උපන්දිනයට සුබ පැතීමේ චාරිත්‍රයේ ආරම්භය කුමක්ද?

උපන්දිනයට සුබ පැතීමේ චාරිත්‍රයේ ආරම්භය කුමක්ද?
Photo by Adi Goldstein / Unsplash

ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සහෝදරයන් බොහෝ දෙනෙක් සාන්ත වැලන්ටයින් තුමාගේ මංගල්‍ය දින රෝමයේ ලුපකාලියා සැනකෙලිය සමග සම්බන්ද බව අදහස් දක්වමින් එය සැමරීම මිත්‍යා දුෂ්ඨික මූලයක් සහිත දෙයක් සැමරීමක් ලෙස පෙන්වා දෙන්නට උත්සාහ ගන්නවා දුටුවා.
උපන්දින සැමරීම සඳහා සුබ පැතීමේ චාරිත්‍රය එසේ නම් ආරම්භ වන්නේ කොහොමද කියා මේ සහෝදර සහෝදරියන් දන්නවා නම් ඔවුන් මීලඟ උපන්දිනයට කිසිවකුට සුබ නොපතා සිටිනවා ඇතැයි කියාත්, ඔවුන්ගේ උපන් දිනය සැමරීමක් නොකර සිටිනවා යැයි කියාත් සිතනවා!

දෙවි කෙනෙකු ලෙස උපත සැමරීම

උපන්දින සැමරීමේ මූලිකම සාක්ෂි හමුවන්නේ ඊජීප්තු දේශයෙන් ක්‍රි.පූ 3000 පමන කාලයේ දීයි. ඒ පාරවන්ගේ උපන්දිනය සැමරීම සඳහා පැවැත්වූ උත්සව සැනකිලි සමගයි. ඉතිහාසඥයන් සොයාගෙන ඇති ආකාරයට පාරාවන් තමන්ගේ මෙලොව උපත නොවෙ, දෙවි කෙනෙකු ලෙස උපත සැමරීම සඳහා උත්සව පවත්වා ඇති බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා.

මිනිස් උපත සැමරීම

මිත්‍යාදුෂ්ඨික ඇදහිලි අනුගමනය කල ග්‍රීකයන් ඔවුන් මෙලොව උපත ලද දිනයදී විවිධාකාර ආත්මවල් තමන් වටේ සැරිසරන බවත්, එම ආත්ම ඒ උපත සමරන පුද්ගලයා සහ ඒ දිනයට අදිපති වන දෙවි කෙනෙකු සමග සම්බන්දයක් පවත්වා ගන්නට පිහිට වන බවත් විශ්වාස කලා.

උපන්දින කේක් සහ ඉටිපන්දම් පිඹ නිවීමේ සංකල්පය

බහුදේවවාදී අදහස් වලින් පිරුනු ග්‍රීකයන් ඒ දෙවි දේවතාවුන් සතුටු කිරීම සඳහා යාග පූජා පැවැත්වූ බව ප්‍රසිද්ධ කරුණක්. මේ අත‍රින් සඳ දේවතාවිය වන ආර්ටමීස් වන්දනා කිරීම සඳහා තෝරා ගත් ක්‍රමය වූයේ සඳ හැඩැති කේක් ගෙඩියක් පුලුස්සා, සඳේ කාන්තිය සනිටුහන් කරන්නටත් ආටිමීස් දේවතාවියගේ රූපශ්‍රීය ප්‍රතිනිර්මාණය කිරීමට ඒ මත ඉටිපන්දම් සිටුවා ඒවා පත්තු කොට - තමාගේ ඉල්ලීම් ඇය වෙත යැවීම සඳහා සිතින් එම ඉල්ලීම සිහි කර ඉටිපන්දම් කටින් පිඹ නිවා දැමීමයි. මෙම පිඹ නිවා දැමීමෙන් ආටිමීස් දෙවඟන වෙත තමාගේ ඉල්ලීම් දුමාරය සමග මුසුවී ලැබෙන බවත්, එය ඇයට ප්‍රසන්න වන්දනාවක් බවත් ඔවුන් විශ්වාස කලා.

යාලු මිත්‍රාදීන් එකතු වී උපන්දින සැමරීම

ඊජීප්තු විශ්වාස ඇදහිලි වලින් ප්‍රේරණය වූ ග්‍රීකයන් දෙවියකු ලෙස උපත ලැබීමේ උත්සවය ඔවුන්ගේ සංස්කෘතියට වෙනස් ආරකින් එකතු කර ගත්තා. ඔවුන්, උපන් දින දවස නපුරු අන්ධකාරයේ බලවේග වලට කෙනෙකුට බලපෑමක් කල හැකි දිනයක් ලෙස විශ්වාස කලා. මෙම අන්ධකාරයේ බලවේග පලවා හැරීමේ උපක්‍රමයක් ලෙසටද ආටිමීස් වන්දනාව සමග බද්ධ කරගනිමින් ඔවුන් උපන්දින දවසේදී ඉටිපන්දම් දැල්වීම සිදු කලා.

ඒ වගේම තමන්ගේ යාලු මිත්‍රාදීන්, පවුලේ අය සමග - ඔවුන්ගේ සුබ පැතුම් මැද ඒ දවස ගත කිරීම මේ නපුරු බලවේග වල බලපෑම අඩු කරනා හෝ නැති කරනා බව ඔවුන් විශ්වාස කලා. ඒ වගේම උපන්දින තෑගි බෝග දීම හරහා ඒ පුද්ගලයා සතුටට පත් කිරීම තුල නපුරු බලවේග හීන වන බව ඔවුන් විශ්වාස කලා. විව්ද ශබ්ද කිරීම, ඝෝෂා කිරීම අනවශ්‍ය නපුරු ආත්ම පලවා හරින බව ඔවුන් විශ්වාස කලා.

ග්‍රීකයන්ගෙන් රෝම වරුන්ට

ග්‍රීක වරුන්ගේ බොහෝ සංස්කෘතික හා ඇදහිලි අංග වලින් පෝෂණය වූ රෝම පුරුවැසියන් උපන්දින සැමරුම ඉතා ඉහලින් සිදු කරන්නට පටන් ගත්තා. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ උපන්දින සැමරීම සඳහා නිවාඩු දින පවා වෙන් කරන්නට පටන් ගත්තා.
අවුරුදි 50 සම්පූර්ණ වූ රෝම පුරවැසියන්ගේ උපන්දින සැමරුම ඉතා ඉහලින් ඔලිව තෙල්, චීස් සහ මී පැණි යොදා සාදන ලද විශේෂ කේක් ගෙඩියක් පුච්චා සමරන්නට පටන් ගත්තා.
කෙසේ වෙතත්, 12 වන සියවස වන තෙක් උපන්දින සාද සැමරීම පිරිමි පාර්ශවයට පමණක් හිමි වරප්‍රසාදයක් වූවා. ස්ත්‍රීන්ගේ උපන්දිනය සැමරුම් සිදු කරන්නට පටන් ගැනීම ආරම්භ වූයේ ඉන් පසුවයි.

පාපයට උපත ලැබීම සහ මුල් ක්‍රිස්තියානි ආකල්ප

ක්‍රිස්තියානි ආකල්ප අනුව මෙලොව උපන්දිනය පාපයට උපත ලැබීමක් බව පිලිගත් නිසාත්, මිත්‍යාදුෂ්ඨික දේවතා වන්දනා සමග උපන්දින සැමරීම බද්ධ වී තිබුනු නිසාත් මුල් කිතුනුවන් උපන්දින සැමරීම මිත්‍යාදුෂ්ඨික උත්සවයක් ලෙසින් අහක දමා තිබුනා.
4 වන සියවසේදී ක්‍රිස්තු උපත - නත්තල සැමරීම - ආරම්භ කිරීමත් සමග මුල් සියවස් වල තිබුනු ආකල්ප යට ගොස් මෙලොවට උපත සැමරිය යුතු කාරනාවක් ලෙස සලකා ක්‍රිස්තියානීන් පවා උපන්දින සාද පැවැත්වීම සඳහා යොමුවූවා.

ඊලඟ උපන්දිනය එහෙම නම්..

උපන්දින සැමරීමේ ඉතිහාසය මිත්‍යාදුෂ්ඨික මූලයන්ගෙන් ආරම්භ වූවා යැයි මූලධර්මවාදී කිතුනු ඔබ මෙතෙක් නොදැන සිටියා නම් මේ මොහොතේ සිට දැන ගන්නවා ඇති. එසේ නම් මේ වසරේ ඔබේ මූළධර්මවාදී තර්කය වන්නේ මොකක්ද? තව දුරටත් ඔබේ යහලු මිත්‍රාදීන්ගේ සහ ඔබේ උපන්දින සඳහා ඔවුන්ට සුබ පැතීම සහ සැමරීමද - ඉන් සම්පූර්ණයෙන්ම වැලකී සිටීමද?

~ Kithunu LK