මොරටු දිසාවේ ඉපැරණිතම කිතුනු සංඝයේ මුදුන්මල්කඩ වන මොරටු කටුකුරුන්ද උත්පත්ති දේවමාතා දේවස්ථානය

මොරටු දිසාවේ ඉපැරණිතම කිතුනු සංඝයේ මුදුන්මල්කඩ වන මොරටු කටුකුරුන්ද උත්පත්ති දේවමාතා දේවස්ථානය

වසර 479 ක ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන මොරටු කටුකුරුන්ද සංඝයේ වාර්ෂික මංගලෝත්සවය වෙනුවෙනි.

මෙහි සඳහන් කරුණු සියල්ල මෑතකදී ලියා පලකරන ලද ග්‍රන්ථ හෝ ජුබිලි සඟරා වල සඳහන් ජනප්‍රවාද අනුව සකසන ලද්දක් නොවන අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත්විජිත සමයන් වල ලක්දිව සේවය කල මිෂනාරි පියවරුන් විසින්ම ලියා පලකරන ලද සහ ඒ ඒ යටත් විජිත පාලකයන් විසින් ලියා පලකරන ලද ලිඛිත සාධක ඇසුරෙන් කරන ලද ගවේෂණයන් මඟින් සකසන ලද වාර්තාවක් බව සලකන්න.

ලක්දිව කතෝලික උරුමය 6 වන සියවස දක්වා පැතිර තිබුනද ඒ පිළිබඳව පැහැදිලි ලිඛිත සාධක හමුවන්නේ ක්‍රි.ව. 14 වන සියවසේදීය. ඉතාලි ජාතික මිෂනාරි ගවේෂක ෆ්‍රැන්සිස්කානු නිකායික පූජකතුමෙකු වන  භාග්‍යවන්ත පොර්දනෝනේහි ඔදොරීක්කො තුමන් ඉතාලියේ සිට චීනය කරා යන ගමනේදී ලක්දිව දෙමසක් පමණ නැවතී සිට දිව්‍ය පූජාව ඔප්පු කරන්නට යෙදුනු බැව් එම ඵෙතිහාසික සාධක සනාථ කරයි. එහිදී එතුමන් විසින් ලක්දිව කතෝලිකයන් විසූ බව සඳහන් නොකලද ලක්දිව පිලිබඳ විස්තර කිරීමේදී මෙහි ජීවත්වූ වැසියන් තුල කිතුනු මූලාශ්‍ර පිලිබඳ දැනීමක් තිබූ බව පැහැදිලි වේ. එවකට ලක්දිව දේවස්ථාන තිබූ බවට පැහැදිලි සාධක ඉතාමත් සීමිතය.
16 වන සියවසේ පෘතුගීසි ආගමනයත් සමඟින් ලක්දිව කිතු සසුනේ පැහැදිලි ආරම්භය සනිටුහන් වී ඇත. ඒ අනුව ලක්දිව පළමු දේවස්ථාන ඉදිවන්නේ කොළඹ ඇතුළු පෘතුගීසි බලකොටු තුල පෘතුගීසි නිලධාරීන්ගේ භාවිතය සඳහාය. එකල පෘතුගීසි නිලධාරීන්ගේ ආගමික කටයුතු සඳහා මිෂනාරි පියවරුන් කිහිපදෙනෙක් ලක්දිව පැමිණ ඇත. එම මිෂනාරි පියවරුන් ලක්දිව ධර්ම දානයේ යෙදී සිටි බවට හෝ දේවස්ථාන,  යැදුම් ගෘහයන් ඉදි කල බවට පිළිගත හැකි සාධක නොමැත.

එවකට කෝට්ටේ රජකළ සත්වන භුවනෙකබාහු රජු විසින් පෘතුගාලයේ රජු වූ Dom Joao III ගෙන් කල ඉල්ලීම ප්‍රකාරව ක්‍රි.ව.1543 මාර්තු 25 වන දින ෆ්‍රැන්සිස්කානු නිකායික පළමු මිෂනාරි පියවරුන් කණ්ඩායම නිල වශයෙන් ධර්මදානිය කටයුතු සඳහා මෙරටට සැපත්වන ලදී. ක්‍රි.ව.1544දී එතුමන්ලාගේ නායකත්වය යටතේ නවතමයෙන් බෞතිස්මය ලැබූ ලක්දිව කතෝලිකයන්ගේ භාවිතය සඳහා පෘතුගීසි බලකොටු වලින් පිටත ඉදිවූ  පළමු දේවස්ථාන කිහිපය ලෙස සඳහන් වන්නේ කොළඹ, මීගමුව, පානදුර, කළුතර, මග්ගොන, බේරුවල, ගාල්ල සහ වැලිගම යන ස්ථානයන්හි ගොඩනැගූ දේවස්ථාන වේ.  එවකට වත්මන් මොරටු කටුකුරුන්ද මිසමට අයත් ප්‍රදේශය පානදුර පාලන ප්‍රදේශය යන නමින් පාලනය වූ අතර ඉහත සඳහන් දේවස්ථානය පෘතුගීසි සිතියම් වල දක්වා ඇත්තේද බොල්ගොඩ ජලාශයේ මුවදොරෙන් මෙපිට එනම් වත්මන් එගොඩඋයන ප්‍රදේශයේය. මෙම දේවස්ථානය කැපකර තිබූ ශුද්ධවන්තයා පිලිබඳ එම වාර්තා වල සඳහන් නොවන අතර එවකට පානදුර යන නාමය යටතේ ඉදිවූ පළමු දෙව්මැදුර වත්මන් මොරටු කටුකුරුන්ද මිසමට අයත් එගොඩඋයන ප්‍රදේශයේ ඉදි කරන ලද බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව එම ප්‍රදේශයේ එවකට කතෝලිකයන් වාසය කල බව පිළිගත හැකිය. ඒ අනුව බලන කල වසර 479ක ඉතිහාසයක් සහිත කතෝලික සංඝයක් මොරටු කටුකුරුන්දට හිමිය.

කරාව කුලයේ ජනතාවගෙන් කටුකුරුන්ද එගොඩඋයන සංඝය සමන්විත විය.  නැවතත් එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි දේවස්ථානය පිලිබඳ විස්තර හමුවන්නේ ක්‍රි.ව.1602දී ය. පෘතුගීසි යුගයේ ලක්දිව සපැමිණි පියතුමෙකු වන Paulo da Trindade  ෆ්‍රැන්සිස්කානු නිකායික පියතුමන් විසින් රචිත ග්‍රන්ථයේ ක්‍රි.ව.1602 වන විට ලක්දිව දකුණු ප්‍රදේශයේ දේවස්ථාන 18ක් තිබූ බව දක්වා ඇත. ඉන් එක් දේවස්ථානයක් ලෙස පානදුර හෙවත් එගොඩඋයන ප්‍රදේශයේ ඉදි වී තිබූ ශුද්ධවූ මරිය මදලේනා මුනිවරියට කැපකරන ලද දේවස්ථානය පිලිබඳ සඳහන් වේ. ඒ අනුව ලක්දිව ශුද්ධවූ මරිය මදලේනා මුනිවරියට කැපවූ පළමු දේවස්ථානය ලෙස මෙම දේවස්ථානය හඳුන්වා දිය හැක. ක්‍රි.ව 1602 වසරේදීම ජේසු නිකායික මිෂනාරි පියවරුන් ලක්දිව සැපත්විමද සිදු විය.

එගොඩඋයනේ පිහිටි මෙම දේවස්ථානය හැරුණුකොට මොරටුව ප්‍රදේශයේ වෙනත් දේවස්ථාන ඒ වන විට ඉදිවී තිබූ බවක් සඳහන් නොවේ. කෙසේ නමුත් ක්‍රි.ව.1850 වන විට ඉතා කුඩා යැදුම් ගෘහයන් මොරටුවේ ඉදිවී තිබූ බව අනුමාන කල හැක. වීදිය බණ්ඩාර විසින් සිදු කරන ලද කතෝලික සංහාරය සඳහාද මොරටුවේ කතෝලිකයන්ද ගොදුරු වූ බව කියැවේ. මොරටුව ප්‍රදේශයේ දේවස්ථාන පිලිබඳ විස්තර පළමුවෙන් හමුවන්නේ ක්‍රි.ව.1628 දී ය. ක්‍රි.ව. 1628 නොවැම්බර් මස 23 දින එවකට ලක්දිව පෘතුගීසි ආණ්ඩුකාරයාව සිටි Constantino de Sá de Noronha සාක්ෂිකරු කොට ලක්දිව කපිතාන් ජනරාල්වරයා විසින් කොළඹදී කරවන ලද දිව්රුම් ප්‍රකාශය අනුව ලක්දිව පිහිටි දේවස්ථාන 55ක් ෆ්‍රැන්සිස්කානු නිකායික ගෞ පාවුලෝ දි ත්‍රින්දාදී පූජාප්‍රසාදීන්වහන්සේ විසින් රචිත කෘතියේ සටහන් කර ඇත. ගෞ ෆෙර්නාඕ දි ක්වේරෝස් පූජාප්‍රසාදීන්වහන්සේ විසින් රචිත කෘතියේද එම වාර්තාව දැකගත හැකි අතර එහි දේවස්ථාන 56ක් පිළිබඳව සඳහන් කරයි.

ඒ අනුව ෆ්‍රැන්සිස්කානු පියවරුන් යටතේ පාලනයවූ මොරටුව ප්‍රදේශයේ තිබූ දේවස්ථාන වන්නේ,

සා මරිය මදලේනා දේවස්ථානය - එගොඩඋයන

යහපත් ජේසු සමිඳාණන්ගේ දේවස්ථානය - ගොරකාන දූව

ආශ්චර්යුක්ත දේවමාතා දේවස්ථානය - රයිගම් කෝරලය : පානදුර තොටමුණේ (පානදුර වෙරළාසන්නයේ)

සිරි කුරුස දේවස්ථානය - මොරටුව: ලුනාව වෙරළේ සිට වෙඩි තැබිය හැකි දුරින් රට තුලට වන්නට කන්දක් මත මෙම දේවස්ථානය පිහිටා ඇත. වත්මන් පල්ලියගොඩැල්ල විහාරස්ථානය පිහිටියේ එම ප්‍රදේශයේ බව අනුමාන කල හැක.

ජේසු නිකායික පියවරුන් යටතේ මොරටුව ප්‍රදේශයේ තිබූ දේවස්ථානයන් වන්නේ,

සා මිඛායෙල් දේවස්ථානය - මොරටුව : ලුනාව මෝය අසල

මෙම කාලය වන විට ඉතා බැතිමත් කතෝලික ජනතාවක් මොරටුවේ විසූ බව මිෂනාරි පියවරුන් විශේෂයෙන් සඳහන් කර ඇත. පෘතුගීසි යුගයේ ලක්දිව සේවය කල මිෂනාරි පියතුමන්ලා විසින්ම පල කර ඇති පැහැදිලි ලිඛිත කාරණා තිබියදී මොරටු දිසා දේවස්ථානයන්හි මෑතකාලීනව පලකරන ලද ජුබිලි සඟරාවන් ජනප්‍රවාද මත පමණක් පදනම්ව එක් එක් දේවස්ථානයන් පිහිටා තිබූ බවට සාවද්‍ය කරුණු කාරණා ඉදිරිපත් කර තිබීම සමස්ථ මොරටු දිසාවේම ඉතිහාසය අමු අමුවේ විකෘති කිරීමකි. ලක්දිව පළමු නිල මිෂනාරි කණ්ඩායම ලක්දිව සැපත් වන්නේ ක්‍රි.ව. 1543 දී වුවද ජනප්‍රවාද අනුව ගොඩනැගුනු මොරටු ඉතිහාසය අනුව ඊට පෙර දේවස්ථාන ඉදිවන්නේ කෙසේද යන්න ගැටලුවකි.

17 වන සියවසේ මධ්‍ය කාලීනව ලක්දිව පෘතුගීසි පාලනය අවසන් කර ඕලන්දයන් විසින් යටත් කර ගැනීමත් සමඟම මෙරට කතෝලිකයන්ට අඳුරු යුගයක් උදාවිය. එවක මොරටු කටුකුරුන්දේ විසූ කතෝලිකයන්ද රහසිගතව දහම ඇදහූ බවට ජීවමාන සාක්ෂියක් ලෙස වත්මන් දේවස්ථානයේ ස්ථාපිතව තිබී 20 වන සියවසේදී සොරකම් කරන ලද ඇත්දළ දේවමාතා ප්‍රතිමාව ඉදිරිපත් කල හැක.  නිර්දෝෂ දේවමාතා වහන්සේගේ මෙම ඇත්දල ප්‍රතිමාව ආරක්ෂා කර ගත යුතුව තිබූ එහෙත් ආරක්ෂා කරගැනීමට නොහැකිව අස්ථානගතවූ ඉතාමත් සුවිශේෂී ප්‍රතිමාවකි. මූර්තිමය ලක්ෂන අනුව මෙම ප්‍රතිමාව මනුවෙල්ලීනෝ මූර්ති ශෛලිය අනුව නෙලන ලද ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව Cingalo-Portuguese |  සිංගලෝ-පෘතුගීසි කාණ්ඩය යටතට අයත් විරල ගණයේ ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දිය හැක. මෙම ප්‍රතිමාව 17 වන සියවසේ අවසාන භාගයේදී හෝ 18 වන සියවසේ මුල් භාගයේදී (ක්‍රි.ව.1650 - 1720) එනම් ලක්දිව සුදුවර ජුසේ වාස් පිය සමයේ නෙලා ඇත.

මෙම ප්‍රතිමාව සබැඳි අසිරිමත් ජනප්‍රවාදයක් කටුකුරුන්ද දේවස්ථානයේ ජුබිලි සඟරාවන්හි සඳහන් වේග ලන්දේසි පීඩන සමයේදී නුග සහ පොල් ගස් වලින් ගැවසීගත් කටුකුරුන්ද  එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි පොල්අතු මඩුවක රහසිගතව ආගමික කටයුතු කිරීමට එකල විසූ කතෝලිකයන් කටයුතු කර ඇත. දිවා කාලයේදී එම මඩුව හරකුන් බඳින මඩුවක් ලෙස පවත්වාගෙන යන ලදී. රාත්‍රී කාලයේදී මෙම ප්‍රතිමාව මෙම මඩුවේ තබා ආගමික කටයුතු සිදු කරන ලදී. ආගමික කටයුතු කිරීම සඳහා පයාගල ප්‍රදේශයේ සිට පැමිණි මදප්පුලි ආරච්චිගේ ගේබ්‍රියෙල් ප්‍රනාන්දු නම් ගිහි සැදැහැවතෙක් මූලිකත්වය ගන්නා ලද අතර ඉහත සඳහන් ඇත්දළ ප්‍රතිමාව ඔහුට අයත් එකක් ලෙස සැලකේ. කෙසේ නමුත් ලන්දේසි සොල්දාදුවන් විසින් ඔහුව සිරගත කරන ලදී.

එකල එම ප්‍රදේශයේ විසූ ලන්දේසි නිලධාරියෙකුගේ බිරියට දරුවෙකු ලැබීමට ආසන්නවී ප්‍රසව වේදනාව උත්සන්න විය. විසඳුමක් නොමැති තැන අවට සිටියවුන් විසින් ගේබි්‍රයල් ප්‍රනාන්දු පිලිබඳ ලන්දේසි නිලධාරියාට දන්වන ලදී. එකල ඔහු සිරගතව සිටියද ලන්දේසි නිලධාරියාගේ අණින් ඔහු රැගෙන එන ලදී. අහිංසක අසරණ පෙනුමක් සහිත වූ එම පුද්ගලයා තමන්ගේ මඩිසලය තුල රුවාගෙන සිටි මෙම කුඩා ප්‍රතිමාව එහි තබා එතුමියගේ මධ්‍යස්ථ පිහිට පැතීය. ලන්දේසි නිලධාරියාගේ විලිරුදාවෙන් පීඩාවට පත්ව සිටි බිරිය සුවසේ දරුවෙකු බිහිකලාය. එවිට සිදුවූ දේ දැක ප්‍රීතියට පත් නිලධාරියා ගේබි්‍රයෙල් සිරෙන් නිදහස් කර ඔහුට වරයක්ද ලබා දෙන ලදී. එවිට ඔහු විසින් ලන්දේසින් විසින් ඔහුව සිරගත කරන අවස්ථාවේ විනාශ කරනු ලැබූ කටුකුරුන්දේ පොල් අතු මඩුව නැවත ඉදිකරගෙන ඒ තුල නිදහසේ ආගමික කටයුතු සිදු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලූ අතර එම අවසරය ඔහුට ලැබිණි.

කාලයාගේ ඇවෑමෙන් ගේබ්‍රියෙල් ප්‍රනාන්දුගේ අභාවයෙන් පසු ඔහුගේ පවුලේ අය සතු වූ මෙම ප්‍රතිමාව ක්‍රි.ව.1957 මැයි මස 19 වන දින ජයෝත්සවයෙන් දේවස්ථානයට වැඩම කරවා දැවමුවා මණ්ඩපයක තැන්පත් කර ඇත. එවක් පටන් දේවස්ථානයේ ස්ථාපිතව තිබූ මෙම ඉපැරණි ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව පසුකලකදී අස්ථාන ගතවී ඇත. මෙම ප්‍රතිමාව තැබීම සඳහා භාවිතා කලා යයි සැලකෙන දැවමුවා මණ්ඩපය වර්තමානයේදී කටුකුරුන්ද දේවස්ථානයේ ලැඟුම් ගෙය තුල තබා තිබේ. මෙම ප්‍රතිමාව පිලිබඳ දැනුමැති අයවලුන් සිටී නම් ඒ සුළු පිරිසකි. ප්‍රතිමාව සොරකම් කරන ලද අයවළුන් පිලිබඳ විවිධ කටකතා පැවතියද දේවස්ථානයේ ජනතාව ඒ පිළිබඳව උනන්දු නොවන බව පෙනී යයි. ලක්දිව කතෝලිකයන් වෙත එලිය උදා කරනු වස් ක්‍රි.ව.1687 දී ලක්දිව සැපත්වූ සුදුවර වාස් පියාණන්ගේ අවෑමෙන් ගෝවේ ඔරතෝරියානු නිකායික පියවරුන් විසින් ධර්මදානිය කටයුතු සිදු කරන ලදී.

සුදුවර වාස් පියාණන් මොරටු මුල්ල ප්‍රදේශයට සම්ප්‍රාප්ත වූ බවට මොරටු ඉතිහාසයේ ජනප්‍රවාදයක් ලෙස සඳහන් වුවද ඔරතෝරියානු පියවරුන්ගේ වාර්තා වල ඒ පිළිබඳව කිසිඳු සඳහනක් නැත. ගෞ ජාකොමේ ගොන්සාල්වේස් පියාණන් මොරටුවට සැපත්වූ බව එම වාර්තා වල දැක්වේ. ලක්දිව අපෝස්තුළුවර වාස් පියාණන්ගේ මරණයෙන් පසුවද ගෞ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් ඇතුළු ඔරතෝරියානු නිකායික මිෂනාරි පිරිස අනේක විධ දුෂ්කරතා මධ්‍යයේ ලක් කිතු සසුනේ උන්නතිය උදෙසා කැපවූ බව නොරහසකි.

ඔරතෝරියානු පියවරුන්ගේ ධර්මදානිය මෙහෙවරේ ප්‍රතිඵලයක් ලෙස මොරටුවේ වත්මන් ඉපැරණි දේවස්ථානයන්හි ආරම්භය සිදු වී ඇත. මොරටුව, උයන, කටුකුරුන්ද, කඩලාන, ලුනාව, අඟුලාන, රත්මලාන එම දේවස්ථානයන් වේ.  ලන්දේසි සමයේ දී වත්මන් පානදුර ප්‍රදේශයේ සලාගම කුලයට අයත් බෞද්ධ ජනතාවක් වාසය කල බවත් හලාවත ප්‍රදේශ වල කතෝලික ඉඩම් බලෙන් අල්ලා ගත් ලන්දේසින් එම ඉඩම්වල පානදුරේ බෞද්ධ ජනතාව පදිංචි කල බවත් වාර්තා වල සඳහන් වේ. පානදුර ප්‍රදේශයේ කතෝලිකයන් හට ලන්දේසින් ගෙන් පමණක් නොව බෞද්ධ ජනතාවගෙන්ද පීඩා එල්ල වීම නිසා පානදුරේ කතෝලිකයන් ඉතිරිවූ බව සිතිය නොහැක. ඒ අනුව බලන කලද වත්මන් පානදුර ප්‍රදේශයේ පෘතුගීසි සමයේ සිටි කතෝලිකයන් පීඩන සමයේදී වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට හෝ වෙනත් ආගම් වැළඳ ගන්නට ඇති බව අනුමාන කල හැක.

19 වන සියවස ආරම්භයේදී බ්‍රිතාන්‍ය පාලනය ලක්දිව ස්ථාපිත වීමත් සමඟින්ම කතෝලික පීඩන අවසන්ව සතුටුදායක කාලයක් ආරම්භ වූ බව අප දන්නා කරුණකි. එම කාලයේදී වාද්දුව සිට දෙහිවල දක්වා වූ ප්‍රදේශය මොරටුව සාන්ත සෙබස්තියන් දේවස්ථානය මව් දේවස්ථානය කොට ගත් මොරටුව ධර්මදූතික මධ්‍යස්ථානය යටතේ (එකල මීසම යන්න හඳුන්වන ලද්දේ මේ නමිනි) පාලනය වී ඇත. ක්‍රි.ව.1827 දෙසැම්බර් මස 04 වන දින ඔරතෝරියානු පියවරුන් විසින් ශුද්ධාසනයට යවන ලද වාර්තාවේ ලක්දිව කතෝලික දේවස්ථාන 284ක් පිලිබඳ සඳහන් වේ (Historical Archive of Goa, Moncoes 204, A ff. 280 – 284).

මොරටුව ප්‍රදේශයේ එවකට පිහිටි දේවස්ථාන වන්නේ, ගල්කිස්ස ශු අන්තෝනි, රත්මලාන ශු සෙබස්තියන්, උයන ශු ජුසේ, කඩලාන ශු අන්තෝනි, ලුනාව ශු පේදුරු, මොරටුව ශු සෙබස්තියන්, මොරටු කටුකුරුන්ද (පානදුර යන නමින් සඳහන් වේ) දේවමාතා සහ වාද්දුව දේවමාතා යන දේවස්ථාන වේ. .ව. 1836 වසරේ ලක්දිව ස්ථාපිතව තිබූ රෝමානු කතෝලික දේවස්ථානයන් (යැදුම් ගෘහයන්) පිලිබඳ සංගණන වාර්තාවක් එවකට ලක්දිව පාලනය කල බ්‍රිතාන්‍යයන් විසින් සකස් කර බ්‍රිතාන්‍ය රජු වෙත යවා ඇති අතර එම වාර්තාවේද ඉහත දේවස්ථාන සඳහන් වේ. ක්‍රි.ව. 1833 දී එවකට පානදුර පාලන ප්‍රදේශයට අයත්ව තිබූ කටුකුරුන්ද එගොඩඋයන ප්‍රදේශ මොරටුව පාලන ප්‍රදේශයට පවරා දෙන ලදී. ඉන්පසුව වුවද සැලකිය යුතු කාලයක් ගතවන තුරුම කටුකුරුන්ද එගොඩඋයන ප්‍රදේශ පානදුර පාලන ප්‍රදේශය යටතේ ක්‍රියාත්මක වී ඇත.

ක්‍රි.ව. 1844 දී එවකට ලක්දිව අනු පදවියේ රදගුරු ඔරතෝරියානු නිකායික අති උතුම් ගයිතානෝ අන්තෝනියෝ හිමිපාණන් විසින් ශුද්ධාසනය වෙත යවන ලද ඔරතෝරියානු නිකායික පූජාප්‍රසාදීන්වහන්සේලා විසින් රචිත ලියවිල්ලේ Pulatio Missionum et Erum Distantiarum කොටසේ  එවකට ලක්දිව පැවති දේවස්ථානයන් පිලිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව අනුව පානදුර ලෙස සඳහන් වන්නේද මොරටු කටුකුරුන්ද දේවමාතා දේවස්ථානය බව පැහැදිලි වේ. එම වාර්තාවට අනුව වාද්දුව දේවමාතා දේවස්ථානයේ සිට සැතපුම් 6 ක් දුරින් සහ මොරටුව සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට සැතපුම් දෙකක දුරින් වෙරළ දෙසට කටුකුරුන්ද දේවස්ථානය පිහිටා තිබූ බව සඳහන් වේ. එම දුර ප්‍රමාණයන් අනුව බලන කලද එවකට පානදුර යනුවෙන් වාර්තා වල සඳහන් වන්නේ කටුකුරුන්ද එගොඩඋයන ප්‍රදේශයේ පිහිටා තිබූ දේවස්ථානය බව තහවුරු වේ. වත්මන් පානදුර දේවස්ථානය ප්‍රථමයෙන් ඉදිවන්නේ ක්‍රි.ව. 1850 න් පසු පානදුර පට්ටිය ප්‍රදේශයේ (වත්මන් පානදුර දුම්රියපල ආසන්නයේ) බව නිමල මරිය නිකායික පියවරුන්ගේ වාර්තා වල පැහැදිලිව සඳහන් වේ.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමය තුල  මෙරටට සපැමිණි නිමල මරිය නිකායික පියවරුන්ගේ වාර්තා ගවේෂණයේදී එතුමන්ලා විසින් ඉදිරිපත් කර ඇති පෘතුගීසි සමයට අයත් විස්තර වල නිරවද්‍යතාවය පිලිබඳ ගැටළු මතු වනුයේ එම විස්තර බොහොමයක් ජනප්‍රවාදයන්ට අනුව ගොඩ නගා ඇති බැවිනි. කෙසේ නමුත් එතුමන්ලා විසින් බ්‍රිතාන්‍ය සමය තුල ශුද්ධාසනය වෙත යවන ලද ලියවිලි ඉතා

නිවැරදි බව පිළිගත හැක. එතුමන්ලාගේ වාර්තා අනුව මෙන්ම ඔරතෝරියානු පියවරුන්ගේ වාර්තා අනුව ක්‍රි.ව. 1858 - 1861 කාලයේදී මොරටුව, කටුකුරුන්ද සහ කොරලවැල්ල දේවස්ථාන ගොඩනැගීම ආරම්භ කර ඇත. ක්‍රි.ව. 1863 දී කටුකුරුන්ද දේවස්ථානයේ ගොඩනැගිල්ල තනවා නිම කර ඇතත් මොගොප්පුව අවසාන කර හෝ දේවස්ථානයක් ලෙස ආසිරි ගන්වා නොමැති බව එම සාධක අනුව පසක් වේ. වත්මන් දේවස්ථානයේ වැඩ නිම කර අභිෂේක කර ඇත්තේ ක්‍රි.ව.1881 දී ය.  පානදුර වත්මන් වික්ශෝප දේවමාතා දේවස්ථානය ක්‍රි.ව.1858 දී පානදුර පට්ටිය ප්‍රදේශයේ ඉදි කිරීමට මුල පුරන ලද බවද එම වාර්තා වල සඳහන් වේ. ක්‍රි.ව. 1861 - 1867 සමයේ මොරටුව ධර්මදූතික මධ්‍යස්ථානය පාලනය කල ගෞ බොන්දෝනි පියතුමන් ගේ මූලිකත්වය යටතේ කටුකුරුන්ද සාන්ත මරියා පාසල ආරම්භ කර ඇත. ඔප්පු අංක 395-23-9-1863ල 646-28-10-1864ල 1316-2-3-1867 සහ 1389-27-5-1867 යටතේ එවකට කටුකුරුන්ද වත්මන් දේවස්ථානය වෙත ඉඩම් පවරා දී ඇත. එවකට කටුකුරුන්ද දේවස්ථානයට අයත්ව තිබූ කොරලවැල්ල දේවස්ථානය සඳහා ඔප්පු අංක 2966-22-5-1860 යටතේ ඉඩම පවරා දී ඇත.

කටුකුරුන්ද දේවස්ථානයේ දහම්පාසල ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව.1876 දීය. ඒ අනුව කටුකුරුන්දේ දහම්පාසලට වසර 147ක ඉතිහාසයක් ඇත. පානදුර පට්ටිය, කටුකුරුන්ද, ලුනාව, කඩලාන සහ උයන දේවස්ථාන ක්‍රි.ව.1867 අප්‍රියෙල් මස 10 දින දේවස්ථානයන් ලෙස රජයේ ලියාපදිංචි කර ඇති අතර කටුකුරුන්ද දේවස්ථානය උත්පත්ති දේවමාතා යන නමින් ලියාපදිංචි කර ඇත.

මොරටුව, වාද්දුව, සරික්කාලිමුල්ල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන දේවස්ථාන 1867 මැයි 01 දින ද, වෑවල දේවස්ථානය 1867 දෙසැම්බර් 11 දිනද, විල්ලෝරාවත්ත 1902 අගෝස්තු 30 දිනද, අඟුලාන සහ කොරලවැල්ල 1926 මාර්තු 15 දිනද දේවස්ථානයන් ලෙස රජයේ ලියාපදිංචි කර ඇත.

ක්‍රි.ව. 1900 වන විට කටුකුරුන්ද එගොඩඋයන ප්‍රදේශයේ ජනගහනය 3861 වූ අතර ඉන් 2100 දෙනෙක් කතෝලිකයන් බව සඳහන් වේ. ක්‍රි.ව. 1877 - 1884 සමයේදී මොරටුව පාලනය කල ගෞ බර්ජරෙත්ති පියතුමන් විසින් කටුකුරුන්ද සහ කොරලවැල්ල දෙව්මැදුරු වල ගයනා කණ්ඩායම් එක් කර ක්‍රි.ව.1883දී මොරටුවේ මහා කැරොල් සංදර්ශනයක්ද පවත්වා ඇත.

මෙම සංදර්ශනය සඳහා සුභාරංචි ගායනා ලියන ලද්දේ මොරටු කටුකුරුන්දේ පළමු පූජක පුත්‍රයා වන ගෞ ග්‍රෙගරි සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේය. මෙතුමන් පිළිබඳව කටුකුරුන්ද ඉතිහාසයේ සඳහන් නොවීම කණගාටුවට කරුණකි.  දැනට හමුවී ඇති ලිඛිත සාධක අනුව මෙතුමන් මොරටු දිසාවේම පළමු පූජක පුත්‍රයා ලෙස වුවද සැලකිය හැක. ක්‍රි.ව. 1922 දී සග සැපත්වූ එතුමන්ගේ දේහය මොරටු කටුකුරුන්ද සුසාන භුමියේ හෝ මොරටුව සුසාන භුමියේ වලදමා ඇති බව පැහැදිලි වුවද ඒ පිළිබඳව නිවැරදිව සඳහන් නොවේ. ක්‍රි.ව. 1894 දී ආසිරි ගන්වන ලද කොරලවැල්ල කුඩා දේවස්ථානය 20 වන සියවසේ මුල් භාගයේදී විශාල ලෙස අලුත්වැඩියා කර වර්තමානයේ පවත්නා ස්වරූපය (ඉදිරිපස මණ්ඩපය හැර) අනුව සාදා ක්‍රි.ව.1927 දී ආසිරි ගන්වන ලද බවද එහි සඳහන් වේ. ක්‍රි.ව. 1913 දී අර්ධ මීසමක් ලෙස කටුකුරුන්ද සහ කඩලාන නම් කෙරිනි.   ක්‍රි.ව.1931 දී වත්මන් මොරටුව දිසාවේ දෙවන මීසම ලෙස කටුකුරුන්ද මව් දේවස්ථානය කොට ගත් කොරලවැල්ල සහ සරික්කාලිමුල්ල සංඝයන් එක් කර කටුකුරුන්ද මීසම පිහිටුවන ලදී.

මොරටු දිසාවේ දේවස්ථානයන් අතරින් ඉතාමත් දැකුම්කළුම සහ අත්‍යාලංකාරම දේවස්ථානය ලෙස කටුකුරුන්ද දේවස්ථානය හඳුන්වා දිය හැක. එසේම මොරටුව දිසාවේ වැඩිම ඉපැරණි ප්‍රතිමා ප්‍රමාණයකට හිමිකම් කියන්නේද කටුකුරුන්ද දේවස්ථානයයි. දේවස්ථානයේ පෙරහැර ප්‍රතිමාව සහ මංගල දිනවල ආසිරි ගන්වනු ලබන කුඩා ප්‍රතිමාව Indo – Portuguese කාණ්ඩයට අයත් ක්‍රි.ව.1750 - 1820 කාලයේ ඉන්දියාවේ නෙලන ලද දැවමුවා ප්‍රතිමා යුගලයකි. දේවස්ථානයේ ප්‍රධාන පූජාසනය දෙපස ස්ථාපිත සාන්ත ආනා (සන්තානා තලෙයිලුම් ස්වරූපය) සහ සාන්ත ජුසේ (San Jose de Botas හෙවත් බූට් පැළඳි ජුසේ මුනිඳුන්ගේ ස්වරූපය) ප්‍රතිමා යුගලය ක්‍රි.ව.1850 - 1900 කාලයේදී ඉන්දියාවේ නෙලන ලද Indo – Portuguese කාණ්ඩයට අයත් දැවමුවා ප්‍රතිමා යුගලයකි. ප්‍රධාන පූජාසනය ඉහලින්ම වැජඹෙන දේවදූත ප්‍රතිමා යුගලය ද ක්‍රි.ව.1850 - 1900 කාලයේදී ඉන්දියාවේ නෙලන ලද Indo – Portuguese කාණ්ඩයට අයත් දැවමුවා ප්‍රතිමා යුගලයකි. ඉහත කී ප්‍රතිමා සියල්ලම රොකෝකෝ මූර්ති ශෛලිය අනුව නෙලා ඇත. ප්‍රධාන පූජාසනය මධ්‍යයේ ඇති සුවිසල් දේවමාතා දැවමුවා ප්‍රතිමාව 19 වන සියවසේ අවසානයේදී හෝ 20 වන සියවසේ මුල් භාගයේදී ලක්දිව මූර්ති ශිල්පියෙකු විසින් නෙලන ලද්දකි. එම ප්‍රතිමාවේ මුල් වර්ණ ගැන්වීම පවා වර්තමානය දක්වාම ආරක්ෂා වී පවතී. දෙව්මැදුරේ පූජාසනය 20 වන සියවසේ මධ්‍යකාලීනව වඩාත් පුළුල් කර වර්තමානයේදී දැකිය හැකි ආකාරයට සකස් කර ඇත.

දේවස්ථානයේ සීනුව ක්‍රි.ව. 1900 - 1910 කාලයේදී ප්‍රංශයෙන් ගෙන්වන ලද්දකි. දේවස්ථානයේ වර්තමානය දක්වාම භාවිතා වන කොඩිගසේ ප්‍රධාන කොටස ද වසර 100කට ආසන්න ඉතිහාසයක් ඇති දැව කොඩි ගසකි. ක්‍රි.ව.2006 වසරේදී නව ලැඟුම් ගෙයක් ඉදිවීමත් සමඟම 19 වන සියවසේදී තනා ඇති කටුකුරුන්දේ පැරණි ලැඟුම් ගෙය ලෙස භාවිතා කල ඉපැරණි නිවස  වර්තමානය දක්වා පැවතුනද කිසිඳු භාවිතයකින් හෝ නිසි නඩත්තුවක් නොමැති නිසා ජරා ජීර්ණ වී පැවතීම කණගාටුවට කරුණකි.

මොරටු දිසා දේවස්ථානයන් ලක්දිව පාස්කු සංදර්ශනයන් සඳහා සැලකියයුතු දායකත්වයක් සපයා නොමැත. කෙසේ නමුත් ක්‍රි.ව.1920 - 1950 සමයේදී මොරටු දිසාවේ පාස්කු සංදර්ශන සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ දේවස්ථානයන් ලෙස උයන සහ කටුකුරුන්ද හඳුන්වා දිය හැක. ඒ සඳහා යොදාගන්නා ලද වසර 100කට ආසන්න ඉතිහාසයක් ඇති  කටුනේරියේ මූර්ති ශිල්පියෙකු විසින් නෙලන ලද දැවමුවා කුරුස ප්‍රතිමාව පසුකාලීනව දිරාපත්වීම හේතුවෙන් ක්‍රි.ව. 2010දී එම ප්‍රතිමාව ඉවත්කර නව ප්‍රතිමාවක් නිර්මාණය කරන ලදී. දිරාපත්වූ ඉපැරණි ප්‍රතිමාව හපුගොඩ දේවස්ථානයට පරිත්‍යාග කරන ලද අතර දශකයකට ආසන්න කාලයක් එම ඉපැරණි ප්‍රතිමාව එම දේවස්ථානයේ සැදැහැවතුන් විසින් භාවිතා කරනු ලබයි. කටුකුරුන්දේ පමණක් නොව මොරටු දිසාවේම පාස්කු ඉතිහාසයේ ජීවමාන සලකුණ කටුකුරුන්දට අහිමි වීම සැබවින්ම කණගාටුවට කරුණකි.

වර්තමානයේදී කටුකුරුන්ද මීසමට කටුකුරුන්ද සහ මොරටු මෝදර දේවස්ථානයන් අයත් වන අතර කතෝලික පවුල් දහසකට අධික ප්‍රමාණයක් කටුකුරුන්දේ අප මාතාවන්ගේ සලුසෙවනේ රැකවරණය ලබන්නීය. දේවස්ථානයේ ජුබිලි සැමරීමේ වර්ෂයන් පිළිබඳව මෑත කාලීනව ගැටළු මතුවී ඇත. ක්‍රි.ව. 1881 සිට එනම් දේවස්ථාන ගොඩනැගිල්ල ආසිරි ගන්වන ලද දින සිට හෝ ක්‍රි.ව. 1863 දේවස්ථානයේ මොගොප්පුව හැර ඉතිරි කොටස සම්පුර්ණ කල වසරේ සිට හෝ ක්‍රි.ව. 1860 -61 දේවස්ථානයට මුල් ගල තැබූ වසරේ සිට හෝ ඉදිරියට දින ගනිමින් වාර්ෂික මංගල්‍ය සැමරීමේ හැකියාව ඇත. ඉහත කි සියළුම වසරවල් ඒ සඳහා වලංගු වන අතර පවත්නා ලිඛිත සාධක අනුව එහි කිසිඳු ගැටළුවක් නැත. සංඝයක් ලෙස වසර 479 ක ඉතිහාසයක් කටුකුරුන්ද සතු බව අප අමතක කල යුතු නැත.

කටුකුරුන්දේ කිතුනු සංඝය ගොඩනැගීමට දිවි කැපකළ සියළුම මිෂනාරි පියවරුන්ට සහ මුතුන් මිත්තන්ට අප ආදර කුමරි මරියාවන් වතට වත දැකීමේ භාග්‍ය හිමිවේවා.
“නිමල කුමරි මරිය රැජිණි උපත සමරනා ... මගුලැ අසිරි දරුනට සිරි සැපත දනවනා ...”

මුලාශ්‍ර:
A History of the Southern Vicariate of Colombo Sri Lanka Vol I P 6.
The Catholic Church in Sri Lanka, The Portuguese Period Vol I P6.
O Oriente Portuguese Vol 10.
Chancelaria Don Joao III Doações 6f 43v Queirós, Obr, Cit, Couto Vim, VIII.
Carta Fr. Joao a D. Joao III de 28 -1-1-1-100-88.
Torre de Tombo – Corp. Chrontogic 1-74-25.
Frei Paulo da Trindade, Conquista Espiritual do Oriente Vol I & Vol III.
Fr. S G Perera, The Jesuits in Ceylon.
Perniola V SJ, The Catholic Church in Sri Lanka.
Historical Archive of Goa, Moncoes 204, A ff. 280 – 284.
Statistics of the Colonies of the British Empire in Asia - From the official records of the clonial office.
OMI Missions.
All Buildings Registered for the Solemnization of Christian Marriage upto 1926.

සැකසුම - රොමේන් සිල්වා  (මොරටු කටුකුරුන්ද)
උපුටාගැනීම ලක්දිව කතෝලික ඉතිහාසය පිටුව මගින්