මුල් කිතුනු සලකුණු

මුල් කිතුනු සලකුණු
Photo by David Bumgardner / Unsplash

ලොව පුරා කිතුනුවන්ගේ ශුද්ධවූ සලකුණ කුමක්දැයි ඇසුවහොත් ඒ ශුද්ධවූ කුරුසිය බව අන්‍යාගමිකයෙකු වූවත් පවසනු ඇත. වත්මනේදී එය එසේ වූවත් ශුද්ධවූ කුරුසිය අප සලකුණ ලෙස යොදාගැනීම ආරම්භ කරන ලද්දේ කිතුනු සභාව බිහිවී සියවස් 3 කට පසුව  එනම් ක්‍රි:ව: 4 වන සියවස මැද භාගයේදී යි.

මුල් යුගයේ කිතුණුවන් යොදාගත් වැදගත් සලකුණු 2 ක් ගැන අද කතා කරමු.

ඉක්තිස් (Ichthys)

img

සරල සලකුණක් වූ මෙය මත්ස්‍ය රූපයකි. (පහත පළමු රූපය) ක්‍රි:ව: 2 වන සියවසේදී භාවිතයට පැමිණි ඉක්තිස් සලකුණ එකල කිතුණුවන් එකිනෙකා රහසිගතව හඳුනාගැනීම සඳහා යොදාගත් බව සඳහන් වේ. එනම් කිතුදහම ඇදහීම තහනම්ව පැවති කාල වකවානුවකදී තම විරුද්ධවාදීන්ට හසු නොවී, පිරිස් වශයෙන් රැස්වී යාච්ඥා මෙහෙයන් ආදියට සහභාගී වීමට මෙය යොදාගත් බව පෙනී යයි.

එකල එක් කිතුණුවෙක් තවෙකෙක් හමුවූ විට එක් අයෙක් රහසින් පොලොවේ ‍රූපයේ අඩක් අඳින අතර අනෙකා ඉතිරි අඩ ඇඳ රූපය සම්පුර්ණ කිරීමෙන් හදුනාගැනීම සිදුකරන ලද බව කියැවේ.
කිතුණුවන් මෙය භාවිතයට ගැනීමට බොහෝ කලකට පෙර සිට අන්‍යාගමිකයන් විසින් මෙය භාවිතා කර ඇති අතර ඒ සශ්‍රීකත්වය පෙන්නුම් කරන සලකුණක් ලෙසයි.
ශුද්ධවූ බයිබලය තුලද අවස්ථා කිහිපයකදීම මත්ස්‍යයන් ගැන සඳහන් වන අතර (පන්දහසකට කෑම දීම ආදී....) ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයන් 12 දෙනාගෙන් වැඩි දෙනෙක් මසුන් අල්ලන්නන් වීමද වැදගත් කාරණයකි.

ඉක්තිස් යන වචනය සෑදී ඇත්තේ ග්‍රීක බසින් "ජේසුස් ක්‍රිස්තුස්, දෙවියන්වහන්සේගේ පුත්‍රයා, ගැලවුම්කරු" යන්න කියැවෙන වචන වල මුල් අකුර ඈඳීමෙනි. එනම්, Iesous Christos theou hyiso soter හි 1, 3 හා 5 වන වචන වල මුල් අකුරත්, 2 හ 4 වන වචන වල මුල් අකුරු 2 බැගිනුත් ඈඳීමෙනි. ( I-ch-t-hy-s)

කි-රෝ (Chi-Rho)

කොන්ස්තන්තියානු කුරුසිය ලෙස ඇතැමුන් හඳුන්වන මෙය කිතුණු සලකුණක් ලෙස හඳින්වාදී ඇත්තේ කිතුදහම වැලඳගත් පළමු රෝමානු අධිරාජ්‍යයා වන මහා කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා (පාලන සමය ක්‍රි:ව: 306 - 337) විසිනි.

"කි" හා "රෝ" යනු ක්‍රිස්තුස් යන්න ග්‍රීක බසින් ලියන අකුරු පෙළෙහි මුල් අකුරු 2 යි. එනම් Χριστός (Christos) හි Xp යන අක්ෂර 2 යි. මෙම අක්ෂර 2 එක මත එක පිහිටන ලෙස ඇඳීමෙන් කි-රෝ සලකුණ නිර්මාණය කර ඇත. (පහත දෙවන චායාරූපය) ඇතැම් අවස්ථාව වල මෙයට ඇල්පා හා ඔමේගා (ග්‍රීක හෝඩියේ මුල් සහ අවසන් අකුර) ද යොදාගෙන ඇති බව පෙනේ.
කෙසේ වෙතත්, ඉක්තිස් මෙන්ම කි-රෝ ද පූර්ව ක්‍රිස්තියානි යුගයේද දක්නට ලැබුණු සලකුණකි. එකල එය වටිනා/හොඳ (Chreston) යන්න සංකේතවත් කර ඇති අතර III වන ටොලමි පාලන සමයේ එනම් ක්‍රි:පූ: 246-222 භාවිතා කල ඇතැම් කාසි වල යොදා තිබූ බව සොයාගෙන ඇත.
මහා කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් මෙය සලකුණක් ලෙස භාවිතා කිරීම සම්භන්ධ කතා පුවත මෙසේය,

ක්‍රි:ව: 312 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා යුද්ධයකට මුහුණු දීමට සිදුවී සිටි අතර දිනක් දිවාකාලයේදී සූර්‍යාට ඉහලින් දිලිසෙන සලකුණක් දිස්වි ඇත. එය අධිරාජ්‍යයා සමග සිටි මුලු සේනාවද දැක ඇති අතර එදින රාත්‍රයේ සිහිනයකින් ඔහුට දන්වා ඇත්තේ, "ස්වර්ගීය වූ, ශුද්ධවූ" යමක් සෙබළුන්ගේ පලිහ මත සටහන් කරන ලෙසයි. ඒ අනුව අධිරාජ්‍යයා විසින් පසුදා උදෑසන කි-රෝවට ආසන්න සලකුණක් යෙදූ අතර එදින එනම් 312 ඔක්තෝබර් 28 දින සුප්‍රකට මිල්වියානු පාලමේ (Milvian bridge) යුද්ධය ඔවුන් විසින් ජය ගත්හ.

ඉන් අනතුරුව කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් කි-රෝව තම රාජකීය දජයේද ඇතුලත් කල අතර පසුව කිතුනු සභාවේ සලකුණ ලෙස හඳුන්වා දෙනු ලැබීය.

ඉන් සියවසක් ඇවෑමෙන් ශුද්ධවූ කුරුසිය අප සලකුණ බවට පත්වන තෙක් කි-රෝව කිතුනු සභාවේ සලකුණ විය. එමෙන්ම ඉක්තිස් මෙන් නොව, පොදුවේ භාවිතා කල බැවින් මෙය කිතුනු සභාවේ පළමු සලකුණ ලෙස ඇතැමුන් සලකුණු ලබයි.

පහත තුන්වන චායාරූපයේ දැක්වෙන්නේ ප්‍රකට චිත්‍ර ශිල්පී රෆායල් සැන්සියෝ (Rafael Sanzio 1483-1520) විසින් ඉහත සඳහන් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ඇතුලු සේනාව දුටු දර්ශනය පාදක කොටගෙන චිත්‍රයට නගන ලද Visione della Croce (Vision of the Cross/කුරුසියේ දර්ශනය) නම් චිත්‍රයයි. මෙය අවසන් කිරීමට පෙර රෆායල් මියගිය බැවින් ඔහුගේ ශිෂ්‍යයන් විසින් මෙය 1524 දී සම්පූර්ණ කරන ලදී.

උපුටා ගැනීම - St Theresa Church Kotikawaththa Facebook පිටුව මගින්