මා ඕතඩොක්ස් සභාවන් වල කිතුනුවෙකු බවට පත් නොවූයේ ඇයි?

බාහිර ලක්ෂණ අතින් ගත් කළ කතෝලික සභාවට වඩාත්ම සමානම වන්නේ ඇන්ග්ලිකන් සභාවයි. නමුත් අභ්‍යන්තරික ලක්ෂණ පිළිබඳව සැලකූ විට කතෝලික සභාවට වඩාත්ම සමානම වන්නේ ඕතඩොක්ස් සභාවන්ය.බොහෝ අවස්ථාවලදී කතෝලිකයන් හා ඕතඩොක්ස් කිතුනුවන් අතර ඇත්තේ වචන පිළිබඳව වාදයකි.

මා ඕතඩොක්ස් සභාවන් වල කිතුනුවෙකු බවට පත් නොවූයේ ඇයි?
Photo by Julia Tsukurova / Unsplash

බාහිර ලක්ෂණ අතින් ගත් කළ කතෝලික සභාවට වඩාත්ම සමානම වන්නේ ඇන්ග්ලිකන් සභාවයි. නමුත් අභ්‍යන්තරික ලක්ෂණ පිළිබඳව සැලකූ විට කතෝලික සභාවට වඩාත්ම සමානම වන්නේ ඕතඩොක්ස් සභාවන්ය.බොහෝ අවස්ථාවලදී කතෝලිකයන් හා ඕතඩොක්ස් කිතුනුවන් අතර ඇත්තේ වචන පිළිබඳව වාදයකි.උදාහරණයක් ලෙස කතෝලික සභාව මරණින් පසුව දුක් විඳින සභාවක් ජීවත් වන ශුද්ධගිනිස්ථානයක් ගැන විශ්වාස කරන අතර ඕතඩොක්ස් කිතුනුවන් එවැනි ස්ථානයක් ගැන විශ්වාස නොකරති.නමුත් ඔහුන් කතෝලික අප සිදු කරනා ආකාරයටම මළාවුන් වෙනුවෙන් යාච්ඤා කරති.මරණින් පසු ඇත්තේ ස්වර්ගය සහ අපාය පමණක් නම් ඕතඩොක්ස් කිතුනුවන් මළාවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නේ ඇයි? මක්නිසාදයත් "ශුද්ධගිනිස්ථානය" යන වචනය භාවිත නොකළද මරණයෙන් පසුව ශුද්ධගිනිස්ථානය මෙන් අපගේ යාච්ඤා මත පදනම්ව මිනිස්සුන්ගේ ඉරණම තීරණය වන ස්ථානයක් ඇති බව ඔවුන්ද විශ්වාස කරති.

කෙසේ නමුත් බොහෝ ඕතඩොක්ස් කිතුනුවන් විශ්වාස කරන්නේ මරණින් පසු ස්වර්ගයත් අපායත් අතර කඩවත් ද්වාර ( toll houses ) කිහිපයක් ඇති බවයි.මෙම ද්වාර පසුකර ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම සඳහා මළාවුන්ට අපේ යාච්ඤා අවශ්‍යය වන බව ඔවුන් පවසති.නමුත් මෙය නිල ඕතඩොක්ස් ඉගැන්වීමක් නොවේ.එලෙසම බොහෝ දේවධර්මවේදීන් මෙම ඉගැන්වීමේ ඓතිහාසික බව හා නිරවද්‍යතාවය පිළිබඳව සැක පළ කරති.මන්ද මෙයට අනුව මෙම කඩවත් ද්වාර පාලනය කරන්නේ යක්ෂයන් විසින්ය.එහිදී යමෙකු මෙම ද්වාර පසුකර ඉදිරියට ගමන් කිරීමට නම් යක්ෂයන් විසින් ඉදිරිපත් කරන පරීක්ෂණයන්ගෙන් ජයගත යුතුය.එහිදී යක්ෂයන් විසින් දෙවියන් වහන්සේට විරුද්ධව මිනිසුන්ට කළ හැකි පව් ලැයිස්තුවක් කියවන අතර කඩවත් ද්වාරය පසු කිරීමට තැත් කරන පුද්ගලයා එම ලැයිස්තුවේ සඳහන් පව් වලට වැරදිකරුවෙකු වනවා නම් එම පුද්ගලයාව එතැනින් අපායට තල්ලු කිරීමේ බලය යක්ෂයාට ඇති බව පැවසේ.නමුත් දේවධර්මවේදීන් මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් තම සැකය පළ කරති.ඉන් පළමුවැන්න නම් මරණයෙන් පසුව අපව විනිශ්චය කිරීමට යක්ෂයාට බලය ලැබුනේ කෙලෙසඳ යන්නය. මක්නිසාද දේව වචනයට අනුව මරණයෙන් පසුව අපව විනිශ්චය කිරීමේ සම්පූර්ණ බලය ලැබී ඇත්තේ සහ එය සිදු කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ පමණයි.සැකයට තුඩු දෙන අනෙක් කරුණ වන්නේ මෙම ඉගැන්වීම තුළ ක්‍රිස්තුස් වහන්සේ විසින් අපට පොරොන්දු වී ඇති පාප වලට ක්ෂමාව හා උන්වහන්සේගේ දේව දයාව ගැන කිසිවක් සඳහන් නොවීමයි.

එලෙසම කතෝලික සභාව හා ඕතඩොක්ස් සභාවන් අතර ඇති සමීප සබඳතාවය පිළිබඳව කතෝලික සභා ධර්මෝපදේශයේ මෙලෙස සඳහන් වේ;

ප්‍රසාධ ස්නාපනය ලබා "ක්‍රිස්තියානි" නමින් ගරු කරනු ලබන නමුත් කතෝලික විශ්වාසය සම්පූර්ණ ලෙස ප්‍රකාශ නොකරන, පේදුරු තුමාගේ ඇවෑමෙන් එම පදවියට පත් වූවන් සමඟ ඒකත්වය රක්ෂා නොකරන පිරිස විවිධ අයුරින් සම්බන්ධ වී සිටින බව, ශුද්ධවූ සභාව අමතක නොකරයි.ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන, නියමාකාරයෙන් ප්‍රසාධ ස්නාපනය ලැබූවෝ අසම්පූර්ණ ලෙස වූවත් කතෝලික සභාව සමඟ එකමුතු වී සිටිති. ඕතඩොක්ස් සභාව සමඟ සම්බන්ධය ඉතාමත් ගැඹුරුය.එක්ව දිව්‍ය භෝජනය සැමරීමට ඇති බාධා ඉතා අල්පය. - ක.ස.ධ.838

කතෝලික සභාව විසින් ඕතඩොක්ස් සභාවන් සමඟ සම්පූර්ණ එකමුතු වීමක් ( full communion ) ඇති කර නොගන්නේ ඇයි? ඊට හේතුව වන්නේ ඕතඩොක්ස් සභාවන් තුළ සත්‍යය විශ්වාසයේ පූර්ණත්වය නොමැති බව කතෝලික සභාව විසින් නිරීක්ෂණය කිරීමයි.ඕතඩොක්ස් සභාවන් තුළ සත්‍යය විශ්වාසයේ පූර්ණත්වය නොමැති බව පිළිඹිඹු කරන කරුණු මොනවාද? ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට නම් අපි ප්‍රථමයෙන් පෙර අපර දෙදිග මහා සභා භේදය පිළිබඳව දැනගෙන සිටිය යුතුය.ක්‍රිස්තු වර්ෂ 09 වැනි සියවස පමණ වනවිට බටහිර අධිරාජ්‍යය බිඳවැටීමට පටන් ගත්තේය.නැගෙනහිර කතෝලික සභාවද ඉස්ලාම් ආක්‍රමණ වල තර්ජනයන්ට මුහුණ දෙමින් සිටියහ.මෙවැනි දේශපාලනික හේතූන් මත කොන්ස්තන්තිනෝපල හා රෝමය අතර විවිධ ආතතීන් හා සැකයන් උත්සන්න වෙමින් පැවතිණි.එහි උච්චතම අවස්ථාව වූයේ කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘතුමා විසින් කතෝලික සභාවෙන් වෙන්වී ක්‍රි.ව.1054 දී නව සභාවක්, එනම් පෙරදිග ඕතඩොක්ස් සභාවක් පිහිටුවා ගැනීමට මූලික අඩිතාලම දැමීමයි.මෙම භේදය ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මුල් කරගෙන සිදුවිය.එනම්;

(01) පිලියෝක්වේ ඝට්ටනය;

නයිසෙන් විශ්වාස ලක්ෂණයට ( ක්‍රි.ව.325 ) අනුව එහි ග්‍රීක පිටපතෙහි ශුද්ධාත්මයාණන් වහන්සේව ලැබී ඇති බවට සඳහන් වී තිබුණේ පියාණන් වහන්සේ වෙතින්ය.නමුත් ක්‍රි.ව.06 වන සියවසේ පමණ සිට බටහිර කතෝලිකයන් අතර ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන්ද වූ බවට විශ්වාසයක් පැවතුණි.මෙම මතභේදය නිරාකරණය කරමින් කතෝලික සභාව විසින් "පිලියෝක්වේ" ( Filioque ) යන ලතින් වචනය නයිසෙන් විශ්වාස ලක්ෂණයට එකතු කරමින් නයිසෙන් විශ්වාස ලක්ෂණය වෙනස් කළාය.එම ලතින් වචනයේ අර්ථය වූයේ "සහ පුත්‍රයාණන් වහන්සේගෙන්ද" යන්නයි.නමුත් කොන්ස්තන්තිනෝපලයේ දෙවැනි පාවුළු ආදිපිතෘවරයාගේ ( ක්‍රි.ව.642–653 ) කාලයේ පටන් දිගින් දිගටම කොන්ස්තන්තිනෝපලයේ කතෝලික ආදිපිතෘවරුන් විසින් මෙම වෙනස් කිරීමට එරෙහිව තම විරෝධය පළ කළෝය.ආරම්භයේ සිටම ඉන් ඇතැම් ආදිපිතෘවරුන්ව රෝමයේ රදගුරුතුමා විසින් කතෝලික සභාවෙන් නෙරපා හැරියේය.කෙසේ හෝ අවසානයේදී ක්‍රි.ව.10 වන සියවස පමණ වනවිට පිලියෝක්වේ ඝට්ටනය බොහෝ දුරට අවසාන වී තිබුණි.එයට හේතුව වූයේ ක්‍රි.ව.09 වන සියවසේ අගභාගය පමණ වනවිට නයිසෙන් විශ්වාස ලක්ෂණය වෙනස් කිරීමට එරෙහිව තම විරෝධය පවා දක්වමින් සිටි කොන්ස්තන්තිනෝපලයේ කතෝලික ආදිපිතෘවරයා වූ පළමුවන ෆෝටියුස් තුමන් විසින් බටහිර කතෝලිකයන්ට එරෙහිව ඉදිරිපත් කළ තමන්ගේ චෝදනා සියල්ල ඉල්ලා අස්කර ගත් බැවිනි.එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර හා නැගෙනහිර කතෝලික සභාවන් අතර නැවත එකමුතු භාවයක් ගොඩනැගුනි.කෙසේ නමුත් කොන්ස්තන්තිනෝපලය හා රෝමය අතර දිගින් දිගටම තිබූ දේශපාලනික ආතතීන් විසින් මෙම ඝට්ටනයට අවසානයකට ළඟා වීමට ඉඩක් ලබා නොදී එය නැවත නැවතත් ඉස්මතු කළෝය.

නයිසෙන් විශ්වාස ලක්ෂණයට යමක් එකතු කරමින් එය වෙනස් කිරීමකට ලක් කිරීම කතෝලික සභාවට කළ නොහැකි හෝ තහනම්ව පවතින දෙයක් නොවේ. මක්නිසාද නයිසෙන් විශ්වාස ලක්ෂණයට පෙර පැවතියේ අපෝස්තුළුවරුන්ගේ විශ්වාස ලක්ෂණයයි. කතෝලික වේද විශ්වාසයන්ට එරෙහිව නැඟුණු මිත්‍යාදෘෂ්ටීන්ට ප්‍රතිචාර දැක්වීමේදී අපෝස්තුළුවරුන්ගේ විශ්වාස ලක්ෂණය ප්‍රමාණවත් නොවූ නිසාවෙන් නයිසෙන් විශ්වාස ලක්ෂණය බිහිවිය.මෙලෙස යුගයෙන් යුගයට සත්‍යය විශ්වාසයට පටහැනි මතභේදයන් ඉස්මතු වන විට අපගේ කතෝලික විශ්වාසයද තව තවත් වැඩි දියුණු වේ.ශුද්ධවූ සභාව කිසිදා විනාශ කළ නොහැකි බවත්, ශුද්ධවූ සභාවේ ඉගැන්වීම් වලට විරුද්ධව විවිධ දෑ ඉදිරිපත් වනවිට සිදුවනුයේ පැහැදිලි කිරීම් තව තවත් වැඩිවීම පමණක් බවත් මහා දේවධර්මවේදී ශුද්ධවූ තෝමස් ඇක්වයිනාස් මුනිතුමා විසින් පැවසුවේද මේ නිසයි.එලෙසම ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුණේ පියාණන් වහන්සේ වෙතින් පමණක් නොව පුත්‍රයාණන් වහන්සේ වෙතින්ද බව සනාථ කළ හැකි ශුද්ධවූ ලියවිලිමය පදනමක්ද අපට දැක ගත හැකිය;

මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. - ශු.ජොහන් 15:26
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක. - අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 02:33
තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, ''අබ්බා, පියාණෙනි,'' කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක. - ගලාති 04:06

(02) රෝමයේ රදගුරුතුමාගේ ප්‍රමුඛතාවය පිළිබඳ ඝට්ටනය;

මෙය පිලියෝක්වේ ඝට්ටනය හා සමඟම බැඳුණු ගැටුමකි.මෙය අවසන් වන්නේ ක්‍රි.ව.1054 දී රෝමයේ රදගුරුතුමා වූ නමවන ලියෝ පාප්වහන්සේ විසින් කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘවරයාව කතෝලික සභාවෙන් නෙරපීමෙන් හා කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘවරයා වූ මයිකල් සෙරුලාරියස් විසින් රෝමයේ රදගුරුතුමාව නෙරපීමෙන් ඕතඩොක්ස් සභාව ලෙස නව ක්‍රිස්තියානි කණ්ඩායමක් නිර්මාණය කර එහි මෙලොව නායකයා ලෙසට කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘවරයා පත්වීමෙන්ය.මෙහිදී මොහුන් පවසා සිටියේ රෝමයේ රදගුරුතුමාට සමාන අධිකාරි බලයක් සෑම රදගුරුවරයෙකුටම ඇති බවයි.එබැවින් කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘවරයාගේද අනුමැතියකින් තොරව නයිසෙන් විශ්වාස ලක්ෂණය වෙනස් කිරීමට බලයක් රෝමයට නැති බවට මෙම නව ක්‍රිස්තියානි කණ්ඩායම ප්‍රකාශ කළෝය.

තවද කුරුස යුද්ධයද බටහිර හා නැගෙනහිර අතර ඇතිවූ භේදය තව තවත් උත්සන්න කිරීමට විශාල හේතුවක් විය.ඇතැම් විට බටහිර කුරුස යුද්ධ භටයන් අතින් නැගෙනහිර පූජකයන්ට බොහෝ හිරිහැර සිදුවිය.ලතින් කුරුස යුද්ධ භටයන් අතින් නැගෙනහිර කන්‍යා සොහොයුරියන් දූෂණයට ලක්වූ අවස්ථාද වාර්තා වී තිබේ.එසේම පළමු කුරුස යුද්ධයේදී අන්තියෝකියේ ග්‍රීක ආදිපිතෘවරයාට උන්හිටි තැන් පවා නැතිවිය.කෙසේ නමුත් බටහිර හා නැගෙනහිර අතර ඇතිවූ මෙම මතභේදය හා වේදනාකාරී තුවාල සුව කිරීම සඳහා රෝමය විසින් කිතුනු මන්ත්‍රණ සභාවල් දෙකක් කැදවන ලදී.ඉන් එකක් ක්‍රි.ව.1274 දී ලියොන්හිදී හා අනෙක ක්‍රි.ව.1439 දී ෆ්ලොරෙන්ස්හිදීද පැවැත්වුනි.මේයට සහභාගී වීම සඳහා කොන්ස්තන්තිනෝපලයෙන්ද රදගුරුවරුන් හා දේවධර්මවේදීන් ප්‍රමුඛ ධූත කණ්ඩායම් සහභාගී වූ අතර මෙම මන්ත්‍රණ සභාවන් දෙකම හොඳ නැගෙනහිර නියෝජනයකින් සමන්විත විය.මෙම මන්ත්‍රණ සභාවන් වලදී පේදුරු අපෝස්තුළුවරයාගේ අනුප්‍රාප්තිකයා වූ රෝමයේ රදගුරුතුමා හෙවත් පාප්වහන්සේගේ අධිකාරි බලය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පාප්වහන්සේ අනෙකුත් රදගුරුවරුන් අතර අධිකාරිමය ප්‍රමුඛත්වයක් මෙන්ම විශේෂ ගෞරවයක්ද ලබන බව එකහෙළාම එහිදී පිළිගැනුනි.නමුත් නැගෙනහිරින් පැමිණි ධූත කණ්ඩායමට මෙම තීන්දු තිරණ නැවතත් තම තමන්ගේ ප්‍රදේශ වලට පිටත්වූ පසුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.මක්නිසාද එවකට පැවති දේශපාලනමය තත්ත්වය පිළිබඳව සළකා බැලීමේදී එය බයිසෙන්තියානු අධිරාජ්‍යයේ හදවත වූ කොන්ස්තන්තිනෝපලයට බටහිර රෝමානු රදගුරුතුමෙකුගේ කුමන හෝ මැදිහත්වීමක් එල්ල වීම දේශපාලනික වශයෙන් විශාල ආතතිමය තත්වයක් නිර්මාණය කළ දෙයක් වූ බැවිනි.

🕳️ රෝමයේ රදගුරුතුමාගේ ප්‍රමුඛතාවය ප්‍රතික්ෂේප කිරීම නිසා ඕතඩොක්ස් සභාවන්ට අහිමි වූයේ කුමක්ද?

කතෝලික සභාවෙන් වෙන්වී පාප්වහන්සේගේ අධිකාරි බලය ප්‍රතික්ෂේප කිරීම නිසා ඕතඩොක්ස් සභාව තුළ ප්‍රධාන වශයෙන් විශාල අඩුපාඩු දෙකක් නිර්මාණය විය.එනම්;

(01) නොවරදින සුළු බවේ කැරිස්මාව අහිමි වීම;

කතෝලික සභාව දෙවැනි වතිකානු මන්ත්‍රණ සභාව තරම් නූතන කිතුනු මන්ත්‍රණ සභාවන් පවත්වමින් ජේසුස් වහන්සේ වෙතින් ලැබී ඇති නොවරදින සුළු භාවයේ කැරිස්මාව යහමින් භුක්ති විදිමින් සිටියද සියවස් ගණනාවක් තිස්සේ එකදු කිතුනු මන්ත්‍රණ සභාවක් හෝ පැවැත්වීමට ඕතඩොක්ස් සභාවන් වලට නොහැකි වී ඇත.ඔහුන් තවමත් භුක්ති විඳින්නේ කතෝලික සභාවෙන් වෙන්ව යාමට පෙර පවත්වන ලද කිතුනු මන්ත්‍රණ සභාවන් වල නොවරදින සුළු භාවය පමණයි.මක්නිසාද යම් කිතුනු මන්ත්‍රණ සභාවක් නොවරදින සුළු ලෙස සැළකිය හැක්කේ පාප්වහන්සේ විසින් එම කිතුනු මන්ත්‍රණ සභාව නොවරදින සුළු යැයි හදුනාගතහොත් පමණකි.එබැවින් ඕතඩොක්ස් සභාවන් වලට කතෝලික සභාවෙන් වෙන්වී ගිය දින පටන් කිතුනු මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට නොහැකි වී ඇත.මේ නිසා ඇදහිල්ලට එරෙහිව පැන නැගෙන දුර්මත වලට ප්‍රතිචාර දැක්වීම සඳහා කිසිදු නිල ලත් ක්‍රමයක් ඕතඩොක්ස් සභාවන් තුළ නැත.ප්‍රසිද්ධ ඕතඩොක්ස් දේවධර්ම වේදියෙකු වන කැලිස්ටෝස් වෙයාර් විසින් ඕතඩොක්ස් සභාවන් තුළ ඇති මෙම නොහැකියාව අපට තව තවත් තහවුරු කරන්නේ, කිතුනු මන්ත්‍රණ සභාවක් කැදවීමට හා එහිදී තීන්දු තිරණ වලට එකඟ වීමට කිසිදු ප්‍රායෝගික ක්‍රමවේදයක් ඕතඩොක්ස් සභාව සතුව නොපවතින බව සඳහන් කරමින්ය ( The Orthodox Church, Penguin Books, 255–8).මෙය ඕතඩොක්ස් සභාවන් සත්‍යය විශ්වාසයේ පූර්ණත්වය නොවන බව අප සැමට තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි.

(02) ඒකත්වය හා කතෝලිකත්වය අහිමි වීම;

කතෝලික සභාව මෙන්ම ඕතඩොක්ස් සභාවද නයිසෙන් විශ්වාස ලක්ෂණය පිළිගනිති.නයිසෙන් විශ්වාසයට අනුව ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කළ සභාව වූයේ, "එකම ශුද්ධවූ කතෝලික අපෝස්තලික සභාව"ය.ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ශුද්ධ යැයි පවසන්නේ එය අති පාරිශුද්ධ වූ ක්‍රිස්තුස් වහන්සේ විසින් ආරම්භ කළ නිසාත් මනුෂ්‍යයන්ව ශුද්ධවන්ත කිරීමේ මාර්ගයක ගෙන යන නිසාත්ය. කතෝලිකයන් මෙන්ම ඕතඩොක්ස්වරුන්ද තම තමන්ගේ සභාවන් තම තමන්ගේ සභා සම්ප්‍රදායන් අනුව ක්‍රිස්තුස් වහන්සේ විසින් ආරම්භ කළා යැයි පවසන බැවින් අපිට ශුද්ධත්වය නමැති ලක්ෂණ මදක් පසෙකින් තැබීමට සිදුවේ.එසේම කතෝලික සභාව මෙන්ම ඕතඩොක්ස් සභාවද අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන අපෝස්තලික සභා දෙකකි.කතෝලික සභාවට අපෝස්තලික අනුප්‍රාප්තිකත්වයක් ඇති බවට ඕතඩොක්ස් සභාවන් පිළිගනියි.එලෙසම ඕතඩොක්ස් සභාවන් වලටද අපෝස්තලික අනුප්‍රාප්තිකත්වයක් ඇති බවට කතෝලික සභාව පිළිගන්නීය.මේ නිසා අපට අපෝස්තලිකත්වය නමැති ලක්ෂණද මදක් පසෙකින් තැබීමට සිදුවේ.දැන් ඉතුරු වී ඇත්තේ ඒකත්වය හා කතෝලිකත්වයයි.

ලතින් කතෝලික සභාව හැරුණුකොට තවත් කතෝලික සභාවන් 23 ක් පමණ තිබේ.මේ සෑම සභාවක්ම ශුද්ධාසනය සමඟ සම්පූර්ණ එකමුතු කමකින් ( full communion ) සම්බන්ධ වී තිබේ.එසේම මේ සභාවන් සියල්ලම එකම සභාවක් ලෙස පාප්වහන්සේගේ නායකත්වය යටතේ පවතී.එබැවින් කතෝලික සභාව තුළ කිසිදු සැකයකින් තොරව ඒකත්වය නමැති ලක්ෂණ අංග සම්පූර්ණවම දක්නට ලැබේ.නමුත් ඕතඩොක්ස් සභාවන් පිළිබද සැළකීමේදී කතෝලික සභාව තුළ දක්නට ලැබෙන ආකාරයේ ඒකත්වයක් නිරීක්ෂණය කළ නොහැකිය. උදාහරණයක් ලෙස ඕතඩොක්ස් කිතුනුවන් කැල්සිඩෝන් මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම් පිළිගන්නා හා එය නොපිළිගන්නා ලෙසින් කොටස් දෙකකට බෙදී ඇත.කැල්සිඩෝන් මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම් පිලිගන්නා ඕතඩොක්ස් සභාවන් කැල්සිඩෝන්වාදී ඕතඩොක්ස් සභා ( Eastern Orthodox Churchs ) ලෙස හදුන්වන අතර එය ප්‍රතික්ෂේප කරන ඕතඩොක්ස් සභාවන් කැල්සිඩෝන්වාදී නොවන ඕතඩොක්ස් සභා ( Oriental Orthodox Churchs ) ලෙස හදුන්වයි.එලෙසම කැල්සිඩෝන්වාදී ඕතඩොක්ස් කිතුනුවන් අතර කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘවරයාගේ ප්‍රමුඛත්වය පිළිගන්නා හා එය ප්‍රතික්ෂේප කරනා අය ලෙසින් තවත් වර්ග දෙකක් ඇත.මින් රුසියානු ඕතඩොක්ස් සභාව වඩාත් කැපී පෙනෙයි.රුසියානු ඕතඩොක්ස් සභාව කැල්සිඩෝන්වාදී වූවද ඔහුන් කොන්ස්තන්තිනෝපලයේ ආදිපිතෘවරයාගේ ප්‍රමුඛත්වය ප්‍රතික්ෂේප කරයි.එසේම කැල්සිඩෝන්වාදී ඕතඩොක්ස් සභාවන් අතර සම්පූර්ණ එකමුතුකමක් ( full communion ) නොමැති අතර ඔහුන් එකම සභාවක් ලෙසද නොපවතියි.තවද කැල්සිඩෝන්වාදී නොවන ඕතඩොක්ස් සභාවන් අතර සම්පූර්ණ එකමුතුකමක් ( full communion ) පැවතියද ඔහුන් එකම සභාවක් ලෙස නොපවතියි.නයිසෙන් විශ්වාස ලක්ෂණයේ සඳහන් ඒකත්වය නමැති ලක්ෂණය කතෝලික සභාව තුළ දක්නට ලැබුණද ඕතඩොක්ස් සභාවන් තුළ දක්නට නොලැබේ.එබැවින් මෙය ඕතඩොක්ස් සභාවන් සත්‍යය විශ්වාසයේ පූර්ණත්වය නොවන බව අප සැමට තහවුරු කරන තවත් ප්‍රබල සාක්ෂියකි.

"කතෝලික" යන නාමයෙහි අර්ථය "විශ්වීය" යන්නයි.මින් ශුද්ධවූ සභාවට ලැබී ඇති විශ්වීය ගැළවීමේ සක්‍රමේන්තුව පිළිඹිබු වෙයි.එනම් ශුද්ධවූ සභාව එක් ජාතියකට පමණක් සීමා නොවී සකළ මනුෂ්‍යය වර්ගයාටම සුබ අස්න දේශනා කිරීමට ණය යුක්තියකින් බැඳී සිටිති.කතෝලික සභාව තරම් කතෝලිකත්වයක් නිරූපණය වන සභාවක් තවත් නැත.කොටින්ම කියතොත් අයිස්ලන්තයේ අයිස් යට පවා කතෝලික සභාව ක්‍රියාකාරීව සිටින්නීය.භාෂා හා ජනවර්ග අනුව විවිධ වුවද කතෝලික සභාව තුළ සෑම පුද්ගලයෙකුටම එක හා සමාන සාධාරණත්වයක් හිමිවේ.එනම් කතෝලික සභාව එක් ජාතියකට හෝ භාෂාවකට සීමාවී බැල මෙහෙවරකම් නොකරන්නීය.ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේදී මෙය වඩාත් ඉස්මතු විය. එනම් කතෝලික සභාව සිංහල ජනතාවගේ පැත්ත හෝ දෙමළ ජනතාවගේ පැත්ත ගන්නවා වෙනුවට දෙපාර්ශවය අතරම මැදිහත් වෙමින් සාමය හා යුක්තිය ලබා ගැනීම සඳහා කටයුතු කළෝය.එය බොහෝ ජාතිවාදීන්ගේ විවේචනයට ලක් වූවද කතෝලික සභාවේ ස්වභාවය එයයි.නමුත් කතෝලික සභාව හා සසඳන විට ඕතඩොක්ස් සභාවන් තුළ කතෝලිකත්වය නැමැති ලක්ෂණය දක්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්ය.උදාහරණයක් ලෙස ඔබට ඕස්ට්‍රේලියාව වැනි රටක, සිඩ්නි වැනි විශාල නගරයක පවා ඕතඩොක්ස් කිතුනුවෙකු බවට පත්වීමට අවශ්‍යය වුවහොත් සහ එය ඔබ එහි තිබෙන ඕතඩොක්ස් සභාවට දන්වා සිටියහොත් එම ඕතඩොක්ස් පූජකවරුන් අනිවාර්යයෙන්ම පුදුමයට පත්වනු ඇත.මක්නිසාද එතරම් විශාල නගරයක පවා ඇති ඕතඩොක්ස් සභාවක් තුළ සාමාජිකයන් ලෙස කටයුතු කරන අති බහුතරය ග්‍රීක සම්භවයක් ඇති පුද්ගලයන්ය.ඇමෙරිකාවේදී ඔබ ඉංග්‍රීසි භාෂාව කතා කරන අයෙකු වුවද ඔබට ඕතඩොක්ස් කිතුනුවෙකු වීමට අවශ්‍යය නම් ග්‍රීක භාෂාවෙන් ඔබට සියලුම ජනවන්දනා කටයුතු කිරීමට සිදුවේ.එසේම ඔබ රුසියානු ඕතඩොක්ස් සභාවට සම්බන්ධ වීමට අවශ්‍යය වුවහොත් ඔබට ඔබේ ඇමෙරිකානු පෙම්වතියව අමතක කිරීමට සිදුවේ.මක්නිසාද ඇමෙරිකාවේ විනාශය වෙනුවෙන් රුසියානු ඕතඩොක්ස් සභාවේ ආදිපිතෘවරයා යාච්ඤා කරන බවට ඔහු විසින් ප්‍රසිද්ධියේම පවසා තිබේ.ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයක් සිදුවූ විට රෝමයේ කතෝලික රදගුරුතුමා විසින් එය හෙළා දකිමින් තම කනගාටුව පළ කළා වුවද ඇමෙරිකාවේ ඕතඩොක්ස් පල්ලියක් තුළ පිහි ඇනුමක් සිදු වුවහොත් රුසියානු ඕතඩොක්ස් සභාවේ ආදිපිතෘවරයාගෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැකිය.මෙලෙස නයිසෙන් විශ්වාස ලක්ෂණයේ සඳහන් කතෝලිකත්වය නමැති ලක්ෂණය අතින්ද ඕතඩොක්ස් සභාවන් බොහෝ පසුගාමී බවක් පෙන්නුම් කිරීමද ඕතඩොක්ස් සභාවන් සත්‍යය විශ්වාසයේ පූර්ණත්වය නොවන බව අප සැමට තහවුරු කරන තවත් ප්‍රබල සාක්ෂියකි.

🕳️ සාරාංශය;

කතෝලික සභාවේ පූර්ණ සත්‍යය වෘත්තයක් වැනිය. මේ වෘත්තයෙන්, කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක් වත් අන්තර්ගත නොවන ආගමක් නැත.සෑම ආගමකම කුඩා හෝ සත්‍යයක්; කුඩා හෝ විශිෂ්ඨ ඉගැන්වීමක් අන්තර්ගත විය හැක්කේ මේ නිසයි.නමුත් පූර්ණ සත්‍යය වන්නේ ක්‍රිස්තුන් වහන්සේ විසින් ස්ථාපිත කළ සභාවේ සත්‍යයයි.සෑම කිතුනු කණ්ඩායමක් තුළම බොහෝ සමානකම් නිරීක්ෂණය කිරීමට හැකිය. නමුත් මේ සෑම සභාවක්ම දෙවියන් වහන්සේගේ නිර්මාණයක් යැයි අපට නිගමනය කළ නොහැකිය. ඔබ චිත්‍රාගාරයකට ගියහොත් ඔබට එකම වර්ණය බොහෝ සිතුවම් වල යොදාගෙන ඇති බව දැකීමට හැකිය.නමුත් කපුටාගේ රූපය තුළ ඇති කළු වර්ණය අලියාගේ රූපයේද ඇති බැවින් අලියා කපුටෙකු බවට පත් වන්නේ නැත.

~ කිතුනු අපේ දේවධර්ම දිනපොත