මධ්‍යසාරමය මුද්‍රික ඵල පානයන් ගැන ඇති අනිසි බිය නැති කර ගනිමු - The Two wine Theory

මධ්‍යසාරමය මුද්‍රික ඵල පානයන් ගැන ඇති අනිසි බිය නැති කර ගනිමු - The Two wine Theory
Photo by Kelsey Knight / Unsplash

අපේ දෙවියන් වහන්සේ ඇල්කොහොල් විරෝධියෙක්ද? බයිබලීය මිදියුස සංස්කෘතිය ඇල්කොහොල් සහිත එකක්ද? නොඑසේ නම් ඇල්කොහොල් රහිත එකක්ද? මේ ගැන ශුද්ධවූ බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බැලූ බැල්මට ශුද්ධවූ බයිබලය තුළ මිදියුස සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රකාශ හා සෘණාත්මක ප්‍රකාශ වශයෙන් වර්ග දෙකක් දැකිය හැකිය.මෙම ලක්ෂණය උපයෝගී කරගෙන 19 වැනි සියවසේදී ප්‍රධාන වශයෙන් බැප්ටිස් සභාවේ මූලධර්මවාදී දෙව්සත්හල් මහාචාර්යවරයෙකු වන ආචාර්ය රොබට් ටීචවුට් විසින් තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා බයිබලීය මිදියුස සම්බන්ධයෙන් අපූරු කල්පිතයක් ගැන තර්ක කළේය.මෙම කල්පිතය මූලධර්මවාදීන් අතර ක්‍රම ක්‍රමයෙන් ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ "ද්විත්ව මිදියුස කල්පිතය" ( The two-wine view ) ලෙසයි.මෙම කල්පිතය මඟින් තර්ක කරන්නේ ශුද්ධ බයිබලයේ මිදියුස සඳහා වන සියලුම ධනාත්මක ප්‍රකාශ මධ්‍යසාර/ඇල්කොහොල් සහිත නොවන පානවලට යොමු වන බව සහ ශුද්ධ බයිබලයේ මිදියුස සඳහා වන සියලුම සෘණාත්මක ප්‍රකාශ මධ්‍යසාර/ඇල්කොහොල් සහිත පානවලට යොමු වන බවයි. එනම් ශුද්ධවූ බයිබලය තුළ මත්පැන් ලෙස සැළකිය හැකි සහ මත්පැන් ලෙස සැළකිය නොහැකි ලෙසින් මිදියුස වර්ග දෙකක් තිබෙන්නට ඇති බවට ඔවුන් උපකල්පනය කරති.එලෙසම දෙවියන් වහන්සේ විසින් ශුද්ධවූ බයිබලය තුළ මිදියුස පානය කිරීමට අවසර ලබා දී ඇත්තේ සහ එය අගය කර ඇත්තේ මෙම මධ්‍යසාරමය නොවන මිදියුස වර්ගය සම්බන්ධයෙන් බවත් බයිබලය තුළ මිදියුස සම්බන්ධව විවේචන එල්ල කර ඇත්තේ මෙම අනෙක් මධ්‍යසාරමය වන මිදියුස වර්ගය සම්බන්ධයෙන් බවත් ඔවුන් උපකල්පනය කරති.මෙම ද්විත්ව මිදියුස කල්පිතය හුදෙක් නූතන යුගයේ සම්භවය වූ හිතළුවක් පමණක් බවත් ඊට කිසිදු බයිබලීය හෝ ඓතිහාසික පදනමක් නොමැති බවත් බයිබල් විශාරදයන් පවසති;

[ පැහුනු, මත් කරවන සුළු හා නීතියට පටහැනි එක් වර්ගයක් සහ නොපැහුනු, මත් නොකරවන සුළු හා නීතියට පටහැනි නොවුනු තවත් වර්ගයක් ලෙස වර්ග දෙකක මිදියුස වාදය ඇත්ත වශයෙන්ම බයිබලීය හෝ හෙබ්‍රෙව් හෝ පෞරාණික යුගයේ සංස්කෘතික හෝ කිසිදු පදනමක් නැති, වර්තමානය සියවසේදී සැලසුම් කර ගොඩනඟා ඇති නූතන හිතළුවකි. - "Wine" by Dunlop Moore, A Religious Encyclopedia of Biblical, Historical, Doctrinal and Practical Theology, edited by Philip Schaff - Chicago: Funk and Wagnalls, 1887 ]

කානා නුවර ප්‍රාතිහාර්ය ද්විත්ව මිදියුස කල්පිතයට සහයෝගය දක්වනවාද?

ජේසුස් වහන්සේ විසින් කානා නුවරදී ජලය මිදියුස බවට පත් කිරීමේදී උන්වහන්සේ ජලය පරිවර්තනය කළේ පැසීමට ලක් නොවුණු, මධ්‍යසාරමය නොවන මිදි යුෂයක් බව පැවසීමට බොහෝ මූලධර්මවාදීන් විසින් ද්විත්ව මිදියුස කල්පිතය යොදා ගනියි.ඔවුන් ඒ සඳහා පහත සඳහන් බයිබල් පාඨයද යොදා ගනියි;

[ හැම කෙනෙක්ම පළමුකොට හොඳ මිදියුසෙන් සංග්‍රහ කරති ; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසෙන් සංග්‍රහ කරති.එහෙත්, ඔබ මේ වනතුරු හොද මිදියුස තබාගෙන සිටියෙහිය"යි ඔහුට කීය. - ශු.ජොහන් 02:10 ]

"Fire Bible" නමැති මූලධර්මවාදී ගෝලීය බයිබල් අධ්‍යයන සංග්‍රහයේ සඳහන් වන පරිදි ඉහත බයිබල් පාඨයේදී හොඳ මිදියුස හා බාල මිදියුස ලෙසින් වර්ග දෙකක මිදියුස ගැන සදහන් වන බැවින් එය ද්විත්ව මිදියුස කල්පිතය සනාථ කරන ඔහුන් බව පවසයි. ඔහුන් පවසන පරිදි මෙහි හොඳ මිදියුස ලෙසින් හදුන්වනු ලබන්නේ නැවුම් මිදි ගෙන ඒවා භාජන වලට දමන විට එම මිදි ස්කන්ධයේ බර නිසා භාජනයේ යට ඇති මිදි ගෙඩි තැලීමට ලක් වීමෙන් භාජනයේ ඉතිරි වන පලතුරු යුෂයෙන් සාදා ගන්නා මිදියුස බවයි.තවද ඒවා පයින් නොපාගා ඉතා පිරිසිදු ලෙස වෙන් කර ගන්නා බැවින් එම පලතුරු යුෂ පැසීමට ලක්නොවන හෙයින් ඉන් මධ්‍යසාර අඩංගු නොවන මිදියුස සාදාගත හැකි බව ඔහුන් පවසයි. එසේම මෙය උත්සව වලට මුලින්ම පැමිණෙන ප්‍රභූන්ට පමණක් පිළිගන්වන බවද ඔව්හු පවසයි. තවද ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්ය මඟින් උත්පාදනය කළේ මෙම වර්ගයේ මධ්‍යසාර අඩංගු නොවන මිදියුසක් බව ඔව්හු තර්ක කරති.මෙහි බාල මිදියුස ලෙසින් හදුන්වනු ලබන්නේ පයින් පාගා වෙන්කර ගෙන පැසීමට ලක්වීමට ඉඩ දුන් මධ්‍යසාර අඩංගු වන මිදියුස බවටද ඔව්හු තර්ක කරති.එසේම මෙය උත්සව වලට සහභාගී වන ප්‍රභූ නොවන අනෙකුත් අයට පසුව පිළිගන්වනු ලබන බවද ඔව්හු පවසයි. තවදුරටත් ඔහුන් පවසන්නේ ජේසුස් වහන්සේ සියල්ලන්ටම සමානව සළකන බැවින් මත් නොවන හා මිළ අධික පළමු වර්ගයේ මිදියුස වර්ගය දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව සියලු දෙනාටම ලබාදුන් බවයි.මූලධර්මවාදීන්ගේ මෙම වැරදි සහගත කල්පිතය බිඳ හෙලීම සඳහා අපි ඔහුන් උපුටා දක්වන බයිබල් පාඨයට වහාම පහළින් ඇති බයිබල් පාඨය වෙත අවධානය යොමු කළ යුතු වේ;

[ මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණිස කළ හාස්කම්වලින් පළමු වැන්නය.එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහිදීය.එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝද උන් වහන්සේ අදහාගත්හ. - ශු.ජොහාන්  02:11 ]

ශුද්ධවූ බයිබලයේ මෙය ලකුණක් පිණිස කළ පළමු ප්‍රාතිහාර්ය ලෙස පැහැදිලිවම සදහන් වේ.එම ලකුණ කුමක්ද? උන්වහන්සේ ඉන් පෙන්නුම් කළ තේජශ්‍රීය කුමක්ද? තවද එම ලකුණ බලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේව අදහා ගත් බව පවසයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේ ගැන අදහා ගත්තේ කුමක්ද? ජේසුස් වහන්සේ මේ ප්‍රාතිහාර්ය මඟින් පෙන්නුම් කළ ලකුණ වූයේ තමන් වහන්සේ නව මෝසස් බවයි.ඊජිප්තුවට දෙවියන් වහන්සේ විසින් මෝසස් තුමා හරහා එවන ලද ප්‍රථම වසංගතය වූයේ නයිල් ගඟෙ ජලය සහමුලින්ම රුධිරය බවට හැරවීමයි.ජේසුස් වහන්සේ නව මෝසස් ලෙස මෙය සිදුකළේ අදියර දෙකකින්ය.එනම් උන්වහන්සේ තම ප්‍රථම ප්‍රාතිහාර්ය ලෙස ජලය පළමුව මිදියුස බවටත්, තම අවසාන ප්‍රාතිහාර්ය ලෙස මෙම මිදියුස අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී තමන් වහන්සේගේම රුධිරය බවටත් හැරවීමය.එසේම ජලය මිදියුස බවට හැරවීමෙන් ශ්‍රාවකයන් අදහා ගත්තේ ජේසුස් වහන්සේ සැබවින්ම මෙසියස් වහන්සේ බවයි. මක්නිසාද මෙසියස් වහන්සේ එනම් අපේ ගැලවුම්කරුවාණන් ලෙස උන්වහන්සේගේ මේ ක්‍රියාව ගැන යෙසායා දිවැසිවරයා විසින් අනාවැකි පළ කර තිබුණි.උන්වහන්සේගේ ශ්‍රාවකයන් හොඳ ජුදෙව්වරුන් වූ බැවින් එම අනාවැකි ගැන හොදින් දැන සිටියහ.එම අනාවැකි තම ඇස් පනාපිටම පරිපූර්ණ වූ නිසා ශ්‍රාවකයන් උන්වහන්සේව අදහා ගත්හ.කානා නුවරදී ජේසුස් වහන්සේ අපට ලබාදුන් ලකුණ වූයේ උන්වහන්සේ අපේ ගැලවුම්කරු බව ප්‍රකාශ කිරීමයි.එසේ කිරීමෙන් උන්වහන්සේ අපට මෙසියස් වහන්සේ ලෙස තමන් වහන්සේගේ තේජශ්‍රීය පෙන්නුම් කළේය.මෙසියස් වහන්සේ ලෙස ජේසුස් වහන්සේ අපට ලබාදෙන මේ මිදියුස ගැන යෙසායා දිවැසිවරයා විසින් මෙලෙස අනාවැකි පළ කර තිබුණි;

[ සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් ( wine on the lees/şĕ̌mári֑ym/שְׁמָרִ֑ים ) හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහටම විනාශ කරදමන සේක.සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක.ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක.මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේමය.එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. ''බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු.උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේය.උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු" - යෙසායා  25 :06-09 ]

කානා නුවර විවාහ මංගලෝත්සවයේදී ජලය මිදියුස බවට හැරවීම ජේසුස් වහන්සේ විසින් ලකුණක් පිණිස කළ පළමු ප්‍රාතිහාර්යක් නම් ඒ ලකුණ ගැන කළින් පවසා තිබූ කරුණු, එනම් යෙසායා දිවැසිවරයා විසින් කළින් පවසා තිබූ කරුණු ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්ය තුළ අන්තර්ගත විය යුතුය.එනම් ජේසුස් වහන්සේ විසින් කානා නුවරදී ලබාදුන් මිදියුස යෙසායා දිවැසිවරයා විසින් කළින් මෙසියස් වහන්සේ විසින් ලබාදෙනු ඇතැයි සියලු ජාතීන් හට පොරොන්දු වූ මිදියුසම විය යුතුය.කෙසේ නමුත් මූලධර්මවාදීන්ගේ සියලු තර්ක විතර්ක හා කල්පිත බිඳ හෙළමින් යෙසායා දිවැසිවරයා විසින් ජේසුස් වහන්සේ, මෙසියස් වහන්සේ ලෙස මතු මත්තෙහි ජනයාට දෙනු ඇතැයි අනාවැකි පළ කර ඇත්තේ මධ්‍යසාර අඩංගු නොවන මිදියුසක් නොව, මධ්‍යසාර අඩංගු වන හොඳ මත්පැන් වර්ගයක් වන මිදියුසකි. එය යෙසායා 25:06 සදහන් වන පරිදි "sur lie" නමැති ක්‍රියාවලියකට ලක්වූ මිදියුසකි ( wine on the lees/well-aged wine/şĕ̌mári֑ym/שְׁמָרִ֑ים ).මෙම මිදියුස වර්ගයේ මියගිය යීස්ට් අවසාදිතයක් දැකගත හැකි අතර මෙම මියගිය යීස්ට් අවසාදිතය මෙම මිදියුස මධ්‍යසාර ලෙස පැසීම සඳහා දිගු කාලයක් තිස්සේ දායක වූ බවට පැහැදිලි සාක්ෂියකි.යෙසායා දිවැසිවරයාගේ අනාවැකියට අනුව යමින් ජේසුස් වහන්සේ විසින් කානා නුවර විවාහ මංගලෝත්සවයේදී ජලය පරිවර්තනය කළේ මෙම මිදියුස වර්ගය බවටය.එනම් මියගිය යීස්ට් අවසාදිතයක් සහිත මිදියුස බවටය. මූලධර්මවාදීන් පවසන ආකාරයට ජේසුස් වහන්සේ කානා නුවරදී ලබාදුන්නේ මත්පැන් නොවෙයි නම් යෙසායා දිවැසිවරයා පවසා ඇති පරිදි එම මිදියුස, මියගිය යීස්ට් අවසාදිතයක් ඇති මිදියුසක් වන්නේ කෙසේද? යීස්ට් යනු මධ්‍යසාර පැසීම සඳහා යොදා ගන්නා ජෛව විද්‍යාත්මක නියෝජිතයාය.මිදියුසෙහි යීස්ට් කොතැනද එතැනදී මධ්‍යසාර බවට පැසී නොසිටීමට මිදියුසට නොහැකිය.පැහැදිලිවම මෙය පැසීමට ලක්වූ මිදියුසක් පමණක් නොව,  "sur lie" නමැති ක්‍රියාවලිය ඔස්සේ අතිරේකවද පැසීමට ලක්කල හොඳ මත්පැන් වර්ගයකි.මෙලෙස ලීටර් සීයක් පමණ අල්ලන ගල් භාජන හයක, එනම් බියර් බෝතල් 600 කට සමාන ප්‍රමාණයක මත්පැන් ප්‍රමාණයක් මිනිස්සුන්ට කානා නුවරදී ජේසුස් වහන්සේ විසින් මෙලෙස බොන්නට දුන්නා නම් මත්පැන් පානය වරදක් යැයි උන්වහන්සේව අදහන කවරෙකුට නමුත් පැවසිය හැකිද? නොහැකිය.

තවද ජේසුස් වහන්සේ විසින් කානා නුවරදී ලබාදුන් මිදියුස සඳහා ශුද්ධවර ජොහන් තුමා විසින් යොදාගෙන ඇත්තේ "oinos" ( οἶνον ) නමැති ග්‍රීක වචනයයි.මූලධර්මවාදීන් පවසන පරිදි මෙම මිදියුස වර්ගය මධ්‍යසාර රහිත පානයක් වූවා නම් මත්වීම ගැන අවවාද කර ඇති වෙනත් පරිච්ඡේද වලදී පහත සඳහන් පරිදි මෙම ග්‍රීක වචනයම මිදියුස හැදින්වීම සඳහා යොදාගෙන ඇත්තේ ඇයි?

[ මුද්‍රික පානයෙන් ( oinō/οἴνῳ ) මත් නොවන්න.එයින් අනාචාරකම් හටගන්නේය.ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න. - එපීස 05:18 ]

[ ස්නාවක ජොහන් නිරාහාරවද මිදියුසින් ( oinos/οἶνον ) තොරවද සිටි කෙනෙකි; එබැවින් 'ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ'යි ඔබ කියන්නහුය.මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; 'බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි'යි ඔබ කියන්නහුය. - ශු.ලූක් 07:33-34 ]

බයිබලීය මිදියුස ගැන කතෝලික නොවන බයිබල් විශාරදයන්ගේ මතය කුමක්ද?

ද්විත්ව මිදියුස කල්පිතයට එරෙහිව පද මාලාවන්, ශබ්දකෝෂ, විශ්වකෝෂ සහ ඉතිහාසඥයින් විසින් ඒකමතිකව සාක්ෂි දරන්නේ මිදියුස සඳහා වන යෙදුම් (ප්‍රධාන වශයෙන් හෙබ්‍රෙව් භාෂාවෙන් "yayin" සහ ග්‍රීක භාෂාවෙන් "oinos" ) පැහැදිලිවම මධ්‍යසාරමය ද්‍රව්‍යයකටම යොමු වන බවයි.මහාචාර්ය ජේම්ස් ස්ට්‍රොන්ගේ ශබ්ද සුචියේ අපට අවධාරණය කරන්නේ, "yayin" යනු උත්සව අවස්ථාවන් වලදී භාවිත කළ පැසුනු මධ්‍යසාරමය මිදියුසක් බවයි.පැරණි ගිවිසුමේ නෙල්සන්ගේ අර්ථ විවරණ ශබ්දකෝෂයේ ( මෙරිල් උන්ගර් සහ විලියම් වයිට් ජූනියර් විසින් සංස්කරණය කරන ලද ) සඳහන් වන්නේ, "yayin" යනු පැසුණු මුද්‍රික ඵලය සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා ලද හෙබ්‍රෙව් වචනය වන අතර එයින් පැහැදිලිව මධ්‍යසාරමය පානයක් නිරූපණය වන බවයි.තවද ජාත්‍යන්තර සම්මත බයිබල් විශ්වකෝෂයේ ( ISBE ) "මිදියුස" පිළිබඳව ලිපියේ ( ජෙෆ්රි බ්‍රොමිලි විසින් සංස්කරණය කරන ලද ) සඳහන් වන්නේ, "yayin" ( וְיַ֥יִן ) හා "tirosh" ( וְתִיר֖וֹשׁ ) යන දෙකම මධ්‍යසාර අඩංගු පැසුණු මිදියුස වන බැවින් ඒවාට වෙරි මත්බව ලබාදීම සඳහා හැකියාව ඇති බවත් ඒවා නොපැසුණු මිදියුස වලින් වෙන්කර හඳුනා ගත යුතු බවයි: [ කාමසේවනය, සුරා පානය ( tirosh/וְתִיר֖וֹשׁ ) සහ මිදියුස ( yayin/וְיַ֥יִן )  සිහිය විකල් කරයි - හොසියා 04:11 ].එසේම මෙරිල් උන්ගර්ගේ ශබ්දකෝෂයේ මෙලෙස සඳහන් වේ;

[ බයිබලයේ "yayin" භාවිත කර ඇති බොහෝ ඡේදවල (138 න් 83ක්ම ), එය නිසැකවම පැසුණු මිදියුස අදහස් කරයි.එසේම ඉන් ඉතිරියද සාධාරණ ලෙස එයම අදහස් කරන බවට උපකල්පනය කළ හැකිය... "yayin" වල මත් කරවන ගුණය, රබ්බිවරුන්ගේ සාක්ෂි මගින් තහවුරු වේ... සාමාන්‍යයෙන් මත් කරවන සුළු ගුණයකින් යුතු වූවත්, එය ශරීරගත කිරීමට අවසර දුන්නා පමණක් නොව, පූජනීය අරමුණු සඳහාද භාවිතා කරන ලද අතර එය ආශීර්වාදයක් ලෙසද කථා කරන ලදී ( උත්පත්ති 49:11-12, ද්විතිය නීති සංග්‍රහය 14:24-26, නික්මයාම 29:40, ලෙවී ව්‍යවස්ථාව 23:13, ගණන් කතාව 15:05 ).ඇතැමුන්, ඇත්ත වශයෙන්ම, මෙම ඡේදවලින් තර්ක කර ඇත්තේ "yayin" සෑම විටම මත්පැන් වියම නොහැකි බවයි. නමුත් එය යථාර්ථයට පිටුපා සාක්ෂි නොමැතිව උපකල්පනය කිරීමකි.නිසැකවම පැසී තිබුණත් එය සෑම විටම මත් නොවීය සහ බොහෝ අවස්ථාවලදී, සැකයකින් තොරව, ප්‍රංශයේ වින් ඕඩිනයාර් ( 12% ක මධ්‍යසාර සාන්ද්‍රණයකින් යුතු මිදියුසකි ) ලෙස, තරමක් මධ්‍යසාර විය - The New Unger’s Bible Dictionary, by Merrill Unger, edited by R.K. Harrison, Moody Press, 1988 ]

මිදියුස සහ ජලය මිශ්‍ර කර පානය කිරීම?

බොහෝ මූලධර්මවාදීන්ට වෙනස් ආකාරයකට නෝමන් ග්ලයිස්ලර් සහ තෝමස් හෝව් වැනි සමහර මූලධර්මවාදී බයිබල් විශාරදයන් බයිබලීය ගැටළු පිළිබඳව ලියා ඇති ඔහුන්ගේ පොත් පත් වල ( උදා:- When Critics Ask ) තර්ක කරන්නේ බයිබලයේ සඳහන් මිදියුස මධ්‍යසාරීය එකක් වූවත් ඊට ජලයෙන් කොටස් තුනක් සහ මිදියුසයෙන් කොටස් එකක් පමණක් එක් කර පානය කරන බැවින් බයිබලීය මිදියුස සංස්කෘතිය මධ්‍යසාරමය එකක් නොවන බවයි.නමුත් ඔහුන් පවසන ආකාරයට මිදියුස ජලය සමඟ මිශ්‍ර කර පානය කිරීම නිසාවෙන් බයිබලීය මිදියුස සංස්කෘතිය මධ්‍යසාරමය එකක් නොවෙයි නම් බීමත්කම සම්බන්ධයෙන් බයිබලයේ මෙතරම් අවවාද හා තරවටු කිරීම් අන්තර්ගත වන්නේ ඇයි? ඊශ්‍රායෙල්වරුන් මිදියුස ජලය සමඟ මිශ්‍ර කර පානය කළ බව සත්‍යයකි.ඒ පිළිබඳව ශුද්ධවූ බයිබලයේද සදහන් වේ ( 02 මකබි 15:39 ).තවද "මිෂ්නා" නමැති ජුදෙව් ලේඛන එකතුවේද ජුදෙව් රබ්බිවරුන් පුරාතන යුගයේ සිටම මිදියුස ජලය සමඟ මිශ්‍ර කර පානය කළ බව වාර්තා වේ.නමුත් මෙලෙස ජලය කොටස් තුනක් එකතු කිරීමෙන් එහි මධ්‍යසාර සාන්ද්‍රණය සැලකිය යුතු ලෙස අඩුකර ගත නොහැකිය.මීට සමකාලීනව ග්‍රීකයන් සහ රෝමවරුන්ද මිදියුස සමඟ ජලය මිශ්‍ර කර පානය කළහ.ඔහුන් ජලය කොටස් අටක් සමඟ මිදියුස කොටස් එකක් මිශ්‍ර කළහ.ඔහුන් එසේ කළේ එම මිදියුස වල තිබූ අධික මධ්‍යසාර සාන්ද්‍රණය නිසාය.සාමාන්‍යයෙන් මිදියුස සමඟ කිසිවක් මිශ්‍ර නොකළ අයව ඔහුන් හදුන්වලා ඇත්තේ නොම්බර එකේ වනචාරීන් ලෙසයි.එම යුගයේ තිබූ මිදියුස කෙතරම් මධ්‍යසාරීය දැයි ඉන් පිළිඹිබු වේ.තවද ක්‍රි.ව.23 - ක්‍රි.ව.79 ත් අතර ජීවත් වූ රෝමානු ලේඛකයෙකු වන පිල්නි එල්ඩර් විසින් පවසන ආකාරයට රෝමයේ කොහේ හෝ ගිනි ගැනීමක් වාර්තා වනවා නම් එතැනින් අනිවාර්යයෙන්ම ෆලර්නියානු මිදියුස බෝතලයක් සොයාගැනීමට හැකි වනු ඇති බවයි ( Pliny, Natural History, 14.8 ).මිදියුස මෙලෙස ගිනි ගැනීම් වලට හේතු වීමට නම් සාමාන්‍යයෙන් එහි මධ්‍යසාර සාන්ද්‍රණය 30% ක් පමණ විය යුතුය.වතුර කොටස් තුනක් එකතු කළද එවැනි මිදියුස වර්තමානයේ ඇති බොහෝ බියර් වලටත් වඩා මධ්‍යසාරීයය.

100% ක් මධ්‍යසාරීය ( 100% alcohol free ) නොවන මිදියුස තිබෙනවාද?

ශීතාගාර පහසුකම් හෝ සුලබව නොතිබුණු, ජීවානුහරණ තාක්ෂණය නොදියුණු බයිබලීය යුගයේ 100% ඇල්කොහොල් රහිත මිදියුස තිබුණා යැයි පැවසීම සැබවින්ම පිස්සුවකි.මිදියුස ජීවානුහරණ තාක්ෂණය දියුණු වූයේ ඉතා මෑත යුගයේදීය.එසේම ඊට පුරෝගාමී වූයේ ක්‍රි.ව.1825 - ක්‍රි.ව.1903 ත් අතර ජීවත් වූ මෙතෝදිස්ත සභාවේ දේවගැතිවරයෙකු වූ තෝමස් බ්‍රැම්වෙල් වෙල්ච්ය.කෙසේ නමුත් ඔබව තැති ගන්වන සුළු සත්‍යය වන්නේ ජීවානුහරණ තාක්ෂණය මෙතරම් දියුණු, ශීතාගාර පහසුකම් මෙතරම් සුලබ මේ නූතන ලෝකයේ පවා මේ වන විටත් 100% ක් මධ්‍යසාරීය නොවන මිදියුසක් නොමැති වීමයි.100% ඇල්කොහොල් රහිත යැයි ලේබල් ගසන ලද මිදියුස තිබුණද එහි සැබවින්ම 0.05% ක් තරමේ මධ්‍යසාර ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම අඩංගු වේ.කොටින්ම කියතොත් මධ්‍යසාර අඩංගු නොවන මිදියුස ප්‍රායෝගිකව නිශ්පාදන කළ නොහැකිය.යම් හෙයකින් කුඩා ප්‍රතිශතයකින්වත් මධ්‍යසාර අඩංගු නොවුනහොත් එය මිදියුස නොවනු ඇත.යුරෝපා සංගමයේ ප්‍රමිති වලට අනුව පවා ඇල්කොහොල් රහිත මිදියුස යැයි ලේබල් ගසන ලද මිදියුස බෝතල් වල මධ්‍යසාර සාන්ද්‍රණය 01.2 - 02.8% ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට නීතිමය අවසර දී ඇත්තේ මේ නිසයි.සැබවින්ම 100% ක් මධ්‍යසාර නොවන මිදියුස ලෙසින් වෙළදපොලේ ඇත්තේ මධ්‍යසාර පදනම් කරගෙන නිපදවූ පානයකි ( Alcoholic - based beverage ).එහි සැබවින්ම මධ්‍යසාර 100% ක් තොර කළ නොහැකිය.

මත්පැන් පානය කිරීම බයිබලයේ තහනම් කර තිබෙනවාද?

බයිබලයේ කිසිදු ස්ථානයක මත්පැන් පානය කිරීම තහනම් කර නැත.නමුත් පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම හා මත්පැන් අවභාවිතයද පාපයක් බව පෙන්වා දෙයි.එලෙසම මත්පැන් වලට ඇබ්බැහි වීම හා බේබදුකමද පාපයක් ලෙස පෙන්වා දෙයි.කෙසේ නමුත් සීමාවකින් යුතුව සුදුසු අවස්ථාවලදී මත්පැන් පානය කිරීමට කිසිදු තහංචියක් බයිබලය තුළ පනවා නැත.01 කොරෙන්ති 06:09-10 දක්වා ශුද්ධවූ පාවුළු තුමා පවසන්නේ බේබද්දන්ට හා සුරාධූර්තකයින්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම නොවන බවයි. නමුත් හුදෙක් මත්පැන් පානය කරන අයට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම නොවන බව එහි සඳහන් නොවේ.ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕන නැත.බත් කෑම හා කෑදරකම අතර විශාල වෙනසක් තිබෙනවා සේම මත්පැන් පානය කිරීම හා බේබදුකම අතරද විශාල වෙනසක් ඇති බව අප වටහා ගත යුතුය. එසේම එපීස 05:18 හිද ශුද්ධවූ පාවුළු තුමා විරුද්ධ වී ඇත්තේ හුදු මුද්‍රික පානය, පානය කිරීමට නොව, වෙරි මත්කමටය.හුදෙක් මත්පැන් පානය කිරීම හෙළා දැකීමට පාවුලු තුමාට අවශ්‍ය වූයේ නම්, එතුමා එහිදී "බීමට" යන අර්ථය ඇති "pino" නැමැති ග්‍රීක වචනය භාවිත කළ යුතුව තිබුණි.නමුත් ඒ වෙනුවට, එතුමා එහිදී "methyskesthe" යන ග්‍රීක වචනය භාවිතා කර තිබේ.එය "methusko" යන ක්‍රියා පදයෙහි ස්වරූපයක් වන අතර එහි අර්ථය “වෙරි මත්ව සිටීම” යන්නයි. තවද ගලාති 05:21දී ශුද්ධවූ පාවුළු තුමා විසින් සූරාධූර්ත උත්සව පවත්වනු ලබන අයට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට නොහැකි බව පවසයි.මෙම සුරාධූර්ත උත්සව සඳහා ශුද්ධවූ බයිබලය තුළ යෙදී ඇති ග්‍රීක වචනය වන්නේ, "komoi" ( κῶμοι ) වේ. මහාචාර්ය ජේම්ස් ස්ට්‍රොන්ගේ ශබ්ද සුචියට අනුව එහි අර්ථය වන්නේ, "නොහික්මුණු ලිංගික දුරාචාරයක් සඳහා අවස්ථාන් සම්පාදනය කර ඇති බේබදු මංගල්‍යයන්" වේ.එය සම්පූර්ණයෙන්ම අප පවත්වනු ලබන සාමාන්‍ය මත්පැන් සාද වලට වඩා බොහෝ සෙයින් වෙනස් වේ.

කිතුනු අපේ දේවධර්ම දිනපොත