ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය - පළමු පරිච්ඡේදය

ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය - පළමු පරිච්ඡේදය

කිතුනු ධර්මය සමඟ ගොඩනැගුණු විවිධාකාර සංස්කෘතික අංගයන් අපට ලොව දස දෙසින් දක්නට ලැබේ. කිතුනු සාහිත්‍ය, පාස්කු නාට්‍ය, පසන් හා කන්තාරු කවි, විවිධාකාර වූ ජන වන්දනා ඇදහිලි ක්‍රම ආදීහු අපට නෙත ගැටෙන, එමෙන්ම ඇසීමට හෝ කියවීමට ලැබෙන දෑ අතර මුල්තැනක් ගනු ලබයි. මේ සියලු දෑ අතරින් කිතුනු දහම සමග සබැඳි චිත්‍ර කලාවට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයටද හිමිවන්නෙ සුවිශේෂීත ස්ථානයකි.

මා ඉන්දියාවේ අධ්‍යපනය ලැබූ සමයේ මාගේ ගුරුතුමන් වන අප අතරින් වියෝවූ චිත්‍රකලා ඉතිහාසඥ සහ කලා විචාරකයෙකු වන ආචාර්‍ය “Sovon Som” පැවසූ පරිදි, “ගෘහ නිර්මාණ ශිල්පය සෑම සංස්කෘතියක හා ශිෂ්ටාචාරයකම මිනුම් දණ්ඩ ලෙස සලකනු ලැබේ”. ගෘහ නිර්මාණ ශිල්පය නොමැතිව කිසිඳු ශිෂ්ටාචාරයක් හෝ සංස්කෘතියක් මේ මිහිපිට බිහිවී නොමැත. එහෙයින් සමස්ථ ක්‍රිස්තියානි කලා සම්ප්‍රදායයන් තුල ගෘහ නිර්මාණ ශිල්පය කශේරුකාව ලෙස හැඳින්වීම බොහෝ කොට අගනේයැයි මම නියත වශයෙන්ම සලකන්නෙමි.

කිතුනු දේවස්ථානයේ ගෘහ නිර්මාණ ශිල්පීමය අදහස උපුටා ගැනුණේ යුදෙව් සිනගෝගයෙන් සහ රෝමානු බැසිලිකා සම්ප්‍රදායයන් ගුරුකොට ගැනීමෙන්ය. බැසිලිකාව වනාහී විවිධ නීතිම කටයුතු, වෙළඳ ගණුදෙණු හා විවිධාකාර වියාපරයන්හි පරිපාලනමය කටයුතුවල විනිවිදභාවය නිරීක්ෂණය කිරීම සහ හැසිරවීම සඳහා රෝමන්වරුන් විසින් සැළසුම් කරනු ලැබූ නාගරික ගොඩනැඟිලි අතර අතිශය වැදගත් මුහුණුවරක්ගත් ස්ථානයන්ගෙන් එකකි. මෙවැනි බැසිලිකා ගොඩනැගිලි සෑම ප්‍රධාන නගරයකම පාහේ පිහිටුවා තිබිණ.

බැසිලිකාව වනාහි දිගටි ඍජුකෝණාශ්‍රය ශාලාවක් වන අතර, එහි ඇතුළත මධ්‍යම කොටස ඉතිරිවන සේ දෙපසින් ක්‍රමානුකූලව සකස් කරන ලද කුළුණු මාලාවකින් වෙන්කොට ඇත. ඇතැම් අවස්ථාවන් හි මෙම මධ්‍යම කොටසේ දෙපසින් ඇති කුළුණු මත පටු ආලින්දයක් ගොඩනැගිල්ල අභ්‍යන්තර දෙසට විවෘත වන ආකාරයෙන් නිර්මාණය කර තිබිණි, මෙහි වහල කොන්ක්‍රිට් බදාමයෙන් තැනූ ආරුක්කු වලින් හෝ දැවයෙන් නිර්මිතය. තවද මෙහි එක් පසක බිත්තිය අර්ධකවාකාර හෝ ආයතචතුරශ්‍ර ලෙස පිටතට පැනනැගී එන පරිදි නිර්මාණය කර තිබූ බවද කිවයුතු විශේෂිත වූ කරුණකි. මෙම අර්ධකවාකාර හෝ ආයතචතුරශ්‍ර අංශය “apse” නැතිනම් “apsidal end” ලෙස හඳුන්වයි. මෙය සමස්ථ බැසිලිකාවේම ප්‍රධාන කොටස ලෙස සැලකිමට හේතු වුයේ, එදවස මෙම ස්ථානයේ අධිරාජ්‍යයාගේ, විනිශ්චයකාරවරුන්ගේ සහ රෝම උසස් නිලධාරින්ගේ සිහසුන් තබා තිබු බැවින්ය.

ක්‍රිස්තු වර්ශ. 250 පමන වන විට ක්‍රිස්තියානුවන් තම භක්ති අභ්‍යාසයන් ප්‍රගුන කිරීම සඳහා විවිධාකාර ගොඩනැගිලි යොද ගත් බවට සාක්ෂි සාධකය එමටය. මෙයට ප්‍රධානතම නිදර්ශනය සපයන්නේ අතීතයේ රෝම අධිරාජ්‍යයේ කොටසක් වන සිරියාවේ පිහිටි “දූරෝ යුරෝපොස්හි” (Dura Europos) ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානයේ නටබුන් අතරෙහිය. මෙය කිසිදු අකාරයේ ක්‍රිස්තියානි දේවස්ථානයක ස්වරූපයෙන් නිමකොට නොමැත. මෙය හුදෙක්ම සාමන්‍ය ප්‍රමාණයේ ගෘහයක තනනු ලැබූවකි. මෙහි පෞද්ගලිකව ජනතාවට එක්රොක්වී යාඥාවන් කිරීමේ අරමුණ පෙරදැරිව ඇති ප්‍රධාන අංගනය වටා සියලුම අංශයන් නිර්මිතය.

මෙහි ශලා දෙකක් යම් මිනිස්සුන් ප්‍රමනයකට රැස්වීමට හෝ යාඥා කිරීම උදෙසා සමන්විත වන අතර, තවත් ශාලාවක බෞතීස්ම කිරිමට යොදා ගෙන තිබූ බවට සාක්ෂි ඇත. ප්‍රසාද ස්නාපනය සඳහාද උඩු මහලේ කුටියක් තිබූ බවටත් විශ්වසයක් පවතින බැව් කිවයුතුමය.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher.