කතෝලික සභා ව්‍යුහය

කතෝලික සභා ව්‍යුහය

ඉතාමත් දිගු ඉතිහාසයක් සහිත කතෝලික සභාව ආරම්භයේ සිටම ජේසුස් වහන්සේ ස්ථාපිත කළ බිශොප්වරුන් මූලික කරගත් සභා ක්‍රමය තුළ(Episcopal polity) ගොඩ නැගී ඇත. කතෝලික සභාවේ නිර්මාතෲ, ප්‍රධානියා හා හිස වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. පාප් තුමන් මිහි තලය මත ජේසුස් වහන්සේව නියෝජනය කරන සභාවේ දෘශ්‍යමාන හිස හා ප්‍රධානියා වේ. කතෝලික පූජකයන් ප්‍රධාන වශයෙන් කොටස් 3 කින් සමන්විතය.

  1. තේවාචාරී
  2. පූජක
  3. බිශොප්

තේවාචාරී

තේවාචාරීවරුන් යනු සාමාන්‍යයෙන් පූජක පියතුමන්ලාට සහය දැක්වීමේ තනතුරක් දරණ, පූජාත්වරය ලැබීමට පෙර අවස්ථාවේ සිටින අය යි. එමෙන්ම පූජාත්වරය නොලබන තේවාචාරී තනතුරේ පමණක් සිටින පිරිසක්ද සිටී.

තේවාචාරී වරුන්ගේ ප්‍රධාන කාර්‍යය වන්නේ දිව්‍ය පූජාවේදී පියතුමන්ලාට සහය දැක්වීම, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම, ජනතාවට දේව වචනය කියා දීම ආදියයි.

පූජක

පූජාත්වරය දේව ප්‍රසාධ නිධානය ලැබූ පුද්ගලයන් පූජකයන් ලෙස හදුන්වන අතර ලතින් කතෝලික පිළිවෙත තුළ පූජක පියතුමන්ලාට විවාහ වීම සිදු නොකළ හැකි අතර පෙරදිග කතෝලික පිළිවෙත තුළ විවාහ වීම වලංගු වේ. පූජකවරය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ ඒවා, පදවි පූජක හා පැවිදි පූජක යන්නයි.

  1. පදවි පූජක - පදවි පූජකවරුන් තමන් අදාළ වන පදවිය තුළ ක්‍රියාත්මක වන අතර තම පදවි නායකයන්ට යටත් විය යුතුය.
  2. පැවිදි පූජක - පැවිදි පූජකවරු ෆ්‍රැන්සිස්කාන, බෙනදිකාන, ජේසු නිකාය ආදි යම් නිකායක සාමාජිකයන් වන අතර ඔවුන් පදවියකට ඍජුව යටත් නොවන අතර, තම නිකායික නායකයන් මගින් තමන්ට පවරන කාර්‍යය කිරීමට බැදී සිටී.  

බිශොප්

බිශොප්වරන් සභාවේ ඉහළම තනතුර දරන පූජකයන් වන අතර රදගුරු, අගරදගුරු, කාදිනල් හා පාප් තුමන් ආදී නිලයන් දරන්නේද බිශොප් තුමෙන් ලා විසිනි. ජේසුස් වහන්සේ මතෙව් සුභාරංචිය තුළ අපෝස්තුලුවරුන්ට දෙන බැදීමේ හා මිදීමේ අධිකාරීත්වයට අනුව, සෑම කතෝලික බිශොප් කෙනෙකුගේම අනුප්‍රාප්තිකත්වය අපෝස්තුලුවරුන්ගෙන් කෙනෙකු දක්වා දිව යයි. එනම් සෑම බිශොප් වරයෙක්ම අපෝස්තුලුවරුන්ගෙන් පැවත එන පූජක තුමෙකි.

රදගුරුවරුන් යනු රදගුරු පදවියක් භාරව කටයුතු කරන බිශොප් තුමන්ලා ය.

අගරදගුරුවරුන් යනු අගරගුරු පදවියක් පාලනය කරන බිශොප් තුමන්ලාටය.

කාදිනල් වරුන් යනු පාප් තුමන් විසින්, බිශොප්වරුන් අතරින් තෝරාගන්නා විශේෂ පිරිසකි. පාප් තුමෙකු තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමකට සහභාගී වන්නෙ කාදිනල් වරුන් පමණයි(College of Cardinals). එමෙන්ම පාප් තුමෙකුව පත් කරන්නේද කාදිනල් වරුන් අතරිනි. කාදිනල්වරුන් ශුද්ධාසනයේ විවිධ කමිටු, සමුලු ආදියෙහි ප්‍රධාන නිලයන් දරයි.

පාප් තුමන් ජේසුස් වහන්සේව හා රෝමයේ ප්‍රථම බිශොප් තුමන් වූ පේදුරු අපෝස්තුලුතුමන්ව නියෝජනය කරන සභාවේ විශ්වීය එඩේරාණන් වේ. කතෝලික සභාව යටතේ සිටින සෑම පරිපාලන කොටසක්ම පාප් තුමන්ට නතු වේ. පාප් තුමන් වශයෙන් ක්‍රියාකරන්නේ රෝමයේ බිශොප්වරයායි.

ශුද්ධාසනය

ශුද්ධාසනය(Holy See) යනු පාප් තුමන් හා රෝම කියුරියාව(Roman Curia) ඇතුලු විශ්වීය කතෝලික සභාවේ ප්‍රධාන පරිපාලන ව්‍යුහය ලෙස කටයුතු කරන ආයතන එකතුව හදුන්වන නාමයයි. ශුද්ධාසනය පේදුරු තුමන්ගේ ආසනය, රෝම ආසනය, අපෝස්තලික ආසනය, රෝම රදගුරු පදවිය ආදී නම් වලින්ද හදුන්වනු ලබයි. එමෙන්ම එහි පිහිටීම මූලික කරගෙන, මාධ්‍ය හා සාමාන්‍ය භාවිතය තුළ වතිකානුව, රෝමය ආදී නම් වලින්ද එය ඇතැම් විටදී හැදින්වීමට ලක්වේ.

ශුද්ධාසනය කතෝලික සභාවේ ප්‍රධාන පරිපාලන ව්‍යුහය ලෙස ක්‍රියා කරයි. කතෝලික ඉගැන්වීම් ආදිය ගැටලු වලදී නිළ පිළිතුරු ලබා දීම, කාදිනල්වරුන්, රදගුරු, අගරදගුරුවරුන් පත් කිරීම, සාන්තුවරුන් නම්කිරීම ආදී සභාවේ ප්‍රධාන කාර්‍යයන් සිදු කරන්නේ ශුද්ධාසනය මගිනි.

කතෝලික සභාව නූතන ආයතනයක් ලෙස

තේරුම් ගැනීමේ පහසුව සදහා කතෝලික සභාවේ පරිපාලන ව්‍යුහය නූතන ගෝලීය ආයතනයකට සාමාන කර බලමු.

කතෝලික සභාව ගෝලීයව ක්‍රියාකරන ආයතනයක් ලෙස සැලකුවොත්, පාප් තුමන් යනු ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කළ හැක. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ වතිකානුව තුළයි. ශුද්ධාසනය යනු එහි විධායක නායකත්වය හා ඉහළ කළමනාකාරී ව්‍යුහයයි. රෝම කියුරියාව එම ආයතනයේ කළමනාකරන දෙපාර්තමේන්තු වලට සමානය. බිශොප්වරුන් ලොව පුරා පවතින එම ආයතනයේ විවිධ ශාඛාවන් ප්‍රාදේශීය වශයෙන් පරිපාලනයට පත්කල ප්‍රාදේශීය කළමනාකරුවන් ය. පූජකයන් යනු එම ආයතනයේ එක් එක් ශාඛාව භාර කළමනාකරුවන් වැනි ය. තේවාචාරී වරුන් එම ශාඛාවල සහයක කළමනාකරුවන් ය.

මූලාශ්‍ර : Roman Catholicism, Roman Curia, Holy See