"Icon and Iconoclasts"

"Icon and Iconoclasts"

අද පාඩම තුලින් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අප කවුරුත් එදිනෙදා ජීවිතය තුල අත්දැක ඇති එසේත් නොමැතිනම් අසා ඇති එක් වචනයක් ගැනය. එය නම් “Icon”, සිංහල බසින් හඳුන්වනු ලබන සුරුවම, ප්‍රතිමාව හෝ ප්‍රතිරූපය ගැනය. නමුත් මෙතැන් පටන් මවිසින් ඉහතදී දෙනු ලැබූ සිංහල අරුත් වෙනුවට අප සැවොමගේ පහසුව සඳහා Icon යන වදන කිසිදු ලෙසෙකින් පරිවර්තනය නොකොට එම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනු ලැබේ.

Icon යන වචනය ඉංග්‍රීසි භාෂාවට අයත් නොවන වචනයක් වන අතර, මෙම වචනය ග්‍රීක භාෂාවෙන් උපුටා ගනු ලැබූවෙකි. ග්‍රීක බසින් Icon නමැති පදය “eikon” (එකෝන්) ලෙස උච්චාරණය කරන අතර, එහි අර්ථය වන්නේ; ප්‍රතිමාව හෝ ප්‍රතිරූපය යන්නයි. බයිසන්තියානු, ග්‍රීක සහ රුසියානු ඔර්තොඩොක්ස් දේවස්ථානයන්හි ඇති ප්‍රතිමා හෝ ප්‍රතිරූප සඳහා ව්‍යවහාර වන මෙම “Icon” පදය, හයවැනි ශතවර්ෂය තුලදී ක්‍රිස්තියානි ගොඩනැගිලි අතුලත සැරසීම සඳහා බෙහෙවින් යොදාගෙන ඇත.

මෙම “Icon” විවිධාකාර ප්‍රමාණයෙන් යුක්තය. ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ, කන්‍යා මරියාවන් , ළදරු ජෙසු සහ සාන්තුවරයන්ගේ ප්‍රතිරූපයන් සිතුවමට නගා ඇති අතර, මේවා ඉතා පහසුවෙන් අතේ ගෙනයෑමට හැකිවන පරිදි සකස්කර ඇත. සාන්ත ලූක් විසින් ප්‍රතම “Icon” ය නිර්මාණය කරනු ලැබුවේය. එහි කන්‍යා මරියතුමිය ජේසු බිළිඳුන් වෙතට ඇයගේ වමතින් කිසියම් ලෙසකට සංඥාවක් කරන අයුරින් නිර්මිතය.

ඊජිප්තුවේ සයනාඊ (Sinai) කඳුවැටියේ සාන්ත කැතරින් අරාමයේ ඇති හයවැනි ශතවර්ෂයට අයත් ( The Virgin and Child enthroned between St.Theodore and St. George) සාන්ත තිඔඩොර් සහ සාන්ත ජොර්ජ් තුමන්ට මැදිව සිංහාසනාරූඩවී සිටින කන්‍යා මරියාවන් සහ ළදරු ජෙසුතුමන්, “Icon” ය හෙලෙනික් සම්ප්‍රදායික කලාකරුවාගේ භාවාත්මක ප්‍රකාශන හැකියාව ප්‍රකට කරවන නිර්මාණයක් වනු නොවනු මානය .

මෙම සිතුවමෙහි පසුපසින් සිටින දේව දූතයන් දෙපළ සිය දෙනෙතින් අහස දෙස අයාචනාත්මක බැල්මකින් බලා සිටිනුයේ දෙවියන්ගේ ශ්‍රී හස්තය දෙසය. තවද ඔවුන්ගේ හිස කොටස ඉහලට එසවීම නිසා කෙටි කර දක්වා ඇති අයුරු (foreshortening) සහ දෘශ්‍ය පර්‍යවලෝකන නීති පිලිබඳව කලාකරුවා සතුව තිබූ මනා අවබෝධය සනාථ කරවයි.

අනෙක් කරුණ වන්නේ, මෙහි ඇති සෑම රූපමය අංගයක්ම විධිමත්ව සංරචනය කොට ඇති අකාරයයි. සමස්ථ චිත්‍රය තුල කන්‍යා මරියාවන් සහ ළදරු ජෙසුතුමන් ප්‍රධාන කොටගෙන අනෙක් රූපකයන් සිතුවම් කොට ඇති නිසාම, කලාකරුවාගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ “Icon” යේ ඇති සියලු අංගයන් යම් සැලැස්මකට සකස් කොට ඉදිරිපත්කිරීම එක්තරා අන්දමක සුවිශේෂී කරුණකි.

මෙම “Icon” ය දෙස සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කළහොත්, එක් දෙයක් දැකගත හැකිය. එයනම් මරියාවන්, ළදරු ජෙසුතුමන්, සාන්ත තිඔඩොර් සහ සාන්ත ජොර්ජ් ගේ ආශිර්වාදාත්මක නේත්‍රයන් අප සියලුම දෙනා වෙත යොමුවි තිබෙන අයුරුය.

“Iconoclasts” යන වචනයෙහි සරල තේරුම වනාහී වන්දනාවේදී රූප භාවිතයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නා, එසේත් නොමැතිනම් ප්‍රතිමා බිඳ හෙලන්නා යන්නය. ක්‍රිස්තු වර්ෂ. 730 දී පමණ තුන්වන ලියෝ අධිරාජ්‍යයාගේ නියෝගයකට අනුව සියලුම ආගමික ප්‍රතිමා සහ ප්‍රතිරූප (ජෙසුතුමන්, කන්‍යා මරියාවන්, සාන්තුවරයන් සහ සුරදුත්යින්) විනාශයට පත්කරනු ලැබීය. මෙයට ප්‍රධානවශයෙන් බලපෑ සාධකය ලෙස ඉදිරිපත් කල හැකි කරුණ වන්නේ මනුෂ්‍ය ස්වරූපයෙන් නිර්මාණය කර ඇති කිසිදු ආගමික වස්තුවක අද්‍යාත්මික ස්වරූපය ගැබ්ව නොතිබීම ලෙස සැලකීමයි.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher.