දැයේ නිදහසට කිතුනු දායකත්වය

දැයේ නිදහසට කිතුනු දායකත්වය

මෙරට කිතුනු බැතිමතුන් රට දැය කෙරෙහි කිසිදු ලැදියාවක් නැතැයි කියන්නෝ වෙති. වරින් වර මෙහි පැමිණ විදේශීය ආක්‍රමණිකයන් හට මේ රට පාවා දෙන්නටත් ඔහුනට ගැතිකම් කරන්නටත් කිතුනුවෝ උත්සුකවුහ යි මේ පිරිස කියත්. මෙතැන දී පළමුවෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. එනම් බටහිර හෙවත් යූරෝපීය ජාතීන් අප රට ආක්‍රමණය කරන්නට පෙර එය ආක්‍රමණය කළ කිසිවෙක් නොසිටියහුද? ඉතිහාසය පෙන්වා දෙන සැටියට වරින් වර ඉන්දියාව, චීනය වැනි රටවලින් ආක්‍රමිකයන් පැමිණ මෙහි යුද වැදී ඇත. එපමනක් නොව කාලයක් මුළුල්ලේ අප යටපත්කොට රජකැර ඇත.

ක්‍රි.ව. 432 දී පාණ්ඩු නමැති දමිළ රජෙක් අප මිත්තසේන රජු මරා දමා එම දමිළ පෙළපතේ රජවරු වසර 24ක් අප රජ කළෝය. (චූලවංශය බලන්න) දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරකු වු සූරතිස්ස දශකයක් මෙරට රජකළ ඉක්බිති ඔහු නෙරපා හැර දමිළ අශ්ව වෙළෙඳුන් දෙදනකු වු සේන සහ ගුත්තක හවුලේ අනුරාධපුර රාජධානිය වසර 22 ක් පාලනය කළ බව ඉතිහාසයේ සටහන් වේ. (එස්. පරණවිතාන සහ සී.ඩබ්ලිව් නික්ලස් - A Concise History of Ceylon 1961, 54 පිටුව බලන්න) භාරතයේ චෝල වංශයට අයත් එලාළ රජ අනුරාධපුරය යටපත් කොටගෙන 44 වසරක් එහි රජ් කළේය. තවත් අවස්ථාවක් ගැන මහාවංශය මෙසේ සටහන් කැර ඇත. "ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් පසු උහු මෙහෙසියාගේ සොහොවුරු වු මදුරාපුර නායක්කර් පෙළපතේ කුමාරයෙක් කීර්ති ශ්‍රී රාජසිංහ යන නාමයෙන් ලංකා සිංහාසනයෙහි තෙතිස් වසරක් රජ කළේය". (මහාවංශය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රකාශනය 2003 දෙසැම්බර් - 553 පිටුව)

මෙවන් ආක්‍රමණයන් සිදුවුයේ කවුරුන්ගේ සහයෝගය ඇතිවදැයි සොයා බලනු වටී. මේවා කුමක් වුවත් ශ්‍රී ලංකාවට යළි නිදහස ලබාගැනිම සඳහා කිතුනු දායකත්වය විශිෂ්ට වු බව පිළිගත යුතුයි. මෙන්න ඒ සඳහා සාධක ස්වල්පයක්.

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා පුරෝගාමී වුයේ එවකට පිහිටුවන ලද "සිලෝන් නැෂනල් කොන්ග්‍රසය" හෙවත් ලංකා ජාතික සංගමයයි. එම සංගමයේ ක්‍රියාදාමයට කිතුනුවන්ගේ දායකත්වයෙන් ප්‍රබල සහයෝගයත් ලැබුණු බව නොරහසෙකි. මෙහි සභාපති තනතුරුට පත් වු පළමු සිංහලයා ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමන්ය. හේ බැතිමත් කිතුනුවෙකි. එම සංගමයේ පළමුවරට (ක්‍රි.ව. 1919-1920) සම ලේකම්වරුන් දෙදෙනා අතර එක් අයෙක් හෙවත් ඊ.ටී.ද සිල්වා මහතාණන් ද බැතිමත් කතෝලිකයෙකි. එතුමා පළමු භාණ්ඩාගාරික ද විය. ලංකා ජාතික සංගමයේ දෙවන වසර සදහා (1921) පත් කරන ලද නිලධරයන් අතර එක් අයකු හැර අන් සියල්ලෝම කිතුනුවෝ ය.

ක්‍රි.ව. 1912 දී මුළු ලංකාවම නියෝජනය කිරිම සඳහා ජන්දයට ඉදිරිපත් වුයේ තවත් බැතිමත් කතෝලිකයෙකු වු ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මහතාණන්ය. ලංකා ජාතික සංගමයේ 22 වන සැසිවාරය පවත්වන ලද්දේ ක්‍රි.ව. 1942 දෙසැම්බර් මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වාය. එහි මුලසුන දැරුවේ පී.ඩී.එස්. කුලරත්න මැතිඳුන් ය. කැලණියේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පවත්වන ලද මෙම සැසිවාරය ඉතා විශේෂ වුයේ එහිදි ගන්නා ලද ඉතා වැදගත් තීරණයක් නිසාය. මෙතෙක් කල් දිග්ගැස්සෙමින් පැවැති සාකච්ඡා නිමාවට පත් කරමින් " දැන් අපි පූර්ණ නිදහස ලබාගෙන සෛවරි ජනතාවක් වීමට බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටිය යුතුය" යන යෝජනාව සම්මත වුයේ එ තැනදීය.
මෙම් යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලද්දේ එවකට තරුණ (පසුව ජනාධිපති) ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් විසින් ය. එය ස්ථීර කරන ලද්දේ වියත් නීතිඥයකු වන බැතිමත් කතෝලික ආචාර්‍ය ජෝසෆ් ඒ. එල්.කුරේ මැතිඳුන් විසිනි. මෙය බ්‍රිතාන්‍ය පාලකයින් කුපිත කරවන යෝජනාවක් විය හැකියැයි සිතා ඩී.එස්. සේනානායක වැනි දෙටු පිරිස පළමුව එයට විරුද්ධ වුවත් පසුව හාපුරා කියා එය පිළිගෙන ක්‍රියාත්මක කිරීමට් උත්සුක වුහ. අද අප නිවහල් ජාතියක් වශයෙන් උත්සව පවත්වනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මෙම සැසිවාරයේදී තවත් කතෝලිකයින් දෙදෙනෙක් පැසැසුම් ලැබුහ. එනම්, ජේ.සමරවික්‍රම මහතා සහ එච්.ඒ.පී. සන්ද්‍රසාගර මහතාණන්ය. මේ දෙදෙනා නිදහස් සටන සඳහා දක්වා ඇති අති විශිෂ්ට දායකත්වය අගයමින් ශ්‍රීමත් එඩ්වින් විජේරත්න මැතිඳුන් දීර්ඝ දේශනයක් පවත්වා ඇත. මෙම රැස්වීමට සහභාගි වු සියල්ලන් සඳහා ආහාර පාන සපයන ලද්දේ එවකට කොළඹ සාන්ත ජෝසප් මහා විදුහලේ ශාඛාවක්ව පැවැති වරාගොඩ සාන්ත පාවුළු මහා විදුහලෙන් ය. (Records of the Ceylon National Congress - Michael Roberts Vol II - 1486 පිටුව)

ලංකා ජාතික සංගමයේ 23 වැනි සැසිවාරය ද නිදහස් සටනේ වැදගත් සන්ධිස්ථානයක් විය. පූර්ණ නිදහස ලබා ගැනිමේ යෝජනාව ස්ථීර කැරගෙන වසරක් ගෙවී ගොස් ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක කිරිම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි. වෙසෙසින් එහි සිටි ස්ටැන්ලි ද සොයිසා වැනි තරුණ කතෝලික සාමාජීක පිරිස ප්‍රශ්න නැඟුහ. යළි වරක් එම පළමු නිගමනය ස්ථීර කොට එය විගස ක්‍රියාත්මක කිරීමට මෙහිදි සියලු දෙනා ප්‍රතිඥා දුන්හ. මෙම රැස්වීම ඉතා තීරණාත්මක එක්ක වු හෙයින් එය පවත්වන ලද නයිනමඩමේ භූමි භාගය "ස්වරාජ් පුරය" යනුවෙන් නම් කරන ලදි. මෙම රැස්විමේ දී අප ජනතාව ගේ සමාජීය සහ ආර්ථීක අභිවෘද්ධිය සඳහාද යෝජනා රැසක් අනුමත කරගන්නා ලදි. මේවා බොහෝමයක් ඉදිරිපත් කරන ලද්දේ කතෝලික නීතිඥ ජෝසප් ඒ.එල්.කුරේ මැතිඳුන් විසිනි. මෙම රැස්වීමට සහභාගි වු විශේෂ අමුත්තන් අතර එවකට සලාපුර රදගුරු තැන්පත් අතිඋතුම් එඩ්මන් පීරිස් හිමිපාණෝ ද වුහ. රැස්වීමේදී අවශ්‍ය කෙරුණු සිංහල පරිවර්තනයන් එතුමන් සපයා දුන් බව ද වාර්තා වේ.

සියයට සියයක්ම කතෝලික ග්‍රාමයක් වු නයිනමඩමේ මෙම රැස්වීම් සඳහා විවිධධාන සියල්ලක් පිළියෙල කරන ලද්දේ ඩී.පීටර් පෙරේරා මහතාණන් ගේ ප්‍රධානත්වයෙන් යුත් සංවිධායක කමිටුව විසිනි. (Records of the Ceylon National Congress - Michael Roberts Vol II - 1147 සහ 1149 පිටුව)

ක්‍රි.ව. 1920 දීම ලංකාවට නිදහස ලබා ගැනීම පිණිස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු බාර ලේකම් වෙත කතෝලික පියතුමකු ගිය බව බොහෝ දෙනා අතර සිටි කතෝලික පියතුමා අතිගරු ඩී.ජේ. නිකලස් පෙරේරා නි.ම.නි. පියතුමන් ය. එතුමෝ පසුව කොළඹ බම්බලපිටියේ සාන්ත පීතර මහා විදුහලේ අධ්‍යක්ෂ වශයෙන් ද අගරදගුරු පදවියේ අනුනායක පියතුමන් වශයෙන් ද පත්වීම් ලැබ සිටියෝ ය. මෙම නියෝජිත පිරිස අතර සිට එච්.ඒ.පී. සන්ද්‍රසාගර මැතිඳුන් ද කතෝලික බැතිමතෙකි. (ඉහළ සඳහන් වාර්තාවේ 1386 පිටුව බලන්න)

මෙවැනි සාධක තිබියදීත් එවැනි චෝදනා එල්ල කරන්නේ කෙසේද? වඩාත් කළ යුතුව ඇත්තේ එම දායකත්වය අගයමින් අප දිනා ඇති නිදහස තහවුරු කැර වර්ධනය කැර ගැනීම සඳහා සියලු දෙනා සමගියෙන් හා සහයෝගයෙන් ක්‍රියා කිරීමයි.

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ