කතෝලිකයිනට වින කළ නුවර නායක්කර් රජවරු - 01

කතෝලිකයිනට වින කළ නුවර නායක්කර් රජවරු - 01

නරේන්ද්‍රසිංහ රජුගේ අනුප්‍රාප්තිකයා වුයේ කුමාර අස්ථාන කුමරුන් ය. මොහු නරේන්ද්‍රසිංහ විවාහ කැරගෙන සිටි රැජිණගේ සොහොයුරාය. හෙතෙම ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය. නරේන්ද්‍රසිංහ මිය ගිය පසු කුමාර අස්ථාන රාජ්‍ය පාලනය බාරගෙන කටයුතු ගෙන ගියේ වැන්දඹු රැජිනත් සමඟයි. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් මොහු හොඳින් දැන සිටි අතර ඔහුගේ ඉල්ලිම පරිදි එතුමා ග්‍රන්ථයක් ද ලියා පිළිගන්වා ඇත.

කුමාර අස්ථාන රජ පෙළපතක පුද්ගලයෙක් නොවේ. හෙතෙම දකුණු ඉන්දියාවේ මදුරාසි (අද චෙන්නායි) නගර වැසියෙකි. ඔහු නුවර රජ වංසයට අයත් කෙනෙක් යැයි පිළිගනු ලැබු නිසා නුවර වැසියෝ ඔහු ඉහළින් පිළිගත්හ. (Ceylon Literary Register IV 518-522 බලන්න) කුමාර අස්ථාන හින්දු බැතිමතෙකි. එහෙත් රජකමට පත් විගස බුදු දහම වැළඳ ගත් බව පළ කළේය. මේ සඳහා විශේෂයෙන් හේතු වුයේ එකල පුජ්‍ය වැලිවිට සරණංකර හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් පණ ගැන්වෙමින් පැවති බෞද්ධ පුනරුදයි.

නරේන්ද්‍රසිංහ විසින් බෞද්ධ භික්ෂු සුරියගොඩ නායක ස්වාමීන් වහන්සේගේ හිස ගසා දැමීමට නියම කරන ලද අතර එතුමන්ගේ නෑදෑ පිරිසද බින්තැන්නට පිටුවහල් කරන ලදි. හෙතෙම වැලිවිට සරණංකර හිමියන්ද රාජ්‍ය සභාවෙන් ඉවත් කළේය. නව රජුගේ පත් වීමෙන් ඉක්බිති මෙම හිමි නම යළි පත්විම් ලද අතර පිටුවහල් කරන ලද සියල්ලෝ නුවර පැමිණියහ. මෙසේ පත්වීම් ලද විගස වැලිවිට සරණංකර හිමියෝ උප සම්පදාව මෙහි යළි ස්ථාපනය කරනු වස් සියමෙන් භික්ෂූන් පිරිසක් ගෙන්වා ගැනීම සඳහා දුත පිරිසක් එහි යැවුහ. කෙසේ වුවත් කතෝලික පියවරුන් කෙරෙහි රජතුමා ඉතා අනුග්‍රාහිකව සිටියේ ය. විශේෂ කොට ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් ලියු "දේව වේද පුරාණය" හෙතෙම අගය කළ අතර එතුමන් ගැන හොඳින් පැහැදී සිටියේ ය.

මේ කාලය වන විට ලංකාව තුළ ඔරතෝරියාන නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිව සිටියේ ගොන්සාල්වේස් පියතුමාය. රජු පත්වන දින එතුමන් පදිංචිව සිටියේ කොළඹ යි. මේ නිසා එහි සිට එතුමෝ රජු වෙත, එකල සිරිත් පරිදි, දැකුමක් (තෑග්ගක්) යැවුහ. මෙහි වුයේ කොළඹ සාදන ලද ඉතා වටිනා රස කැවිලි රැසෙකි. මෙය සතුටින් පිළිගත් රජතුමා පියතුමන් වෙත පෙරළා රන් කාසි ප්‍රමාණයක් යැවීය.

මෙයින් මවිතයට පත් පියතුමා "කතෝලික පූජකවරුන් නුවර රජුටත් කතෝලික සැදැහැවතුනටත් ඉකුත් පනස් වසර තුළම සේවා කළේ ස්වෙච්ඡාවෙන් විනා කිසිදු මුදලක් අපේක්ෂාවෙන් නොවන බව ප්‍රකාශ කරමින්, ඉතා කාරුණිකව එම ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. මෙය දැනගත් රජතුමා එම කාසි දිළිදුන් අතර බෙදා දෙනු වස් කරනලද පරිත්‍යාගයක් යැයි දන්වා යැවීය. අවසානයේදී එම මුදල පිළිගත් ගොන්සාල්වේස් පියතුමා එය රජතුමාගේ පරිත්‍යාගයක් සැටියට දිළිඳුනට බෙදා දීම සඳහා තම සහායක පියවරුනට බාර කළේය.

පසු දිනෙක රජු බැහැදැකිම සඳහා ගොන්සාල්වේස් පියතුමා නුවර පැමිණියේ ය. නුවර රජ මාළිගය තුළ එතුමන් ඉමහත් හරසරින් සහ උත්සවාකාරයෙන් පිළිගන්නා ලදි. රැජිණ ද මෙම පිළිගැනිමේ උත්සවයට සහභාගි වුවාය. එසේම රාජ්‍ය නිලධරයන් මෙන්ම භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද එහි වැඩ සිටියහ. පියතුමා මෙහිදී විදේශීය අරුමෝසම් පැළැදුම්  ස්වල්පයක් රජු වෙත තෑගි කළ බව වාර්තා වන්නේය.

ඉතා සුහද හමුවකින් ඉක්බිති සමුගෙන ගිය පියතුමා පසු පස තම පළමු අදිකාරම් යවා, පියතුමනට අවශ්‍ය යමක් ඇත්තේ දැයි රජතුමා විමසීය. රජුට පිළිතුරු වාර්තා කල අදිකාරම් කියා සිටියේ කතෝලික පියවරුන් තමනට කියා කිසිවක් ලබා නොගන්නා බවයි. මෙයට ප්‍රතිචාර දක්වමින් රජතුමා පණිවුඩ යවා දන්වා සිටියේ " ඔබතුමනට රන් රීදී කිසිවක් අවශ්‍ය නොවන හෙයින් ඔබ වඩාත් ම ප්‍රිය කරන දෙය හෙවත් මේ මුළු රාජධානිය තුළ ඕනෑම තැනෙක දෙව්මැඳුරු ඉදි කැර ගන්නට හා ඒවායේ උළු සෙවිලි කරන්නටද අවසර දෙමි" කියාය. එකල සම්ප්‍රදාය අනුව මෙය ඉතා විශේෂ වරප්‍රසාදයකි. තම තනතුරු කෙතරම් උසස් වුවත් තම නිවෙසේ උළු සෙවිලි කැර ගැනිම සඳහා රාජ්‍ය අවසරයක් නොවීය. ක්‍රි.ව. 1742 දී ශ්‍රී විජය රාජසිංහ රජතුමා ගොන්සාල්වේස් පියතුමන් වෙත ඉතා වැදගත් තිළිණයක් පුද කලේ ය. ඒ ඇත් දළින් කරන ලද දේව මාතා ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව නුවර සිට බෝලවත්ත දක්වා පෙරහරින් වැඩමවා ගෙන ගොස් ගොන්සාල්වේස් පියතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ එතුමන් අවසන්වර රෝගීව ඇදේ සිටියදිය. මෙය රජු වෙනුවෙන් පිළිගන්වනු ලැබුවේ හෙළ සම්ප්‍රදාය අනුව නිල ඇඳුමෙන් සැරැසුණු රාජ සහිකයකු විසිනි. මොහු පෘතුගීසින්ගෙන් පැවත එන් කතෝලික බැතිමතකු විය.

බෝලවත්ත දෙව්මැඳුරට සැතැපුම් බාගයක් පමණ පෙරමඟට පෙරහරින් පැමිණි ජනතාව දෝලිය ගෙනෙන ලද ප්‍රතිමාව ඉමහත් උත්සවකාරයෙන් පිළිගෙන දෙව් මැඳුරේ පුජාසනය මත තැබුවෝ ය. ශ්‍රී විජය රජතුමන් දැක්වු මේ ආදර කරුණාව, කණ්ඩායම් දෙකක ගේ වෛරයට තුඩු දුනි. පළමුවෙන් මේ ගැන කුපිත වුවෝ ඕලන්දයෝය. ඔහුන් පහත රට පීඩනයට පත් කළ පුජකවරුන් උඩරට මෙතරම් ආරක්ෂාවත්, ගෞරවයත් ලබනු දැකිම ඔවුනට දැරිය නොහැකි වේදනාවක් විය. දෙවනුව, ආගමික පුනරුදයක් සලසමින් සිටි ඇතැම් බෞද්ධ නායකයිනට කතෝලික පියවරුන් සමඟ රජුගේ කුළුපග මිත්‍රත්වය විඳ දරාගත නොහැකි කරුණක් විය.

මේ දෙපාර්ශවය එක්වුහ. ප්‍රමුඛත්වය ගත් ඕලන්දයෝ රජුගෙන් ලබාගත නොහැකි වු දේ පුනරුදය සංවිධානය කරමින් සිටි භික්ෂූන් වහන්සේ සහ ගිහි නායකයන්ද ආයුධ කැර ගනිමින් ලබා ගනු වස් පියවර ගත් හ. ප්‍රථමයෙන් මේ සඳහා "අයුතු මාර්ග " යොදා දෙවැනි අදිකාරම් සහ දිසාපතිවරුන් දෙදෙනකු දිනා ගත් ඕලන්දයෝ ගොන්සාල්වේස් පියතුමන් ගාල්ලේ කිතු දහම වැළැදගත් සැදැහැවතුනට ක්‍රි.ව. 1734 දී ලියු ග්‍රන්ථයක් ඔවුන් මඟින් පුනරුදයේ නායකයන් අතට පත් කළෝය. තවදුරටත් ක්‍රි.ව. 1746 දී ඕලන්ද තානාපතිවරයාණන් නුවරට වී කතෝලික පුජකවරුනට විරුද්ධ ව සිටියදි බුදුනු පැවදි  පිරිසක් කතෝලික පියවරුන් නුවරින් පළවා හරින ලෙස ඉල්ලා රජ මාළිගය අභියස විශාල උද්ඝෝෂණයක් පැවැත්වුහ. විදේශිකයකු මෙන්ම මෑතක් වන තුරු හින්දු බැතිමතකුව සිටි රජතුමා ආගම පදනම් කැර ගෙන ආරම්භ වු මෙම අසහනයෙන් බියපත් විය. මේ ගැන උපදෙස් ලබා ගැනිම සඳහා රජු යොමු වුයේ අර දෙවැනි අදිකාරම් සහ දිසාපතිවරුන් දෙදෙනා වෙතයි. මෙය " සොරාගේ අම්මාගෙන් පේන ඇසිම" වැනි කර්තව්‍යයක් විය. රටේ පළමු අධිකාරම් හෙවත් අගමැති සහ ඔහුගේ පුත්‍ර සබරගමුවේ දිසාපතිවරයාද කතෝලික පියවරුනට පක්ෂපාත වුහ.

රජුගේ මාමණ්ඩිය ද එවැනි ම පක්ෂපාතිත්වයක් දැක්විය. එහෙත් රජුගේ බියසුළු බව දුටු විරුද්ධවාදිහු වහා ක්‍රියාත්මක වුහ. දෙවැනි අධිකාරම් වහා ගොස් නුවර දෙව් මැඳුරු වටලා කිසිවක් නොදැන එහි සිටි පියතුමන් හිර අඩස්සියට ගෙන දෙව් මැඳුර කඩා දැමුවේය. එහි දේපල රාජසන්තක කරන ලදි. සතර කෝරළයේ අදිකාරම් ද තමාගේ ප්‍රදේශය තුළ එසේම කැර සීතාවක සිටි පියතුමන් මාංචු දමා නුවරට ගෙන ආවේය. සත් කෝරළයේ ද කතෝලික පියවරුන් පස් දෙනකු මෙසේ අත්ඩංගුවට ගන්නා ලදි. බෝලවත්තේ දෙව්මැඳුර ද විනාශ කර දමන ලද අතර, රජතුමා තෑගි කළ ඇත් දළ ප්‍රතිමාව පෙරළා නුවරට ගෙන යන ලදි. පුත්තලමේ සහ මඩකළපුවේ සිටි පියවරු තිදෙනෙක් සහ සහෝදර තුමෙක්ද හිර අඩස්සියට ගනු ලැබුහ. ඒ සෑම පළාතකම පිහිටි දෙව් මැඳුරු සුන් බුන් කෙරුණි. අවසානයේ ක්‍රි.ව. 1746 මහා සිකුරාදා දින මේ සියලු දෙනා නුවර ගෙනැවිත් "අධිකරණයක්" ඉදිරියට පමුණුවන ලදි. මෙම විනිශ්චය මණ්ඩලයේ වුයේ කතෝලික විරෝධී නායකයන් තිදෙනකු සහ වැලිවිට සරණංකර හිමියන් ය.

ඊනිය චුදිතයනට දෙන ලද ප්‍රථම විකල්පය තම විශ්වාසය ප්‍රතික්ෂේප කිරිම හෝ ජිවිතය පුජා කිරිමයි. එහෙත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද විට ඔහුන් රටින් පිටුවහල් කැර දැමීමට තීරණය විය. මෙහිදි ඕලන්ද තානාපති " සිරකරුවන් " තම වෙළෙද සමාගමට බාර දෙන ලෙස ඉල්ලුම් කළේය. විනිශ්චකරුවෝ එයට එකඟ වුහ. එහෙත් පියතුමන්ලා එයට තරයේ විරුද්ධ වුහ. මෙය දුටු රජතුමා මැදිහත් වී "විත්තිකරු" පියවරුන් ගෝවේ පුරවරයට යවන ලෙස නියෝග කළේය. මේ අනුව යටත් පිරිසෙයින් යවන්නට පෙර තමන් ගේ නිල යාච්ඤා පොත් ලබා දෙන ලෙස පියවරු ඉල්ලුම් කළෝය. ඉල්ලිම් ප්‍රතික්ෂේප කළ විනිශ්චකරුවෝ කියා සිටියේ තම ජිවිත බේරා දුන් හෙයින් ඒ සඳහා ස්තුතිවන්තව වහා පිටවන ලෙසයි. ආලේලුයියා ශනිදා පිටුවහල් කරන ලද පුජක කණ්ඩායම පුත්තලමට පැමිණියහ. පහත රට ඕලන්ද පීඩනය නිසා පනස් වසරක් තුළ තමන් රැකවරණය ලැබු නුවර රාජධානියත් මෙසේ අහිමි විය. නුවර , පුත්තලම, සහ බෝලවත්ත කේන්ද්‍රකොටගෙන තමන් ඕලන්ද ප්‍රදේශවල පවා ගෙන ගිය දහම් දුත සේවාව මෙතෙකින් නිමා විය. විරුද්ධවාදිහු ඉමහත් සතුටට පත්වුහ. එහෙත් දේව හස්තය දිගු විය.

පෙර මෙන් වෙස් වලාගෙන ඕලන්ද පළාත්වල සැරිසරමින් එහි සැඟ වී සේවා කළ තම පුජක මිතුරන් සමඟ එක්වන්නට මෙතුමන්ලා තැත් කළත් කරණු දැන උකුසු ඇසින් බලා සිටි ඕලන්ද හේවායන් අතර එය නොකළ හැකි විය. අවසානයේ දි දේවාරක්ෂාව ඔහුනට ලැබිණි. නුවර රජුටවත් ඕලන්දයිනටවත් යටහත් නොවී ස්වාධීනව රජ කළ වන්නියේ පාලකයා පියවරුන් තම දේශයට සාදරයෙන් පිළිගත්තේ ය. එහි රැඳී සිට සිය දහම් දුත සේවාව නුවර ගෙන ගිය ආකාරයට ම නිදහසේ ගෙන යනු වස් එතුමා අවසර දුන්නේය.

ජයග්‍රාහී කතෝලික විරුද්ධවාදීන් පැහැර ගත් භාණ්ඩ රැසක් රජු වෙත යැවුහ. රජතුමා ඒ කිසිවක් පිළිගත්තේ නැත. ඔහු රජ මාලිගයට බාරගත්තේ තමන් බෝලවත්ත ට තෑගි කළ ඇත්දල් දේවමාතා ප්‍රතිමාව වෑඋඩ දෙව්මැදුරේ ඇත්දළ කුරුසිය සහ නුවර දෙව් මැඳුරේ ප්‍රතිමා පමණී. මේ අතර තමා යළි කතෝලික පියවරුන් නුවරට වැඩම කරවනු සඳහා වෙර දරණ බව දන්වා යැවීය. මේ කිසිවක් කරන්නට පෙර ක්‍රි.ව. 1747 අගෝස්තු මස 11 වැනිදා ශ්‍රී විජය රාජසිංහ මිය ගියේ ය.

(මෙම දත්ත ජේසු නිකායික එස්.ජී පෙරේරා පියතුමන්ගේ ග්‍රන්ථ ආශ්‍රයෙන් ලබා ගත් බව ගුණවත්ව දන්වමි)

සටහන -  ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
උපුටා ගැනිම : ඥානාර්ථ ප්‍රදීපය ක්‍රි.ව. 2012 මාර්තු 25 ඉරිදා
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ