පූප හා මිදි යුශ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධීරය බවට පරිවර්තනය වීම - ඉතිහාසය

පූප හා මිදි යුශ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධීරය බවට පරිවර්තනය වීම - ඉතිහාසය
Photo by James Coleman / Unsplash

කතෝලික සභා ඉගැන්වීමට අනුව Transubstantiation යනු ,"පූප වල සාරය(Substance) ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බවට හා මිදි යුශෙගි සාරය(Substance) ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධීරය බවට පත්වීමයි.මෙම සිදුවීම සිදුවන්නේ දිව්‍ය සත්ප්‍රසාදීය යාච්ඤාව තුළින් , ක්‍රිස්තුස් වහන්සේගේ වචනයේ බලයෙන් හා ශුද්ධාත්මයානන් වහන්සේගේ ක්‍රියාවන් තුළින්‍ ය.කෙසේනමුත් පූප හා මිදියුශවල බාහිර ලක්ශණවල කිසිදු වෙනසක් නොවේ."(කතෝලික සභා ධර්මෝපදේශ සංග්‍රහය[Compendium of the Catechism of the Catholic Church]).සාරාංශ වශයෙන් කතෝලික සභාව උගන්වන්නේ පූප හා මිදියුශ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා රුධීරය බවට පත්වන බවටයි.මෙම ඉගැන්වීම තව දුරටත් සහතික කරමින් ක්‍රි.ව.1215 දී ලතරානු මන්ත්‍රණ සභාව තුළදී "transubstantiate" වචනය යොදා ගනිමින් සභා ඉගැන්වීම තවදුරටත් පැහැදිලි කළේය.ඕර්තඩොක්ස් හා ඇන්ග්ලිකන් සභාවන් තුළද ඇත්තේ මීට සමානම දිව්‍ය සත්ප්‍රසාදීය ඉගැන්වීම් ය.

දිව්‍ය සත්ප්‍රසාදය සැමරීමේදී භාවිතා කරන ලද අංග ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට හා රුධිරයට වෙනස් වූ බවට මුල් සියවස්වල සිටම සභාව තුළ ඉගැන්විය. එය පැහැදිලි කිරීම සදහා "trans-elementation/transformation" ආදී වචන භාවිතයට ගැනිනි.(Philip Schaff: NPNF2-05. Gregory of Nyssa: Dogmatic Treatises, Etc).එමෙන්ම විශේෂම කරුණක් වන්නේ අගොස්තීනු තුමන් සදහන් කරන දෙයයි,"සියලුම පූප නොව, නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ ආශිර්වාදය ලබන දෙය පමණක් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය බවට පත්වේ"(Sermon 234)යනුවෙන් කරන සදහන් කිරීමයි.මෙය Transubstantiation වචනය පටබැදීමට පෙරසිටම ඉගැන්වීම සභාව තුළ පැවති බවට තිබෙන විශේෂ සාක්ශියකි.Transubstantiation වචනය භාවිතය ආරම්භ වූයේ ක්‍රි.ව.11 වන සියවසේ පමණ පටන් ය.පසුකාලීනව ඇරිස්ටෝටලියානු පාරභෞතික විද්‍යාත්මක නියමයන් යොදාගනිමින් කතෝලික දේවධර්මාචාර්‍යවරුන් දිව්‍ය සත්ප්‍රසාදීය සංකල්පය පැහැදිලි කිරීමට උත්සහා දැරීය.(ප්‍රධාන වශයෙන් සභා දේවධර්මාචාර්‍යවරයෙකු[Doctor of Church] වන තෝමස් ඇක්වයිනස් තුමන්).ඔවුන් ඇරිස්ටෝටලියානු පාරභෞතික විද්‍යාත්මක මූලධර්මයන් යොදා ගෙන පැහැදිලි කළේ මුලදී පෙන්වා දුන් කතෝලික සභාව තුළ ආරම්භයේ සිටම තිබූ ඉගැන්වීම් ය.මෙය පිළිබදව නිවැරැදි දැනුවත්කමක් නොමැති හෙයින් ප්‍රොතෙස්තන්ත්‍ර බොහෝ දෙනා Transubstantiation ඉගැන්වීම මිත්‍යාද්‍රශ්ටික මූලයන් තුළින් එන බවට ප්‍රකාශ කිරීමට පෙළබ ඇත.

සභාපිය අවධිය

මුල් ක්‍රිස්තියානි ලේඛකයන් දිව්‍ය සත්ප්‍රසාදීය මූලද්‍රව්‍යයන්(පූප/මිදියුශ) හැඳින්වූයේ ජේසුස් වහන්සේගේ ශරීරය සහ රුධිරය ලෙසිනි.

"අප වෙත පැමිණි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය පිළිබඳව විෂම මත දරන්නන් සැලකිල්ලට ගන්න, ඔවුන්ගේ අදහස් දෙවියන් වහන්සේගේ මනසට කෙතරම් පටහැනිදැයි බලන්න..ඔවුන් දිව්‍ය පූජාවෙන් හා යාඥාවෙන් වැළකී සිටින්නේ දිව්‍ය සත්ප්‍රසාදය අපගේ ගැලවුම්කරු වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසය බවත්, අපගේ පාපයන් නිසා දුක් විඳ එම පියාණන්වහන්සේගේ යහපත්කමෙන් නැවත නැඟිටුවනු ලැබූ බවත් ඔවුන් පාපොච්චාරණය නොකරන බැවිනි.  දෙවියන් වහන්සේගේ දීමනාව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුන්ගේ ආරවුල්වලින් විනාශ වෙති"(අන්තියෝකියේ ඉග්නේශස් තුමන් [සමර්ණාවරුන්ට ලිපිය 6:2-7:1] ක්‍රි.ව.110)
"ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේගෙන් නොව වෙනත් කෙනෙකුගෙන් නම්, ඔහු අපේ මැවිල්ලේම රොටි ගෙන එය ඔහුගේ ශරීරය බව පාපොච්චාරණය කර කුසලානයේ ඇති මිශ්‍රණය ඔහුගේ රුධිරය බව තහවුරු කරන්නේ කෙසේද?" (ලියෝන් හී ඉරනේයස් තුමන් [මිථ්‍යාචාරවලට එරෙහිව 4:33-32]ක්‍රි.ව. 189)

නව ගිවිසුමෙන් පිටත පැරණිම ක්‍රිස්තියානි ලේඛනය ලෙස සැලකෙන ඩ්ඩාකේ ලේඛනය තුළ මෙසේ සදහන් වේ,"ඔවුන් සමිඳාණන් වහන්සේගේ නාමයට බව්තීස්ම වී නොමැති නම්, කිසිවෙකු ඔබේ දිව්‍ය සත්ප්‍රසාදීය පූජාවෙන් කන්නේ හෝ බොන්නේ නැත.  මක්නිසාද සමිඳාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් ද, ‘ශුද්ධ දේ බල්ලන්ට දෙන්න එපා’ කියා වදාළ සේක."

අන්තියෝකියේ ඉග්නේෂස් තුමන්, ක්‍රි.ව. 106 දී පමණ රෝම ක්‍රිස්තියානීන්ට ලියමින් මෙසේ පවසයි: "මම දෙවියන් වහන්සේගේ ස්වර්ගීය,ජීවනයේ පූපයට, එනම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ හා පසුකාලීනව දාවිත් සහ ආබ්‍රහම්ගේ වංශය බීජය වූ මාංසයට කැමැත්තෙමි.මම දෙවියන්වහන්සේගේ පානයට කැමැත්තෙමි, එනම් උන්වහන්සේගේ රුධිරය, එනම් එය නොදිරන ප්‍රේමය සහ සදාකාල ජීවනයයි."

එම වසරේම ස්මර්ණා හි කිතුනුවන්ට ලියමින්, ඔහු ඔවුන්ට අනතුරු ඇඟවූයේ "එවැනි මිථ්‍යාදෘෂ්ටිකයින්ගෙන් ඈත් වී සිටින ලෙස", මන්ද, වෙනත් හේතූන් අතර, ඔවුන් දිව්‍ය සත්ප්‍රසාදයෙන් හා යාඥාවෙන් වැළකී සිටින්නේ, ඔවුන් දිව්‍ය සත්ප්‍රසාදය මාංසය නොවන බව පිළිගන්නා බැවිනි.  අපගේ පව් උදෙසා දුක් වින්ද අපගේ ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සහ පියාණන් වහන්සේ තම යහපත්කමෙන් නැවත නැඟිටුවනු ලැබූ බව නොපිළිගත් බැවිනි.

"අප වෙත පැමිණි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය පිළිබඳව විෂම මත දරන්නන් සැලකිල්ලට ගන්න, ඔවුන්ගේ අදහස් දෙවියන් වහන්සේගේ මනසට කෙතරම් පටහැනිදැයි බලන්න..ඔවුන් දිව්‍ය පූජාවෙන් හා යාඥාවෙන් වැළකී සිටින්නේ දිව්‍ය සත්ප්‍රසාදය අපගේ ගැලවුම්කරු වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසය බවත්, අපගේ පාපයන් නිසා දුක් විඳ එම පියාණන්වහන්සේගේ යහපත්කමෙන් නැවත නැඟිටුවනු ලැබූ බවත් ඔවුන් පාපොච්චාරණය නොකරන බැවිනි.  දෙවියන් වහන්සේගේ දීමනාව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුන්ගේ ආරවුල්වලින් විනාශ වෙති"(අන්තියෝකියේ ඉග්නේශස් තුමන් [සමර්ණාවරුන්ට ලිපිය 6:2-7:1] ක්‍රි.ව.110)

ක්‍රි.ව.150 දී පමණ,ප්‍රාණපරිත්‍යාගී ජස්ටින් තුමන්, දිව්‍ය සත්ප්‍රසාදීය පූජාව ගැන සඳහන් කරමින් මෙසේ ලිවීය: "අපට මේවා ලැබෙන්නේ සාමාන්‍ය පූප සහ සාමාන්‍ය මිදියුශ ලෙස නොවේ; නමුත් ඒ ආකාරයෙන්ම අපගේ ගැලවුම්කරු වන ජේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේගේ වචනයෙන් මාංසය කර ඇත.එලෙසම අපට උගන්වා ඇත්තේ ගැලවීම සදහා ලබා දුන් මාංශය හා රුධීරය උන්වහන්සේගේ වචනයේ යාච්ඤාවෙන් ආශීර්වාද ලබන, රුධිරය හා මාංශයට පරිවර්තනයෙන් අප පෝෂණය වන, මාංශයක් බවට පත් වූ ජේසුස් වහන්සේගේ මාංසය සහ රුධිරය බවයි."

අගොස්තීනු තුමන් ප්‍රකාශ කරන්නේ දිව්‍ය පූජාවේ දී කැප කරන ලද පූප සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බවට පත් වන බවයි: "විශ්වාසවන්තයෝ මා කතා කරන දේ දනී; ඔවුන් පූප කැඩීමේදී ක්‍රිස්තුස් වහන්සේව හඳුනති. එය සෑම පූපයක්ම නොවේ,නමුත්  යමෙක් ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදය ලබනවා නම්, එය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය බවට පත්වේ."

එමෙන්ම ටර්ටූලියන් තුමන්,අම්බ්‍රෝස් තුමන් ඇතුළු තවත් සභා පියවරුන් පූප හා මිදි යුශ තුළ ජේසුස් වහන්සේගේ වැඩසිටීම පැහැදිලි කළේය.

දිව්‍ය සත්ප්‍රසාදය සිහිකිරීමක් හෝ සංකේතයක්ද?

ඔව්,දිව්‍ය සත්ප්‍රසාදය සංකේතයක් පමණද?කොහෙත්ම නැත.බොහෝ ප්‍රොතෙස්තන්ත්‍ර නිකායන් පිළිගන්නා සේ කතෝලික සභාව ,දිව්‍ය සත්ප්‍රසාදය සංකේතයක් පමණක් බව පිළිනොගනී.මන්ද එය අපෝස්තලික ඉගැන්වීමට පටහැනිය.

ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව තුළ මෙසේ සදහන් කරයි,"මෙල්කිසදෙක්ගේ නියෝගයට අනුව තමන් සදහටම පූජකයෙකු බවට පත් වූ බව ප්‍රකාශ කරමින්, ඔහු රොටි සහ වයින් වර්ගය යටතේ තම ශරීරය සහ රුධිරය පියාණන් වන දෙවියන් වහන්සේට පූජා කළේය.  සහ,එම දේවල සංකේත යටතේ,ඔහු ඔහුගේ ශරීරය සහ රුධිරය ඔහුගේ ප්‍රේරිතයන් විසින් පිළිගැනීමට භාර දුන්නේය, පසුව ඔහු ඔවුන්ව නව ගිවිසුමේ පූජකයන් බවට පත් කළේය;ඒ වචනවලින්, මා සිහි කිරීම සඳහා මෙය කරන්න, ඔහු ඔවුන්ට සහ පූජකත්වයේ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ට පූජා කරන ලෙස අණ කළේය.කතෝලික සභාව සැමවිටම තේරුම් ගෙන උගන්වා ඇත්තේ මෙපරිදිය."(The Council of Trent, Session 22, Chapter 1)

එමෙන්ම ඇලෙක්සැන්ඩ්‍රියාවෙ ක්ලෙමන්ට් තුමන්,පැහැදිලිවම පූප හා මිදි යුශ පරිවර්තන වන බව පැවසූ අගොස්තීනු තුමන්,ඇරිස්ටෝටලියානු පාරභෞතික විද්‍යාත්මක මූලධර්මයන් මගින් දිව්‍ය සත්ප්‍රසාදීය සංකල්පය පැහැදිලි කළ තෝමස් ඇක්වයිනස් තුමන් පවා දිව්‍ය සත්ප්‍රසාදය සංකේතයක්(figurative/signs/symbolic)බව ප්‍රකාශ කළේය.නමුත් ඔවුන් ප්‍රොතෙස්තන්ත්‍ර දේවධර්ම තුළින් වෙන් වන්නේ ඔවුන්,දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හුදෙක්ම සංකේතයක් හෝ සිහිකිරීමක් පමණක් බව නොපැවසීමයි.එය ඉහත උදාහරණය මගින් මනාව පැහැදිලි වේ.

මුල් කිතුණු සභාව තුළ සභාවේ එකමුතු කම පෙන්වූ ප්‍රධානම අංගයක් වූයේ දිව්‍ය සත්ප්‍රසාදයයි.එමෙන්ම ප්‍රොතෙස්තන්ත්‍ර දහමේ ඒකත්වය බිදීමට හේතු වූ කරුණ වූයේද දිව්‍ය සත්ප්‍රසාදයයි.ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණය පුරාම නිසි අපෝස්තලික ඉගැන්වීමට පටහැනි වූයෙන් ප්‍රොතෙස්තන්ත්‍ර පුරොගාමීන් දිව්‍ය සත්ප්‍රසාදීය ඉගැන්වීම සමග පොරබැදීය.එහි ප්‍රතිඵලයක් වශයෙන් මාටින් ලූතර් එක් දිව්‍ය සත්ප්‍රසාදීය ඉගැන්වීමක්ද , ස්වින්ග්ලි තවත් ඉගැන්වීමක් ද , කැල්වින් දෙදෙනාටම වඩා වෙනස් ඉගැන්වීමක්ද ඉගැන්විය.

සාරාංශය

කතෝලිකයන් පවා මුල් කිතුණුවන් ඉගැවූවා සේම දිව්‍ය සත්ප්‍රසාදය උන්වහන්සේගේ ශරීරය,සංකේතයක්,සිහිකිරීමක් ඇතුළු සියලු දිව්‍ය සත්ප්‍රසාදයේ ලක්ශණ පිළිගනී.ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් තේරුම් යන්නේ Transubstantiation යනු ජුදෙව් මූලයන් සහිත ඉගැන්වීමක් මිසක් කිසිදු මිත්‍යාද්‍රශ්ටික මූලයන් ඇති ඉගැන්වීමක් නොවන බවයි.