වසර 200කට අධික ඉතිහාසයක් ඇති වත්මන් ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය හා සබැඳි ඵෙතිහාසික මූලාශ්‍ර

වසර 200කට අධික ඉතිහාසයක් ඇති වත්මන් ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය හා සබැඳි ඵෙතිහාසික මූලාශ්‍ර

ලක්දිව පෘතුගීසි යටත් විජිත යුගයේ සිටම කතෝලික විශ්වාසය මුල් බැසගත් ඉතා බැතිමත් කතෝලික ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් ලෙස සුවිසල් දෙව් මැදුරු ත්‍රිත්වයකින් සමන්විත වන මෝදර ප්‍රදේශය හඳුන්වා දිය හැක. එම ප්‍රදේශයේ ස්ථාපිත ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය 19 වන සියවසේදී ඉදි කිරීම සබැඳිව මෙම ලිපිය පල කෙරේ.

ඉතා පැහැදිලි ලිඛිත සාධක සහ මුලාශ්‍ර සහිතව මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන අතර එම මුලාශ්‍ර අද ඊයේ පළවූ ග්‍රන්ථ හෝ පත්තර ලිපි නොව 19 වන සියවසේදී ලක්දිව සේවය කල මිෂනාරි පියවරුන් විසින් ශුද්ධාසනයට යවන ලද වාර්තා, බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් පල කරන ලද සංගණන වාර්තා සහ ඡායාරූප බව සලකන්න. මේ සබැඳිව ගැටළු වෙතොත් 19 වන සියවසට අයත් ලිඛිත වාර්තා සහිතව අප අමතන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ලක්දිව කුල බේදය පැතිර තිබූ සමයක වත්මන් කොළඹ මෝදර සාන්ත ජුවාම් සහ සාන්ත අන්ද්‍රේ දේවස්ථාන යුගලය කරාව කුලය මූලික කරගෙන ඉදිවී ඇත. ඒ අනුව කොළඹ මෝදර ප්‍රදේශයේ ලුණුපොකුණ ග්‍රාමයේ සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ට කැපවූ දේවස්ථානය 19 වන සියවසේදී ඉදිවූ බවට ලිඛිත සාධක පහත සඳහන් වේ.

  1. ක්‍රි.ව.1827 දෙසැම්බර් මස 04 වන දින ඔරතෝරියානු පියවරුන් විසින් ශුද්ධාසනයට යවන ලද වාර්තාවේ ලක්දිව කතෝලික දේවස්ථාන 284ක් පිලිබඳ සඳහන් වේ (Historical Archive of Goa, Moncoes 204, A ff. 280 – 284). එහි ලුණුපොකුණ ග්‍රාමයේ දේවස්ථානය සාන්ත අන්ද්‍රේ මුනිඳුන් නමින් කැප කර ඇති බව පැහැදිලිව සඳහන් වේ.
  2. ක්‍රි.ව. 1836 වසරේ ලක්දිව ස්ථාපිතව තිබූ රෝමානු කතෝලික දේවස්ථානයන් (යැදුම් ගෘහයන්) පිලිබඳ සංගණන වාර්තාවක් එවකට ලක්දිව පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින් සකස් කර බ්‍රිතාන්‍ය රජු වෙත යවා ඇති අතර එම වාර්තාවේ දේවස්ථාන නාමාවලියේ ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය ඇතුලත්ව ඇත. ලුණුපොකුණ දේවස්ථානයට අයත් කතෝලික ජනගහනය 600 ක් ලෙස දක්වා ඇත. (Statistics of the Colonies of the British Empire).
  3. ක්‍රි.ව. 1844 දී එවකට ලක්දිව අනු පදවියේ රදගුරු ඔරතෝරියානු නිකායික අති උතුම් ගයිතානෝ අන්තෝනියෝ හිමිපාණන් විසින් ශුද්ධාසනය වෙත යවන ලද ලියවිල්ලේ Pulatio Missionum et Erum Distantiarum කොටසේ  එවකට ලක්දිව පැවති දේවස්ථානයන් පිලිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහිද කොළඹ ධර්මදූතික මධ්‍යස්ථානය යටතේ ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය පිලිබඳ සඳහන් වේ.
  4. ක්‍රි.ව. 1867 සිට ක්‍රි.ව. 1926 දක්වා කාල පරාසය තුල ලක්දිව ලියාපදිංචි කරන ලද කතෝලික දේවස්ථානයන්හි නාමාවලිය බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් නිකුත් කර ඇති අතර මෝදර වැල්ලවිදියේ පිහිටි ලුණුපොකුණ දේවස්ථානය 1867 අප්‍රියෙල් මස 10 වන දින සාන්ත අන්ද්‍රේ මුනිඳුන් නමින් රජයේ ලියාපදිංචි කර ඇත.
  5. සැලෙස්කි (ZALESKI) පුජප්‍රසාදීන් වහන්සේ විසින් ක්‍රි.ව.1891 දි ප්‍රකාශයට පත්කරන ලද ලක්දිව සහ ඉන්දීය කොදෙව් කෘතියේ 53 වන පිටුවේ ලුණුපොකුණ අන්ද්‍රේ දේවස්ථානයේ මොගොප්පුවේ ඡායාරූපයක් පල කර ඇත. එම ඡායාරූපය මෙහි ඇතුලත් කර ඇති අතර අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් බව සලකන්න.
  6. සාන්ත අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දැවමුවා ප්‍රතිමාවේ මූර්තිමය විග්‍රහය (සැදැහැවතුන් ආසිරි ගැන්වීම සඳහා යොදාගනු ලබන ප්‍රතිමාව) : 19 වන සියවසේ අවසාන භාගයේදී ඉන්දියානු මූර්ති  ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද්දකි. රොකෝකෝ මූර්ති ශෛලීය ලක්ෂන මෙන්ම ජනප්‍රිය ආරයේ (Popular Style) ලක්‍ෂනයන්ගෙන් ද යුක්තව මෙම ප්‍රතිමාව නෙලා ඇත. මුල් වර්ණ ගැන්වීම වෙනස් කර පසුකාලීනව වර්ණාලේප කර ඇත. ලක්දිව දැකිය හැකි සාන්ත අන්ද්‍රේ මුනිඳුන්ගේ ඉපැරණිම ප්‍රතිමා අතුරින් එක් ප්‍රතිමාවක ලෙස මෙම ප්‍රතිමාව හැඳින්විය හැක.
  7. දේවස්ථානයේ ස්ථාපිත දැවමුවා සාන්ත සෙබස්තියන් මුනි ප්‍රතිමා යුගලය 20 වන සියවසට අයත් ප්‍රතිමා වේ.
  8. ක්‍රි,ව, 1922 වසරේදී මුතුවැල්ල අන්ද්‍රේ දේවස්ථානය සහ එහි ජනගහනය  CATHOLIC DIRECTORY OF INDIA, BURMA AND CEYLON 1922 - 72nd ANNUAL ISSUE OF THE MADRAS CATHOLIC DIRECTORY හි ඇතුලත් වේ.

ලුණුපොකුණ දේවස්ථානය පෙරකල සාන්ත සෙබස්තියන් මුනිඳුන්ට කැපවූවක් බවටද සාවද්‍ය මත පලවී ඇත.  ඉහත සඳහන් ලිඛිත වාර්තා සහ ඡායාරූපය අනුව එම මතය කිසිසේත්ම නිවැරදි නොවන බව තහවුරු වේ.  මෙහි දැක්වෙන සෙබස්තියන් ප්‍රතිමාව අලලා (දේවස්ථානයේ ඉපැරණි අල්තාරය සහිත රුපය බලන්න) මෙම දේවස්ථානය සෙබස්තියන් මුනිඳුන්ට කැප කර ඇත යනුවෙන් මත පල කිරීම විහිලු සහගතය. මෙහි දැක්වෙන්නේ විශේෂ මංගලය දිනයක අල්තාරය මත තැබූ සෙබස්තියන් ප්‍රතිමාවක් බව ජයරුපයේ උඩින් පෙනෙන අල්තාර කොටස සමඟ සැසදීමේදී පෙනේ.  දෙව් මැදුරේ සීනු බෞතිස්ම කර ඇත්තේ මෙදිනය. එම දිනය සෙබස්තියන් මංගල දිනය විය හැක. එසේම සෙබස්තියන් බැතිය උතුරු කොළඹ ප්‍රදේශයේ ප්‍රචලිත බැවින් එකල පටන්ම සෙබස්තියන් මංගල්‍යය ජයෝත්සවයෙන් සමරා ඇති බව කිව හැක.  ඉහත සඳහන් මුලාශ්‍ර මෝදර ප්‍රදේශයේ පිහිටි අනෙකුත් දේවස්ථාන සඳහා ද අදාළ වේ.

ඉහත වාර්තා සබැඳිව සියළුම ඡායාරූප මෙම ලිපියේ අඩංගු වේ.
සැකසුම : යොහාන් රොද්‍රිගෝ,  නිමන්ත සිල්වා

May be an image of text
1890 කාලයේදී අන්ද්‍රේ දේවස්ථානය.
ඉන්දියානු මූර්ති ශිල්පියෙකුගේ නිර්මාණයකි
1844 ශුද්ධසනයට යවන ලද වාර්තාවේ මුල් පිටපත් කොටස - ඇති උතුම් ගයිතානෝ අන්තෝනියෝ හිමිපාණන් අත්සන් කර ඇත.
1844 ශුද්ධසනයට යවන ලද වාර්තාවේ මුල් පිටපත් කොටස - ඇති උතුම් ගයිතානෝ අන්තෝනියෝ හිමිපාණන් අත්සන් කර ඇත. කොළඹ මධ්‍යස්ථානය යටතේ අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය සඳහන් වේ
1836 බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සංගණන වාර්තාව
1867 වසරේ දේවස්ථානය ලියාපදිංචි කල වාර්තාව
මෙහි දැක්වෙන සෙබස්තියන් ප්‍රතිමාව අලලා මෙම දේවස්ථානය සෙබස්තියන් මුනිඳුන්ට කැප කර ඇත යනුවෙන් මත පල කිරීම විහිලු සහගතය. මෙහි දැක්වෙන්නේ විශේෂ මංගලය දිනයක අල්තාරය මත තැබූ සෙබස්තියන් ප්‍රතිමාවක් බව ජයරුපයේ උඩින් පෙනෙන අල්තාර කොටස සමඟ සැසදීමේදී පෙනේ. දෙව් මැදුරේ සීනු බෞතිස්ම කර ඇත්තේ මෙදිනය. එම දිනය සෙබස්තියන් මංගල දිනය විය හැක. එසේම සෙබස්තියන් බැතිය උතුරු කොළඹ ප්‍රදේශයේ ප්‍රචලිත බැවින් එකල පටන්ම සෙබස්තියන් මංගල්‍යය ජයෝත්සවයෙන් සමරා ඇති බව කිව හැක.
වර්තමානයේදීද එලෙසමය. මෙම දේවස්ථානය සෙබස්තියන් මුනිඳුන්ට කැප කර ඇති බව මෙමඟින් කිව නොහැක.
ක්‍රි,ව, 1922 වසරේදී මුතුවැල්ල අන්ද්‍රේ දේවස්ථානය සහ එහි ජනගහනය CATHOLIC DIRECTORY OF INDIA, BURMA AND CEYLON 1922 - 72nd ANNUAL ISSUE OF THE MADRAS CATHOLIC DIRECTORY හි ඇතුලත් වේ.

සියලු අයිතිය ලක්දිව කතෝලික ඉතිහාසය පිටුව සතු වේ අවසරයකින් තොරව උපුටා ගැනීමෙ වළකින්න.