ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය - දෙවන පරිච්ඡේදය

ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය - දෙවන පරිච්ඡේදය
ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය - පළමු පරිච්ඡේදය
කිතුනු ධර්මය සමඟ ගොඩනැගුණු විවිධාකාර සංස්කෘතික අංගයන් අපට ලොව දස දෙසින් දක්නට ලැබේ. කිතුනු සාහිත්‍ය, පාස්කු නාට්‍ය, පසන් හා කන්තා

ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා බුදු ධර්ම ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන විවිධාකාර ලෙස බුදු දහමට දායකත්වය දැක්වූවා සේම, රෝම අධිරාජ්‍යයේ නරේන්ද්‍රයානන් වූ කොන්ස්තන්තීනු විසින් ක්‍රිස්තියානි ධර්මය උදෙසාද විශේෂිතවූ අනුග්‍රහයක් දක්වන්නට විය. මෙලෙස ක්‍රි.ව. 313.දී කිතුනු දහම සමස්ථ රෝම අධිරාජ්‍ය තුල නීත්‍යානුකූල වීමෙන් පසුව මූලාරම්භයක් වශයෙන් කිතුනු දේවස්ථාන පොදු මහජනතාවට එක්රැස්ව යාඥා කිරීම උදෙසා ඉදිකිරීමේ කටයුතු ආරම්භවූ අතර, මෙම ක්‍රියාවලිය තුලින් අධිරාජ්‍යයා සහ ක්‍රිස්තියානි ආගම අතර විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධයත්වය තවතවත් ශක්තිමත් විය.

මනුෂ්‍යයාගේ ස්වභාවය නම් සෑම විටකම විවිධාකාරවු ලෞකික සහ පෞද්ගලික ආශාවන්ගෙන් ඔද වැඩී, සිය ආශාවන් සහ අභිලාෂයන් මොනයම් හෝ අයුරකින් සපල කර ගැනීමට වීර්‍ය කිරීමය. මෙලෙසින් කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ යටි අරමුණ වනාහි කිතුනු දහම ව්‍යාප්ත කිරිම තුලින් දේශපාලනමය වශයෙන් එක්සත්ව රාජ්‍ය හැසිරවීමය. මෙයට ප්‍රධානතම වශයෙන් බලපා ඇති කරුණක් ලෙස ගෙනහැර දැක්විය හැකිවනුයේ , කොන්ස්තන්තීනු බලයට ඒමට පෙර සිටම අධිරාජ්‍යයේ දෘෂ්ටිවාදාත්මක පදනම විවිධාකාර අයුරින් මතභේදයන්ට තුඩුදි තිබිමය. ඉහත සඳහන් කල පරිදි ක්‍රි.ව. 313.දී රෝමයේ විසු කිතුනු ප්‍රජාව සඳහා කොන්ස්තන්තීනු විසින් නව දේවස්ථානයක් ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් භූමියක් සහ රාජගුරු ප්‍රසාදින් වහන්සේලා සඳහා ප්‍රාසාදයක්ද තිළිණ කරනු ලැබිණි. පසු කාලීනව රෝමයේ “සාන්ත ජොවන්නි ලතෙරානෝ” (St. Giovannie Laterano) ආසන දෙව්මැදුර බිහිවන්නේ මෙම භූමිය මත වීම බොහෝමත්ම වැදගත්ය.

No photo description available.

මෙම ලතෙරානෝ බැසිලිකාව රෝම බැසිලිකා සම්ප්‍රදාය සමඟ සැසඳීමේදී නව මුහුණුවරකින් ක්‍රිස්තියානි ගෘහ නිර්මාණාත්මක අංගයන් ගුරුකොට නිර්මාණයවී තිබීම ලඝුකොට සැලකිය නොහැකිය. මෙයින් ගම්‍ය වන්නේ ක්‍රිස්තියානි සකලවිධ කලාවන්ගේ මූලාරම්භය නොවේදැයි මම ඔබ සැමගෙන් අසන්නට කැමැත්තමි?

ලතෙරානෝ බැසිලිකාවේ ගෘහ නිර්මාණාත්මක ශෛලිය ගැනද මෙහිදී හැඳින්වීමක් කල යුතුමය. ලී වහලකින් සහ ආයත චතුරශ්‍රාකාර ශාලාවකින් මෙම දේවස්ථානය සමන්විතය. එහි මධ්‍ය කොටස “Nave” ලෙසින් හඳුන්වන අතර, එහි දෙපස ස්තම්භාවලියකින් සංයුක්තය. තවද ආලෝකය දේවස්ථාන ඇතුලට ගලාගෙන ඒමට මධ්‍ය කොටසේ දෙපස, එසේත් නොමැතිනම් “Nave” හි පිහිටි කුළුණු මුදුනෙහි ඇති බිත්ති මත කවුළු ගණනාවක්ම ප්‍රතිශ්ඨාපනය කොට තිබී ඇත. මෙම කවුළු ඉංග්‍රීසි බසින් “Clerestory Windows” ලෙස විවහාරවේ.

රෝම බැසිලිකාවේ අධිරාජ්‍යයා සහ විනිශ්චයකාරවරුන් ඇතුළුව අනිකුත් නිලධාරින් වෙනුවෙන් විශේෂිත වූ ස්ථානයක ආසන පනවා තිබු අතර, මෙය “Apse” ලෙස හඳුන්වනු ලබයි. ක්‍රිස්තියානි ගෘහ නිර්මාණ ශිල්පීන් මෙම කොටස යොදා ගැනුණේ රාජගුරු ප්‍රසාදින් වහන්සේලා සහ අනෙකුත් පූජකවරුන් වෙනුවෙන් ආසනයන් පැනවීම සඳහාය. සරලව කියතොත් මෙය වූ කලි අල්තාර මණ්ඩපය වන අතර, මෙවැනි වූ මුල් කාලයට අයත් අල්තාරය මණ්ඩපයක් රෝමයේ “සාන්ත සබීනා බැසිලිකාවේ” (Basilica of Saint Sabina AD.423-432) අදටත් දක්නට ලැබේ.

No photo description available.

මෙලොව මිනිසා විසින් නිර්මිත සෑම දෙයක්ම නිර්මාණයවී ඇත්තේ යම් අයුරකින් ඍජුව හෝ වක්‍රාකාර ලෙස ආභාශයන් ලබා ගැනීම තුලිනි. මෙය සමස්ථ කලාව තුලම දැක ගත හැකි සුවිශේෂ ලක්ෂණයක්ය. මෙලෙසින් ක්‍රි.ව.320 පමණ වන විට කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව බැසිලිකානු ගෘහ නිර්මාණ ශිල්පීමය දැනුම සහ එහි බිම් සැලැස්ම ඍජුව ගුරුකොට සාන්ත පීතර දේවස්ථානය ගොඩනගන්නට කටයුතු සලස්වන ලදී. පසුකාලීනව ශුද්ධවූ “දෙවන ජුලියස් පාප්තුමන්” විසින් “සාන්ත පීතර බැසිලිකාව” ප්‍රතිස්ථාපනයකිරිමේ කටයුතු “දොනාතෝ බ්‍රාමන්තේ” (Donato Bramante) නැමති ගෘහ නිර්මාණ ශිල්පියාට පැවරීය. අවාසනාවන්ත ලෙස බ්‍රාමන්තේගේ නිර්මාණාත්මක වෑයම පිඹුරුපතකට පමණක් සීමා කිරීමට සිදුවූයේ ඔහුගේ වියෝව නිසාවෙනි.

දොනාතෝ බ්‍රාමන්තේ විසින් කලකට ඉහතදී සලසුම් කරන ලද “තෙම්පිඑත්තෝ” (Tempietto) කුඩා දේව මන්දිරයේ මුලික ලක්ෂණයක් වන අර්ධගෝලාකාර වහල ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ ශිල්පීමය අංගයන් “සාන්ත පීතර බැසිලිකාව” වෙනුවෙන් සැදුම්ලත් පිඹුරුපතෙහිද දක්නට ලැබේ. බ්‍රාමන්තේගේ අභාවයෙන් පසුව මෙම ව්‍යාපෘතිය ලෝ සුපතළ චිත්‍ර සහ මුර්ති ශිල්පියෙකු වන මයිකල්ආන්ජෙලෝ (Michelangelo Buonarroti) වෙත පැවරුණු අතර, ඔහු විසින් බ්‍රාමන්තේගේ මූලික සැලැස්ම සරල කොට බටහිර අන්තයේ ඇති අර්ධගෝලාකාරවහල නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනුයේ මයිකල්ආන්ජෙලෝ වෙතටය.

නැවත වතාවක් “ජාකොමෝ ඩෙල්ලා පොර්තා” (Giacomo della Porta)විසින් මෙම අර්ධගෝලාකාරවහල නවීකරණය කිරිමට හේතුකොට ගැනුණේ මයිකල්ආන්ජෙලෝගේ අභාවයෙන් පසුවය. තවද “සාන්ත පීතර බැසිලිකාවේ මුහුණත කොටස (Façade) නිර්මාණය කාර්ලෝ මදේර්නෝ (Carlo Maderno) විසින් සිදුකරනු ලැබීය. විශාල ජනකායකට එක්රැස්ව යාච්ඤාකිරීම සඳහා ඉතාමත් විශිෂ්ට අයුරින් හිස් අවකාශය සාන්ත පීතර බැසිලිකාව සැලසුම් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇති අකාරය ඉතාලි ගෘහ නිර්මාණ කලාවේ විශිෂ්ට භාවය කියාපාන කදිම නිදර්ශනයකි.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher