නිවැරදිම බයිබලය කුමක්ද?

නිවැරදිම බයිබලය කුමක්ද?
Photo by Rod Long / Unsplash

🌹 කතෝලික  සභාවට සමගාමීව විවිධ සභාවන් මෙන්ම මූලධර්මවාදී විවිධ වූ කණ්ඩායම් බිහිවීමත් සමගම ශුද්ධ වූ බයිබලය  ද විවිධාකාර මුහුණුවර ගන්නට විය.  විවිධ සංස්කරණ (Edition) බිහිවිය.

⭕⭕ විවිධ වූ බයිබලයන් ⭕⭕

🌹 කතෝලික බයිබලය , ක්‍රිස්තියානි බයිබලය, යෙහෝවාවහන්සේගේ බයිබලය N.W.T බයිබලය ( New World Translation ) , ගිඩියන් බයිබලය , King James Translation ආදී වශයෙන් විවිධ වෙනස්කම් සහිතව විවිධ මුහුණුවරකින් යුතු බයිබලයන් ජනතාව අතරට පැමිණ ඇත. ඒ අනුව නිවැරදි වන්නේ කුමන බයිබලය ද ? වැරදි කුමක්ද ? හරි බයිබලය තෝරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව කතෝලික ජනතාව ව්‍යාකූලත්වයට පත් ව සිටිති. එබැවින් නිවැරදි ශුද්ධ ලියවිල්ල හෙවත් ශුද්ධ බයිබලය තෝරා ගැනීමට හැකිවන පරිදි මෙසේ ලියා දක්වමි.

⭕⭕ ජුදෙව් ශුද්ධවූ ලියවිල්ල ⭕⭕

🌹 ක්‍රිස්තියානි ආගම ජුදෙව් ආගමෙන් පැවත එන්නෙකි. එබැවින් ප්‍රථමයෙන් යුදෙව් ආගම අනුව ශුද්ධ ලියවිල්ල කුමක්දැයි වටහා ගනිමු. ( Old Testament - පුරාණ ගිවිසුම) ජුදෙව් ආගම ඔවුන්ගේ  ශුද්ධ ලියවිල්ල "ටනාක්" (Tanach) වේ. එයට " ටෝරා " ( Torah) හෙවත් නීතිය පිළිබඳ ඉගැන්වීම් ඇතුලත්ය. එය බොහෝවිට " පංච පුස්තකය " ලෙස ද හැඳින්වේ. (Penatapeuh) පංච පුස්තකයට  උත්පත්ති පොත , නික්මයාම පොත , ලෙවී ව්‍යවස්ථාව , ගණන් කතාව හා ද්විතීය නීති සංග්‍රහය ඇතුළත්ය. (Torah) මෙම පොත් පහ හැර වෙනත් පොත් 34 ක් හීබෲ බයිබලයට අදාළ ය . ඒ අනුව හීබෲ බයිබලයෙහි සම්ප්‍රදායිකව ඇති පොත් ගණන 39 කි.

⭕⭕ බයිබලීය වෙනස්කම් (OT - පැරණි ගිවිසුම ) ⭕⭕

🌹එනමුත් කතෝලික බයිබලයේ (OT) අන්තර්ගත එහෙත් ජුදෙව් ආගමේ අය පිළිනොගන්නා තවත් පොත් හතක් ඇත. මේවා ද්විතීය සම්මත ග්‍රන්ථ ලෙස හැඳින්වේ. (Deutero-Canonical) එසේම මෙම ග්‍රන්ථ ජුදෙව් ජාතිකයන් විසින් පිළි නොගැනීමට හේතු වන සාධක කිහිපයකි.

1) ප්‍රධාන ලෙස මෙම ග්‍රන්ථවලින් නව ගිවිසුමේ පොත් ක්‍රිස්තුන්වහන්සේගෙන් පසුව හීබෲ භාෂාවෙන් හැර වෙනත් භාෂාවලින් ලිවීම.

2) එසේම ජුදෙව් ආගම ක්‍රිස්තුන්වහන්සේ විසින් ස්ථාපිත කළ ක්‍රිස්තියානි ආගමෙන් වෙනස් කොට දැක්වීමට ය.

3) තවද ක්‍රිස්තුන් වහන්සේව ජුදයන් විසින් දේව පුත්‍රයා ලෙස පිළිනොගැනීම නිසා ක්‍රිස්තුන්වහන්සේ ගැන ලියවිලි පිළි නොගැනීමට ද ඔවුන් පෙළඹේ.

🌹 ද්විතීය සම්මත ග්‍රන්ථ වන තෝබිත් , ජුඩිත් සලමොන්ගේ ප්‍රඥාව , උපදේශකයා හෙවත් සිරාක් , බාරුක් ,  දානියෙල් , මකබිවරු (1,2) ආදී ග්‍රන්ථයන් ජුදෙව් ජාතිකයන් විසින් පිළි නොගනිති. සමහර සභාවන් මෙන්ම මූලධර්මවාදීන් ද ඒවා පිළිනොගන්නේ නම් යුදෙව් ජනතාව පිලිනොගන්නා නව ගිවිසුමේ අන්තර්ගත ග්‍රන්ථ ද පිළිගැනීමට ඔවුනට අයිතියක් නැත.

🌹 ජුදෙව්  ජනතාව විසින් ඉහත සඳහන් ග්‍රන්ථ පිළිනොගැනීමට හේතු අපි විස්තර කළෙමු. එම හේතූන්ට අමතරව අනෙක් හේතුව නම් ද්විතීය සම්මත ග්‍රන්ථ ඇරමයික් හෝ  හිබෲ භාෂාවෙන්  නොලිවීමයි. එසේම නව ගිවිසුමේ ග්‍රන්ථ ද හීබෲ භාෂාවෙන් පමණක් නොව ග්‍රීක භාෂාවෙන් ද ලියා ඇත. එබැවින් ද්විතීය නීති සංග්‍රහය පිළිනොගන්නා ක්‍රිස්තියානි සභා එම ග්‍රන්ථ පිළිනොගන්නේ ඇයි?

🌹 New World Translation හෙවත් යෙහෝවා සාක්ෂිකරුවන් විසින් භාවිත කරන බයිබලය කතෝලික බයිබලයට වඩා බොහෝ වෙනස්කම් සහ විකෘතිවීම් පවතී.

උදාහරණ :- දෙවියන් වහන්සේ වෙනුවට යෙහෝවාවහන්සේ ලෙස භාවිත කිරීම .

🌹එවැනි බොහෝ විකෘතිතාවයන් වෙනස් කිරීම් බොහොමයක් එම බයිබලයේ ඇත. එපමණක් නොව විවිධ කණ්ඩායම් සහ සභාවන් තම තමන්ට අවශ්‍ය ආකාරයට සහ ගැලපෙන ආකාරයට මූලික ශුද්ධ වූ බයිබලය වෙනස් කොට ඒ පිළිබඳව තර්කයන් ඉදිරිපත් කරමින් ඒ ගැන සාධාරණීකරණය කර ඇත.

⭕⭕ සැබෑ කතෝලික බයිබලය ⭕⭕

🌹 ක්‍රි.ව 325 පළමුවෙනි නීසින් (Nicene) කවුන්සිලයෙන් පසුව ශුද්ධවූ සභාව විසින් ශුද්ධ වූ බයිබලයේ සම්මත ග්‍රන්ථ අනුමත කරන ලදී.  ඒ අනුව බයිබලය පිළිබඳව පැවති විවිධ වාද විවාද නිමකරමින් ,  ප්‍රථමවරට ක්‍රි.ව 325 දී ශුද්ධවූ කතෝලික සභාව විසින් අනුමත කළ ශුද්ධ වූ බයිබලය ප්‍රකාශයට පත් කරන ලදී . මේනිසා ඔබට දක්නට ලැබෙන පැරණිම සහ නිවැරදිම ශුද්ධ වූ බයිබලය පවතින්නේ කතෝලික සභාව සතුවය .

⭕⭕ බයිබල් වෙනස් කිරීම. ⭕⭕

🌹 කතෝලික සභාවෙන් කැඩී බිඳී ගිය ලුතරන් සභාව සහ රෙපරමාදු සභාව , කතෝලික සභාවෙන් වෙනස් වීම සඳහා බයිබලයේ එන ද්විතීය සම්මත ග්‍රන්ථ අතහැර , තම තමන්ගේ සභාවල මතවාදයන්ට ගැලපෙන අයුරින් බයිබලය මුද්‍රණය කරන්නට පටන් ගත්හ . මේ සියල්ලම ආරම්භ වූයේ ශුද්ධවූ කතෝලික සභාව වර්ෂ 1500 ක් තිස්සේ දිවිහිමියෙන් රැකගෙන ආ ශුද්ධවූ බයිබලයට විරුද්ධවය .

⭕⭕ නව සභා මගින් පැරණි කතෝලික බයිබලය විකෘති කිරීම ⭕⭕

🌹 මෙම විකෘති කිරීම් වලට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුනට කියා නිසි අනන්‍යතාවක් නොමැතිවීමත් , ඉපැරණි සම්ප්‍රදායයන් රැකගෙන ආ කතෝලික බයිබලය පිළිගැනීම සහ භාවිත කිරීම ඔවුනට මදිකමක් වීමත්ය. සියලු සභා සහ විකෘති කිරීම් ඇතිවූයේ ක්‍රිස්තු වර්ෂ 1500 න් පසුවය. මේ නිසා වර්ෂ 1500 ක් තිස්සේ කතෝලික ශුද්ධ වූ බයිබලය ප්‍රාණය මෙන් ආරක්ෂා කරගනිමින්  ඒ සඳහා ඒ සඳහා අධිරාජ්‍යයන්ගේ විරෝධතා මැද රැකගෙන ඉදිරියට ගෙනාවේ කතෝලිකයන් මිස අන්  කවරෙකු නොවන බව ඔවුනට මතක් කර දිය යුතුය.

මේ නිසා කතෝලික අප පිළිගත යුතු ශුද්ධවූ බයිබලය හෙවත්  ශුද්ධ ලියවිල්ල වන්නේ එහි ඉගැන්වීම් පුරාණයේ සිට  සම්ප්‍රදායෙන් රැකගන්නා ශුද්ධවූ කතෝලික බයිබලයයි. එසේ නොමැතිව විවිධ පාස්ටර්ලාගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වෙනස්කම්කොට මුද්‍රණය කරන ලද  බයිබලය නොවේ.

✍️  ශාස්ත්‍රපති , ගරු . කෙනඩි පෙරේරා පියතුමා

ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව