ජේසුස් වහන්සේගේ උපන්දිනය දෙසැම්බර් 25 ද?

ජේසුස් වහන්සේගේ උපන්දිනය දෙසැම්බර් 25 ද?

ප්‍රථමයෙන්ම දෙසැම්බර් මස 25 වැනි දින නත්තල් උත්සවය සැමරීම ගැන බොහෝ දෙනා අතර ඇති වැරදි අදහස් දෙකක් මෙහිදී නිවැරදි කළ යුතුය.එනම්;

(01) ජනවන්දනා දින දර්ශනයේ ජේසුස් වහන්සේගේ උපත දෙසැම්බර් මස 25 වැනිදා සැමරුවද, එයින් අදහස් වන්නේ ජේසුස් වහන්සේගේ උපත එදින සිදුවූ බවක් නොවේ.අපි ජනවන්දනා දින දර්ශනයේ බොහෝ සාන්තුවරයන්ගේ, ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ අනුස්මරණ උත්සව පවත්වනු ලබන්නේ ඔහුන් මරණයට පත්වූ දිනයේමයි.එබැවින් ජනවන්දනා දින දර්ශනයේ යමක් සමරන ලද දිනයේම එය සිදුවී ඇති බවට බොහෝ දෙනා අතර වැරදි මතයක් ගොඩනැගී තිබේ.නමුත් එය එසේ නොවන අවස්ථාද ඇත.  නිදසුනක් ලෙස ජනවන්දනා දින දර්ශනයේ ශුද්ධවූ අම්බ්‍රෝසි මුනිතුමාගේ අනුස්මරණ උත්සවය යෙදී ඇත්තේ දෙසැම්බර් මස 07 වැනි දිනයි.නමුත් එතුමා සැබවින්ම ස්වර්ගස්ථ වී ඇත්තේ අප්‍රේල් මස 04 වැනිදාකය.එබැවින් ජේසුස් වහන්සේ දෙසැම්බර් මස 25 වැනිදාක උපත නොලැබුවද, ජන වන්දනා දින දර්ශනයට අනුව දෙසැම්බර් මස 25 වැනිදාට ක්‍රිස්තෝත්පත්ති මංගල්‍යය සැමරීමට එය අපට බාධාවට කරුණක් නොවනු ඇත.
(02) කවුරුන් හෝ ජේසුස් වහන්සේගේ උපත දෙසැම්බර් මස 25 වැනිදා නොව, වෙනත් දිනක සිදුවී ඇති බවට සහතික ලෙසම සොයා ගතහොත් එය කතෝලික සභාවට ගැටළුවක් වේවිද? කොහොත්ම නැත.ජේසුස් වහන්සේගේ උපත සැබවින්ම සිදුවී ඇත්තේ දෙසැම්බර් මස 25 වැනිදා බවට නොවරදින සුළු ලෙසින් සහතික කරන ලද කිසිදු නිල ඉගැන්වීමක් ශුද්ධවූ කතෝලික සභාවේ නොමැත. එලෙසම එය ශුද්ධවූ සභාවේ වේද සත්‍යයක්ද නොවන බැවින් එම දිනයේ ඇති වන වෙනස්කම් කතෝලික අපේ විශ්වාසය හා සදාචාරය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.එය හුදු ඓතිහාසික වැදගත්කමක් ඇති කාරණයක් පමණයි.

දෙසැම්බර් මස 25 වැනිදා නත්තල් උත්සවය සැමරීමට යම් මිත්‍යාදෘෂ්ටික සම්බවයක් තිබේද?

මූලධර්මවාදීන් ඇතුළු බොහෝ කතෝලික විරෝධීන් නිතරම සිදුකරන චෝදනාවක් වන්නේ එකළ පැවති මිත්‍යාදෘෂ්ටික ආගමික උත්සව හා දෙසැම්බර් මස 25 වැනි දින නත්තල් උත්සවය අතර සම්බන්ධතාවයක් ඇති බවයි.මෙම චෝදනා වල ප්‍රසිද්ධ ප්‍රභේද දෙකක් ඇත.එනම්;

(01) සමහරුන් පවසන්නේ නත්තල් උත්සවයට එකළ මිත්‍යාදෘෂ්ටික සෙනසුරු දෙවියෙකුගේ උත්සවයක් වූ "සැටර්නාලියා" (Saturnalia) නමැති උත්සවයේ පදනමක් ඇති බවයි. නමුත් එය වැරදි නිගමනයකි. එම උත්සවය මුලදී පවත්වා ඇත්තේ දෙසැම්බර් මස 17 වැනිදාය.පසුකාලීනව එම උත්සවය දින ගණනක් මුළුල්ලේ සමරා ඇති අතර ඊට අදාළ සියලුම සැමරුම් දෙසැම්බර් මස 23 වනදා වනවිට අවසන් වී ඇත. එබැවින් දෙසැම්බර් මස 25 වැනිදා නත්තල් සැමරුමට එහි පදනමක් තිබිය නොහැකිය.

(02) දෙසැම්බර් 25 වැනිදා නත්තල් සැමරුමට එරෙහිව කතෝලික විරෝධීන් විසින් ඉදිරිපත් කර ඇති යම් තරමකට හෝ ප්‍රබල අපේක්ෂකයෙක් වන්නේ මිත්‍යාදෘෂ්ටික සූර්යය දෙවියෙකු වන "සොල් ඉන්වික්ටස්" (Sol Invictus) ය.ජනප්‍රවාද වලට අනුව අවුරේලියන් රෝම අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව.274 දෙසැම්බර් මස 25 වැනිදා මෙම නව රෝම සූර්යය වන්දනාවක් ස්ථාපිත කර ඇත.කෙසේ නමුත් මේ වෙනුවෙන් දෙසැම්බර් මස 25 වැනිදා උත්සවයක් පවත්වන බවට කියැවෙන සාක්ෂි සාධක බොහෝ අපැහැදිලිය; බොහෝ පසුකාලීනය.උදාහරණ වශයෙන් "සොල් ඉන්වික්ටස්" (Sol Invictus) නමැති ලතින් නාමයේ අර්ථය වන්නේ, "අපරාජිත සුර්යයා" ය. එලෙසම මේ සැමරුම පිළිබඳව හමුවන ප්‍රථම නමුත් අපහැදිලි හා පසුකාලීන සාක්ෂිය වන්නේ ක්‍රි.ව.354 දී ලියැවී ඇති "ක්‍රි.ව.354 ක්‍රිස්තියානි වංශාවලිය" (The Christian Chronography of A.D. 354) යි.එහි සයවැනි කොටසේ ජනවාරි මස 01 වැනිදාට දින අටකට පෙර (එනම් දෙසැම්බර් මස 25 වැනිදා) මෙලෙස සඳහන් වේ: [අපරාජිතයාගේ උපන්දිනය, තරඟ (තුරග තරඟ) තිහකට නියෝග ලැබී ඇත].මෙය බැලූ බැල්මට මිත්‍යාදෘෂ්ටික උත්සවයක සැමරුමක් ලෙස විද්‍යාමාන වේ.එහෙත් "සොල් ඉන්වික්ටස්" (Sol Invictus) ගේ මෙම ලතින් නමෙහි අර්ථය, "අපරාජිත සූර්යයා" මිසක "අපරාජිතයා" නොවේ.එලෙසම මේ වංශාවලිය ලියැවෙන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ සිත් හැරීමෙන් පසුව බැවින් ක්‍රිස්තෝත්පත්ති මංගල්‍යය දිනයේදී තුරග තරඟ පැවැත්වීමට නියෝග කිරීම සැකයට තුඩු දෙන කාරණයක් නොවේ.එලෙසම මෙම වංශාවලියේම 12 වැනි කොටසේ ජනවාරි මස 01 වැනිදාට දින අටකට පෙර (එනම් දෙසැම්බර් මස 25 වැනිදා) සමරනු ලබන ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ උත්සව ලැයිස්තුවේ මෙලෙස සඳහන් වේ: [ජනවාරි මස 01 වැනිදාට දින අටකට පෙර ජුදයේ බෙත්ලෙහෙමේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපන්දිනයයි].

එසේම ක්‍රි.ව.204 දී පමණ රෝමයේ ශුද්ධවූ හිපොලිටස් මුනිතුමා විසින් ලියන ලද දානියෙල් පොතේ විවරණයේ (Commentary on Daniel) 4:23:3 හි මෙසේ සඳහන් වේ: [මාංශයෙන් අපේ ස්වාමීන් වහන්සේගේ පළමු ආගමනය බෙත්ලෙහෙමේ සිදුවූයේ ජනවාරි මස 01 වැනිදාට දින අටකට පෙරය (බදාදා දිනෙක), ඔගස්ටස්ගේ හතැළිස් දෙවැනි වසරේදීය].මෙය ජේසුස් වහන්සේගේ උපන්දිනය දෙසැම්බර් මස 25 වැනිදා බවට සඳහන් වන පැරණිතම වාර්තාවයි.එය අවුරේලින්ගේ රෝම සූර්යය වන්දනාවේ ප්‍රතිසංවිධානයට වඩා වසර 70 ක් පමණ පැරණිය.එලෙසම 354 වංශාවලියට වඩා වසර 150 ක් පමණ පැරණිය.දෙසැම්බර් මස 25 වැනිදා නත්තල් සැමරුමට මිත්‍යාදෘෂ්ටික සම්බවයක් ඇති බවට ඇති චෝදනා පදනම් විරහිත බවට 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින්ද තමන් වහන්සේගේ කෘතියෙහි මෙලෙස පවසා ඇත;

"දෙසැම්බර් මස 25 වැනිදා ගොඩනැඟී ඇත්තේ මිත්‍රාස් මිත්‍යාවට එරෙහිව හෝ තුන්වැනි සියවසේදී රෝමානු අධිරාජ්‍යයා විසින් නව අධිරාජ්‍යයවාදී ආගමක් ස්ථාපිත කිරීමට අපරාජිත සුර්යය වන්දනාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රිස්තියානි ප්‍රතිචාරයක් ලෙස යැයි චෝදනාවක් සෑදී තිබේ.කෙසේ වෙතත් මේ පැරණි න්‍යායන් තවදුරටත් වලංගු නොවේ" - (The Spirit of the Liturgy, 107-108).

ශීත සෘතුවේ එඬේරුන් එළිමහනේ සිටියේ ඇයි?

දෙසැම්බර් මස 25 වැනිදා අයත් වන්නේ බෙත්ලෙහෙමේ ශීත සෘතුවටය.කෙසේ නමුත් ජුදයේ ශීතම මාසය ජනවාරියයි.දේව වචනයට අනුව ජේසුස් වහන්සේ උපත ලද රාත්‍රියේ එම ප්‍රදේශයේ තම බැටළු රැළ රකිමින් සිටි එඬේරුන්ට දේව දූතයෙකු දර්ශනය වී ජේසුස් වහන්සේගේ උප්පත්තියේ සුභාරංචිය දැනුම් දී ඇත.සමහරුන් පවසන්නේ මේ එඬේරුන් ශීත සෘතුවේදී, විශේෂයෙන්ම එවැනි කාලයක රාත්‍රියේදී එළිමහනේ බැටළුවන් රැකබලා ගැනීම සිදු නොකරන බැවින් ජේසුස් වහන්සේගේ උපත දෙසැම්බර් මස 25 වැනිදා වැනි ශිත රාත්‍රියක සිදුවිය නොහැකි බවයි. නමුත් මෙය එතරම් ශක්තිමත් තර්කයක් නොවේ. එවැනි අයට මම යෝජනා කරන්නවා "winter sheep care" ලෙස ටයිප් කර ශීත සෘතුවේදී එඬේරුන් විසින් එළිමහනේදී තම බැටළුවන් ඉතා හොඳින් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව අන්තර්ජාලයෙන් සොයාබලන ලෙසට.ශීත සෘතුවේදී හිම පවා පතනය වන ප්‍රදේශ වල එම කාලවලදී එළිමහනේ බැටළුවන් රැකබලා ගත හැකි නම් ඉතා කලාතුරකින්, ඇතැම් විට ඉතා මඳ වශයෙන් ශීත සෘතුවේදී හිම පතනය වන ජුදා ප්‍රදේශ වල එය කළ නොහැකි වන්නේ ඇයි? විලියම් හෙන්ඩ්‍රික්සන් විසින් බේරුට් හි උගන්වනු ලබන අතරතුර නත්තල්දා සන්ධ්‍යාවේදී බෙත්ලෙහෙමේ බැටළුවන් පිට්ටනි වල සිටි බවට සඳහන් වන හැරී මෝල්ඩර් නම් නව ගිවිසුම් විශාරදයා වෙතින් ලැබුනු 1967/01/16 දිනැති ලිපියකින් මෙසේ උපුටා දක්වා තිබේ;

"අප අසලම බැටළු රැළවල් කීපයක් ගාල් කළා.බැටළු පැටවුන්ගේ පවා අඩුවක් නොවීය... එමනිසා ජේසුස් ස්වාමීන් වහන්සේ දෙසැම්බර් මාසයේදී උපත ලැබීම නිසැකවම සිදුවිය හැකිය" (Jack Finegan, Handbook of Biblical Chronology, 2nd ed., §569).

නිගමනය

දෙසැම්බර් 25 වැනිදා නත්තල් සැමරුමට කිසිදු මිත්‍යාදෘෂ්ටික පදනමක් නොමැත.එය ඔප්පු කළ හැකි සාක්ෂි සාධකද කිසිවක් හමුවී නැත.එලෙස හමු වූවත් දෙසැම්බර් 25 වැනි දින නත්තල් සැමරීමට එය අපට බාධාවක් නොවේ. මක්නිසාදයත් පුරාණ ඉංග්‍රීසි-ජර්මානු දින දර්ශනයේදී වර්ශයේ සෑම දිනයක්ම යම් මිත්‍යාදෘෂ්ටික දෙවි කෙනෙකුට කැප කර ඇත.එසේ බලන කළ මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා සම්බන්ධ නොවන දිනයක් අපේ සැමරුම් සඳහා යොදා ගැනීමට සොය සොයා සිටියහොත් අපට කවරදාකවත් ඒවා සැමරීමට ඉඩ ප්‍රස්තාවක් නොලැබේ.එබැවින් එවැනි බොළඳ තර්ක වලින් අපි හැකිතාක් දුරට ඈත්වී සිටිමු.එලෙසම ඊශ්‍රායෙලයේ එඬේරුන් තම බැටළුවන්ව ශීත සෘතුවේදීද එළිමහනේ සිට රැකබලා ගන්නා බැවින් එඬේරුන්ව සම්බන්ධ කර ගනිමින් ජේසුස් වහන්සේගේ උපත ශීත සෘතුවේදී සිදුවිය නොහැකි බවට නඟන ඊනියා චෝදනා පදනම් විරහිතය. නමුත් දෙසැම්බර් 25 වැනිදා ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බවට මෙන්ම එය සිදුවූයේ වෙනත් දිනෙක යැයි සඳහන් වන පුරාණ ක්‍රිස්තියානි වාර්තා හා ගණනය කිරීම්ද අපට හමුවේ.කෙසේ වෙතත් කතෝලික සභාව විසින් සාම්ප්‍රදායිකව දෙසැම්බර් මස 25 වැනිදා ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය සමරනු ලැබුවද ක්‍රිස්තුන් වහන්සේගේ උපත සැබවින්ම සිදුවූ දිනය, ජන වන්දනා දින දර්ශනයේ එය සමරනු ලබන දිනයට බලපෑමක් ඇති නොකරයි.මක්නිසාදයත් ජනවන්දනා දින දර්ශනයේ ඇතැම් විට යමක් සමරනු ලබන්නේ එය සිදුවූ දිනයේදීම නොවේ.තවද දෙසැම්බර් මස 25 වැනිදා ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බවට කියැවෙන කිසිදු නිල ඉගැන්වීමක් ශුද්ධවූ කතෝලික සභාව විසින් සිදු කර නොමැත.

උපුටාගැනීම කිතුනු අපේ දේවධර්ම දිනපොත