තලවිල ගියාට ඔබ තලවිල ගැන දන්නවාද?

තලවිල ගියාට ඔබ තලවිල ගැන දන්නවාද?

තලවිල ගැන අපි කොතරම් අහලා තිබ්බත් එහි ඓතිහාසික කතා පුවතත්, දෙව් මැදුරේ ඇති ආශ්චර්යවත් ප්‍රතිමාව ගැන දන්නේ කියෙන් කී දෙනාද? අද මට හිතුණා එවකට පාසල් වියේ මම ළමා ප්‍රදීපය පුවත් පතට ලිවු ලිපියක් ගෙනහැර දක්වන්න.

තලවිල ගම කියන කියන කොට අපට මතක් වන්නේ සාන්ත ආනා මුනිවරියයි. තලවිල සාන්ත ආනා ජාතික සිද්ධස්ථානය කිතුණු අපගේ පමණක් නොව අන්‍ය ලබ්ධිකයන්ගේද ගෞරවයට පාත්‍ර වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කාලයක් තිස්සේ සා. ආනා තුමියත් එතුමියගේ සැමියා වන සා. ජුවකීනු තුමාටත් දරුවෙක් නැතුව දරුසුරතල් බලන්නට බලාපොරොත්තුවෙන් ආසාවෙන් සිටියා. යාච්ඥාශිලිව දැහිමිව ජිවත් වුණා. දෙවියන් වහන්සේ කෙරෙහි දැක්වු අචල විශ්වාසය මත මෙම දෙපලට ලස්සන දු කුමරියක් ලැබුණා. ඒ කුමරිය වෙන කවුරුත් නොව, අප සැමගේ ආදරණීය අම්මා වන මරිය තුමියයි. දේව මාතා වහන්සේගේ මව වීමට වරම් ලබා ගත්තේ සා. ආනා තුමියයි.

තම එකම දියණිය ආදරයෙන් කවා පොවා ආගම දහම උගන්වා එදා සන්තානා තුමිය කෙතරම් සෙනෙහසක් පාන්නට ඇත්ද? ඒ කාලේ අපේ මුතුන් මිතතන් කාලේ ලංකාවේ කල්පිටිය අර්ධද්වීපයේ පිහිටා තිබෙන මෙම සුන්දර තලවිල ගමට නොයෙකුත් පැතිවලින් සැදැහැවත් ඒ කාලේ පැමිණ තිබේ.

තලවිල පල්ලිය මුහුද අසලම පිහිටා තිබෙන, සුදු වැලි තලාවකින් පිරුණ නුග තුරු සෙවණකින් සමන්විත අපුරු භූමියක්. මද පවනින් හා කලපු සුවඳින් යන එන කාගේත් සිත් ප්‍රබෝධමත් කරයි. සුන්දර පරිසරයකින් සමන්විත වු මෙම තලවිල දෙව් විමන ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ගේ දෙවැනි තැන ගන්නා ඉපැරණිම සිද්ධස්ථානයක් කිව්වොත් එය නිවැරැදි.

පුරාවෘත්ත කතාව...

තලවිල මැදුරේ පුරාවෘත්තය මහත් රසවත් එකකි. අපිට පුරාවෘත්ත කතා දෙකක් ගෙනහැර පාන්නට පුළුවන්. එහි පළමුවැන්න නම්

17 වන සියවස දක්වා ඈතට දිව යනවා. තලවිල සිද්ධස්ථානයේ තැන්පත් කර ඇති මනරම් ප්‍රතිමාව ඓතිහාසික වගේම ප්‍රාතිහාර්යත්මකයි. මෙම ප්‍රාතිහාර්යමය පිළිරුව සමඟ සන්තානම් මෑණියන්ට කැප කළ නැවක් 17 වන සියවසේ අවසාන භාගයේ තලවිල මුහුදේ දී මුහුදු බත් වී ඇත. එහි සිටි නැවියෝ මේ අවස්ථාවේ දී සාන්ත ආනා තුමියගේ මෙම ප්‍රතිමාව රැගෙන ගොඩට පීනා ගොඩට පැමිණ බලන විට ගෙයක් දොරක් නැති ශුෂ්ක වැලිකතරක් සහිත නුගතුරු සෙවණින් පිරුණු අත්‍යලංකාර භූමියකි. මෙම ප්‍රතිමාව ඔහුන් නුග බෙණයක තබා තම යැදුම් කන්නලව් කලහ. ඔහුන්ගේ රැකියා සාර්ථක වී දියුණු වුණොත් මේම ස්ථානයේ දේවස්ථානක් ඉදිකරන බවට ඔහුන් පොරොන්දු වුහ.

දෙවැනි කතාව නම් පෘතුගීසි ජාතිකයෙක් කල්පිටිය බලා යනවිට වෙහෙස මහන්සියෙන් රෑ බෝ වුයෙන් විඩා ගැනීමට තලවිල ගම්මානයේ ලැගුම් ගැනිම. එහි නුග ගහක් යට විඩා නිවා ගන්නට ඇලවුණු පෘතුගීසි ජාතිකායට නුග ගහේ බෙණයක තිබුණු සා. ආනා ප්‍රතිමාවෙන් අලෝකයක් විහිද ඉටිපන්දම් දෙකක් මැද එතුමිය ඔහුට දර්ශනය වී මෙම ස්ථානයේ එතුමිය නමින් දේවස්ථානයක් ඉදිකරන්න යැයි පැවසු බව කියැවේ. බියෙන් ආසාවෙන් වු පෘතුගීසි ජාතිකයා අහල පහල දඩු රැගෙන තවකාලික මඩුවක් ගසා පිළිරුව එහි තැන්පත් කල බව කියැවේ.

කෙසේ වෙතත් මේ ප්‍රතිමාව මේ අයුරින් අපටම උරුම වුවකි. කාලය ගෙවී යාමත් සමඟම දෙව් මැදුර විවිධ වෙනස්විම් වලට ලක් කෙරුණි. කාලයත් සමඟ අද අපි දකින දේවස්ථානය ගොඩ නැගුණි.

තලවිල යන්නට අපි කවුරුත් කැමති වෙමු. කණ්ඩායම් වශයෙන් පෞද්ගලික වශයෙන් මෙම මැදුරට පැමිණ දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියා බොහෝ දෙනා අත්දකිති. තලවිලට විශාල ජන ගංඟාවක් ඇදි එන්නේ ඉතාමත් අලංකාර පරිසරයක පිහිටා තිබෙන හෙයින් සහ තලවිල නිදහස් වාතාවරණයක පිහිටා ඇති හෙයිනි. පැත්තකින් ඉන්දියන් සාගරයත් අනිත් පැත්තෙන් කලපුවද දැකගත හැකි. තම තමන්ගේ පවුල් ප්‍රශ්න, ගැටලු වලට යම් සහනයක් ලබා සිත නිවා ගන්නට තලවිල පුදබිමට අදත් හෙටත් ජනී ජනයා පැමිණෙනවා නොඅනුමානය. දුක නිවා ගන්ට තලවිල කදිම තෝතැන්නකි.

බෝහෝ ඉස්සර කාලේ අපේ මුතුන් මිතතන් තලවිල වන්දනා කරන්න ගියේ අද වගේ සුඛෝපභෝගී වාහන වල නොවේ. එදා තලවිල වන්දනා ගමන බොහෝ දුක්බර වුණා. තලවිල අර්ධද්වීපය තුළ පිහිටා තිබුණ නිසා සමහරුන් මුහුදු වෙරළ තීරයේ ගමන් ගත්තා. සමහරුන් ගොං කරත්ත වලින් එන්න ගත්තා. තද අව් සැඩ කිරණින් රත්වි ඇති වැලි වල ගමන් කරන විට පය දුබල වන්නට ඇති. කෙතරම් වෙහෙසක් දැනුනත් (ශුෂ්ක වුවත්) තලවිලට පැමිණ විට සියලු වෙහෙස මහන්සිය නිවා සිතට සහනයක් ලැබුණා. තවත් සැදැහැවත් ජනයා ඔත්තාමඩ කරත්ත වලින්ද පැමිණියා.

වැලි කතරේ පා ගමනින් යනවිට දවස් කිහිපයක්ම ගත වුණා. දේවස්ථානයට පැමිණ විගසම සන්තානා මෑණියන්ගේ පිළිරුව ඉදිරියේ දණ ගසා ඉටි පහන් දල්වා සරණ පැතුහ. සා. ආනා මව් තුරුළට එන ගමනේදි ආරක්ෂා කර දුන් සේ නැවතත් නිවැස් බලා යන ගමනේදි අප සැම දෙන සුරකින්න කියා යදින්නට අපේ පැරැන්ණන් අමතක කළේ නැත. වැලි කතරේ සැඩකිරණේ අග්ගුලි වැනි කැවිලි මළු කරේ තියාගෙන ගිය මෙම වන්දනා ගමන මහත් අත්දැකීමක් වුණා. තම තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට තිළිණ වශයෙන් කොන්ත,බොරලික්කම්, වැනි ආගමික දේ තිළිණ වශයෙන් ලබා දුන්නා. 2012 වර්ෂයේ 250 වැනි ජුබිලිය ජයටම සැමරුවා. ඔබත් සාන්ත ආනා තුමියගේ පිහිට ලබා ගන්නට තලවිල වැලි තලාවට එන්න. සන්තානා මෑණියන් මඟින් ජේසු වෙතට යන්න.

ජීවිතයේ එකම එක වතාවක් හරි තලවිලට එන්න එය ඔබට අත්දැකීම් ඇති වන්දනා ගමනක් විය හැකි. විඩා නිවා ගන්නට සිත තෝතැන් කර සුවය, සහනය ලබා ගන්නට ශාන්ත ආනා මව් තුරුළට පැමිණෙන්න. ලක් කිතු සසුනට ම දායාද වුණු මේ ඓතිහාසික පුදබිම සුරැකිම අපි කාගේත් යුතුකම. කුමරි මවට පෑ සෙනේ අපිත් පතමු මෑණියේ....

උපුටා ගැනීම - Manoj Divanka