බයිබලය කියවීම තහනම්? පරිවර්තන තහනම්? මේ චෝදනාවේ ඇත්ත මොකක්ද?

බයිබලය කියවීම තහනම්? පරිවර්තන තහනම්? මේ චෝදනාවේ ඇත්ත මොකක්ද?

මධ්‍යතන යුගයේදී කියවීමට උගත්කමක් තිබූ සෑම දෙනාම ලතින් භාශාව හොඳින් තේරුම් ගන්නට, කියවන්නට හැකියාව ලබා තිබූවා. ඒ රෝම අධිරාජය පුරා සිටි ඕනෑම උගත් කම ලද අයකුට ලතින් භාෂාව ඉගෙනගැනීම අනිවාර්ය වී තිබීම නිසායි.

බයිබලය ලතින් භාෂාවෙන්ම පමණයි??

බයිබලය මුද්‍රණ යන්ත්‍රයෙන් පිටපත් කිරීමට පෙර සිටම ස්පාංඤ, ඉතාලි, ප්‍රංශ, නෝර්වේජියානු, පෝලන්ත, හන්ගේරියානු වැනි භාශා බොහෝමයකට කතෝලික සභාවේ අනුදැනුම සහිතවම පරිවර්තනය කර තිබුන අතර බයිබලය පැවති එකම භාශාව ලතින් යැයි කීම තනිකරම මුසාවක්.

ඒ වගේම වයික්ලිෆ් ගේ බයිබලය ප්‍රථම සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ලෙස ගනන් ගැනුනත් ඊට බොහෝ ඉහතදී කරන ලද පහත සඳහන් ශුද්ධ වචනය ඉංග්‍රීසියට පරිවර්තන කිරීම් තිබෙනවා:

  1. විට්බිහි චේඩ්මොන් තාපස පියතුමාගේ පරිවර්තනය (7 සියවස) - මොහු බයිබලයේ විශාල කොටසක් පරිවර්තනය කොට තිබුනා
  2. බීඩ් තාපස තුමාගේ පරිවර්තනය (8 සියවස) - මෙතුමා ජුවාම් සුවිශේෂය පරිවර්තනය කරන කාලය අතරතුර රෝගයකින් මරණයට පත්වූවා
  3. ශර්බෝන්හි බිශොප්තුමා වූ එඩ්හෙල්ම් රදගුරුවරයාගේ පරිවර්තනය (8 සියවස) - සැක්සන් භාෂාවෙන් පරිවර්තනය
  4. හෝලි අයිලන්ඩ් හි බිශොප්තුමාවූ එග්බර්ට් රදගුරුවරයාගේ පරිවර්තනය - සැක්සන් භාෂාවෙන් පරිවර්තනය
  5. මහා ඇල්ෆ්‍රඩ් රජුගේ පරිවර්තනය - ගීතාවලිය පරිවර්තනය කරන කාලයේදී මේ රජතුමා මියගියා

මීට අමතරව කැන්ටබරිහි අගරදගුරුවරයාව සිටි එල්ෆ්‍රික් අගරදගුරුතුමාගේ පරිවර්තනය, ශු. වචනය අලලා ලියවුනු "Book of Durham" පොත, රෂ්වර්ත් ග්ලොස් ආදී බයිබල් පරිවර්තන බොහෝමයක් අදටත් සුරැකිව පවතිනවා.

ඉහත සියල්ල එංගලන්තයේ ඒ ඒ යුගයේ පැවති දේශීය භාෂාවෙන් පරිවර්තන වී තිබුනා.

නෝර්මන්වරුන්ගේ ආක්‍රමණය

ක්‍රි.ව 1066 දී නෝර්මන්වරුන් එංගලන්තය යටත් කරගැනීමෙන් පසු ඇන්ග්ලෝ-නෝර්මන් - නැතිනම් මධ්‍යතන ඉංග්‍රීසි භාෂාව එංගලන්තයේ භාෂාව බවට පත්වූවා. එතැන් පටන් බයිබලය එම භාෂාවට පරිවර්තනය වූවා. ඕර්ම් හි ඍජු-පරිවර්තනය (1150), සාලුස් ඇනිමේ (1250), විලියම් ශොරිහැම් සහ රිචර්ඩ් රෝල්ගේ පරිවර්තනය ආදී බොහෝ පරිවර්තන මෙම යුගයේදී ඇතිවූ අතර ඉහත සඳහන් පරිවර්තන අදටත් සුරැකිව පවතිනවා.

තෝමස් මූර් තුමා

මේ පිලිබඳව තෝමස් මූර් තුමා විසින් 8 වන හෙන්රිතුමාට මෙසේ පැවසූ බව සටහන් වනවා - "සම්පූර්ණ බයිබලය වයික්ලිෆ් ගේ කාලයට ප්‍රථම ශ්‍රද්ධාවත්, හොඳින් දැන උගත් මිනිසුන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කල අතර, යහපත් සහ දේව භය ඇති මිනිසුන් විසින් භක්තියෙන් සහ සන්සුන් බවින් ගරු බිය ඇතිව කියවනු ලැබූවා".

භාෂාවට පරිවර්තනය කිරීමේදී පැවිදි පූජකයන් විසින් එය ගිහියන් හට සීමා නොකල අතර සත්‍ය සහ නියමාකාර පරිවර්තනය පමණක් සුරැකිව ජනතාව අතරට යාම සඳහා සමහර පරිවර්තන ප්‍රතික්ෂේප කල අතර සමහර ඒවා අනුමත කරනු ලැබූවා.

පරිවර්තනය නූතන කිරීමේ බරපතල කම

භාෂාව යනු සජීවී දෙයක්. එය කාලයෙන් කාලයට අලුත් වෙන්වා. එසේ නමුත් කාලයෙන් කාලයට අලුත් වීම පදනම් කොට ගෙන අදහස වෙනස්වීමට ඉඩදීම තුල මහා විකෘති වීම ඇතිවීමට හැකියාවක් තිබෙන බවට මම පහත පරිවර්තනය ගෙන හැර දක්වන්නම්.

අද කාලයේ තරුණ පරම්පරාවේ භාෂාවෙන් අපි බයිබලයේ කොටසක් පරිවර්තනය කොට බලමු.බයිබලයේ NRSV සිංහල අනුවාදයෙන්:

"සහෝදරයෙනි, මා ඔබ වෙත පැමිණ දෙවියන්වහන්සේ පිලිබඳ සාක්ෂිය ප්‍රකාශ කලේ, චතුර කථිකත්වයක් හෝ ප්‍රඥාවක් පෙන්වමින් නොවේ" (1 කොරෙන්ති 2:1)එම පරිවර්තනය

නූතන බහුලව භාවිතා වන සිංග්ලිෂ් භාෂාවෙන්:

"මචංලා, මම මෙතනට සෙට් වෙලා God ගැන proof ශෙයා කලේ, වැඩ්ඩෙක් හරි මීටරයක් හරි කියල ශෝකේස් කරල නෙමේ"

ඉහත අදහස අද කාලයේ භාෂාවෙන් මෙසේ ප්‍රකාශ කරන්නට පුලුවන් වූවත් එසේ බයිබලයේ පරිවර්තනයක් ඉදිරිපත් කලොත් එය කොපමණ විකෘති ඉගැන්වීමක් විය හැකිද කියා ඔබටම තේරුම් ගන්නට හැකි යැයි මම අනිවාර්යයෙන් දනිමි.

ප්‍රතික්ෂේපවූ පරිවර්තනයන් හී දී සිදුවූයේ මෙයයි. ලියන භාෂාවේ අරමුණ විය යුත්තේ සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීම සහ සමාජයට විකෘති නොවූ  ඉගැන්වීමක් ගෙන යාමයි. එහෙත් සමහර පරිවර්තන ඒ කාර්යයන් දෙකෙහිදිම අසමත් වූ විට එම පරිවර්තනය තහනම් කිරීමක් සිදුවූවා.

සාමාන්‍ය මිනිසුන් හට බයිබලය තහනම් කිරීම??

මේ ප්‍රකාශය ඉතිහාසයේ සඳහන් කරුණු සමග ගත් විට මුසාවක් හෝ අතිශයෝක්තියක් ලෙස පෙනී යන බව ඔබ එකඟ විය යුතුයි. අවසර නැතිව බයිබලය පරිවර්තනය කිරීම තහනම් කොට තිබූවත් බයිබලය නිසි ආකාරයෙන් විග්‍රහ කිරීම සඳහා බයිබලයේ පණිවුඩය තේරුම් ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් බුද්ධිය ඇති අයට පමණක් සීමා කර තිබූවත් එහි සැබෑ අර්ථය වූයේ කුමක්ද කියා ඔබට තේරුම් ගන්නට හැකි යැයි මා විශ්වාස කරනවා.

සත්‍ය ලෙසම සිදුවූයේ කුමක්ද?

අකුරු කියවීමට හැකියාව තිබූ ඕනෑම කෙනෙකුට ඒ කාලයේ දී ලතින් භාෂාව මුල් භාෂාවක් ලෙස උගන්වා තිබූ නිසා - අනුමත දේශීය භාෂා වලින් පරිවර්තන වාගේම ලතින් බයිබලයද කියවා දැනුම ලබා ගැනීමේ සම්පූර්ණ හැකියාව සහ නිදහස තිබුනා කියා ඉතිහාසයේ සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා - ඉන් ප්‍රබල කීපයක් මා මෙහි සඳහන් කොටත් තිබෙනවා!එසේ නම් මින් ඉදිරියට බයිබලය සාමාන්‍ය ජනතාවට තහනම් කොට තිබුනා, ලතින් භාෂාවෙන් පිට පරිවර්තන කිරීම තහනම් කොට තිබුනා ආදී මිත්‍යාවන් සහ ප්‍රලාපයන් සමාජගත කිරීමට ප්‍රථම ඉතිහාසය කියවා බලා සත්‍ය තේරුම් ගෙන සත්‍යට සාක්ෂි දරන්නට ඔබ සැමට ආරාධනා කොට සිටිනවා!

ඔබට ජේසු පිහිටයි!

මූලාශ :

Where We Got the Bible... Our Debt to the Catholic Church - Henry G. Graham

~ Kithunu LK