කවුරුත් ලඟ ඉදලා selfie ගන්න කැමති 🌲 නත්තල් ගහේ 🌲 ඉතිහාසය

කවුරුත් ලඟ ඉදලා selfie  ගන්න කැමති 🌲 නත්තල් ගහේ 🌲 ඉතිහාසය
Photo by Kieran White / Unsplash

ආගම් භේදයකින් තොරව අද කාලයේ නත්තල් සමය ලඟ එද්දී හැමතැනම නොවරදවා තියෙන අංගයක් තමා නත්තල් ගහ! බෞද්ධ ගෙවල්, මූලධර්මවාදී යාච්ඤා මධ්‍යස්ථාන විතරක් නෙමේ - ප්‍රසිද්ධ කඩ සාප්පු සංකීර්ණ හැමතැනකම වගේ මේ නත්තල් ගහ අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය වෙනවා!

එහෙම උනත් මේකෙ අතීතය ගැන, මේක ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල සමග සම්බන්ද වන්නේ කොහොමද කියල දන්නේ කීයෙන් කී දෙනාද?

ක්‍රි.ව 680 - 754 කාලයේ ජීවත් වෙච්ච කතෝලික සාන්තුවරයෙක් වෙන සානත බොනිෆස් තුමා ජර්මනියට කතෝලික දහම ගෙන යෑමේ අපෝස්තුලික කාර්යය කරන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම තමා මේ නත්තල් ගහේ කතාන්දරයට මූලික වෙන්නෙ.

වින්ෆ්‍රඩ් නමින් එංගලන්තයේ උපන් බොනිෆස් තුමා ක්‍රිස්තුස්වහන්සේට බැඳිච්ච ප්‍රේමය නිසා බෙනදිකානු තාපස ජීවිතයකට ඇතුලු වන්නේ තමන්ගේ දෙමාපියනෙගේත් විරුද්ධත්වය මතයි. එහෙම බෙනදිකානු තාපස ජීවිතයකට ඇතුලු වුන මෙතුමා ක්‍රි.ව 716 දී දෙවන ග්‍රෙගරි පාප්තුමා බැවේරියාවට - ඒ කියන්නේ වර්තමාන ජර්මනියට - දූත සේවය සඳහා ධර්මදූතයන් පිටත් කර යවනවා කියා දැනගෙන පාප්වහන්සේ මුනගැසී ජර්මානුවන්ට කතෝලික ධර්මය රැගෙන යන්න අවසර ඉල්ලා සිටිනවා. දූත කාර්යයට වින්ෆ්‍රඩ් ගේ උනන්දුව සහ කැපවීම දකින පාප්වහන්සේ ඔහුගේ නම බොනිෆස් ලෙස වෙනස් කර ඒ සඳහා ආශිර්වාදය ලබාදී ඔහු පිටත් කර යවනවා.

ක්‍රි.ව 721 දී ජරමනියේ මධය ප්‍රදේශයක පිහිටි හේස් නගරයට අතුලු වන බොනිෆස් තුමා එහි ගෝත්‍රික නායකයන් ලෙස කටයුතු කරපු ඩෙට්ටි සහ ඩියොරුල්ෆ් යන වෘක්ෂ වන්දනාව සහ සොබාදහම වන්දනාවේ යෙදුනු ඒ දෙදෙනාට කතෝලික දහම වෙත බෞතීස්ම කිරීම සඳහා ධර්ම දේශනා කිරීම ආරම්භ කරනවා. ඉතාමත් සාර්ථක ලෙස බොහෝ දෙනා කතෝලික දහම වෙත බෞතීස්මය කරන මෙතුමා ඒ ප්‍රදේශයේ බෙනදිකානු ආරාමයක්ද ක්‍රි.ව 744 දී ආරම්භ කිරීමට කටයුතු කරනවා. මෙතුමාගේ සේවාව ගැන පැහැදීමකට පත්වන දෙවන ග්‍රෙගරි පාප්වහන්සේ විසින් මෙතුමාව රයින් නදියෙන් නැගෙනහිර කොටස සඳහා අගරදගුරු ලෙස බොනිෆස්තුමා ක්‍රි.ව 723 දී පත් කර සිටිනවා.

අලුත් තනතුර සමග කතෝලික දහම තවතවත් ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමේ වගකීම දරමින් නෙදර්ලන්තය දක්වාම කතෝලික දහම ඉගැන්වීමත් බෞතීස්මය හරහා ආතමයන් ගලවා ගැනීමේ කාර්යය කිරීමටත් උන්වහන්සේ නොපැකිලිව කටයුතු කරන්න ආරම්භ කරනවා.

එතුමාගේ මිෂනාරී දූත සේවාවලදී සීත ඍතු කාලය ලඟා වෙද්දී ගෙඊස්මාර් යන ග්‍රාමයේ මහා විශාල ඕක් ගසක් වටා එකතු වෙමින් තෝර් නම් දෙවි කෙනෙකු වන්දනා කල මිනිසුන් කොටසක් ගැන එතුමා අසා තිබුනා. ඔවුන් තමන්ගේ එම ඕක් ගසේ විශාලත්වය පිලිබඳ ඉතාමත් ප්‍රෞඩාකාරයෙන් සැලකුවා වගේම "බොනිෆස් ගේ දෙවියන්" හට කිසිදාක ඒ ගස විනාශ කරන්නට තබා සොලවන්නටවත් බැරි බව පුරුසාරම් දොඩා තිබුනා. මේ කාරණාව මත ඒ ගස කපා විනාශ කර දෙවියන්වහන්සේට වඩා මහිමාන්විත මවන ලද කිසිවක් නැති බව ඒ අයට ඒත්තු ගන්වන්නට එතුමාට අවශය කර තිබුනා. මේ කාර්යයට සගයන් කීප දෙනෙක්ද එකතු කරගත් බොනිෆස් තුමා සීත ඍතුවේදී ගෙඊස්මාර් ගමට යෑමට තීරණය කලා. එතුමාගේ ගමන් සගයන් මරණය ඒකාන්ත බව විශ්වාස කර ගත් නිසා ඒ ගමන ප්‍රාණපරිත්‍යාගී ගමනක් ලෙස යාමට තීරණට කොට එතුමා සමග එකතුවූවා.

නත්තල් උත්සවය කාලයට කිට්ටු කාලයකදී ඒ ගමට ලඟා වූ බොනිෆස්තුමා - ඒ මහා ඕක් ගස ලඟට ගොස් - ඊට වැඳුම් පිඳුම් සහ යාග පූජා කරමින් සිටි ඒ වැසියන් හට මෙසේ කියා සිටියා - "මෙන්න මහා ඕක් ගස - මෙන්න ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී කුරුසිය! මෙන්නෙ ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී කුරිසියේ බලයෙන් බොරු දෙවියකු වන තෝර්ගේ මිටිය විනාශ කරනා ආකාරය" කියා පොරොවක් ගෙන ඒ මහා ඕක් ගස බිම හෙලා දැමුවා.

කිසිදා විය නොහැක්කක් තම ඇස් පනා පිට සිදුවන බව බියට පත්වී බලා සිටි ඒ මිනිසුන් ඉදිරියේ මහා ඕක් ගස කපා බිම දැමූ බොනිෆස් තුමා ඒ ගසට පිටුපසින් තිබූ කුඩා පයින් ගසක් උදාහරණයකට ගනිමින් ඒ නත්තල් උදාවේ ඕක් ගස වන්දනා මාන කල ඒ ගෝත්‍රික ජනතාවට ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙසේ උගන්වා සිටියා:


"මේ කුඩා ගස, මේ වනයේ බාලයා - අද දින පටන් ඔබේ ශුද්ධ ගස බවට පත්වනවා. මේ සාමයේ ලී කැබැල්ලයි.. සදාතන ජීවනයේ සංකේතයයි - මන්ද මේ ගසේ කොල සෑම ඍතුවක් පුරාවටම කොල පාටින් තිබෙනවා - මේ ගස ස්වර්ගය දෙසට ඊතලයක් ලෙස නැගී සිටිනවා. අද පටන් මේ ගස ක්‍රිස්තු - බිලිඳාගේ ගස ලෙස හඳුන්වනු ලබනවා; එය වටා රැස්වන්න - මේ ඝන වනාතරයේ නොවේ - ඔබේම නිවෙස් තුල! එහිදී එය ලේ වැගිරීමේ කිසි ක්‍රියාවක් සඳහා නොව - ප්‍රේමාන්විත ත්‍යාගශීලීත්වයේ සහ කරුණාවේ චාරිත්‍රයන්ගේ සෙවන පතුරවන තැනක් බවට පත් වනවා!"


තමන් වන්දනා මාන කර යාක බිලි පීජා කල මහා ඕක් ගස බිමට පතිත වනවා දුටු ඒ ජර්මානු වැසියන් එතෙක් තමා හිස්මුදුනින් පිලිගත් මිත්‍යා ඇදහිලි පසෙක දමා කතෝලික දහම අදහා ගෙන බෞතීස්මය ලැබුවා.

මෙසේ බොහෝ මිත්‍යා දුෂ්ඨිකයන් ක්‍රිස්තුස් අනුගාමීත්වයට බෞතීස්ම කල බොනිෆස් අගරදගුරු තුමා එතුමාගේ අවසාන මිශනාරි චාරිකාව සඳහා ක්‍රි.ව 754 දී ෆ්‍රීසා ප්‍රදේශයට තාපසයන් 50 කගේ කණ්ඩායමක් සමග පිටත්වුනා. උන්වහන්සේගේ ඉගැන්වීම් සහ දේශනා ඇසූ බොහෝ මිත්‍යා දුෂ්ඨිකයින් කතෝලික දහම වැළඳගැනීමට එකඟත්වය පල කර බෞතීස්මය ලැබීමට සූදානම් වූ අතර ඒ මොහොතේදී ආයුධ සන්නද්ධ මිත්‍යා දුෂ්ඨික ගෝත්‍රිකයන් පිරිසක් පැමින එම බොනිෆස්තුමා ඇතුලු එම තාපසයින් මරා දැමුවා.

උන්වහන්සේගේ දේශනාවෙන් සහ ශුද්ධවූ දිවි පෙවතින් ජර්මානුවන් වෙත කතෝලික දහම රැගෙන ගිය එතුමා ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වයට සාක්ෂි දෙමින් එසේ තමාගේ ප්‍රාණය උන්වහන්සේ නිසාම පරිත්‍යාග කොට සිටියා!

මෙසේ සාන්තුවර බොනිෆස් තුමා ආරම්භ කල සදාහරිත ශාකයක් වන පයින් ගස ක්‍රිස්තු උපත සමග සම්බන්ද කරමින් පටන් ගත් චාරිත්‍රය නත්තල ආසන්නයේ කතෝලික, කිතුනු, බෞද්ධ නිවෙස් හැඩ කරවමින් ලෝ පුරා පැතිර ගොස් ඇත්තේ ඒ සම්බන්දව ඇති කතාන්දරය අමතක කොට වීම එක්තරා ආකාරයක ශෝකී කරුණක් වූවත් ඔබ මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියව්වා නම් - සදාහරිත ක්‍රිස්තු උපත සහ ස්වර්ගය දෙසට අප යොමු කරවන එහි ගැලවීමේ අර්ථය ඔබ ඊලඟට දකින නත්තල් ගස හරහා දකීවි යන්න සහ එය පිලිබඳ තව කෙනෙකු දැනුවත් කරනවා ඇතැයි යන්න බොනිෆස්තුමාගේ දූත කාර්යය සාර්ථක කිරීමක් වන බව නොඅනුමානයි!

ඔබට ජේසු පිහිටයි!

~ Kithunu LK