂබීජ ඇතුලත්වී ආගම දුබල වීමට මඟ පෑදූ අතර වෙනත් අතකින් ආගම, දේශපාලනය, සමාජයීය යුක්තිය හා සාධාරණත්වය වැනි ප්‍රශ්න වලට සෘජු ලෙස ඈඳා ගැනීමෙන් ආගම, විප්ලවකාරී ස්වරූපයක් ගෙන ජනතාව භේදභින්න කරමින් මහා විනාශයක් ඇති කිරීමටද හේතුවිය.( ලතින් ඇමෙරිකාව)

💠කතෝලික සභා ධර්මෝපදේශයේ උපත💠

✴️ඉහත සඳහන් ව්‍යාකූල තත්ත්වය ඉදිරියේ තැතිගත් සභාවේ ශ්‍රේෂ්ඨයෝ ඉතා ඕනෑකමින් මගපෙන්වීම පතා ශුද්ධාසනය දෙසට හැරෙන්නට වූහ. මේ හේතුවෙන් දෙවන වතිකාන මන්ත්‍රණ සභාව නිමවී වසර විස්සකට පසු එම මන්ත්‍රණ සභා ඉගැන්වීම් ක්‍රියාත්මක වීම ගැන ඇගයීමක් සඳහා සෑම රාජගුරු මණ්ඩලයකම සභාපතිවරුන් ඇතුළත් විශේෂ රාජගුරු සිනඩ් සභාවක් 1985 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් රෝමයේ කැඳවන ලදී . මුළු ලොව පුරා පවත්නා ආගමික ප්‍රවණතාව සුපරීක්ෂාකාරී ලෙස විමසා බලා එම සිනඩ් සභාව “ධර්මය හා සදාචාරය පිළිබඳ පිලිබඳ ශුද්ධ බයිබලය හා ජනවන්දනාව පදනම් කරගත් සභා සම්ප්‍රදායට අනුකූලව සභාවේ ඉගැන්වීම්වලට මිනුම් දණ්ඩක් ලෙස ” යොදාගත හැකි නව පොදු ධර්මෝපදේශයක් සකස් කරන ලෙස ඒකමතිකව සසුනිසුරන්ගෙන් අයදුම් කළහ .

✴️මෙම ආයාචනයට පිළිතුරු ලෙස අප්‍රමාදව ක්‍රියා කරමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමා මෙම මහඟු කාර්යය සඳහා කාදිනල්වරුන් සහ රදගුරුවරුන් 12 කින් යුක්ත මධ්‍යම කොමිසමක් පත්කර, එහි සභාපති වශයෙන් විශ්වාසය හා ධර්මය පිළිබඳ කාර්ය සාධක මණ්ඩලයේ ප්‍රධානියා වන කාදිනල් ජෝශප් රැට්සිංගර් හිමිපාණන් පත් කළහ .(වර්තමානයේ 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් ) 1986 නොවැම්බර් 15 දින පළමුවරට රැස්වූ මෙම කොමිසම මූලික වැඩ සැලැස්ම සකස් කර කෙටුම්පත් සකස් කිරීම සඳහා ධර්මෝපදේශය පිළිබඳ ජගත් කීර්තියක් දැරූ ජාත්‍යන්තර විශාරදයන් 40 කින් සමන්විත කමිටුවක් තෝරා ගත්හ.

✴️මෙම මණ්ඩලයෙහි කැපවීමේ හා කාර්යක්ෂමභාවයේ ප්‍රතිඵලයක් ලෙස 1989 දී 4 වැනි කෙටුම්පතේ පිටපත් 5000 ක් , ප්‍රධාන යුරෝපීය භාෂා හතරට එනම් ප්‍රංශ, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හා ඉතාලි භාෂාවලට පිටපත් කර මුළු ලෝකයේම රදගුරුතුමන්ලා , කතෝලික විශ්වවිද්‍යාල හා ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථාන වෙත ගුණදොස් විමසීම සඳහා යවන ලදී. 1990 ඔක්තෝම්බර් 15 වන දින වන විට රාජගුරු මඩුලුවලින් හා විවිධ කතෝලික ආයතන විසින් සංශෝධන 24,000 ක් යෝජනා කර එවා තිබිණි. මෙයට සහභාගී වූ විචාරකයන් අතරින් 92% ක් එය සමස්තයක් වශයෙන් ගත් කල සතුටුදායක බව සඳහන් කළ අතර 8% ක් පමණ එය ගැන යම් ප්‍රමාණයක අසතුටක් පළකර තිබිණ. එවා තිබූ යෝජනා සැළකිල්ලට ගනිමින් සංශෝධන ඇතුළත් කළ කමිටුව කෙටුම්පත් 10 ක් වනතුරු සංශෝධන කර 1992 අප්‍රේල් මස 30 දී සුදතුම් පියතුමාට අවසාන පිටපත භාර දෙන ලදුව එතුමා ජුනි 25 දින නිල වශයෙන් එය අනුමත කළේය. තවද 1992 ඔක්තෝම්බර් 11 වන දින “පිදෙයි දෙපෝසිතුම්” (ධර්ම නීතිය) යන අපෝස්තලික අනුශාසනා පත්‍රයක් මගින් කතෝලික සභා ධර්මෝපදේශය නිල වශයෙන් දෙවන ජුවාම් පාවුළු සසුනිසුරානෝ ප්‍රසිද්ධියට පත් කළහ.

✴️වසර 400 කට පමණ පසු විශ්වීය ධර්මෝපදේශ පොතක් ප්‍රසිද්ධියට පත් කිරීමේ ඓතිහාසික අවස්ථාවේ වැදගත්කම විදහාපෑම සඳහා, විශේෂ තුති පිදීමේ මෙහෙයක් රෝමයේ මහා බැසිලිකා 4 න් එකක් වන දේවමාතාවන්ට කැප කරන ලද මහා බැසිලිකාවේ සුදතුම් පියාගේ ප්‍රධානත්වයෙන් නිර්දෝෂ දේවමාතාවන්ගේ මංගල්‍යය දින වන දෙසැම්බර් 8 වන දින මහත් හරසරින් පවත්වන ලදී .ලෝකයේ සෑම රදගුරු මඩුල්ලක්ම ජාතික කොමිසමේ සභාපතිතුමාට මෙම මෙහෙයට සහභාගී වන ලෙස ඇරයුම් කර තිබුණි. එබැවින් එවකට ශ්‍රී ලංකා ජාතික ධර්මෝපදේශ කොමිසමේ සභාපතිව සිටි ස්වර්ගස්ථ වී වදාළ හිටපු හලාවත රදගුරු තැන්පත් අති උතුම් ප්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරුතුමෝ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූහ. කතෝලික සභා ධර්මෝපදේශය ගමන ආරම්භ වූයේ මෙසේය.

💠 කතෘත්වය හා සංස්කරණය 💠

✴️විශාරදයන් 40 කින් යුත් ජාත්‍යන්තර මණ්ඩලයක් පත් කරනු ලැබූ බව ඉහත සඳහන් විය. එහෙත් සිවු කොනින් පැමිණි විවිධ පසුබිම්වලට අයත් මෙවැනි පිරිසක් විසින් එක පොතක් රචනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. තවද සැදැහැවතුන්ගේ ජීවිතය පෝෂණය කිරීම අරමුණු කරගත් ධර්මෝපදේශයක් රචනය කළ යුත්තේ වියතුන් විසින් නොව එඬේරුන් (සභා පාලකයන්) විසින් බව මධ්‍යම මණ්ඩලයේ තීරණය විය. එබැවින් පහත සඳහන් අන්දමට මණ්ඩලය සකස් කෙරිණි. රදගුරුවරුන් දෙනම බැගින් 1,2,3 වැනි කොටස් වලට පවරන ලදී .

1 වෙනි කොටස සඳහා රදගුරු එස්තාපා (ස්පාඤ්ඤය) සහ මර්චිලියෝනි (ඉතාලිය) 2 වන කොටස සඳහා රදගුරු මෙදිනා (චිලී) සහ කාර්ලික් (ආර්ජන්ටිනා)
3 වන කොටස සඳහා රදගුරු හොනෝර් (ප්‍රංශය) සහ කොන්ස්ටන්ට් (බ්‍රිතාන්‍ය)
4 වන කොටස සඳහා පෙරදිග ධර්ම ශාස්ත්‍රය ආභාසය ලත් පුද්ගලයා සොයා යෑමේ දී රදගුරු තුමකු නොලත් බැවින් ජාන් කාර්බොන් පියතුමා (බෙයිරූට්) තෝරා ගන්නා ලදී.

✴️පටුන සකස් කිරීම උතුරු ඇමරිකාවේ ලෙමන්ඩා අගරදගුරුතුමාට පැවරිණි. මුළු කර්තෘ මණ්ඩලයම පහසු භාෂාවක් වන ප්‍රංශ භාෂාව ප්‍රධාන භාෂාව වශයෙන් යොදා ගැනිණි. එක පොතක් ලෙස සකස් කිරීමේදී එක භාෂා ශෛලියක් අවශ්‍ය වන බැවින් සංස්කරණ මණ්ඩලයේ ලේකම් වශයෙන් පත් වූ එවකට ස්විස්ටර්ලන්තයේ ෆිබුරග් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකුව සිටි වියෙන්නාහි සහයක රදගුරු තැන්පත් ක්‍රිස්ටොෆ් ශෝන්බෝන් තුමා එය එක පුද්ගලයෙකුගේ කෘතියක් බවට ඉතා දක්ෂ ලෙස සංස්කරණය කරන ලදුව 1992 පෙබරවාරි 14 වන දින මධ්‍යම කොමිසමට භාර දෙන ලදී. ඔවුන් විසින් එය ඒකමතිකව අනුමත කරන ලදී. මෙම කාර්යක්ෂම සංස්කරණ මණ්ඩලය කළ උදාර සේවය සඳහා සියලු කිතුනුවන් ඔවුනට සදා ණයගැති විය යුතුය.

💠 කතෝලික සභා ධර්මෝපදේශය විශේෂ ලක්ෂණ 💠

✴️මෙම නව ධර්මෝපදේශය කලින් තිබූ ධර්මෝපදේශ සමඟ සසඳන විට විශේෂ ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. ඒවායින් ප්‍රධාන ලක්ෂණ ස්වල්පයක් පහත දැක්වේ.

🔹එය සකස් කරන ලද්දේ ලෝක රදගුරු මඩුල්ලේ ඉල්ලීමට පිළිතුරු වශයෙනි.
🔹මෙය පුද්ගලයෙකුගේ හෝ සුළු පිරිසකගේ ප්‍රයත්නයක් නොවේ. ඉතා පුළුල් විමසීමකට පසු ජාත්‍යන්තර කමිටුවක් විසින් රචනා කරන ලදී.
🔹මෙය දෙවන වතිකාන කතිකාවතෙහි ඉගැන්වීම් සරල අන්දමට සැදැහැවතුන් වෙත ගෙන යන බලවත් උපකරණයකි.
🔹මෙය ජාතික හෝ ප්‍රාදේශීය ධර්මෝපදේශ සකස් කිරීමට මිනුම් දණ්ඩක් වන බැවින් එහි නම්‍ය ස්වභාවයක් ඇත.
🔹එහි ප්‍රධාන අරමුණ වූයේ දේව වචනයෙන් ජනතාව පෝෂණය කිරීමයි. දැනුමට සීමා නොවේ.
🔹එය අපෝස්තලික සම්ප්‍රදායට අනුකූල වන බැවින් නූතන මත හෝ වාද විවාද ඇතුලත් නොවේ.
🔹ධර්ම දානයට රුකුලක් වන ලෙස සකස් වී ඇති බැවින් සෙසු ආගම් පිළිබඳ සුබවාදී ආකල්පයක් දක්නට ලැබෙන අතර සමයාන්තර සුහදතාවයට තුඩු දෙයි.
🔹ශු.ලියවිලි , ජනවන්දනාව හා සභා ඉගැන්වීම් පදනම් වී ඇති අතර , සරල බසින් ඒවා ඉදිරිපත් කර ඇත.
🔹ලෝකය පිළිබඳ පරිපූර්ණ දැක්මක් ඉදිරිපත් කරන බැවින් නූතන මානව හා සමාජ ප්‍රශ්න ද සැලකිල්ලට ගෙන ඇත. 🔹ආකෘතිය පැරණි වන නමුත් (ප්‍රධාන කොටස් හතරට බෙදීම) කරුණු කාලානුරූප ලෙස ඉදිරිපත් කර ඇත.

මෙම ලක්ෂණ නිසා දැනටම මෙයට ඉමහත් ජනප්‍රියත්වයක් ලැබී ඇති බව රහසක් නොවේ.

💠 රෝමානු ධර්මෝපදේශය හා කතෝලික සභා ධර්මෝපදේශය සැසඳීම 💠

✴️මෙම ධර්මෝපදේශ දෙක අධ්‍යයනය කරන විට ව්‍යුහයන් අතර වෙනසක් දක්නට නොලැබෙන නමුත් , (එනම් ප්‍රධාන කොටස් හතර)

1.විශ්වාස ලක්ෂණය
2.දස පණත
3.ප්‍රසාද නිධාන
4.යාච්ඤාව

විමසිල්ලෙන් බලන විට මේ දෙක අතර බොහෝ වෙනස්කම් ඇති බව පෙනේ. ඇතැම් වෙනස්කම් පහත දැක්වේ.

✴️ප්‍රධාන කොටස් හතර එකින් එකට දක්වන අවධානය වෙනස් වී ඇත. මුළු පොතේ අන්තර්ගතයන් මෙසේය.

💠 රෝමානු ධර්මෝපදේශය 💠

1 කොටස – විශ්වාස ලක්ෂණය 22 %
2 කොටස – ප්‍රසාද නිධාන 37 %
3 කොටස – දස පනත 21 %
4 කොටස – යාච්ඤාව 20 %

💠 කතෝලික සභා ධර්මෝපදේශය 💠

1 කොටස – සභාවේ විශ්වාසය 39%
2 කොටස – සභාවේ ජනවන්දනාව 23%
3 කොටස – ක්‍රිස්තුතුමන් තුළ නව ජීවිතය 27%
4 කොටස – ක්‍රිස්තියානි යාච්ඤාව 11%

✴️මෙම ධර්මෝපදේශ පොත් දෙක පලමුවන කොටසට දී ඇති අවධානය දෙස බලන විට කතෝලික සභා ධර්මෝපදේශය 17%පමණ වර්ධනයක් දක්නට ලැබේ. මීට හේතු වශයෙන් කරුණු කිහිපයක් සඳහන් කළ හැක. එනම්, එය දෙවියන් පිළිගැනීම මිනිසාට එතරම් බැරෑරුම් ප්‍රශ්නයක් නොවූවත් තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු වූ නූතන ලෝකයට දෙවියන් අවශ්‍ය නැති බව පෙනේ. තම දැනුම ගැන උදම් වී සිටින බැවින් දෙවියන් ප්‍රතික්ෂේප කිරීමට හා උන්වහන්සේ සමග සටන් සමඟ සටන් කිරීමට පවා එඩිතර වෙති. එබැවින් මෙම කොටසින් දෙවියන් වහන්සේගේ වැඩසිටීම, උන්වහන්සේ හඳුනා ගැනීමට මිනිසා සතු හැකියාව හා දේව ප්‍රකාශනය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට නව ධර්මෝපදේශයට සිදු වී ඇත. එලෙසම ජනවන්දනාව හා ප්‍රසාද නිධාන සඳහා වෙන්කර ඇති දෙවන කොටසේ දක්නට ලැබෙන වෙනස නම් එදා මාටින් ලූතර් හා සෙසු ප්‍රතිසංස්කරණවාදීන් සභාවේ මුළු ප්‍රසාද නිධාන ව්‍යුහයට පහර දුන් බැවින් එක එක ප්‍රසාද නිධානය වෙන් වෙන් වශයෙන් ගෙන ඒවා පිළිබඳ දීර්ඝ විස්තර ඉදිරිපත් කිරීමට රෝමානු ධර්මෝදේශයට සිදුවිය. තවද දිව්‍ය පූජාව සැබෑ යාගයක් වන අතර දිව්‍ය සසත්ප්‍රසාදයෙහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සැබැවින්ම වැඩ සිටින බව අවධාරණය කිරීමට සිදු වූ බැවින් මෙම කොටස කතෝලික සභා ධර්මෝපදේශයේ දෙවන කොටසට වඩා දීර්ඝ විය.

✴️රෝමානු ධර්මෝපදේශයේ 3 වන කොටස දස පණතට පමණක් සීමා වන නමුත් කතෝලික සභා ධර්මෝපදේශයේ “ක්‍රිස්තු තුමන් තුළ ජීවිතය” යනුවෙන් නම් කරන මෙම කොටසේ පළමුවන කාණ්ඩයේ සෙසු කරුණු රැසක් ඇතුළත් කර ඇත. එනම් මිනිසාගේ උතුම්කම, භාග්‍ය සඳහා මිනිසා ලබා ඇති කැඳවීම, මූලික මානව අයිතිවාසිකම්, සදාචාර නීති පද්ධතිය, හෘද සාක්ෂියේ හඬ, පොදු මිනිස් සමාජය, සමාජ සාධාරණත්වය, සාමය යනාදී නූතන සමාජ ප්‍රශ්න රැසක් පිළිබඳ ” වර්තමාන ලෝකයේ ශු.සභාව” නැමති දෙවන වතිකාන කතිකාවතෙහි උපදේශාත්මක ප්‍රකාශනයේ ඉගැන්වීම් මෙම කාණ්ඩයට හා දෙවන කාණ්ඩයට දස පණත හා ශු.සභාවේ පණත් පිළිබඳ විස්තර ඇතුළත් වී ඇති බැවින් එය වඩා දීර්ඝ වී ඇත. ක්‍රිස්තියානි යාච්ඤාව යන නමින් හැඳින්වෙන 4 වන කොටසේ 1 වැනි කාණ්ඩයට ගැබ්වී ඇති යාච්ඤාව පිළිබඳ පොදු කරුණු රැසකි. දෙවැනි කාණ්ඩය රෝමානු ධර්මෝපදේශය මෙන් ස්වාමිවාක් ආරාධනාවේ වගන්ති හත පිලිබද සරල විස්තරයකි. බොහෝ විචාරකයන්ගේ අදහස ඉතාමත් අලංකාර හා රසවත් විස්තරයක් ඉදිරිපත් කර ඇති බවයි.

💠 කතෝලික සභා ධර්මෝපදේශය කිතුනුවන්ට ඉමහත් සම්පතකි 💠

✴️අප අතට පත්වන මෙම ධර්මෝපදේශය දෙවියන්වහන්සේ විසින් සභාවට දෙන ලද ඉමහත් තිළිණයකි. “නව ධර්ම දානය සඳහා බලවත් ආයුධයකි” යනුවෙන් දෙවන ජුවාම් පාවුලු සසුනිසුරාණන් හඳුන්වා දෙන්නේ හේතු රහිතව නොවේ. ඉහත සඳහන් කර ඇති පරිදි එහි අන්තර්ගතය වැදගත්වනවා හැර පාඨකයන්ගේ පහසුව සඳහා වටිනා උපුටන කිහිපයක් පොත අවසානයේ ඇතුළත් කර ඇත. එනම් ;

🔹පැරණි ගිවිසුමේ සහ නව ගිවිසුමේ සෑම පොතකින්ම උපුටන
🔹ජගත් මන්ත්‍රණ සභා උපුටන ලෙස පලමු වනන ජගත් මන්ත්‍රණ සභාව වන නිසියානු මන්ත්‍රණ සභාව (ක්‍රි.ව 325) සිට 2 වන වතිකාන මන්ත්‍රණ සභාව දක්වා (1962 -1965 ) ප්‍රධාන උපුටන
🔹දෙවන වතිකාන කතිකාවතෙහි ප්‍රකාශන 16 න් ප්‍රධාන කොටස්
🔹ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවල ප්‍රධාන ප්‍රකාශන
උදා:- කාතේජ්හි ටොලේඩෝහි
🔹සුදතුම් පියතුමන්ලාගේ නිල ලේඛන, විශ්ව ලේඛන, අපෝස්තලික අනුශාසනා ප්‍රධාන කොටස්
🔹වතිකාන කාර්ය සාධක මණ්ඩලවල ප්‍රධාන ප්‍රකාශන කොටස්
🔹සභා නීති පොතේ වැදගත් වගන්ති
🔹ජනවන්දනා පොත් වල ප්‍රධාන උපුටන
උදා:- දිව්‍ය පූජා සංග්‍රහය, වත්පිළිවෙත් සංග්‍රහය
🔹සභා පියවරුන්ගේ ප්‍රධාන කෘතීන්
උදා:- ග්‍රීක් පියවරු – ශු.ජෝන් ක්‍රිසෝස්තම් තුමා , ලතින් පියවරු – ශු.අගුස්තීනු තුමා, අම්බ්‍රෝසි තුමා
🔹ධර්මධරයන් හා සාන්තුවරයන්ගේ ඉගැන්වීම්
උදා:- ශු.තෝමස් ඇක්වයිනාස්, සා. මහා තෙරේසා

✴️විෂය කරුණු අනුව පටුනක් ද ඇතුළත් කිරීමෙන් පාඨකයනට අන්තර්ගතය වඩා පහසුවෙන් සොයාගැනීමට හැකිවේ. ප්‍රධාන කොටස් හතරකින් ද ඡේද 2865 ද පටුනු 11න් ද යුත් මෙම ග්‍රන්ථය සැබැවින්ම දෙවියන්වහන්සේගෙන් සභාවට ලැබුණු මහා තිළිණයකි.

ස්තූතියි
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව