ක්‍රිස්තියානි දහම ලංකාවට ගෙනාවේ පෘතුගීසින් ද?

ක්‍රිස්තියානි දහම ලංකාවට ගෙනාවේ පෘතුගීසින් ද?
සිතුවම - Sri Lankan Catholics පිටුව මගින්

ශ්‍රී ලංකාව තුළ කිතු දහම රෝපණය වූයේ පෘතුගීසින්ගෙන් පැමිණීමෙන් පසුව බව බොහෝ දෙනා පවසා ඇතත්, සත්‍යය මෙය නොවේ. මෙය සත්‍ය වසන් කිරීමකි.

අප රටේ ඓතිහාසික යුග වලින් පළමුවැන්න වූ අනුරාධපුර යුගයේ පටන් ලක්දිව කිතුනු ඇදහිල්ල පැවති බවට සාක්ෂි ඇත. එසේ නම් අප රට කිතු දහම හැඳින ගෙන ඇත්තේ යුරෝපයේ බොහෝ රටවල් කිතු දහම හැඳින ගැනීමට පෙර යුගයක ය.

කිතු දහම බටහිරෙන් (යුරෝපයෙන්) බිහි වූ දහමක් ලෙසත්, එම දහම බටහිර සංස්කෘතික අංගයන්ගෙන් පෝෂණය වූවක් ලෙසත් හුවා දැක්වීම සඳහා නොයෙකුත් ආකාරයේ මතිමතාන්තර ඉදිරිපත් කරනු ලැබුවද, කිතු දහමේ උපත ආසියාතික පලස්තීන දේශයේ සිදු වූ බව කවුරුත් දන්නා සත්‍යයකි. ලක්දිව පැවති පුරාණ කිතුනු ඇදිල්ල පිළිබඳව අප රටේ වංශකතාවන් හි කිසිවක් සඳහන් නොවී තිබුණ ද, දකුණු ඉන්දියාව ප්‍රමුඛ (පැරණි යුගයේ දී ශ්‍රී ලංකාව සමඟ වාණිජ මෙන්ම සංස්කෘතික සබඳතා පැවැති) ආසියාතික රටවල ඒ සම්බන්ධයෙන් විස්තර ලියැවී තිබුන අතර ජනප්‍රවාදයේ ද සඳහන් වේ.

තවද, අනුරාධපුර යුගයේ සීගිරි රාජධානිය පැවිති කාලයේ දී ලක්දිව තුළ කිතු දහම පැවති බවට අප රටේ ශිලා ලේඛනගතව ඇති බව ලොව පිළිගත් පුරා පුරාවිද්‍යාඥයකු වූ හිටපු පුරාවිද්‍යා අධිකාරි මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් වර්ෂ 1972 ජුනි මස 30 දින නිකුත් කරන ලද "The Story of Sigiriya" ("සීගිරි කතන්දරය") ග්‍රන්ථයෙහි සඳහන් වී ඇත.

මෙම වැදගත් විෂය සම්බන්ධයෙන් රීටා වෙල්ගම්පල මහත්මිය විසින් අප රටේත් විදෙස්හිත් හමුවන දත්ත ඇසුරෙන් වසර ගණනාවක් පුරා සිදුකරන ලද අධ්‍යනයකින් පසුව "ලක්දිව කිතුනු පුරාණය" නැමැති ග්‍රන්ථය 2003 වසරේ මැයි මස 25 වන දින නිකුත් කරන ලදී. මෙම ග්‍රන්ථයෙන් ලබා ගත් කරුණු අනුව ලක්දිව පැවති පුරාණ කිතුනු ඇදහිල්ල පිළිබඳ තොරතුරු සියල්ල සෙනරත් පරණවිතාන සූරීන්ගේ ග්‍රන්ථයෙන් සෘජුවම උපුටා ගන්නා ලද බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ක්‍රි.ව. 1 වන සියවස

ජේසු සමිඳුන්ගේ ගෝලයන් දොළොස් දෙනා අතරින් දෙදෙනකු අප දේශයට කිතු දහම ගෙන ඒමට පුරෝගාමී වූහ. එනම්, ඉන්දියාවේ දී ප්‍රාණපරිත්‍යාගී වූ ශාන්ත තෝමස් අපෝස්තුළුවරයාණන් සෘජු ලෙස ද, පරිසියාවෙහි (අද ඉරානය) ප්‍රාණපරිත්‍යාගී වූ ශාන්ත ජූඩ් තද්දේවුස් අපෝස්තුළුවරයාණන් වක්‍ර ලෙස ද මෙයට දායකත්වය දී ඇත.

ශාන්ත තෝමස් තුමන් ඉන්දියාවට වැඩම කළේ යුරෝපයේ බොහෝ රටවල් කිතු දහම හැඳින ගැන්මටත් පෙර යුගයකය. එතුමා ක්‍රි.ව. 52 දී ඉන්දියාවේ මලියන්කර් හෙවත් ක්‍රැන්ගනෝර් ප්‍රදේශයට හම්බාන් නමැති වෙළෙන්දෙකු සමඟ පැමිණියේය. දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරළ හෙවත් කොරමැන්ඩල් වෙරළෙත් බටහිර වෙරළ හෙවත් මලබාර් වෙරළෙත් එතුමන් ධර්ම දූතික සේවය පළමුව දියත් කළ අතර, පසුව උතුරු ඉන්දියාවේ ද දහම් දූතික කටයුතුවල කටයුතුවල යෙදුණේය. එතුමන්ගේ ධර්ම දූතික සේවයේ කේන්ද්‍රස්ථානය වූයේ බටහිර වෙරළ (මලබාර්) ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ (එනම් කොචින් හා කේරළ ප්‍රදේශයන්හි) කිතුනු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් අද පවා සිටිති. අවුරුදු 17 ක ධර්ම දූතික සේවාවකින් පසුව ශාන්ත තෝමස් තුමන් කිතුදහමට සාක්ෂි දරමින් ඉන්දියාවේදීම ප්‍රාණපාරිත්‍යාගී  වූයේය. එතුමන් ගේ සොහොන මදුරාසි නගරයට දකුණින් මයිලපුර්හි පිහිටා ඇත. ("ලක්දිව කිතුනු පුරාණය" පිටු අංක 32 -40)

ශාන්ත තෝමස් තුමන් ඉන්දියාවේ මලබාර් වෙරළේ සිට කොරමමැන්ඩල් වෙරළට කිහිප වරක් සැපත් වූ අතර, මේ ගමන්වලදී මෙතුමා ලංකාවට පැමිණ ටික කාලයක් සිටිය බව ඉතිහාසඥ, රිබේරියෝ පවසා ඇත.("Fatalidade History de Ceilao") දකුණු ඉන්දියාවේ මෙතුමන් ක්‍රියාත්මක කළ දහම් දූතික වැඩපිළිවෙළ හා සමාන පුළුල් ක්‍රියාවලියක් ලංකාව තුළ දියත් නොකළද, ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙරළබඩ තීරයේ ධීවර සහ මුතු කිමිදීමේ රැකියාවන් හි හි යෙදී සිටි ජනතාවට මුල්වරට මෙතුමන් අතින් කිතු දහම හඳුන්වා දෙනු ලැබිණ. ("ලංකා කිතුනු පුරාණය" පිටු 41-45)

ශාන්ත තෝමස් තුමන් ලක්දිවට වැඩම කොට මෙහි කලක් විසීම පිළිබඳව, ජේසු නිකායික ගරු ෆර්නාවෝද ක්වේරෝස් පියතුමන් විසින් ලියන ලද ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ: " කොළඹට ආසන්න ගම් පෙදෙසක ශාන්ත තෝමස් නමින් වූ දෙව්මැඳුරකී. කිතුනුවන්ගේ පියා ජීවත් වූයේ මෙහිය. මෙම දෙව්මැදුරේ තිබී සොයාගත් කුඩා ගල්පුවරුවක කොටා ඇති කුරුස ලාංඡනයකි. මෙය මෙම අපොස්තුළුවරයා විසින්ම කරන ලද්දක් යයි කියැවේ". (The Temporal and Spiritual Con quest of Ceylon" by Fr. Fernao de Queyroz) ශාන්ත තෝමස් තුමා යම් තැනක වාසය කළේද එතැන සියතින්ම කුරුස ලාංඡනයද එතුමා අතින් ම කැටයම් කෙරුණු බව සඳහන් වීම වැදගත් කරුණකි. කොළඹ කොච්චිකඩේ ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවී ඇති ප්‍රාග් පෘතුගීසි යුගයට අයත් කුරුසිය මෙය වන්නට හැකි බවට මතයක් පවතී. ශාන්ත තෝමස් තුමා ලංකාවට පැමිණි අවස්ථාවන්හි මෙම ප්‍රදේශයේ ජීවත් වී සිටි නිසා මේ මුලින් "සන්තොම්පිටිය" "සන්තුම්පිටිය" යන නම් වලින් හැඳින්වී, පසුව ජින්තුපිටිය ලෙස ජනවහරේ යෙදෙන්නට ඇතැයි ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් මහතා පෙන්වා දෙයි. අදත්, ශාන්ත තෝමස් නින් ඇන්ග්ලිකානු සභාවට අයත් දෙව්මැඳුරක් ජින්තුපිටියෙහි තිබේ. (ල.කි.පු. පිටු 46-47)

ශාන්ත තෝමස් තුමන් විසින් කැටයම් කරන ලද කුරුස "මාර්තෝමා සිළුබා" යනුවෙන් ඉන්දියාවේ හැඳින්වේ. ජින්තුපිටියෙන් සොයාගත් කුරුසය මෙම කුරුස විශේෂයට සමානකම් දක්වති. තවද, ජින්තුපිටියේ කුරුසයෙත් අනුරාධපුරයෙන් හමුවූ ඓතිහාසික කුරුසයෙත් එක හා සමාන ලක්ෂණ දක්නට ඇති බැවින්, 8 වෙනි සියවසට අයත් අනුරාධපුර කුරුසය "මාර්තෝමා සිළුබා" කුරුස සුවරූපයට කැටයම් වන්නට ඇතැයි සිතිය හැක. මේ කරුණු අනුව කිතුනු විමුක්තියේ ලාංඡනය වන කුරුසය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ ශාන්ත තෝමස් තුමන් බව සනාථවේ.
(ලංකා කිතුනු පුරාණය පිටු 47-48)

ලෝක කිතුනු විශ්වකෝෂයෙහි (" The world Christian Encyclopedia" , Pages 23-32) සඳහන් පරිදි ක්‍රි.ව. පළමුවැනි සියවසේදී ලක්දිව තුළ කිතු දහම පැවතිණි. එයට මුල් වූයේ ශාන්ත තෝමස් තුමන් අතින් දහමේ පිහිටුවනු ලැබූ "තෝමස් කිතුනුවන්"බව තවදුරටත් එහි සඳහන් වේ. (ල.කි.පූ පිටු 52)

ක්‍රි.ව. 2 සිට 4 වන සියවස

ක්‍රි.ව. 335 දී ඉන්දියාවේ මලබාර් වෙරළට පැමිණි කානාන්හි තෝමස් නැමැති සිරියානු වෙළෙඳ නායකයා නිසා එම ප්‍රදේශයේ පැවති කිතුනු ඇදහිල්ලට විශේෂ අනුග්‍රහයක් ලැබුණු බවත්, ඉන්දියාවට ඒ කාලයේදී පැමිණි පරිසියානු කිතුනු පිරිස් අතරින් සමහර දෙනා ලංකාවට පැමිණ ඇති බවත්, 4 වෙනි සියවසේ මැදභාගයේ දී ලක්දිව කිතුනු ඇදහිල්ල දියුණුවෙමින් පැවත ඇති බවත්, ශාන්ත තෝමස් තුමන් නමින් තාපසාරාමයක් තිබුණු බවත්. ඉතිහාසඥ ජේ.ලැබෝර්ට් පවසා ඇත.
(ල.කි.පු. පිටු 52-53)

වෙළෙදාම සඳහා ලක්දිවට පැමිණි ඉන්දියානු, පරිසියානු, සහ වෙනත් විජාතික වෙළඳුන් අතර කිතුනු අයද සිටිය හෙයින්, පුරාතනයේ පටන් වෙළඳ වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ හලාවත, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි වෙන තොටුපළ ඇසුරින් දියුණු වූ ප්‍රදේශයන්හි කිතුදහමට ලැබුණේ උසස් ප්‍රතිචාරයකි. වෙළදාම හැරුණකොට මුතු කිමිදීම සහ ධීවර කර්මාන්තය සඳහා ද දකුණු ඉන්දියාවේ මලබාර් වෙරළබඩ ප්‍රදේශයෙන් මෙහි පැමිණි "තෝමස් කිතුනුවන්" රටේ වයඹ පළාතේ සහ උතුරේ ද වෙරළබඩ ප්‍රදේශයන්හි ද ජීවත්ව පසුව ඊට සමීපව පිහිටි ගම්මානයන්ටද ක්‍රමෙන් සංක්‍රමණය වන්නට ඇත. අද පවා ලක් කිතුනු ජනගහනයෙන් ඉහළම ප්‍රතිශතය දක්නට ලැබෙන්නේ හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවලය. ලක්දිව කිතුනු ඇදහිල්ල රෝපණය කිරීමේ පුරෝගාමී වූවන් ධර්මදූත ව්‍යාපාරයන් දියත් කිරීමට මෙහි පැමිණි බවක් නොපෙනේ. පාලන බලය හෝ රටේ වෙළෙඳ ඒකාධිකාරය සිය අතට ගැනීම ඔවුන්ගේ පරමාර්ථය නොවීය. ඔවුන් "එක් අතකින් කුරුසයත් අනෙක් අතින් කඩුවත්" ගෙන මෙහි ආයේ නැත. මොවුහු සාමාන්‍ය ජනතාව හා සංකලනය වී සිය එදිනෙදා ජීවිත චර්යාවන් මඟින් කිතු දහමට සාක්ෂි දරන්නට ඇත. (ල.කි.පු. පිටු 57-61)

(ඉහත සඳහන් කරුණු අනුව, පෘතුගීසි ආක්‍රමණ හේතුකොටගෙන මෙම පළාත්වල කිතු දහම මුල් බැසගත් බව යයි ගෙනහැර දක්වන මතය පිළිගත නොහැක. එහෙත් පෘතුගීසි සමයේදී ධර්මදූතික පූජකවරුන්ට මෙම ප්‍රදේශයේ කිතු දහම පැතිරවීමට ඉහතකී පසුබිම කදිම පිටුවහලක් වූවාට කිසිම සැකයක් නැත.)

ලක්දිව පුරාතනයේ ඇරඹී පරිසියානු කිතුනු නිකාය පෘතුගීසින්ගේ පැමිණීම තෙක්ම පැවතුන බවත්, ඔවුන් සතු කිතුනු දේවස්ථාන වෙනුවට පෘතුගීසීන් විසින් අලුතින් දේවස්ථාන ගොඩනගන ලද බවත්, ඉන්දියාවේ කිතු සසුන් ඉතිහාසය ලියු ජේ.හෝ නැමති ඉතිහාසඥයා පවසා ඇත. (" A Historry of Christianity in India " by J. Hough, Volume III, Book IV, Page 74.) (ලංකා කිතුනු පුරාණය 11,12)

ක්‍රි.ව. 6 වන සියවස සිට පෘතුගීසින්ගේ පැමිණිම (ක්‍රි.ව. 16 වන සියවස) දක්වා කාලය

සීගිරි රාජධානියේ අවසානයත් සමගම කිතුනු ඇදහිල්ලට රාජ්‍ය මට්ටමෙන් අනුග්‍රහය නොලැබුනද එය කිතු දහම ඇදහූ සාමාන්‍ය මහජනතාවට එතරම් වැදගත් දෙයක් නොවීය. තවද, සීගිරි යුගයට බොහෝ කලින් හලාවත, මන්නාරම වැනි වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතවය ඇරඹුන කිතු දහම දිගින් දිගට පැවතුණා විනා රාජධානියක අවසානයත් සමඟම රටින් ඉවත් වූයේ නැත. (ල.කි.පූ. පිටු 115,116)

ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ සිට ඉදිරිකාලය තුළ ආසියා මහද්වීපයේ විවිධ රටවල් තුළ කිතුනු ඇදහිල්ලේ විපුල වර්ධනයක් ඇති වූ බවට බොහෝ සාක්ෂි ඇත. පෘතුගීසින්ගෙන් පටන් ගෙන සෙසු බටහිර ජාතීන්ට අයත් ධර්මදූතවරුන් ආසියාතික රටවලට පැමිණියේ ඊට සවසර ගණනකට පසුවය. ක්‍රිස්තු වර්ෂ සිව්වැනි සියවසේ පටන් අටවැනි සියවස දක්වා වූ කාලය තුළ දී කිතුනු ඇදහිල්ල මධ්‍යම ආසියාවේ, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ඇෆ්ගනිස්තානයේ සාර්ථකව වර්ධනය වූ සැටි මාර්ටින් පාමර් නැමැති ශාස්ත්‍රඥයා "The Jesus Sutra" ("ද ජීසස් සූත්‍ර") ග්‍රන්ථයේ (පිටු 101) පැහැදිලිව පෙන්වා දී තිබේ. කිතු වසින් සත්වන සියවසේ මැද භාගය තෙක් පර්සියානු අධිරාජ්‍යයේ කිතු දහම තදින් ව්‍යාප්ත වුණු බවත්, කිතු දහම ආසියාකරයේ ව්‍යාප්ත කිරීමට පරිසියානු  කිතුනුවන්ගෙන් ලැබුණු මහත් රුකුලක් හේතුවෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල කිතු දහමේ දියුණුවක් ඇති වූ බවත්, පෙරදිග රටවල කිතුනු ඇදහිල්ලේ වර්ධනයට බොහෝ සෙයින් හේතු වූයේ පරිසියානු කිතුනු සභාව බවත් මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. පර්සියා දේශයේ කිතු දහම මුලින්ම රෝපණය කළේ කිතු සමිඳුන්ගේ දොළොස් මහා ශ්‍රාවකයකු මෙන්ම ඥාතිවරයකු ද වූ ශාන්ත ජූඩ් තද්දේවුස් අපොස්තුළු තුමන්ය. ("ල.කි.පූ." පිටු 118-120)

සියවස සියවසේ පළමු භාගයේදී "තප්‍රොඛේනය" නමින් හැඳින්වුන ලක්දිව හී පරිසියානු කිතු බැතිමතුන් පදිංචිව සිටි බවත්, ඔවුන්ගේ දේවස්ථානයක් තිබුණු බවත්, ඔවුන් වෙනුවෙන් සාඩොක් නැමැති පරිසියානු පූජකතුමකු සිටි බවත්, ග්‍රීක ජාතික යාත්‍රික කොස්මස් ඉන්ඩිකොප්ලේයුස්ටස් ලියු "ටොපොගැෆිකා ක්‍රිස්ටියානා" පොතෙහි (පිටු 118,119) සඳහන් වේ. ("ල.කි.පූ." පිටු 8,9)

බටහිර ආසියාවේ සිරියාව, පර්සියාව, ඉරාකය ඔස්සේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, ජාවා, මැලේසියාව, චීනය දක්වා ද, මොංගෝලියාව ඔස්සේ ජපානයේ දක්වා ද කිතු දහම පැතිරී ගිය අයුරු ජෝන් ඉන්ග්ලන්ඩ් විසින් ලියන ලද "The History of Christianity in Asia" ("ආසියාවේ සැඟවුණු කිතුනු පුරාණය") නමැති පොතෙහි සඳහන් වේ.

දසතුන්වන සහ දසසතරවන සියවස්වල දී ශ්‍රී ලංකාව තුළ කිතුනු ඇදහිල්ල පැවතුණු බවට සාක්ෂි ඇත. ඉන්දියාවේ තැන්පත් කොට තිබූ ශාන්ත තෝමස් තුමන්ගේ හස්ත ධාතුව දැක ගැන්මට ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් දස සතරවන සියවසේ දී ඉන්දියාවට වන්දනා ගමන් හි යෙදුණු බව "History of Christianity India" (Voloume 1,page 57) ග්‍රන්ථයෙහිත්, මහාචාර්ය ජොර්ජ් මෙනචරි විසින් ලියන ලද "තෝමාපීඩියා" නැමැති විශ්ව කෝෂයෙහිත් සඳහන් වේ. ("ල.කි.පූ." පිටු 127,128)

ඉන්දියාවේ විසූ පරිසියානු කිතුනුවන් හමුවීමට පැමිණි පරිසියානු රදගුරුවරුන් දෙනමක් ශ්‍රී ලංකාවටද පැමිණ බව "Bibliotheca Orientalis" ලේඛනයෙහි (පිටු 44) සඳහන් වේ. මෙම රදගුරු දෙනමගෙ නම් සබ්‍රිශෝ සහ දසිශෝ බව මහාචාර්ය මෙනචරි තුමන් ලියන ලද "තෝමාපීඩියා" හි සඳහන් වේ. 6"ල.කි.පූ. පිටු 128)

ඉහත සඳහන් විදෙස් මූලාශ්‍රවල සඳහන් වන තොරතුරුවලට අමතරව, අටවැනි සහ නමවැනි සියවස් වලත් ඉන් ඔබ්බටත් කිතුනු ඇදහිල්ල ලක්දිව පැවැති බවට සාක්ෂි අප රටින්ම ලැබී තිබේ. අනුරාධපුරයේ තිබී සොයාගන්නා ලද කුරුස කැටයම මෙයට කදිම නිදසුනකි. 1912 දී පුරා විද්‍යා අංශයෙන් කරන ලද කැනිම් වල ප්‍රථිඵලයක් වශයෙන් අනුරාධපුර යුගයට අයත් ගල් පුවරුවක කොට ඇති මෙම කුරුස ලාංඡනය සොයාගෙන ඇත. 8 වැනි සියවසට අයත් මෙම කුරුසිය මුල් යුගයේ කිතුනු බැතිමතුන් සඳහා වූ එකක් විය හැකිය. කොඩ්රින්ටන් නමැති ඉතිහාසඥයා පවසන හැටියට මෙය පරිසියානු කිතු බැතිමතුන් ලංකාවට හඳුන්වා දුන් කුරුසියට අනුරූප වූ එකකි. තවද, මෙම කුරුසිය "මාර්තෝමා සිළුබා" හෙවත් ශාන්ත තෝමස් තුමන්ගේ කුරුස ස්වරූපයට සෑම අතින්ම සමාන බව ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර ඇත. කොළඹ ජින්තුපිටියෙන් සොයාගත් ප්‍රාග් පෘතුගීසි යුගයට අයත් කුරුසය ද "මාර්තෝමා සිළුබා"  කුරුස විශේෂයට සමාන කමක් දක්වන බව මීට ඉහත සඳහන් කර ඇත. ("ල.කි.පූ" පිටු 129,130)

ඉහත සඳහන් කුරුස ලාංඡන දෙකට අමතරව, උතුරේ තිබූ ප්‍රසාද ස්නාපන ජල බඳුනක් ද සොයා ගෙන ඇත. ("ල.කි.පූ" පිටු 136)

ඉහත සඳහන් කරුණු සියල්ලට අමතරව තවත් වැදගත් කරුණක් මෑතකදී අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන් විසින් හෙළිදරව් කර ඇත. එනම්, වර්ෂ 1330 අප්‍රේල් 05 වන දින විසි දෙවැනි ජුවාම් ශුද්ධෝත්තම පාප් වහන්සේ එවකට ඉන්දියාවේ කුයිලෝන් ප්‍රදේශයේ රදගුරුව සිටි අති උතුම් ජොර්ඩානුස් කැටල්හා ද සෙවාරාක් නමැති ප්‍රංශ ජාතික දොමිනිකානු නිකායික රදගුරුතුමන් කොළඹ රතුගුරු වශයෙන් ද පත් කළ බවය. මෙය පිළිබඳ සියලු විස්තර වතිකාන ලේඛනාගාරයේ ඇති බව ගෝමිස් අගරදගුරු හිමිපාණෝ අනාවරණය කළහ. ("ශ්‍රී ලංකාවේ කිතුනු දායකත්වය" පිටු 27,28.)

ශුද්ධවු තෝමස් අපෝස්තුළුවරයාණන් විසින් ඉන්දියාවට කිතු දහම හඳුන්වා දීම තුළින් ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදීම එය ලක්දිවට ලඟාවිය. ලක්දිවට කිතු දහම මුලින්ම හඳුන්වා දෙනු ලැබූ වසර නිශ්චිත වශයෙන් නම් කිරීමට නොහැකිය. එය එක්වරම සිදුවූවක් නොවේ. එය සියවස් ගණනාවක් තුළ ක්‍රමයෙන් සිදු වූ බව දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල ඇති ලිපි ලේඛන වලින් පෙනේ. ආදි කිතුනු ඇදහිල්ල ලංකාවට හඳුන්වා දුන්නේ ධනයෙන්, පිරිස් බලයෙන් හෝ රණශූරත්වයෙන් අගතැන් පැමිණි බලවේගයක් විසින් නොවේ. එමෙන්ම ධර්මදානයේ යෙදුණු ධර්මදූත සංවිධානයක් මගින් ද නොවේ. එය සිදුවී ඇත්තේ අනුක්‍රමයෙනි. සාමාන්‍ය ජනතා කොටස් ඇසුරිනි. විවිධ රැකියාවන්හි, එනම් මුතු කිමිදීම, ධීවර කර්මාන්තය, වෙළඳාම මෙන්ම ධාතුසේන මෞරිය වාංශික රජවරුන්ට සෙබළුන් වශයෙන් සේවය කිරීම ආදී රැකියාවන්හි නියුතු සාමාන්‍ය ජනකොටස් ඇසුරෙන් වයඹ, උතුරු මැද සහ නැගෙනහිර වැනි පළාත්වල කිතුදහම රෝපණය විය. සංවිධානාත්මක ධර්ම ප්‍රචාරය ව්‍යාපාරයක් වශයෙන් නොපැමිණි නිසා කිතු දහමට ප්‍රසිද්ධියක් හෝ රාජානුග්‍රහය නොලැබීම පුදුමයක් නොවේ. මෙම අඩුපාඩුව නිසාම ප්‍රාග් පෘතුගීසි කිතුනු ඇදහිල්ලක් අප රටේ නොතිබුනේ යැයි නිගමනය කිරීමට නොහැක.
(ල.කි.පු. පිටු 49-51 සහ 132-133)

අප රටේ පැවති කිතුනු ඇදහිල්ල පිළිබඳ අපගේ වංශකථා වල කිසිවක් සඳහන් වී නැත. බොහෝ ඉතිහාසඥයන් විසින් පිළිගනු ලැබූ මතය නම් ඇතැම් විට අපේ වංශකතා ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ මහා විහාරයේ පුරාණ ග්‍රන්ථයක් විය හැකි බවයි. එබැවින් වෙන යම් දහමක් පිළිබඳ විස්තර වංශකතාවේ නොතිබීම සාධාරණ වන අතරම, එම හේතුව නිසාම මෙම යුගයේදී කිතුනු ඇදහිල්ල අප රට තුළ නොතිබුණේ යැයි නිගමනය කළ නොහැක.

සිරිලක කිතුනු ඉතිහාසයේ මෙන්ම කිතුනු අපගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන ද අසත්‍ය මත පහළ වෙමින් පවති. රට ජාතිය වෙනුවෙන් කැක්කුමක් නැති, රටේ සංස්කෘතිය, කලාව, භාෂාව කෙරෙහි ලැදියාවක් නැති පිරිසක් ලෙස කිතුනු විරෝධී පිරිස් අපව හංවඩු ගැසීමට උත්සාහ කළ ද, බුද්ධිමත් ජනතාව මෙය පිළිගන්නේ නැත.

ආසියාවේ උපන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් ආසියාවේදීම ස්ථාපිත කරන ලද කිතු දහම ලක්දිවට සැපත් වූයේ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ දී බව දැන් සනාථ වී ඇත. හින්දු, බෞද්ධ, මෙන් කිතු දහම ද ලක්දිවට පැමිණියේ ඉන්දියාවෙන්ය. එසේනම් කිතුනු අපගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලුහුකොට සලකන්නේ කෙසේද?.  ලක්දිවට ඉන්දියාවෙන් පැමිණි කිතු දහම බටහිරෙන් බිහි වූ දහමක් ලෙස හුවා දැක්වීමට සමහරුන් වෙහෙසුන ද සත්‍යය එය නොවේ."
නිමි.

සටහන ~ මහනුවර වික්ටර් සිල්වා