ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 02 දෙවන කොටස

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 02 දෙවන කොටස

පළමු ලිපිය:

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස
(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරුර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේද?) දැනට ගෝවේ බොම් ජේසු බැසිලිකාවේ ඇති ශුද්ධ වූ ප්‍රැන්

දෙවන කොටස මෙතැන් සිට :

තවත් පුද්ගලයෙකු සිරුරෙන් කොටසක් ශුද්ධ ධාතුවක් ලෙස තබා ගැනිමට කපා ගත් අතර එය තරමක් වියළි එනමුත් රතු පැහැයෙන් වු බව සඳහන්ය. මහජන ප්‍රදර්ශනය අවසානයේ හතරවන දින සිරුර තෙවන වරට ශු. පාවුළු දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයට අසළින් වම් අත පැත්තේ වළලනු ලැබිණි. වර්ෂ 1560 දී මෙම දේවස්ථානය කඩා බිඳ දමන විට සිරුර නැවත ගොඩගෙන ජේසු නිකායික අධ්‍යක්ෂ පියතුමාගේ කුටියෙත්, පසුව එහිම ආධුනිකයන් පුහුණු අධ්‍යක්ෂක කුටියේත්, පසුව ශු. තෝමස තුමාගේ කුඩා දෙව්මැඳුරේත්, (Sao Tome) පසුව සංක්‍රිස්තියන් කාමරයේත් අවසානයේ බොම් ජේසු මැදුර වෙතත් ගෙන යන ලදි. (Casa Professa Do Bom Gesa)
ජේසු නිකායේ අධිපති ගරු ක්ලවුඩියෝ අක්වාවියා පියතුමා සේවියර් පියතුමන්ගේ ශරීර ධාතු කොටසක් ඉල්ලා එවු විට එවකට සිටි ප්‍රාදේශියාධිපති ප්‍රැන්සිස්කෝ වෙයිරා පියතුමා ඒ සඳහා කටයුතු සුදානම් කළේය.

1614 නොවැම්බර් මස 3 වැනි දින මධ්‍යම රාත්‍රියේ ඇතුළත වු කුඩා දෙව්මැඳුරක් තුළ මේ සඳහා ශරීරයේ කොටසක් වෙන්කිරිම සිදුවුණී. තෝමේ ඩයස් නම් වු ජේසු නිකායික සොයුරු තුමන් සුදුවර සිරුරේ දකුණතේ වැලිමිට ලඟින් කපා වෙන් කිරිම තවත් වැදගත් පුද්ගලයන් කීප දෙනෙකු හමුවේ සිදුකළේය. එය රෝමයට යැවුණු අතර අද දක්වා මේ දහස් ගණන් මිනිසුන්ට ප්‍රසාද ස්නාපනය දුන්, ආශිර්වාද කළ, සුරත රෝමයේ ජේසු නිකායික ප්‍රධාන දේවස්ථානය වන ඉල් ජේසු දේවස්ථානයේ (IL GESU) දැකගන්නට ඇත.

1619 අප්‍රේල් මස 27 වන දින දකුණතේ ඉතිරි කොටස වු උරහිසේ සිට වැලිමිට දක්වා වු කොටස් 3 කට කපා වෙන් කෙරුණි. මලක්කා, කොචින් හා මකවෝ හී ජේසු නිකායික විදුහල් වෙත එක් කොටස බැගින් යවන ලදි.

වර්ෂ 1620 දී ජේසු නිකායික අධිපති චෙට්ලෙච්ෂි පියතුමන්ගේ ඉල්ලිමට අනුව අන්තයන් ඇතුළු සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රීයන් පාහේ සිරුරෙන් වෙන් කෙරුණු අතර ලොව පුරා ශුද්ධ ධාතු ලෙස බෙදා හැරුණී. මේ අවස්ථාවේදී ජපානයට ද සුදුවර සිරුරේ කොටස් ශු. ධාතු ලෙස ලැබුණි.
1630 ලිස්බන් නුවර සිට පැමිණි ට්‍රැන්ක්විල්ලෝ ග්‍රාසෙට්ටි ධර්ම දූතික පියතුමා වෙනුවෙනුත් පසුව ස්පාඤ්ඤයේ එලිසබෙත් රැජන පුද පුදකල අනර්ඝ පූජා ඇඳුම් පළඳවනු වස් පළවුණු වාස් මාර්සෙල් මෙස්ට්‍රිල්ලි පියතුමාට සිරි දේහය අඩංගු මිනිපෙට්ටිය විවර කිරීමේ භාග්‍යය ලැබුණි.
සාමාන්‍යයෙන් මිනිය බහාලු දෙන විවර කළේ සාන්තුවර මංගල්‍යය දිනයට පමණක් වුවද වැදගත් ප්‍රභූවරයින් ගෝව නගරයේ සංචාරය සඳහා පැමිණි විට හා ඔවුන් සන්තූරය සිරුර සිපාචාර කිරීමට ඉල්ලූ විට ද ඉට අවස්ථාව ලැබුණි.

18 වන සියවස මැද භාගය වන විට සිරුරේ යම් පමණකට වියළීමට පටන් ගෙන තිබුණි. සිරුර නොබෝ කලකින්ම, අන් සියලු මළ සිරුරු මෙන්ම දූවිලි බවට හැරෙනු ඇතැයි යන බිය නිසා තවදුරටත් සිරුරැති දෙන විවර කිරීමට ඉඩ නොදෙන ආඥා නිකුත් කරන මෙන් ප්‍රාදේශියාධිපති ෆර්නාඔ දෙ ක්වෙයිරොස් පියතුමා 1681 නිකායේ ශ්‍රේෂ්ඨාධිපති පියතුමන් වෙත හසුනක් යැවීය.
1686 දී සුදුවර සිරුර නව මිනී පෙට්ටියකට බහාලන අවස්ථාවේ ප්‍රාදේශියාධිපති ගැස්පර් අෆොන්සො, ජේසු නිකායික ශ්‍රේෂ්ඨාධිපති තුමන්ගෙන් ඉල්ලා සිටියේ, සුදුවර සිරුර තවදුරටත් ධාතු සඳහා කොටස් කිරීම වැලැක්වීමටත්, නිතර නිතර දෙන විවර කිරීමෙන් ජනයා තුළ ඊට ඇති භක්තිය ගෞරවය හීන වීම වැලැක්වීමටත් සිරුර අඩංගු දෙන විවර කිරීම සභාවෙන් නෙරපා හැරීමේ දඩුවමට යටත් කර ආඥා නිකුත් කරන ලෙසයි. ජේසු නිකායික අනුනායක හිමියන් වූ දොමින්ගොස් දෙ මරිනිස් මේ බව ස්ථිර කර ඊට නිසැකවම ශ්‍රේෂ්ඨාධිපති  අනුමැතිය ලබා ලබාගන්නා බවට සහතික වුවද 1692 දී ඊට පටහැනිව දේහය අඩංගු මිනි මිනිපෙට්ටිය නැවත විවර කළ බව දක්නට ඇත. දේහය දැකබලාගැනීමට සිපාචාර කිරීමට ඇති උනන්දුව නිසාම මෙය ඉතා අසීරු කටයුත්තක් වූවාට සැක නැත.

1744 වසරේ නැවතත් සිරුරැති දෙන විවර කළ අවස්ථාවේ දී එය නිරුපද්‍රිතව හොඳ තත්වයේ ඇති බවට එවකට ප්‍රාදේශියාධිපති අන්ද්‍රේ පෙරෙයිරා විසින් කාබෝනෙ නම් වූ පියතුමා වෙත ලියු ලිපියේ සඳහන් වේ. ඔහුගේ වචන වලට අනුව "අපි අපගේ දෙනෙතින් තවදුරටත් විකාශනය වන ප්‍රාතිහාරයක් දුටිමු. හිසෙයි තවම හිසකෙස් ද, මුහුණ, පපුව, කකුල්වල තවම කුඩා රෝම කූප ද දකින්නට ඇත. සිරුරේ දකුණත නැත. සිරුරෙන් කිසිදු අප්‍රසන්න දුඟදක් හැමීමක් සිදු නොවේ."
වර්ෂ 1751 දී නැවත වරක් ගෝවේ ප්‍රතිරාජයා සහ සිය පවුලේ අයටත්, අගරදගුරු තුමන්ටත් සිරුර ප්‍රදර්ශනය කරනු පිණිස දෙන විවෘත කරන ලදී. එයට සහභාගිවූ දොම් ලුවිස් කෙටානෝ දෙ අල්මේදා නම් වූවෙකු ලියා ඇති පරිදි දකුණත රෝමයට යැවීම නිසා සිරුරේ වම් අත පමණක් දක්නට හැකිය.

එම අත යම් තරමකට දිරාපත් වීම පටන් ගෙන තිබුණත් එහි ඇඟිලි හා නියපොතු  පැහැදිලිව දැකගත හැක. සිරුරේ දෙපා ද යම් වෙනස්කම් වලට භාජනය වෙමින් ඇති අතර දකුණු කකුලේ පස්වන ඇඟිල්ල අහිමිය. එතන රතු පීත්ත පටියක් ගැටගසා ඇත. (සුදුවර දේහය පළමුවන ප්‍රදර්ශනයේදී ඇති වූ ඉහත සඳහන් සිද්ධිය හේතුවෙන්) එහෙත් අනිකුත් දෙපා ඇඟිලි නියපොතු සහිතව දැකගත හැක. එතුමන්ගේ මුහුණ නැවුම් නමුත් යම් ආකාරයක ධවල පැහැයක් ගෙන ඇත. විශාල හිසත් නළලත් ගැන සඳහන් කරන ඔහු දෙනෙත් පියා සිටින්නාක් මෙන් දිස් වන බවත් මුළු මුහුණම එකම පැහැයක් ගෙන ඇති බැවින් ඇහිබැමත්, රැවුලත් හඳුනාගැනීම ඔහුට අපහසු වූ බව පවසයි. කම්මුලට ඉහළින් වූ ප්‍රදේශය නැවුම්ව තිබූ බවත් නාසය යම් තරමකට දකුණට ඇලව ඇති බවත් පවසයි. හිස ද යම් තරමකට පපුව දෙසට බරව ඇතැයි ඔහුගේ වාර්තාවේ දැක්වේ.
නිතර නිතර මිනි මිනිපෙට්ටිය විවර කිරීමේ හේතුවෙන් සුදුවර සිරුරට වන හානිය ගැන අසා පෘතුගාලයේ පළමුවන දොම් ජෝසේ රජු, සිය අවසරය රහිතව එය කිසිදු පුද්ගලයෙකුට ප්‍රදර්ශනයට විවරණ විවර නොකරන ලෙස 1755 අප්‍රේල් 02 දින ආඥා නිකුත් කළේය.

පෘතුගාලයේ රජුගේ අමාත්‍ය මාර්කුස් ද පොම්බාල් 1759 දී ගෝවේ ජේසු නිකායික ඒකාධිකාරය අවසන් කරමින් ඔවුන් නෙරපා හැරීය හැරිය. එනයින් බොම් ජේසු දේවස්ථානය සුදුවර සිරුර සහ තවත් ජේසු නිකායට හිමි දෑ ගෝවේ අගරදගුරුතුමන් අතට පැවරිණී. ජේසු නිකායිකයින් ගෝවෙන් පහ කිරීමත්, සුදුවර සිරුර තවදුරටත් ඔවුන් භාරයේ නොතිබීමත් හේතුවෙන් සිදුවන සිරුර ජේසු නිකායික පියතුමන්ලා තමන් සමග ගෙන ගොස් ඇති බවටත්, රදගුරුතුමා භාරයේ ඇත්තේ අන්කෝනියෝ ගෝවිස් නැමැති පුද්ගලයකුගේ බවටත් දෘෂ්‍යමාන ආරංචි කටකටා පැතිර යන්නට ගති. මේ නිසා සත්‍ය ඔප්පු කරනුවස් 1782 දී මහජන ප්‍රදර්ශනය සඳහා නැවත සුදුවර  සිරුර තැබුණි. මේ දෘශ්‍යමාන ආරංචි කටකතාවල අසත්‍ය බව එවිට කල වෛද්‍ය පරීක්ෂණය මගින් ද සනාථ වී ඇත. 1859 වසරේදී සුදුවර සිරුර වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී ද ඊට පෙර සඳහන් තොරතුරු සනාථ කරමින් වාර්තා ඇත. කෙසේ වුවද සිරුර ක්‍රමයෙන් දිරාපත් වීමේ ලක්ෂණ පෙන්නන්නට පටන් ගැනීම මේ වාර්තාවල දක්නට ලැබේ. මුහුණ, දෙපස හා ඉතිරිව ඇති අත නොදිරා තිබුණද පූජක ඇදුම් වලට ආවරණය වී තිබූ බොහෝ කොටස් ඒ වන විට දිරමින් පැවතිණි. සිරුරේ හිස සිට කකුලේ මාපට ඇඟිල්ල අවසානය තෙක් දිග සෙ.මී. 170 ක් හා විලුබේ සිට හිස දක්වා දිග සෙ.මී. 162ක් ලෙස වාර්තා වී ඇත. වර්ෂ 1955 ඉතාලියානු ජාතික බ්‍රන්ඩිසි එටොරේ පැමිණ සිරුරේ අස්ථි ක්‍රමානුකූලව සැකසුවද මුහුණ, අත සහ දෙපා පිළිසකර කිරීමක් සිදු නොවීය. දැනට සිදු කෙරෙන අවසාන වෛද්‍ය පරීක්ෂණය ගෝවේ  වෛද්‍ය විද්‍යාලයේ අදියුරු වෛද්‍ය ජුවන් මනුවෙල් පචෙකෝ දෙ ෆිගු එයිරෙඩො සහ වෛද්‍ය පේදුරු දෙ අතයි ඔඑ යන අය විසින් පවත්වන ලදී. මුහුණ ප්‍රදේශයේ වෙමින් පවතින වෙනස්වීම් ගැන එහිදී සඳහන් වන අතර ම වම් ඇසපිය ද දක්නට නොලැබුණු බවත් සම යම් ආකාරයක දිරාපත් වීමකට භාජන වන බවත් සඳහන් වේ. දකුණු කන තරමින් කුඩාව ඇති නමුත් ශරීරයේ අතෙහි හා දෙපයෙහි නහර තවමත් දකින්නට ඇති බවත් එහි කියවේ.

සිරුරේ අවසාන එනම් පහළොස් වන ප්‍රසිද්ධ සහ පූර්ණ අනුමැතිය ලද මහජන ප්‍රදර්ශනය 1994 නොවැම්බර් 21 සිට 1995 ජනවාරි 7 දක්වා පැවත්වුණි. ඒ සඳහා සුවිශාල ජනකායක් ලොව නන්දෙසින් රැස් වූහ. මේ කරුණු සියල්ල සැලකීමේදී අපිට පෙනී යන්නේ ශුද්ධ වු ෆ්‍රැන්සිස් සේවියර් තුමන්ගේ ජිවිත කතාව මෙන්ම නොදිරා ඇති දේහය ද මනා ලෙස ලිඛිත සාක්ෂි වලින් අප වෙත ලැබී ඇති බවයි. පෘතුගීසි ඉතිහාසය ලිවීම ගැන උනන්දුවක් දැක්වූ බව ඔවුන් විසින් ආසියාව ලියා ඇති අනගි ග්‍රන්ථයන්ගෙන් පැහැදිළිවේ. ජාඕ දෙ බරොස්, කූවෝ වැනි ඉතිහාසඥයන් ද, පාවුළු ද ත්‍රිනිදා දෙ හා ශ්‍රී ලංකාව ගැන ඉතා වටිනා දිගු ඉතිහාස ග්‍රන්ථයක් සම්පාදනය කළ ෆර්නාමේ දෙ ක්වෙයිරොස්  යන පියතුමන්ලා ද මීට ඉහත හොඳ නිදසුන් ය. එහෙයින් අපට පෙනෙන්නේ සුදුවර චරිතයක්, එතුමන්ගේ සිරුරේ ඉතිහාසයත් පදනමක් හෝ වගකීමක් හෝ නැති කටකතා ජනප්‍රවාද මත නොව ලිඛිත ඉතිහාසය මත පදනම්ව ඇති බවයි.

ඇස්. බී. කරලියැද්ද මහතාගේ ලිපියට අනුව ශ්‍රී රාහුල හිමියන්ගේ යැයි කියන මේ දේහය ගාල්ලෙන් ගෝවට ගෙන ගොස් ඇත්තේ 1552 මුල් භාගයේ දී ය. අප මෙහිදී සිහියට ගත යුත්තේ ප්‍රැන්සිස් සේවියර් තුමා මේ වෙනවිට තවම ජීවත් වූ බවත් එතුමා 1552 දෙසැම්බර් 3 වන දින ස්වර්ගස්ථ වූ බවත්ය.

ෆ්‍රැන්සිස් සේවියර් මුනි දුන් ගාලු වරායට 2551 වසරේ අවසන පැමිණ, එහිදී සිදුකළ සුවකිරීමේ ප්‍රාතිහාරය අපි ඉහත විස්තර කළෙමු. කෙනෙක් ජීවත් ජීවත්ව සිටියදී එම පුද්ගලයාගේ යැයි කියමින් වැදුම් පිදුම් සඳහා සිරුරක් ගෙන යාම විහිළුවකි. ඊටත් වඩා හාස්‍යජනක වන්නේ එය බලෙන් රැගෙන යාමට ගාල්ල කොටුවට ප්‍රැන්සිස් සේවියර් තුමාම පැමිණ බව ලියුම්කරු පැවසීමයි.
ඔහුට අනුව පෘතුගීසීන්ට මෙම සිරුර ගෝවේට ගෙනයාමට ඉඩ දී ඇත්තේ කෝට්ටේ රජ වූ ධර්මපාලය. ලංකා ඉතිහාසය ගැන මීට වඩා දැන සිටියා නම් මෙවැනි සාවද්‍ය අදහසක් මැඬලීමට හැකිවනු ඇත. කෝට්ටේ රජ කළ හත්වන බුවනෙකබාහු රජුගේ අභාවය 1551 දී මැයි මස  20 - 25 ත් අතර සිදු වූ බවට වත්මත් පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

එතුමන්ගේ මරණින් පසුව ධර්මපාල කුමරු රජු බවට ප්‍රකාශ කෙරුණද පාලනය නොකළේ ඔහු තවම බාලයකු ව සිටි බැවිනි. එමෙන්ම 1552 වසරේදී එක්වරම ඔහු ක්‍රිස්තියානි දහම පිළිගත්තේ ද නැත. වීටෝ පර්නියෝලා පියතුමාට අනුව 1552 දී ධර්මපාල කුමරු අවු:16 ක් හෝ 17 පමණ වයසය. (Perniola V, The Catholic Church In Sri Lanka, Portuguese Peried Volume I, 330) 1552, දෙසැම්බර් මස 15 වන දින අන්තෝනියෝ සයස් නම් ජේසු නිකායික පියතුමා ජේසු නිකායේ ඉන්දියාවේ උප ප්‍රාදේශීධිපති තුමන් වන තුමන් වන ගස්පාර් බර්සේයුස් වෙත ලිපියක් ලියමින් පවසනුයේ ද කෝට්ටේ රාජ්‍ය රාජ්‍යයේ ඒ වන විට ධර්මපාල කුමරු ලා බාලයකු බැවින් ඔහුගේ බාප්පා එනම් වීදිය බණ්ඩාරගේ සොහොයුරා වන තම්මිට සූරියබණ්ඩාරයන් භාරයේ ඇති බවයි. තවම ධර්මපාල රජු රාජ්‍ය පාලනය නොකරන බව පැහැදිලිවම පවසන ඔහු පසුව එම ලිපියේ ම මෙම පියතුමා පවසන්නේ තම්මිට සූරියබණ්ඩාර ධර්මපාල රජු කිතුනුවකු වීමෙන් වළක්වා ලීමට අදහස් කළ බවත් ඒ සඳහා ඔහු විවිධ හේතු ගෙන හැර පෑ බවත් ය. මෙයින් ඉතා පැහැදිලි වන්නේ 1551 බුවනෙකබාහු රජුගේ මරණින් පසුව පසුව 1552 අවසන් වන තුරුම කෝට්ටේ පාලනය තාන්ත්‍රය කිතුනුවන් වීමට කැමති නොවූ බවත් කිතුනුවන්ට ශුභදායී වාතාවරණයක් නොතිබූ බවත් ය.

1552 වසරේම වීදිය බණ්ඩාර ධර්මපාල රජුගේ පියා පානදුර, කළුතර, මග්ගොන, බේරුවල, ගාල්ල සහ වැලිගම යන ප්‍රදේශ විනාශ කළ බවත් පෘතුගීසීන් පළමුව සිය දේවස්ථාන තැනූ ස්ථානවල මේවායේ දේවස්ථාන සුනුවිසුනු කළ බවත් පෘතුගීසි ඉතිහාසඥයකු වන කූටෝ (Couto) සඳහන් කරයි. වීදිය බණ්ඩාර කිතුනුවන් මරණයටද පත් කළ බව පවසන ඔහු ප්‍රැන්සිස්කානු පියවරුන් තිදෙනෙක් ද මෙහිදී ප්‍රාණ පරිත්‍යාගී වූ බව පවසයි. (Perncola, 317) තවද පෘතුගීසි ලියුම් හුවමාරු අධ්‍යනයෙන් අපට පැහැදිලි වන්නේ 1552 අවසානයේ රටේ ඉතා භයානක තත්ත්වයක තිබූ බවය. වීදිය බණ්ඩාරගේ හිංසාවන්ට බියේ බොහෝ කිතුනුවෝ සිය ආගම අතහැර නැවතත් තම පරණ මාර්ගවලට හැරිණි. කෝට්ටේ නගරයේ නිවෙස් විනාශ කර ගිනිබත් කිරීම වීදිය බණ්ඩාර විසින් කෙරුණි. සියලු දෙසම කිතුනුවන් වීමේ මාර්ගය වැළැක්වීමට කෙරෙන උත්සාහයක් වන බව අන්තෝනියෝ ඩයස් පියතුමා සඳහන් කරයි. (Perniola, 337) මේ අනුව ප්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය ධර්මපාල රජතුමා පෘතුගීසින්ට ගෝවට ගෙනයාමට ඉඩ දුන්නා ය යන මතය සම්පූර්ණ පදනමින් තොරව බව පෙනේ. එසේ ගෙන යාමට ශරීරයක් නැතුවා මෙන්ම එවැනි යමක් තිබුණ ද එකල දේශපාලන සමාජ ආගමික වාතාවරනය තුල ධර්මපාලතුමන්ගේ සහය හෝ පෘතුගීසීන් එය ගෙනයාම හුදු ප්‍රලාපයක් ම පමණක් ම බව තහවුරු වේ. ධර්මපාල රජුගේ ප්‍රසාද ස්නාපනය ස්නාපනය 1556- 57 වසර පැවතුණි.

ඒ සඳහා නිදහස ඔහුට හිමි වූයේ හිමි වූයේ ද 1555 /56 සිය පියා වූ වීදිය බණ්ඩාර යපනයෙ දී ඝාතනයට ලක් වීමත් 1555 දී තම්මිට සූරිය බණ්ඩාර කිතු දහම වැළඳ ගැනීමත් ය. ඓතිහාසික සක්සුදක් සක්සුදක්සේ පැහැදිලි වන කරුණක් වන්නේ පෘතුගීසි කිතුනුවන් කිතුනු දහමෙන් බැහැර වූ කිසිදු ආගමට අයත් ධාතූන් හෝ පිළිරූ වන්දනාමාන නොකළ බවයි. පෘතුගීසි සමයේ ගැන අද පවා ඇති විශාල චෝදනාවක් වන්නේ ඔහු අන්‍යාගමික පූජ්‍ය ස්ථාන හා ගෞරවනීය දැයි විනාශ කළ බවයි. අප හොඳින් දන්නා පරිදි එකල පෘතුගීසීන්ට ආසියාවේ බොදුනු හෝ හින්දු දහම  හුදු මිත්‍යා දෘෂ්ඨී‍යන් පමණි. ඔවුන්ට මිසදිටුව වූ එවැනි දහම් අයත් දෑ වන්දනාමාන කිරීම සඳහා ඔවුන්ගේ දේවාස්ථානයක් වෙත ගෙන ගියේ යැයි කීම මහත් පරස්පර විරෝධී එමෙන්ම හාස්‍ය උපදවන අදහසකි. ශුද්ධවු ප්‍රැන්සිස් සේවියර් තුමාට පසුකාලීනව එල්ලවු එක් චෝදනාවක් වූයේ, එතුමා 1545 දී ධර්මාධිකරණයක් පැවැත්වීම සඳහා ඉල්ලා සිටි බවයි.

මේ ධර්මාධිකරණය එතුමාගේ මරණින් වසර ගණනකට පසු 2560 යෙදී ගෝවේ ආරම්භ විය. ගෝවේ හී ධර්මාධිකරණයේ තතු නිසි පරිදි විමසා බලන්නෙකුට පැහැදිලිවම පෙනෙන්නේ කිතුනු නොවන ශරීරය පමණක් නොව කෙස්ගහක් දතක් පවා පූජනීය තත්ත්වයේ ලා සැලකූම මෙමගින් දැඩි ලෙස හෙලා දුටු බවයි.  ධර්මාධිකරණයයේ ඇතැම් අවස්ථාවල සැලකිල්ලට ගැනුණු දෑ සලකන විට අපට වෙන මොනයම් ශුද්ධ ධාතුවක් ගැන සැකයක් කුකුසක් ඇති වුවත්, ශුද්ධ වූ ප්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ සිරුර ගැන කිසිදු එවැනි ගැටලුවක් මතු නොවන බවයි. ධර්මාධිකරණයේ ආයාචනය කළ සුදුවරයාම හිමිනමකගේ සිරුරක් වැඳුම් පිදුම් සඳහා ගෙන ගියේය යන්න පරස්පර විරෝධීය. මේ අනුව ගෝවේ හි බොම් ජේසු දේවස්තානයේ ඇති ශුද්ධ වූ පැන්සිස් එතුමන්ගේ නොවේය යන කිසිදු පදනමක් රහිත කතන්දරයක්ම බව ඔප්පු වී හමාරය.

වැඩිදුරටත් පවසනට ඇති කරුණක් නම් නොදිරන සිරුරකට හිමිකම් කී කතෝලික සභාවේ එකම තැනැත්තා සාන්ත ප්‍රැන්සිස් සේවියර් තුමා නොවන බවත් එමෙන්ම එතුමා සුදුවරයට පත් කරනු ලැබුවේ ද සිය නොදිරන සිරුර නිසා නොවන බවයි. කතෝලික සභාව යම් කෙනෙකු ශුද්ධවරයට පත් කිරීම සාමාන්‍යයෙන් වසර ගණනාවක් තුළ එම පුද්ගලයාගේ ජීවිතය අධ්‍යන කිරීමෙනි. ශුද්ධවත් ජීවිත ක්‍රමයකට පැහැදිලි සාක්ෂි හා ඒ තහවුරු කිරීමට සිදුවන ප්‍රාතිහාර්ය ඇති විට සිදුකරයි.  එසේ නොවන අවස්ථා ඇත්නම් ඒ බොහෝවිට ප්‍රාණ පරිත්‍යාගවරු සම්බන්ධයෙනි. ශුද්ධවු ප්‍රැන්සිස් සේවියර්  මුනිදුන්ගේ ධර්මදූත සේවය කෙරෙහි වු අප්‍රතිහත ධෛර්යය, කිතු තුමන් උදෙසා මුළු මහත් දිවියම කැපකිරීම, ශුද්ධවන්ත ජීවිතය හා දෙවිඳුන් කෙරෙහි වූ අචල විශ්වාස, එතුමන් පස්වන පාවුළු පාප්තුමා විසින් 1619 ඔක්තෝම්බර් 25 වැනි දින භාග්‍යවරයටත්, 15 වැනි ග්‍රෙගරි  පාප්තුමන් විසින් 1622 ක් මාර්තු 12 වැනි දින සුදුවරටත් එසේ වීමට හේතු විය. මීට අමතරව තවත් ඊට බලපෑ කරුණක් වූයේ එතුමා කෙරෙහි වූ මහත් ජනතා ප්‍රසාදයත්, එතුමාගේ මැදහත් කමින් විශාල ලෙස ප්‍රාතිහාර්‍යන් සිදුවීමත්ය.

තෙවන කොටස :

ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 03 තෙවන අවසන් කොටස
පළමු කොටස : ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුනි දූත සේවාව හා නොදිරන සිරුර - 01 පළමු කොටස(ඉන්දියාවේ ගෝවේ තැන්පත්ව ඇති නොදිරන සිරුර

ක්ලැරේෂියාන නිකායික ගරු ලෝරන්ස් එදිරිසිංහ සොයුරුතුමන් විසිනි