ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස

(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරුර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේද?)

දැනට ගෝවේ බොම් ජේසු බැසිලිකාවේ ඇති ශුද්ධ වූ ප්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ නොදිරා ඇති සිරුර, එතුමන්ගේ නොව කෝට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ විසූ බෞද්ධ පඬිරුවනක් හා හිමිනමක් වන තොටගමුවෙ ශ්‍රී රාහුල හිමියන්ගේ බවට මතයක් පවතියි. මේ පිළිබඳ විවිධ කතිකා කලින් කලට සිදුවූ අතර ඇතැම් විටෙක බිඳ දමන ලද තර්ක නැවත නැවතත් සත්‍යයේ ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් දැන් මතු වනු දක්නට ලැබේ. මේ නිසාම මෙහි සැබෑ තතු සමස්ථ ශ්‍රී ලාංකේය ජනතාවට දැනගැන්මට සලසනු අටියෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

ශුද්ධ වූ ප්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ සිරුර ගැන ලිවීමට පෙර එතුමන්ගේ දූත සේවාව පිළිබඳ කෙටි විමසුමක් කිරීම යෝග්‍ය යැයි සිතමි. ධර්මදූතයන්ගේ (ආසියාවේ) ආදර්ශය වන එතුමා ක්‍රි.ව. 1506 අප්‍රේල් මස 07 වන දින ස්පාඤ්ඤය දේශයේ, නවරේ හි උපත ලැබීය. එතුමන්ගේ උපන් නාමය ප්‍රැන්සිස්කෝ දෙජාසොයි අස්පිලිකුළුටා විය. වංශවත් රදළ පවුලක උපත ලද මෙතුමානෝ, කිතු තුමන්ට ඇති ඉමහත් භක්තිය හේතුවෙන්, සුපුවත දසත පතළ කරන්නට සියලු ලෞකික සැප හැරදමා දිළිදු බ්‍රහ්මචාරී දිවියක් තෝරාගත්හ. වර්ෂ 1534 අගෝස්තු 15 වන දින දෙව් මවුන්ගේ ස්වර්ගාරෝපණය මංගල්‍ය දින පළමු ජේසු නිකායික සොයුරන් සමඟ පැරීසියේ මොන්ටි මාත්‍ර හි කුඩා දෙව්මැදුරක වේදභාර පොරොන්දු ගත් මෙතුමා 1537 ජුනි 24 වන දින පූජක වරම් ලැබීය.

කිතු තුමන් ගැන මෙතෙක් නොඇසූ අලුතින් සොයාගත් ආසියාවේ රටවල් කරා ගොස් සුපුවත දෙසන්නට සිය හදේ ඇති ආශාව සඵල කරමින් අපෝස්තලික තානාපති ලෙස ආසියාවට එන්නට එතුමන්ට හැකිවිය. ඒ සඳහා එතුමා 1541 අප්‍රේල් මස 07 වන දින තවත් ජේසු නිකායික සොයුරන් තිදෙනෙකු හා ගෝවේ නව ප්‍රතිරාජයා වන මාර්ටිම් අපොන්සො දෙ සූසා සමඟ පෘතුගාලයේ ලිස්බන් වරායෙන් සන්තියාගෝ නැවට ගොඩ වූහ. මේ දුෂ්කර ගමනේ දී 1542 මාර්තු මස වනතුරු මොසැම්බික් හි ගත කළ එතුමා 1542 මැයි 6 වන දින ඉන්දියාවට ගොඩ බැස්සේය.
1543 සැප්තැම්බර් 20 වන දින ඇරඹූ සිය පළමු ආසියා ධර්මදූත මෙහෙවර දකුණු ඉන්දියාවේ

පරවර ජනතාව අතර සාර්ථකව සිදු කළ මෙතුමා සිය ඊළඟ පියවර ලෙස ට්‍රැවැන්කෝර්හී රජුට දෙව් වදන පිළිගැන්වීමයි. ඉන්දියාවට පැමිණි පළමු ජේසු නිකායික පියතුමන් ලෙස එතුමා කළ සේවාව පුදුමාකාරය. 1544 අගෝස්තු 21 වන දින ඉන්දියාවේ පුන්නයිකයල් සිට මන්සිල්හස් නම් සියනිකායික පෘතුගීසි පියතුමෙකුට ලිපියක් ලියන ප්‍රැන්සිස් සේවියර තුමා ශ්‍රී ලංකාවේ ජනයාට ප්‍රසාද ස්නාපනයේ දීමේ එතුමන් තුළ වූ බලවත් උනන්දුව ප්‍රකාශ කරයි. කරෙයපන්ඕ ( මන්නාරමේ "කරය" කූලයට අයත් ජනතාවැති ගමක්; පටිම් නම් වු බවට විශ්වාස කෙරේ) මෙයට හේතු වූයේ මන්නාරමේ වැසියන් ඉන්දියාවේ පරවර ජනයාත් අනෙකුත් ඒ හා සමාන කුල සමග ඉතා කිට්ටු සබඳතා පැවැත්වූ බැවින් කතෝලික දහම හා ශුද්ධ වූ ප්‍රැන්සිස් සේවියර තුමන් පිළිබඳ දැන ගැනීමෙන් තමනට ද ක්‍රිස්තියානි කරුවන් වීමට ඇවැසි බව එතුමන්ට දන්වා යැවීමයි. තමුනට ආරාධනා කර, කිතුනුවන් වීමට නොවිසිල්ලෙන් සිටි ජනයා වෙත, සිය කාර්ය බහුලත්වය නිසා යාමට නොහැකි වූයෙන් එතුමෝ වෙනත් පියතුමෙකු මන්නාරමට යැවූහ.

ඇතැමෙකුගේ මතය අනුව මේ පියතුමාගේ නමද ප්‍රැන්සිස් සේවියර් විය. ශ්‍රී ලංකාවේ සභා ඉතිහාසය ගැන හසල දැනුමක් ඇති වීටෝ පර්තියෝලා ජේසු නිකායික පියතුමාට අනුව බොහෝ දුරට මේ පියතුමාගේ නම ජුවන් දෙ ලිසානෝය. තවද බොහෝ දුරට ප්‍රසාද ස්නාපනය දානය කිරිම 1544 ඔක්තෝම්බර් මස සිදුවු බවට සාක්ෂි ඇත. ගණනින් 800 ක් පමණ වු මන්නාරමේ මේ කිතුනුවෝ කතෝලික දහම සිය දිවි දෙවැනි කොට සැලකුහ. මසක් ගත වන්නටත් ප්‍රථම සිය විශ්වාසය උදෙසා ප්‍රාණපාරිත්‍යගි වීමට, කතෝලික විශ්වාසයට සිය ජිවිතයෙන් සාක්ෂි දැරිමට තරම් ඔවුහු ප්‍රබල විශ්වාසයක් ඇත්තෝ වුහ. මන්නාරමේ ප්‍රාණපාරිත්‍යගිවරුන් 600 ගැන අද අපි කතා කරන විට, ඒ විශ්වාසයේ බීජය රෝපණය කිරීමට දායකවු ශු. ප්‍රැන්සිස් සේවියර් තුමන්වද අමතක කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ පෘතුගීසි ඉතිහාසය පිළිබඳ අසහාය ග්‍රන්ථයක් රචිත ෆර්නාඔ දෙ ක්වේරොස් ජේසු නිකායික පියතුමා මේ ප්‍රාණ පරිත්‍යාගි වීම ගැන විචිත්‍ර වු විස්තරයක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව ගැන ඇති සිය ඇල්මත් අසාධාරණයට එරෙහි වීමට නිතැතින් එතුමන් තුළැති ගුණාංගයත් එතුමාණන්ගේ ලිපිවලින් මනාව පිළිබිඹු වේ. වර්ෂ 1545 ජනවාරි 20 වැනි දින කොචින් හි සිට තුන්වෙනි ජුවාන් පෘතුගීසී අධිරාජයා (Joao III) වෙත ලියන මෙතුමා යාපනයේ රාජ්‍යයේ දහම් දෙසුමේ වැදගත්කම අවධාරණය කරයි. ඉන් සතියකට පසු රෝමයේ සිය නිකායික සොයුරන්ට ලියන එතුමා මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගිවරුන් හා කෝට්ටේ රජ වාසල බුවනෙකබාහු හා කෝට්ටේ දහම් දුත ප්‍රගතිය ගැන් සඳහන් කරයි.

වර්ෂ 1545 දී ශුද්ධවු ප්‍රැන්සිස් සේවියර් තුමා කොළඹ වරායට සේන්දු වන අතර එහිදී එතුමන්ගේ සේවයෙන් නැවෙහි කපිතාන්වරයාගේ සිදුවන සිත්හැරිම හා ජිවිත වෙනස ඉතිහාසඥයෝ ඉතා විචිත්‍රව දක්වති. මේ ගමනේදි කෝට්ටේ රජු සත්වන බුවනෙකබාහු රජු හමුවන එතුමා රජුට පෘතුගාලයේ අධිරාජ්‍යයාගෙන් ලිපියක් භාර දෙයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඉන් පසුව මන්නාරම දක්වා යාත්‍රා කරන සේවියර් තුමා ඉන්පසු නැදුන්තිව් දූපතට ගොඩ බසි. එම වසරේ ඔක්තෝම්බර් මස පෘතුගීසි මලක්කාවට ගොඩ බසින අතර එහි එතුමාට තව තෙමසක් රැදීසිටිමට සිදුවෙයි. 1546 ජනවාරි පළමු දින මලක්කාවෙන් අම්බොන් දූපත සඳහා පිටවන එතුමා ජනවාරි මස මැද දක්වා එහි වසයි. ටර්නෙට්, හල්මහෙරා හා මොරොටයි යන දුපත් ද මේ අතරතුර එතුමන්ගේ දහම් මඟෙහි වෙයි.
පාස්කුවෙන් නොබෝ කලකට පසු නැවතත් අම්බොන් දූපත් කරා එන අතර පසුව නැවත මලක්කා වෙත එතුමෝ ගොඩ බසිති. මින් පසුව දකින්නට ඇත්තේ ඉන්දුනීසියාවේ විවිධ දුපත් වල එතුමන්ගේ ධර්මදුතික සේවාවයි. 1546 - 1546 දක්වා මෙතුමා මොලුක්කා දූපත් වල සේවය කළ අතර 1546 අවසාන කතෝලිකයන් 10,000 එහි දක්නට ලැබුණි. එතුමා අස්වැද්දු දහම් කෙතෙහි ඵල අපට පෙනෙන්නේ 1590 වන විට මෙහි කතෝලික ජනගහනය 50,000 ක් 60,000 ක් පමණ දක්වා වර්ධනය වීමෙනි. 1546 මාර්තු 19 වෙනි දින අම්බොන් හි සිට යුරෝපිය නිකායික සොයුරන් වෙත ලියන ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා ශ්‍රී ලංකාවේ සිටිය පියවරුන් ගැන විස්තර කරයි.එහිදි ජනවාරි 20 වැනි දින කොචින් හි සිට පෘතුගීසි අධිරාජ්‍යාට තැලෙන පෑගෙන, දුක්විඳින කිතුනුවන්ගේ හඬ වෙමින් ඔහුන්ට සාධාරණයක් කරන මෙන් ඉල්ලයි. ඉන්දියාවේ පෘතුගීසී පාලකයන්ට විරුද්ධව ඔහුන්ගේ අසාධාරණයන්ට විරුද්ධව හඬ නඟන අභීත ක්‍රිස්තු චරිතය මෙහිදි අපට පැහැදිලි වේ. 1549 ජනවාරි මස 26 වන දින අධිරාජයා වෙත ලියවුණු ලිපිය සිය චිත්තවේග එළිදක්වන කදිම නිදසුනකි. 1548 නැවතත් ඉන්දියාව කරා පැමිණෙන අප සුදුවරයාණෝ 1549 අප්‍රේල් හි මලක්කාවට නැවත ගොඩබසී.

මෙතුමා එම වසරේ ජුලි 27 වන දින ජපානයට ලඟා වෙයි. අගෝස්තු 15 දින වන විට කියූෂූ දිවයිනේ කගෝෂිමා වෙරළේ සිටින මෙතුමා ජපානයට බට ප්‍රථම ජේසු නිකායික පියතුමාය. වසර දෙකකට අධික කාලයක් එහි සේවය කර නැවතත් ඉන්දියාව කරා ඒමේ අදහසින් එතුමෝ පිටත් වුහ. සිය ගමන් මඟෙහි චීනයේ දුපතක නතර වු අතර එයින් පසු නැවතත් ගෝව බලා සිය චාරිකාව ඇරඹුහ. ඉන්පසු ප්‍රැන්සිස් සේවියර් තුමා ගාල්ලට සේන්දු වු අතර එහිදී 1551 අවසානයේ සිදුවු මෙම පැමිණිමේදි මිගුවෙල් ෆර්නැන්ඩස් නමැති පෘතුගීසී ජාතිකයා හමුවී රෝගාතුරව සිටි ඔහුට එතුමන්ගේ මැදිහත් මෙහෙයෙන් සුවය ලබාදුනි. ශුද්ධවු ප්‍රැන්සිස් සේවියර් තුමන්ව ශුද්ධවරයට එසවීමේ ක්‍රියාවලියේදී මොහු ද එතුමන්ගේ ශුද්ධවන්ත ජිවිතය ගැන සාක්ෂි දරා ඇත.

ඉන්පසු 1552 ජනවාරි මස 24 වන දින ඉන්දියාවේ කොචින් නුවරට සැපත් වු ප්‍රැන්සිස් සේවියර් තුමා, එම වසරේදිම අප්‍රේල් මස 17 වන දින, දියාගේ පෙරේරා නම් වු අයෙක් සමඟ සාන්ත කෲස් යාත්‍රාවෙන් චීනය බලා පිටත් වුණී. එනමුදු මලක්කාවේ දී නොසිතු ලෙස බාධා පැමිණුනෙන් ගමන එම වසරේ අවසාන භාගය දක්වා අපහසු වුණි. චීනයේ ප්‍රධාන භුමියෙන් කී.මී. 14 පමණ දුරින් වු සන්ග්චූවන් (ශු. ජුවාම් තුමාගේ දූපත) දුපතට ගොඩ බට එතුමෝ චීනයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටියහ. අපමණ වෙහෙසව, කලකිරිම්, දුක්ගැහැට විඳ ධර්මදුත සේවයේ යෙදුණු මෙතුමා අන්තෝනියෝ නම් වු චීන ජාතිකයකු සමඟ එහි විසු අතර, චීනයේ ප්‍රධාන භූමියට ළඟා වීමට පෙර මේ දිවයිනේ උණ රෝගයෙන් ඔත්පල විය.

1552 දෙසැම්බර් 3 වන සෙනසුරාදා දින අප සුදුවරයාණෝ සුරලෝප්‍රාප්ත වුහ. එතුමන්ගේ මෘත ශරීරය සම්‍ප්‍රදායට අනුව ලී පෙට්ටියක බහා මේ දුපතේ වැළලීමට මොහොතකට පෙර එහි සිටියවුන්ගෙන් ඔහුන් ඉතා ගෞරවාදර කළ සේවියර් තුමාගේ ඇට කටු ඉතා ඉක්මනින් ලබා ගෙන එය ඉන්දියාවට ගෙන යාමට යෝජනා කෙරුණී. මේ සඳහා ශරීරයේ මාංශය හැකි තරම් ඉක්මනින් දියැවී යාමට උපකාරි වන ක්‍රමයක් ලෙස හුණු මෘත ශරීරය බහාලු මිනි පෙට්ටියට බහාලීම සිදු කෙරුණී. ඉන්දියාවට ගෙන යන තෙක් තාවකාලිකව කෙරුණු මිහිදනේ මිහිදන් ස්ථානය අමතක නොවනු වස් අන්තෝනියෝ නම් එතුමන් සමඟ සිටි පුද්ගලයකු විසින් ගල් කීපයක් තබන ලදී.

වසර ගණනාවක චීනයේ කොමියුනිස්ට්වාදී පාලනය නිසා, නොසලකා ගරා වැටී තිබුණු මෙම ස්ථානයේ ඉදිකළ ස්මාරකය හා කුඩා දෙව්මැදුර ශු. සේවියර් මුනිඳුන්ගේ 500 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන්, හොංකොං හී ජේසු නිකායික විද්‍යාලයේ මැදිහත් වීමේ හා උපකාරයෙන් නැවත පිළිසකර කිරිමේ අවකාශය මෑතදී ලැබුණි. 1553 පෙබරවාරි මස මැද වන විට මාස 2 1/2 පමණ වල දමා තිබු ප්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ මෘත ශරීරය නැවත ගොඩගෙන මලක්කාවට ගෙන යාමට කටයුතු යෙදුනි. පෙබරවාරි මස 17 වන දින මෘත ශරීරය බහාලු මිනි පෙට්ටිය ගොඩය ගෙන විවර කල විට ඔහුන් මහත් වු පුදුමයට පත්වුයේ නොදිරා, නැවුම්ව තවමත් සුගන්ධයෙන් යුතුව තිබෙන සිරුර දැකගන්නට ලැබු හෙයිනි.

දණ හිසට පහළින් ඇඟිල්ලක තරම් ප්‍රමාණයේ කොටසක් මාංශය කැපු ඔවුහු මෘත ශරීරයේ නොදිරුනු බව සාන්ත කෲස් යාත්‍රාවේ කපිතාන් වරයා වන දියාගො වාස්ට ඔප්පු කරනු වස් එය රැගෙන ගියහ. ඉන්පසුව නව සේද වස්ත්‍ර ශරීරයට පැළදු ඔවුහු මිනි පෙට්ටියේ බහාලු සිරුර සාන්ත කෲස් නැවේ ගෙන ගියහ. සිරුර සහිත නැව, 1553 මාර්තු මස 22 දින මලක්කාවට ළඟා විය. එහිදී අනුනායක හිමියන්ගේ අධීක්ෂණයෙන් පසු ශු. ප්‍රැන්සිස් සේවියර් තුමන්ගේ සිරුර කන්දේ ස්වාමිදුවගේ (Church of Our Lady of Mount) තැන්පත් කෙරුණී. සිය ජීවීත කාලය තුළදී පෘතුගීසී පාලකයන් විසින් ජනතාවට කළ පීඩා වලට විරුද්ධව හඬ නැඟීම නිසා සුදුවරයාණන් හා ඇති වු වෛරයට මෙන් එහිදි එතුමන්ගේ සිරුර මහත් නොසැළකිල්ලෙන් වළලන ලදී. මිනී පෙට්ටියෙන් ඉවත්කර සංක්‍රිස්තියන් කාමරයට ඇතුළුවන දොර අභියස කුඩා ඉඩක වැළැලීමේදී මිනී වල තුළම බලහත්කාරකමින් තද කිරිමෙන් සිරුරේ ගෙලට හානි සිදුවිය.

දේහය දෙවන වර පරීක්ෂාව

නැවතත් 1553 අගෝස්තු 15 දින සිරුර පරීක්ෂා කෙරුණී. මුහුණ වසා තිබු රෙදිකඩ සහ හිසට තබා තිබු කුඩා මෙට්ටය වියළි රුධිරයෙන් පෙඟි තිබුනි. නාසයටද තරමක හානි සිදුවී තිබු අතර රළු සිරුරට සැළකුම හේතුවෙන් මේ දේවල් සිදුවුවද ශරීරය දරදඬුවීමක් නම් වී නොතිබුණි. කළ සියලුම පරීක්ෂණ වලදි හෙළිවුයේ ශරීරය කල්තබා ගැනිම සඳහා කිසිදු ආකාරයක රසායනික ද්‍රව්‍ය භාවිතයක් සිදු නොවු බවයි. එමෙන්ම දුඟදක් වහනය වීමක්ද අසන්නට නොලැබේ.
මින් පසුව ශරීරය ගෝව නුවරට ලෝපෝ ද නොරොන්ඤ්ඤා නම් කපිතාන්වරයා දෙනක බහා ගෙන යන ලදී.

එවකට ජේසු නිකායික ප්‍රාදේශියාධිපතිව සිටි මෙල්කියෝ ශාන්තුවරයාගේ සිරුර අති මහත් හරසරින් ඉන්දීය භුමියට පිළිගත්තේය. ගෝවේ පෘතුගීසි ප්‍රති රාජයා ද තවත් රදළ පවුල් සමඟින් මේ අවස්ථාවට සහභාගි විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ගරු ගාම්භීරව කෙරුණු දේහය පිළිගැනීම විසිතුරු අලංකාර සැරසිලි වලින් ඔපවත්ව තිබුණි. කාල තුවක්කු ආචාර වෙඩිමුර, සහිතව ශරීරය 1554 මාර්තු 14 දින රාත්‍රි රිබන්දාර් වෙත ලඟා වු අතර එහි වු අජූදා (Church of Ajuda) වෙත ගෙන යන ලදි. දේහය එහිදී ප්‍රැන්සිස් සේවියර් තුමන්ගේ මිතුරකු වු දියාගෝ පෙරෙයිරා විසින් පරිත්‍යාග කළ ලී මිනී පෙට්ටියක බහා තිබුණි. ගෝවේ ප්‍රතිරාජයාත්, ගෝවේ අගරදගුරු තුමාත් සහ අනෙකුත් ප්‍රභූන් ගෝවේ පැරණී නගරයේ ශ්‍රී දේහය භාර ගැනිමට බලා සිටි අතර එය එහි ළඟා වුයේ ඉන් දින 2කට පසු එනම් මාර්තු 16 වැනි දිනය.

එහි ශු. පාවුලු තුමන්ගේ දේවස්ථානය කරා සිරුර ගෙන ගිය අතර, මේ අවස්ථාව උත්කර්ෂවත් කරනු වස් 40ක් පමණ වූ පැරණී ගෝව නගරයේ දේවස්ථාන සිය සීනු නාද කළේය. ශු. ප්‍රැන්සිස් සේවියර් තුමා අති ප්‍රසිද්ධ පුද්ගලයෙකු වු අතර, එතුමන්ගේ නිකායේ උප ප්‍රාදේශියාධිපති සහ ජේසු නිකායික විද්‍යාලයේ අධ්‍යක්ෂ පියතුමා වන මෙල්කියෝ නූනෙස් පියතුමා සුදුවර සිරුර 1554 මාර්තු 16 දින විවෘත කිරිමේදී දිටීය. ජේසු නිකායේ නිර්මාතෘ ශු. ඉග්නේෂස් ද ලොයෙලා තුමන්ට එදිනම ලියන මෙතුමා පවසන්නේ "මම මාගේ දෙනෙතින් දැක දෙඅතින් ස්පර්ශ කළෙමි. ඔහු දකින තුරු මට එය විශ්වාස කිරිමට පවා අපහසු විය."

නොදිරා ඇති ශරීරය මහජන ප්‍රදර්ශනයට තැබීමට ප්‍රථම ගෝවේ ප්‍රතිරාජයා වු අෆොන්සෝ දෙ නොරෙන්ඤ හා සිය වෛද්‍යවරයා වු වෛද්‍ය කොස්මේ දෙ කොස්මේ දෙ සරසිවා සහ ගෝවේ අනුනායක හා සභා පරිපාලක අම්බ්‍රෝසියෝ රිබෙයිරෝ වෙත ශරීරයේ නොදිරා ඇති බව පරීක්ෂා කරන මෙන් ඉල්ලීය. වෛද්‍ය සරයිවා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ ප්‍රැන්සිස් සේවියර් පියතුමන්ගේ මුළු සිරුරම ස්පර්ශ කල බවත්, එහිදී විශේෂයෙන් උදරය ප්‍රදේශයේ අන්තු පවා අතට දැනුනු බවත්ය. ශරීරය කල්තබා ගැනීමට හෝ කෘතිම ලෙස ආරක්ෂා කිරීමට කිසිදු ද්‍රව්‍යයක් භාවිතා කර නොමැති බවත් ඔහු සඳහන් කරයි.
සිය ධුරයේ නමින් දිව්රුම් සාක්ෂි දෙමින් ඔහු පවසන්නේ කලවා ප්‍රදේශයන් සහ අනෙකුත් ශරීර කොටස් තවමත් මාංශමය බවත් භෞතික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව වසර එකහමාරකට පමණ පෙර මියගිය, වසරකට පමණ කාලයක් මිහිදන් කළ, සිරුරක් මෙයාකාරයට සිරුරක් නොදිරන ලෙස රැක ගැනිමට අපොහොසත් බවත්ය. ඒ වන විටත් සිරුරේ යටි බඩට වම් පැත්තට වෙන්නට කුඩා සිදුරක් ඇති වී තිබුණී. වෞද්‍ය පරීක්ෂණ වලට අනුව එයින් දියරමය රුධිරය වෑහුණී. මේ පරීක්ෂාවෙන් පසුව සිරුර මහජන ප්‍රදර්ශනය සඳහා දින තුනක් තැබිය. එහිදී දෝනා ඉසබෙල් දෙ කරොන් නමැති පෘතුගීසි කාන්තාවක් සුදුවර සිරුරේ දකුණු කකුලේ කුඩා ඇඟිල්ලක් සපා වෙන් කල බව වාර්තා වෙර්.

දෙවන කොටස :

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 02 දෙවන කොටස
පළමු ලිපිය: ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරු

තෙවන කොටස :

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 03 තෙවන අවසන් කොටස
පළමු කොටස : ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරුර

ක්ලැරේෂියාන නිකායික ගරු ලෝරන්ස් එදිරිසිංහ සොයුරුතුමන් විසිනි..