හුදෙකලාවේ චිත්‍ර ශිල්පියා උචෙල්ලෝ (Uccello)

හුදෙකලාවේ චිත්‍ර ශිල්පියා උචෙල්ලෝ (Uccello)

ලොව  ජීවත්වන සෑම් මිනිසෙකුම  විවිධාකාර වූ   චර්‍යාවන්ගෙන් ආඪ්‍ය, ඔහුගේ හෝ ඇයගේ එම ගතිපැවතුම් එසේත් නොමැතිනම් හැසිරීම් රටාව ඔස්සේ අප විවිධාකාර ලෙස  සංසන්දනය කර නිගමනයන්ට බැස එහි තුලම ජීවත්වීම බොහොමත්ම සුලභය .  එහෙත් අප කිසිදු දිනෙක එම පුද්ගලයාගේ ඇතුලාන්තය පිළිබඳව කිසිදු ලෙසකින් විග්‍රහයක නිරතවීමට සිහිනයෙන්වත් නොසිතන්නට පුළුවන. සාමාන්‍ය ලෝකයාගෙන් වෙන්ව ජිවත් වන්නාවූ පුද්ගලයා එලෙස ජිවත්වන්නේ කිනම් හේතු කාරණාවකට දැයි සොයා බැලීම බොහෝ අගනේය.

පාවුලෝ උචෙල්ලෝද මා ඉහත පැවසූ පරදිම හුදෙකලාවේ සිටිමින් ඉතාලි චිත්‍ර කලාව පෝෂණය කෙරු පුනරුද සමයේ විසු මනෝහර කලාකරුවෙකි. ක්‍රි.ව.1397 දි උපත ලැබු උචෙල්ලෝ ක්‍රි.ව. 1407 දි ෆ්ලොරෙන්ස්හි විසූ මුර්ති ශිල්පී ලොරෙන්සෝ ග්හිබෙර්ති යටතේ සිය කලා දිවියෙහි පුහුණුවීම ආරම්භ කරනු ලැබිණ. ක්‍රි.ව 1415 වනතෙක් ග්හිබෙර්ති යටතේ පුහුණුව ලැබූ උචෙල්ලෝ, මුල් කාලීනව අනෙකුත් කර්‍යයන් සඳහා    සුළු වශයෙන්  සහභාගි  විය.  නමුත් කල්යත්ම  ඍජුවම  සහය ශිල්පීයෙකු ලෙස ග්හිබෙර්තිට අධාර විම ඔස්සේ  වර්ණ සකසා ගැනීම සහ මූර්තින්හි  මූලික ආකෘති කුඩා ලෙස  නිර්මාණය කිරිම පිළිබඳව  ශිල්පඥානය ලබා ගැනීම තුලින්   සිය  කලා දැනුම වර්ධනය කරගන්නට ලැබූ  කදිම අවස්ථාව  නිසියාකාරව ප්‍රයෝජනයට   ගත්හ.

පසුකලෙක ග්හිබෙර්ති හැරපියා යන උචෙල්ලෝ එවකට පැවති “Arte Dei Medici e Speziali” *(the Guild of Doctors and Apothecaries) නැමති  චිත්‍ර කලාව වෘත්තිමය වශයෙන්  නියැලෙන කලා ශිල්පීන් සඳහාම වෙන්වූ සංඝයක් සඳහා ඇතුලත්ව චිත්‍ර ශිල්පියෙකු ලෙස සුදුසුකම් ලැබීමේ භාග්‍ය උදාකර ගනු ලැබිණි.  ඉතාලි  පුනරුද  සමයේ මොනයම් හෝ  ශිල්පියෙකුට නිදහස්ව වෘත්තිමය වශයෙන් කලා කටයුතුවල නිරතවීමට අවශ්‍ය නම් එම පුද්ගලයා මෙම සංඝයෙහි (guild) සාමාජිකත්වය ලැබීම අනිවාර්යයෙන් කලයුතුමය. මෙලෙස  “Arte Dei Medici e Speziali” නැමැති සංඝය (guild) මඟින් උචෙල්ලෝ හට ස්වාධීනව කලා  කටයුතුවල නිරතවීමටත්, එමෙන්ම තමාගේම වැඩ හලක් ස්ථාපනය කිරීමටද ඉඩහසර සලසා දෙන ලදි.

උතුරු ඉතාලියේ ෆ්ලොරෙන්සයේ පිහිටි ඩොමිනිකානු නිකායික දේවස්ථානයක් වන සාන්ත මරියා නොවෙල්ලාහි (Santa Maria Novella) උචෙල්ලෝ විසින් නිම කරන ලද ඔහුගේ මුල්කාලයට අයත්වන බිතුසිතුවම් දෙකක් අදටත් විද්‍යාමානව පවතී. මෙම බිතුසිතුවම් මගින්   නිරූපණය  කර ඇත්තේ  ශුද්ධවූ බයිබලයේ   පුරාණ ගිවිසුමට අයත්වන කතා ප්‍රවෘත්තින්ය: “මහා ජල ගැල්ම” (The Flood) සහ “මැවීම” (Creation). ශුද්ධවූ බයිබලයේ පුරාණ ගිවිසුමෙහි සඳහන් වන  “මහා ජල ගැල්ම” (The Flood)  සිද්ධිය ප්‍රතිනිර්මාණය කිරීමේදි ශිල්පියා අධ්‍යාත්මික වැදගත්කම උද්දීපනය නොකොට දෘෂ්‍යමය  යථාර්ථවාදී ස්වරූපයන් නරඹන්නාගේ සිතෙහි  ඇතිකරලීමට ප්‍රයත්න දරා ඇත.

උචෙල්ලෝ මෙම සිතුවම සංරචනය කර ඇත්තේ දේවස්ථානයේ “Cloister” ලෙස ඉංග්‍රිසි බසින් හැඳින්වෙන  පෙදෙස තුලය. ප්‍රථමයෙන් මා “Cloister” නැමති අංගය ගැන කෙටි හැදින්වීමක් කිරිම පාඨකයන් වන ඔබහට කැමැත්තෙමු. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙය ආවරණයවූ මඟක් වන අතර, විවෘත අංගණයක් පරිදි එක් පසෙකින් බිත්තියකින් ආවරණය වන ලෙසද අනෙක් පසින් ආරුක්කු පේළියකින්ද වටකොට නිර්මාණයවී ඇත. කෙටියෙන් විග්‍රහ කරන්නේ නම් මෙය එක්තරා අයුරකින් සක්මන් මළුවක් ලෙසද හැඳින්විය හැකිය.

උචෙල්ලෝ “මහා ජල ගැල්ම” (The Flood) බිතුසිතුවමෙහි ප්‍රධාන කොට අවස්ථාවන් දෙකක් පිළිබිඹු කර ඇත. වම් පසින් මහා ජල ගැල්මට කොටුවී සිටින්නන් නෞකාවට ගොඩවීම සඳහා අතිමහත් උත්සාහයක් ගන්නා ආකාරය සහ දකුණු පසින් නෞකාව වියළි බිමකට පැමිණ ඇති බව සැළ කරනුවස් ඔලිව් අත්තක් රැගෙන පරෙවියා නෝවා වෙත පැමිණීම විදහා දැක්වෙන ලෙස නිර්මිතය. සිතුවමේ ඉදිරිපස ද්වන්ධ සටනක නිරතවූවන් දෙදෙනකුගේ රූපයන් තුලින් සහ සෑම මිනිසෙකුගේම අංග චලනයන් මගින් විද්‍යාමාන වෙන්නේ තම ජීවිතය  කිනම් හෝ අයුරකින් ගලවා ගැනීම උදෙසා කරනු ලබනාවූ අරගලක ස්වභාවයන්ය.  දකුණු පසින්  චිත්‍රනය කර ඇති  මළ  කුණුක රස බලන කපුටෙකුගේ  රුව තුලින් සමස්ථ සිතුවමෙහි ගැබ්වී තිබෙන විනාශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නිර්මාණය කිරීමට ශිල්පියාගේ තිබූ කෞෂල්‍යය  මනාව හඟවවයි.

“මැවීම” (Creation) සිතුවමෙහිද උචෙල්ලෝ දෙවියන්වහන්සේ විසින් ආදම් සහ සතුන් මැවීම නිර්මාණය කර  ඇත්තේ ආඛ්‍යාන  විලාසයෙනි . වස්ත්‍රයන්හි  රැලිපිළි අති උත්කෘෂ්ට ලෙස චිත්‍රනය කිරිමට ශිල්පියා ගෙන ඇති ප්‍රයත්නය අගය කල යුතුමය. “මහා ජල ගැල්ම” (The Flood) සිතුවම සමඟ සැසඳීමේදී “මැවීම” (Creation) සිතුවමෙහි ශිල්පීමය වශයෙන් යම්තාක් දුරකට පසුබෑමක්  පෙන්නුම් කරයි. මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක්  ලෙස ගෙනහැර දැක්විය හැකිවන්නේ, සිතුවමෙහි  සංරචනය තුල ඇති යම්කිසි වරදක් බව පෙනීමේ ලකුණු ඇත. විශේෂයෙන්ම සිත්තරුවා සිතුවමෙහි ඇති ගැඹුරු අවකාශය නිසියාකාරව පෙන්වීමට කිසිඳු අයුරකින්ම උත්සාහ කර නොමැති බවය.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher