ජොහාන් 11:25 සහ ජොහාන් 6:40 එකිනෙක පටහැනිද?

ජොහාන් 11:25 සහ ජොහාන් 6:40 එකිනෙක පටහැනිද?
Photo by Rod Long / Unsplash

ජොහාන් 11:25 දී ක්‍රිස්තුස්වහන්සේ විසින් මාර්තා හට උන්වහන්සේ අදහා ගන්නා "කිසි කලෙක නො මැරෙන්නේ ය" කියා වදාල සිටින අතර ජොහාන් 6:40 දී සදාකාල ජීවනයට "අන්තිම දවසේදී" නැගුටුවීම පිලිබඳව උගන්වා සිටිනවා. මේ ඉගැන්වීම ක්‍රිස්තුස්වහන්සේ මාර්තාට කියන කාරනාවට පටහැනිද?

ඒක තේරුම් ගන්න නම් ජොහාන් 6:36 ඉඳන් කියවන්නට අවශ්‍යයි.

"එහෙත් මා කී ලෙසම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නුය." ජොහාන් 6:36

ක්‍රිස්තුස්වහන්සේ ඒ යුගයේ සිටි අති ප්‍රසිද්ධතම පුදගලයා බව ඉතා පැහැදිලියි. උන්වහන්සේගේ ඉගැන්වීම් පිලිබඳව ජුදෙව්වරුන් පමණක් නොව, සාමාරියන්, රෝම වැසියන් පවා යම් කිසි උද්‍යෝගයකින් සිටි බව සුභාරංචිය පුරාවටම උන්වහන්සේ පසු පස පැමිනි විවිද තරාතිරම් වල පුද්ගහල‍යන් හරහා තහවුරු වනවා.

ක්‍රිස්තුස්වහන්සේ වෙත මහා ප්‍රේමයෙන් කටයුතු කල, උන්වහන්සේ අනුගමනය කල මාර්තා ක්‍රිස්තුස්වහන්සේ විසින් ඇසූ හද පසාරු කරන "ඔබ මෙය අදහන්නෙහිද" (ජොහාන් 11:26) කියන ප්‍රශ්ණය සිතට කාවදින තෙක් උන්වහන්සේ දුටු නමුත් අදහා නොගත් ලෙසින්ම, උන්වහන්සේගේ බලවත් ක්‍රියා දැක - ඒ පිලිබඳ අති භක්තියෙන් උන්වහ්සේ අනුගමනය කලත් උන්වහන්සේ අදහා නොගත් ජනතාවකට පැවසූවක් බව පැහැදිලියි.

"පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙතිල් මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි" ජොහාන් 6:37

පියාණන්වහන්සේ විසින් සිත් අවදි කරන ලද අය බොහෝ ක්‍රිස්තුස්වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිනියත්, උන්වහන්සේව මුලු මනින්න අදහා ගන්නට, උන්වහන්සේගේ වචන වල සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නට අපහොසත් වුනා. මරණෙන් පසු පුනර්ජීවන දිනක් සහ මරණයෙන් උත්ථානය උපරිමයෙන් විශ්වාස කල ජන කොටස වූ පරිසිවරුන් හට වගේම ධර්මිෂ්ඨයැයි සම්මත ඔවුන්ගේ අදහස් වලින් උත්ප්‍රේරණයවූ ජුදා සමාජයට ක්‍රිස්තුස්වහන්සේගේ වචන මුලුමනින්ම අවබෝධ කරගැනීම අපහසු වූවා. එයට හේතුව වූයේ ඔවුන්ගේ මුල් අදහස් වලින් වෙනස් වන්නට ඔවුන් තුල තිබුනු අකමැත්ත සහ ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය ඔවුන් ප්‍රතික්ෂේපයයි.

මෝසස්ගේ ප්‍රාතිහාර්‍ය ගැන දැන සිටි, එලියාගේ සුව කිරීම ගැන දැන සිටි ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ බලවත් දිවැසිවරයෙකු ලෙස පිලිගත්තත් යෙසායා තුමා, එසකියෙල් තුමා, දානියෙල් තුමා ඉගැන්වූ සහ මතක් කර දුන් මිනිවලවල් විවර වන (එසකියෙල් 37), මල මිනී නැගිටින (යෙසායා 26) අන්තිම දවසේ අග්‍රදූත මයිකල් විසින් (දානියෙල් 12) පොලවේ දූවිලි මෙන් සැතපී සිටින විශ්වාසකයින් නැගිටුවන පුනර්ජීවනයේ දිනක් පිලිබඳ මිස ක්‍රිස්තුස්වහන්සේ විසින් පොරොන්දුවූ, උන්වහන්සේ විසින්ම කියන ලද "මා අදහාගන්නා කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය" (ජොහාන් 11:25) කියන පොරොන්දුව පිලිගන්නට සිත් විවර වීමක් තිබුනේ නෑ. මේ නිසා ඒ සමාජය, අද සමාජයේ කොටසක් වගේම - මරණය නියත දෙයක් ලෙසටත්, පුනර්ජීවනය විශ්වාස කලත් එය පසුවට පැමිණෙන දෙයක් ලෙසත් තේරුම් ගත්තා. ඔවුන් මෙසේ තේරුම් ගෙන සිටියා කියා ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ව අද මෙන්ම එදාත් ප්‍රතික්ෂේප කලේ නෑ.

ඔවුන්ගේ ඇදහිල්ල අනුව ඔවුන්ට ලැබෙන ප්‍රතිවිපාකය උන්වහන්සේ ප්‍රතික්ෂේප නොකර පුනර්ජීවනය තෙක් සිටිනා උන්වහන්සේ නොඅදහාගත් අය උන්වහන්සේ කිසිවිටකත් ඉවත දැමුවේ නෑ. උන්වහන්සේ ම පවසන ආකාරයට "ඔබේ ඇදහිල්ල ඔබට ගැලවීම ගෙන දෙන්නේය" (ලූක් 7:50) - ඔබ අදහාගත් තරමින් ඔබට විපාක ලැබෙන බව උන්වහන්සේගේ වචනය ස්ථීර කරනවා.

"මා ස්වර්ගයෙන් පහල වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාල තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය." ජොහාන් 6:38

ක්‍රිස්තුස්වහන්සේ මෙවැනි දෙයක් කීවේ ඇයි? මීට හේතුවූයේ පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ කැමැත්ත අතර පරස්පරයක් තිබෙනා නිසාද? එසේ විය හැකිද? ලූක් 22:42 එසේ විය හැකිය කියා හඟවනවා. උන්වහන්සේ ඔලීව කන්දේදී "පියාණෙනී, ඔබ කැමති සේක් නම්, මේ කුසලානය මාගෙන් පහ කල මැනව" කියා යාච්ඤා කරනවා. උන්වහන්සේ පැහැදිලිවම ගැලවීමේ තිත්ත කුසලානය පානය කිරීම ක්‍රිස්තුස්වහන්සේ වෙත පැවරුනු දෙයක් ලෙස නොදැන හෝ ඊට දෙවියන්වහන්සේ අකමැති කියා හෝ සිතා කල යාච්ඤාවක් නොව - උන්වහන්සේ තමන්වහන්සේම ලෙසින් මේ මහා වේදනාව, මේ මහා දුක්ප්‍රාප්තියට මුහුන දීමට සිත තුල ඇතිවූ "දැඩි සිත්වේදනාවෙන්" (ලූක් 22:44) කල ප්‍රකාශයක් බව පැහැදිලියි. එනම්, දෙවියන්වහන්සේගේ සහ ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්ත අතර යම් කිසි පරස්පරයක් ඇතිවූ විට ක්‍රිස්තුස්වහන්සේ නිතරම තෝරාගත්තේ දෙවියන්වහන්සේගේ කැමැත්ත බව පැහැදිලියි.

ක්‍රිස්තුස්වහන්සේ බලවත්! එපමණද?

ක්‍රිස්තුස්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා සහ චතුර දේශනා නිසා පමණක් උන්වහන්සේ පසු පස පැමිනි, උන්වහන්සේ අදහා නොගත් ජනතාව පිලිබඳ උන්වහන්සේ අනේක වාරයක් කලකිරෙන්නට ඇති බව තම පුත්‍රයා සුව කරගැනීම පිනිස උන්වහන්සේ වෙත ආ රාජ්‍ය නිලධාරියාගේ සිත දැක "ඔබ ලකුණුද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නොකරන්නාහුය" (ජොහාන් 4:48) වැකිය වැනි බොහෝ උදාහරණ හරහා පැහැදිලි වූවත් උන්වහන්සේ වෙත පියාණන්වහන්සේ විසින් පවරන ලද දූත කාර්යය මේ නිසා කිසි විටක අඩාල කරගත්තේ නෑ. අප ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීම පමණක් නොවේ කල යුතු වන්නේ - උන්වහන්සේව අදහා ගැනීමත් කලයුතු වනවා. උන්වහන්සේ අදහාගත් අය අතර උන්වහන්සේ නිතර ස්ථීර කොටගෙන සිටියේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් පමණක් බවත්, ඒ අතරත් මූලිකවම පේදුරුගේ මහා ප්‍රකාශයෙන් පසු ක්‍රිස්තුස්වහන්සේ විසින් පේදුරුතුමාව ප්‍රශංසා කිරීම තුල (මතෙව් 16:17) පැහැදිලි වනවා. කෙසේ වෙතත් එම මහා අපෝස්තුලුවරුන් පවා ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආගමනය තෙක් ඔවුන්ගේ ඇදහිල්ල තුල ස්ථීරව නොසිටි බව ජොහාන් 20:19 හරහා පැහැදිලි වනවා. ජේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේම පුත්‍රාය බවටත්, මෙසියස් ක්‍රිස්තුස්වහන්සේ බවටත් පිලිගත්, අදහාගත් අචල විශ්වාසයෙන් සිටි එකම තැනැත්තිය වූයේ ජේසුස් වහන්සේගේ මෑනියන් වන මරියාවන් පමණක්ම බව පැහැදිලියි.

"මා එවා වදාල තැනැන් වහන්සේගේ කැමැත්ත නම්, උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙන්කු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීමය" ජොහාන් 6:39

මෙහිදී අන්තිම දවස යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උන්වහන්සේ විසින් අන්තිම දවසේදී "උත්ථාන" කිරීම - එනම් මලවුන්ගෙන් නැගිටවීමක් සිදු කරනා බව පවසන අතර මෙය ශාරීරික උත්ථානයක් බව පැහැදිලි අතර ශාරීරික උත්ථානය වලංගු වන්නේ ශාරිරීක මරණයක් ලැබූ අයට බව පැහැදිලිය.

කෙසේ වෙතත්, "පොළොවේ දූවිල්ලෙන් මවා" දෙවියන්වහන්සේගේම "ජීවන හුස්ම" (උත්පත්ති 2:7) කරණ කොට ගෙන කායිකව උපත ලද මිනිස් ශරීරයේ එකම උපත එය නොවන බව ක්‍රිස්තුස්වහන්සේ නිකදෙමුස් හට කරනා ඉගැන්වීමෙන් (ජොහාන් 3:3) සාක්ෂාත් වන අතර ක්‍රිස්තුස්වහන්සේ අදහන්නා තවදුරටත් කායිකව උපත ලද්දෙකු පමණක් නොව, "වතුරෙන්ද ආත්මයෙන්ද" (ජොහාන් 3:5) උපත ලද්දකු - එනම් එක් ශරීරයක් තුල උත්පත්තීන් දෙකක් ලද අයකු බවට පත් වන බව පැහැදිලි වනවා. එසේ නොවන්නෙකු හට කිසි කලක "ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැක" (ජොහාන් 3:5) කියා ක්‍රිස්තුස්වහන්සේ විසින් ම පවසා සිටිනවා.

ධර්මිෂ්ඨ නිකදෙමුස් සහ සමාරියේ "පව්කාර" ස්ත්‍රීය

ඉතා ධර්මිෂ්ඨ පරිසිවරයකු වූ නිකදෙමුස් හට මේ ඉගැන්වීම බැරෑරුම් තේරුම් ගැනීමට අපහසු ඉගැන්වීමක් වූයේ ඔහු ශාරීරික ජීවනය පමණක් විශ්වාස කල නිසාත් - දිවැසිවරුන්ගේ ඉගැන්වීම් ඉතා හොඳින් අධ්‍යනය කල සිටි ඔහු උත්ථානය ලෙස පිලිගත්තේ ශාරීරික උත්ථානය පමණක් වන නිසාත් ය.

පරිසිවරුන් හැරුනු කොට සමරිතානුවරය්න්ද මලවුන්ගෙන් ශාරීරිකව නැවත නැගිටීම පිලිබඳ විශ්වාස තැබූ කොටසක් වූවා. එසේ වූ කොටසක ස්ත්‍රීයක් වූ සාමාරීය ස්ත්‍රීයට ක්‍රිස්තුස්වහන්සේ "ආත්මානුභාවයෙන්" දෙවියන්වහන්සේ නමස්කාර කිරීම පිලිබඳවත් "දෙවියන් වහන්සේ ආත්මය ය" (ජොහාන් 4:24) වන බවටත් කල ප්‍රකාශයෙන් නිකදෙමුස් හට කල "ආත්මයාණන්ගෙන් නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය" (ජොහාන් 3:5) යන ඉගැන්වීම වඩා පැහැදිලි කරමින් - ස්වර්ග රාජ්‍යය කා‍යික වාසස්ථානයක් නොව ආත්මීක වාස භවනක් බවට ඉගැන්වූවා.

ක්‍රිස්තුස්වහන්සේ නිකදෙමුස් හට පැහැදිලි කල ලෙසින් "කයින් උපදින දේ කායිකය; ආතමයාණන්ගෙන් උපදින දේ ආත්මිකය" (ජොහාන් 3:6) වන නිසා ස්වර්ග රාජයයට, එනම් දෙවියන්වහන්සේගේ වාස භවනට කායික දේට ඇතුලු විය නොහැකි බව පහදා දුන්නා.
මෙසේ නම් උන්වහන්සේ ජොහාන් 6:39 උගන්වන්නාවූ "අන්තිම දවසේ දී" "උත්ථානය" කුමක්ද? ඒ වනාහී ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීමේදී සිදුවන "ශරීරයේ කායික උත්ථානය" වන බවට පැහැදිලිය. මෙදින කායික මරණයට පත්වූ සියල්ලන් විනිශ්චයෙන් පසු කායිකව නැවත උත්ථාන වන බව පැහැදිලියි.

එසේ නම් "මා අදහාගන්නා කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය" (ජොහාන් 11:25) යැයි කීම තුල ක්‍රිස්තුස්වහන්සේ අදහස් කර සිටියේ කුමක්ද? උන්වහන්සේම වදාලා ඉහත ඉගැන්වූ පරිදි උන්වහන්සේ සැබවින්ම අදහාගන්නා හට එක් ශරීරයක් තුල ජීවිත දෙකක් උරුම වනවා - එකක් මව් කුසේදීම ලබන කායික උපත, අනෙක "වතුර සහ ආත්මය" කරණකොට ගෙන ලබන ආත්මික උපත.

කායික මරණය - ජීවනය අහුරන මාර්ගයක්ද?

කායිකව උපත ලද අය කායිකව මරණයට පත්වූවත් ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම තුල "වතුර සහ ආත්මය" - එනම් බෞතීස්මය තුල ආත්මයට උපත ලබන කිසිවකු මරණයට පත් නොවන බව උන්වහන්සේ මේ පදයෙන් පැහැදිලි කර තිබෙන බව ස්ථීරයි. එපමණක් පමණක් නොව, මේ මරණයට පත් නොවන ආත්මය නිසා ඔහු/ ඇය ස්වර්ග සම්ප්ත්තිය ලබා ගැනීමටත් ඒ තුල ආත්මීක වන දෙවියන්වහන්සේගේ වාස භවනයට ඇතුලු වීමට ක්‍රිස්තුස්වහන්සේ නිසා වරම් ලබන බව ද සක් සුදක් සේ පැහැදිලියි!

ඔබ අනිවාර්‍යයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ හඳුනනවා - උන්වහන්සේ අනුගාමී වනවා.. එහෙත් ඔබ උන්වහන්සේ අදහනවාද?

එසේ නම් ප්‍රශ්නය මෙයයි - හරි - ඔබ ක්‍රිස්තුස්වහන්සේ හඳුනනනවා, ඔබ ක්‍රිස්තුස්වහන්සේ අනුගාමීව යනවා - එහෙත් සැබවින්ම ඔබ ක්‍රිස්තුස්වහන්සේ අදහනවාද? පිලිතුර ස්ථීරවම "ඔව්" නම්, ඔබ කිසිදා නොමියන කෙනෙක් බවට ක්‍රිස්තුස්වහන්සේම පවසා සිටිනවා!
ඔය එය අයිති කරගත්තාද?

~ Kithunu LK