කතෝලික දහමට වින කළ නුවර නායක්කර් රජවරු - 02

කතෝලික දහමට වින කළ නුවර නායක්කර් රජවරු - 02

ක්‍රි.ව. 1747 අගෝස්තු මස 11 වැනිදා ශ්‍රී විජය රාජසිංහගේ ඇවෑමෙන් ඉක්බිති රජකමට පත්වුයේ වැන්දඹු රැජින ගේ ලාබාල සහෝදරයෙකි. හෙතෙම කීර්ති ශ්‍රී රාජසිංහ යන නාමය ආරූඪ කර ගත්තේය. මොහුද දකුණු ඉන්දියාවේ නායක්කර් පෙළපතට අයත් වුවෙකි. ශ්‍රී විජය රාජසිංහ ගේ මරණයත් ඒ පසුපස නුඑඅර රාජධානියේ ඇතිවු ව්‍යසනයන් රැසක්ද කතෝලික පුජකවරුන් කුරිරු ලෙස පන්නා දැමීමේ ප්‍රතිඵලයක් යන පිළිගැනිම ජනතාව අතර පතළ විය. මේ නිසා රජ මාළිගයේ සඟවා තිබු කතෝලික ප්‍රතිමා රැසක් කතෝලික පිරිස වෙත පෙරළා පවරන ලද අතර නුවර දෙව් මැඳුරේන් පැහැර ගත් ප්‍රතිමා පීඩනයේදි වහකෝට්ටේ වෙත පැන ගොස් රැඳී සිටි පෘතුගීසි පෙළපතේ ඇත්තන් වෙත පවරන ලදි. පුත්තලමේ දී පැහැර ගන්නා ලද පුස්කොළ පොත් 160 ක් පියතුමන්ලා වෙත බාර කෙරිණි.

කලක සිට තමන්ගේ බලහත්කාරකම් පෙන්වමින් සිටි ශ්‍රී විජය රාජසිංහ ගේ මාමා හෙවත් නව රජුගේ පියා තමන්ගේ බලය ප්‍රබල ලෙස ප්‍රදර්ශනය කිරිම ආරම්භ කළේය. හෙතෙම කතෝලික පියවරුන් යළි කැඳවන බව මන්ත්‍රණ සභාවේ දී ප්‍රකාශ කළේය. ඒ බව හෙතෙම පියවරුන් වෙත දන්වා යැවීය. මොහුගේ ක්‍රියාදාමය සෙසු සිංහල ප්‍රධානින් අතර නුරුස්සන සුළු විය. නායක්කර් මාමා කූට කෛරාටිකයෙකි. ඔහුට අවශ්‍ය වී තිබුණේ පියවරුන් ගෙන් දීමනාවන් ලබා ගැනිමයි. කෙසේ වෙතත් පියවරු දෙදෙනෙක් නුවරට පැමිණියහ. එතුමෝ කහ පැහැති වීදුරු ලාම්පු , රන් පැහැති රෙදි සහ ගෝවෙන් ලබාගත් රන් කාසි ස්වල්පයක් එහි රැගෙන ගියෝ ය. නායක්කර් මාමා ඒ සියල්ල රජුට නොදී තමන් වෙත තබා ගත්තේ ය. පියවරුනට රජු හමුවීමේ අවසරයද නොලැබිණි. ඒ හැරුණු විට ඔහු කියා සිටියේ තමන් මීට වඩා තෑගි බලාපොරොත්තු වන බවයි. මෙයින් කලකිරීමට පත් පියවරු මහා අධිකාරම් තුමා සමඟ රැදී සිට පෙරළා පිටත්ව ගියහ.

ක්‍රි.ව. 1749 අවුරුදු සමයේ දී නුවර මහා කලබැගෑනියක් වුයේ මහා අධිකාරම් තුමා සහ නායක්කර් මාමා අතර ඇතිවු ගැටුමකි. අවසානයේ දී සිංහල ප්‍රධානින් රජතුමාගෙන් ඉල්ලා සිටියේ මෙම මාමාටත් තවත් එවැනි නායක්කාර් ප්‍රධානියකු වු " යාපනේ මුදලි" ටත් දඬුවම් කරන ලෙසයි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සබරගමුවේ දිසාපති යළි පත් කරන ලදි. මෙය කරන ලද්දේ යළි වෙන කුමරකු රජ කිරිමේ කුමන්ත්‍රණයක් ඇතැයි යන රාවයක් පැතිර ගොස් තිබුණු හෙයිනි. මෙහිදි කතෝලික පියවරුන්ගෙන් උපදෙස් ලබාගත් රජතුමා නායක්කර්වරුන් ගේ බලපෑම් අනුව පත් කරන ලද දිසාපති යළි එම තනතුරෙහි පිහිටුවේය. මෙම පත්වීම හේතුවෙන් කතෝලික පියවරුනට යලි නුවර රාජධානිය තුළ ආගමික නිදහස උදා කෙරෙනු ඇතැයි බලාපොරොත්තු ඇති වුවත් එසේ නොවිය. එතුමනට අවසර ලැබුණේ නුවරින් දුරස්ත පළාත්වල විසු සැදැහැවතුන් හමුවීමේ නිදහස පමණි. පුත්තලම, හලාවත , කෝටියාර් සහ මඩකලපුව තුළ වැඩි නිදහසක් ලදහ.

ක්‍රි.ව. 1753 උපසම්පදා පිළිවෙත් රැගෙන සියමෙන් භික්ෂූන් වහන්සේ වැඩිය පසු යළි බලාපොරොත්තු උදාවිය. එම පිරිස සමඟ මෙහි සියමේ රජ කුමරකුද විය. එතුමන් කතෝලික පියවරුන්ගේ සේවාවන් යළි ලබා දීමට කැමැත්තෙන් සිටි බව කියැවේ. ඒ බව ඔහු ගරු පේඩ්‍රෝ පාවුලෝ පියතුමන් වෙත දන්වා ඇත. එහෙත් මෙම කුමරුන් රජ කැරවීමේ කුමන්ත්‍රණයක් ඇතැයි රාවයක් පැතිරීමත් සමඟ ඒ බලාපොරොත්තුව ද සුන් වී ගියේය. යලි වරක් කතෝලික පියවරුන් ගැන සඳහන් වන්නේ ප්‍රධාන අධිකාරම් ගේ ආරාධනයක් සම්බන්ධයෙන් ය. අලුතෙන් පත් වු ප්‍රධාන අධිකාරම් තුමා පියවරුන් වෙත සුබපැතුම් ලිපියක් යවා ඔරලෝසුව ක් ද ඉල්ලා සිටියේ ය. කොළඹ ශ්‍රේෂ්ඨ පියතුමන් සැම තැන ඔරලෝසුවක් සොයා ගියත් ලබා ගත හැකි වුයේ කුඩා එකකි. එය අධිකාරම් වෙත යවන ලදි. එහෙත් එය ලබාගත් ඔහු වඩා විශාල, වේලාව වදින ඔරලෝසුවක් බලාපොරොත්තු වන බව දන්වා යැවීය. මෙවැන්නක් කොළඹ කොහේවත් නොවීය.

මෙසේ වරින් වර බලාපොරොත්තු පහන් වුවත් ඒ කිසිවක් සාර්ථක නොවීය. නුවර නගරය තුළ දහම් දුත සේවාවන් යළි ආරම්භ කිරිම සිහිනයක්ම විය. කෙසේ වෙතත් ගරු පියවරු රාජධානිය තුළ ජීවත් වු සැදැහැවතුන් බලනු වස් විටින් විට පැමිණියෝ ය. එහෙත් එතුමනට එහි රැඳී සිටිය නොහැකිවිය. දිසාපති තුමන්ගේ කරුණාව ලද තන්හි මඳ කලක් එතුමෝ රැඳී සිටියෝ ය. අභ්‍යාන්තරයේ සිටි පිරිස හමුවීම කිසිසේත් පහසු නොවීය. මේ නිසා වහකෝට්ටේ වැනි ගම්වල විසු කතෝලිකයිනට පියතුමකු දැක ගැනිමේ වාසනාව උදා වුයේ ඉංග්‍රීසි පාලනය උදා වු පසුවයි. මෙහි, හැකියාව ඇත්තෝ පාපොච්චාරණය සහ අනෙකුත් ප්‍රසාද නිධාන ලබා ගැනිම සඳහා මීගමුවට ගියෝ ය. මීගමුවේ දෙව්මැඳුරු ලේඛන මෙසේ වහකෝට්ටේ පිරිස පැමිණ සිදුකළ විවාහ මංගල්‍යන් පිළිබඳ සාක්ෂි දරයි.

මේ පීඩන පිළිබඳ පුවත් රෝමයේ සසුනිසුරාණෝද ලදහ. වෙසෙසින් අන්‍යගාමික අන්තවාදී පිරිස ජුසේවාස් පියතුමගේ සේවාව ගැන එරෙහිව කළ අසාධාරණය විනාශය ගැන දැනුවත් වු එතුමෝ හෙවත් අතිඋතුම් දස සතර වැනි බෙනඩික්ට් පාප් තුමෝ ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට විගස ඔසවනු වස් සභා නීති මාලාවද ලිහිල් කළෝය. වෙසෙසින් ශුද්ධවත් බව පිළිබඳ සාක්ෂි ලබා ගැනිම මෙයින් පහසු කරන ලද නමුත් නුවර එකල පැවැති පීඩනය හේතුවෙන් එම සාක්ෂි ලබා ගැනිමේ ප්‍රයත්නය අසාර්ථක විය.

නුවරින් පිටුවහල් කරන ලද පිරිස ගෙන් නුවරට එරෙහිව සහයෝගය දිනා ගැනිමේ අරමුණ මවාගත් ඕලන්දයෝ මීගමු කතෝලික පිරිස වෙත බලපෑ තහංචි මඳක් ලිහිල් කලහ. මේ අනුව කතෝලික පියවරුනට ඕලන්ද පාලනය පැවැති පළාත් තුළ සේවා කිරිමේ අවසරය ලැබිණ. ප්‍රස්තූත කරුණු අප ජාතික ඉතිහාස ග්‍රන්ථයේ ලියැවී ඇත්තේ විකෘතිකොට සහ අපහාසාත්මක ලෙසයි. ඒ කෙසේ වෙතත් අප පැරැණි සිංහල රජවරු කතෝලික දහම වෙත සාධාරණව ක්‍රියා කලහ.

ඒ යුගයේ බිහිවු කතෝලික පුජාප්‍රසාදීන් වහන්සේ ද බිහිවුහ. නුවර දෙවැනි රජ පෙළපත ද කතෝලිකයිනට ආදරය හා ගෞරවය ද දක්වමින් ඔහුනට ඕලන්දයින්ගෙන් සහ බෞද්ධ පුජක පිරිසක ගෙන් පැමිණි විරෝධයේදි ආරක්ෂාව හා රැකවරණය ලබා දුන්හ. එහෙත් නුවර සිංහසනය ඉන්දියාවේ මදුරේ ප්‍රදේශයෙන් පැමිණි නායක්කර් පෙළපත වෙත පැවැරුනදා සිට තත්ත්වය වෙනස් විය. කලක් තුළ පීඩනයෙන් සහ අසත්‍ය චෝදනා ගෙනැවිත් කතෝලික විරුද්ධවාදීනට විනාශ කළ නොහැකි වු කතෝලික ප්‍රජාව අවසානයේ දී ප්‍රචණ්ඩත්වයෙන් විනාශ කරන ලදි. උත්තරීතර බෞද්ධ ප්‍රතිපත්තියක් වු උපේක්ෂාව මෙම විදේශීය දමිළ රජවරු උල්ලංඝනය කළෝය. පහත රට කතෝලික ප්‍රගතිය කරලියට පත්වුයේ අන්තිම සිංහල රජු කිතු දහම වැළඳ ගැනිමෙන් ය. එසේම උඩරට රජ පෙළපතේ අවසාන නුවර රජවරු කතෝලික දහමට ප්‍රබල රැකවරණයක් මෙන්ම දායකත්වයක් ද ලබා දුන්හ. විරුද්ධත්වය පෑවෝ විදේශීහූය.

(මෙම දත්ත ජේසු නිකායික එස්.ජී පෙරේරා පියතුමන්ගේ ග්‍රන්ථ ආශ්‍රයෙන් ලබා ගත් බව ගුණවත්ව දන්වමි)

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ