කතෝලික ඇදහිල්ලේ සුන්දරත්වය

විශාල උද්‍යානයක් ගැන සිතන්න. එහි එකිනෙකට වෙනස් වර්ණයෙන්, සුවඳින් හා හැඩයෙන් යුතු මල් දහස් ගණනක් පිපී ඇත. රෝස මල්, ඕකිඩ් මල්, නෙළුම් මල්, ඩේලියා මල් ආදී සියල්ලම වෙනස් වුවද, ඒ සියල්ලම එකම උද්‍යානයට අයත්ය. ඒ සියල්ලම එකම පොළොවෙන් පෝෂණය ලබයි. කතෝලික සභාව නමැති දිව්‍ය උද්‍යානයද එබඳුය. එහි ඇත්තේ එකම ඇදහිල්ලකි. එකම සක්‍රමේන්තුය. ශුද්ධෝත්තම පියතුමන්ගේ නායකත්වය යටතේ ඇති එකම ගෝලීය පවුලකි. එහෙත්, එම එකම ඇදහිල්ල ජීවත් කරවීමට, දෙවියන්වහන්සේ වෙත ළඟා වීමට ඇති මංපෙත් හෙවත් අධ්‍යාත්මික සම්ප්‍රදායන් බොහෝය. මෙම විවිධත්වය සභාව තුළ ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයේ සජීවී සාක්ෂියකි.

අධ්‍යාත්මික සම්ප්‍රදායන්ගේ විවිධත්වය

කතෝලික අධ්‍යාත්මය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය තම ජීවිතයේ කේන්ද්‍රය කරගනිමින්, ශුද්ධවන්තභාවය කරා යන ගමනයි. සෑම පුද්ගලයෙකුගේම පෞරුෂය, ජීවන තත්ත්වය හා නැඹුරුව වෙනස් බැවින්, මෙම ගමනට සහාය වීමට විවිධ මාර්ගෝපදේශ සහ ශෛලීන් සභාව තුළ වර්ධනය වී ඇත. බොහෝවිට ශුද්ධවන්තයෙකුගේ ජීවන ආදර්ශය මූලික කරගත් මෙම "අධ්‍යාත්මිකතා" කිහිපයක් පහත දැක්වේ.

1. බෙනදිකාන අධ්‍යාත්මය: ශුද්ධ වූ බෙනඩික් මුනිතුමන් විසින් හඳුන්වා දුන් මෙහි මුල් පාඨය "Ora et Labora" හෙවත් "යාච්ඤා කරන්න, වැඩ කරන්න" යන්නයි. ස්ථාවරත්වය, ප්‍රජා ජීවිතය, දවසේ නියමිත වේලාවන්හිදී සිදුකරන යාම යැදුම් සහ තමන්ට පැවරෙන දෛනික කාර්යයන් තුළින් දෙවියන්වහන්සේව සෙවීම මෙහි හරයයි. විනයගරුක, ගැඹුරු, ආශ්‍රමික ස්වභාවයේ ජීවිතයකට නැඹුරු, ලෞකිකත්වයෙන් මඳක් බැහැරව ශුද්ධවන්තභාවය කෙරෙහි දැඩිව අවධානය යොමු කරන අයට මෙය උචිතය.

2. ෆ්‍රැන්සිස්කාන අධ්‍යාත්මය: ශුද්ධ වූ ෆ්‍රැන්සිස් තුමාගේ ආදර්ශය මත ගොඩනැඟුණු මෙම මඟ, සරලකම, දිළිඳුකම, නිහතමානීකම සහ දෙවියන්වහන්සේගේ මැවිල්ලට ඇති ආදරය අගය කරයි. දුප්පතුන්, පීඩිතයන් සහ සොබාදහම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ දැකීමටත්, උන්වහන්සේගේ සාමය ලොවට ගෙන ඒමටත් ෆ්‍රැන්සිස්කානුවන් උත්සාහ කරයි. ප්‍රීතියෙන් හා සරලව ජීවත් වෙමින්, සමාජ සේවයට හා සාමය ගොඩනැඟීමට කැමති අයට මෙම අධ්‍යාත්මය ආකර්ෂණීය වේ.

3. ඩොමිනිකාන අධ්‍යාත්මය: ශුද්ධ වූ ඩොමිනික් මුනිතුමන් විසින් ඇරඹි මෙහි ආදර්ශ පාඨය "Veritas" හෙවත් "සත්‍යය" යන්නයි. අධ්‍යයනය, යාච්ඤාව සහ දේශනාව තුළින් දෙවියන්වහන්සේගේ සත්‍යය අවබෝධ කරගෙන, එය ලෝකයාට ප්‍රකාශ කිරීම මෙහි අරමුණයි. ශුද්ධ වූ තෝමස් ඇක්වයිනාස් වැනි ශ්‍රේෂ්ඨ දේවධරයන් බිහිවූයේ මෙම සම්ප්‍රදාය තුළිනි. බුද්ධිය, තර්කය සහ දර්ශනය ඔස්සේ ඇදහිල්ල ගැඹුරින් වටහා ගැනීමට උනන්දුවක් දක්වන, විද්‍යාත්මක හෝ ශාස්ත්‍රීය පසුබිමක් ඇති අයට ඩොමිනිකාන අධ්‍යාත්මය ඉතා ගැළපේ.

4. කාර්මේල් අධ්‍යාත්මය: ආවිලාවේ ශුද්ධ වූ තෙරේසා තුමිය සහ කුරුසයේ ශුද්ධ වූ ජොහාන් තුමන් වැනි සාන්තුවරු විසින් ඔපදැමූ මෙම මඟ, අභ්‍යන්තර යාච්ඤාව සහ දෙවියන්වහන්සේ සමඟ පෞද්ගලික, ගැඹුරු සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. නිහඬතාව, මෙනෙහි කිරීම සහ දෙවියන්වහන්සේ සමඟ එක්වීමේ ආශාව මෙහි ලක්ෂණ වේ. ලෝකයේ කඩිමුඩියෙන් මිදී, තම ආත්මය තුළ දෙවියන්වහන්සේව හමුවීමට දැඩි ආශාවක් ඇති අයට මෙම මඟ ආශීර්වාදයකි.

5. ඉග්නේශියානු අධ්‍යාත්මය: ජේසු නිකායේ නිර්මාතෘ, ලොයොලාවේ ශුද්ධ වූ ඉග්නාසියස් තුමාගේ "ආධ්‍යාත්මික අභ්‍යාස" මත පදනම් වූ මෙම අධ්‍යාත්මිකතාවය, "සියලු දේ තුළ දෙවියන්වහන්සේව සෙවීම" උගන්වයි. ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන අතරතුරම, දෙවියන්වහන්සේගේ කැමැත්ත හඳුනාගැනීම සහ එය ඉටු කිරීම මෙහි හරයයි. අධ්‍යාපනය, සමාජ සාධාරණත්වය සහ ලෝකය තුළ ක්‍රියාකාරීව සේවය කිරීමට කැමති අයට මෙය ඉතා ප්‍රායෝගික මඟ පෙන්වීමකි.

6. ශුද්ධ වූ හොසේමරියාගේ අධ්‍යාත්මය: සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන වෘත්තිකයන්, පවුල්වල සාමාජිකයන් සඳහාම විශේෂයෙන් පිහිටුවන ලද්දකි. ශුද්ධ වූ හොසේමරියා එස්ක්‍රිවා තුමාගේ ඉගැන්වීම නම්, තමන් නිරත වන රැකියාව, පවුල් ජීවිතය සහ එදිනෙදා සාමාන්‍ය කටයුතු තුළින්ම ශුද්ධවන්තභාවයට පත්විය හැකි බවයි. තම කාර්යය යාච්ඤාවක් බවට පත්කර ගනිමින්, ලෝකය තුළ ජීවත් වෙමින්ම දෙවියන්වහන්සේට සමීප වීමට කැමති ඕනෑම අයෙකුට මෙම මඟ අනුගමනය කළ හැකිය.

7. සලේසියානු අධ්‍යාත්මය: ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සේල්ස් තුමාගේ ඉගැන්වීම් මත පදනම් වූ මෙම මඟ, "භක්තිමත් ජීවිතය" සාමාන්‍ය ගිහියන්ට ළඟා කර දෙයි. කරුණාව, ඉවසීම, මෘදුකම වැනි "කුඩා ගුණධර්ම" තුළින් සහ තම දෛනික රාජකාරි ප්‍රේමයෙන් ඉටු කිරීමෙන් ශුද්ධවන්තභාවයට පත්විය හැකි බව උගන්වයි. කාරුණික හා ඉවසිලිවන්ත හදවතකින් දෙවියන්වහන්සේට සේවය කිරීමට කැමති අයට මෙය ඉතා සුදුසුය.

8. අගොස්තීනියානු අධ්‍යාත්මය: ශුද්ධ වූ අගොස්තීනු තුමාගේ ගැඹුරු දර්ශනය මත පදනම් වේ. "අපගේ හදවත් ඔබවහන්සේ තුළ සැතපෙන තුරු නොසන්සුන්ය" යනුවෙන් උන්වහන්සේ පැවසූ පරිදි, මිනිස් හදවතේ ඇති දෙවියන්වහන්සේ සෙවීමේ පිපාසය සහ අභ්‍යන්තර ගමන මෙහි හරයයි. ප්‍රේමය තුළින් සත්‍යය සෙවීම සහ ප්‍රජා ජීවිතයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

9. වින්සෙන්තියානු අධ්‍යාත්මය: ශුද්ධ වූ වින්සන් ද පාවුළු තුමාගේ ආදර්ශය අනුව, දිළිඳුන් හා පීඩිතයන් තුළ ජේසුස් වහන්සේගේ මුහුණ දැකීම සහ ඔවුන්ට ප්‍රායෝගිකව සේවය කිරීම මෙම අධ්‍යාත්මයේ පදනමයි. හුදු දානපති ක්‍රියාවලින් ඔබ්බට ගොස්, ක්‍රියාකාරී ප්‍රේමයෙන් හා දයාවෙන් යුතුව දුගීන්ට සේවය කිරීම තුළින් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීම මෙහි අරමුණයි.

10. රිඩෙම්ප්ටරිස්ට් අධ්‍යාත්මය: ශුද්ධ වූ අල්ෆොන්සස් ලිගුරි තුමා විසින් ආරම්භ කරන ලද මෙම මඟ, "උන්වහන්සේ වෙත බහුල වූ මිදීමක් ඇත" යන මතය කේන්ද්‍ර කර ගනී. වඩාත්ම අත්හැර දමන ලද ආත්මයන් වෙත ශුභාරංචිය ගෙනයාම, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට සහ දේව මෑණියන්ට ඇති භක්තිය සහ දෙවියන්වහන්සේගේ අසීමිත දයාව පිළිබඳව දේශනා කිරීම මෙහි විශේෂත්වයයි.

ගිහි ජීවිතය තුළ මෙම අධ්‍යාත්මයන් ජීවත් කරවීම

බොහෝ දෙනෙකු සිතන වැරදි මතයක් නම්, මෙම ගැඹුරු අධ්‍යාත්මයන් අනුගමනය කළ හැක්කේ තාපසාරාමයක හෝ කන්‍යාරාමයකට වී පැවිදි ජීවිතයක් ගත කරන අයට පමණක් බවයි. එහෙත්, දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ ඉගැන්වීම්වලට අනුව, ශුද්ධවන්තභාවය සඳහා වූ කැඳවීම විශ්වීය වන අතර, එය පැවිදි අයට පමණක් සීමා වූවක් නොවේ. ඕනෑම ගිහියෙකුට, තම පවුල් ජීවිතය සහ වෘත්තීය ජීවිතය තුළම, මෙම අධ්‍යාත්මයන්ගේ හරය උකහාගෙන තම ජීවිතය ශුද්ධවන්තභාවයට ඔසවා තැබිය හැකිය.

මෙය සිදු කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි:

  1. ගිහි නිකායන්ට සම්බන්ධ වීම: ගිහි ෆ්‍රැන්සිස්කාන, ගිහි කාර්මේල්, ගිහි ඩොමිනිකාන වැනි නිකායකට බැඳී, තම නිවසේ සිටම එම නිකායේ අධ්‍යාත්මික චාරිත්‍ර අනුගමනය කිරීම.
  2. අධ්‍යාත්මික හරය අනුගමනය කිරීම: කිසිදු නිකායකට නිල වශයෙන් සම්බන්ධ නොවී, තමන් කැමති අධ්‍යාත්මිකතාවයක මූලධර්ම තම ජීවිතයට ඇතුළත් කර ගැනීම.

උදාහරණයක් ලෙස:

  • බෙනදිකාන අධ්‍යාත්මය අනුගමනය කරන ගිහියෙක්: තම දවස ආරම්භ කරන්නේ උදෑසන යාච්ඤාවෙන් කොටසක් ඉටු කරමිනි. තම කාර්යාලීය වැඩකටයුතු, දෙවියන්වහන්සේට කරන සේවයක් ලෙස සලකා ඉතා ඕනෑකමින් හා අවංකව ඉටු කළ හැක. දවසේ වැඩකටයුතු මධ්‍යයේ කෙටි වේලාවක් නිහඬව දෙවියන්වහන්සේව මෙනෙහි කිරීමට වෙන්කර ගනී. තම පවුල, තම සේවා ස්ථානය සහ තම මීසම, තමන් ස්ථාවරව සේවය කළ යුතු "තාමසාරාමය" ලෙස සලකා කටයුතු කරයි.
  • ෆ්‍රැන්සිස්කාන අධ්‍යාත්මය අනුගමනය කරන ගිහියෙක්: අනවශ්‍ය දේවලින් මිදී සරල ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. තම දරුවන්ට සොබාදහමට ආදරය කිරීමට උගන්වමින්, නිවසේ ගෙවත්තක් පවත්වාගෙන යයි. තම අසල්වැසි දිළිඳු පවුලකට නිතිපතා උපකාර කරමින්, ශාන්ත වින්සන් ද පාවුළු සමිතිය වැනි පුණ්‍ය කටයුතුවලට ක්‍රියාකාරීව දායක වෙයි. මිනිසුන් අතර මෙන්ම සතුන් කෙරෙහිද දයාවෙන් කටයුතු කරමින්, සාමය ගොඩනගන්නියක වීමට උත්සාහ කරයි.

පිළිවෙත්වල විවිධත්වය

කතෝලික සභාව යනු රෝමයේ පාප්වහන්සේ සමඟ පූර්ණ ඒකත්වයක සිටින ස්වයං පාලිත (sui iuris) සභා 24ක එකතුවකි. මෙයින් විශාලතම සහ වඩාත්ම ප්‍රකට සභාව වන්නේ ලතින් සභාවයි. අනෙක් සභා 23 පෙරදිග කතෝලික සභා ලෙස හැඳින්වේ. මෙම සියලු සභා එකම කතෝලික ඇදහිල්ල සහ එකම සක්‍රමේන්තු පිළිගන්නා අතර, ඔවුන්ගේ වෙනස පවතින්නේ වත් පිළිවෙත්, අධ්‍යාත්මික සම්ප්‍රදායන් සහ නීති පද්ධතීන් තුළය.

i. ලතින් සභාව : ලෝකයේ කතෝලිකයන්ගෙන් 98%කට වඩා අයත් වන්නේ මෙම සභාවටයි. ශ්‍රී ලංකාවේ අප බහුතරයක් දන්නා සහ අත්දකින සම්ප්‍රදාය මෙයයි. මෙහි ප්‍රධාන වත් පිළිවෙත "රෝම පිළිවෙත" ලෙස හැඳින්වේ. ඓතිහාසිකව ලතින් භාෂාව භාවිත කිරීම, ප්‍රතිමා භාවිතය වැනි දේ මෙහි බාහිර ලක්ෂණ කිහිපයකි.

ii. පෙරදිග කතෝලික සභා : මේවා බොහෝවිට නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග සහ ඉන්දියාව කේන්ද්‍ර කරගත් ඓතිහාසික සම්ප්‍රදායන්ගෙන් පැවත එන සභා වේ. ඔවුන් ඕතඩොක්ස් සභාවලට සමාන පිළිවෙත් අනුගමනය කළද, පාප්වහන්සේගේ අධිකාරීත්වය පිළිගනිමින් රෝමය සමඟ පූර්ණ සංධානගතව සිටී.

උදා:

  • බයිසැන්තියානු පිළිවෙත: යුක්රේන, මෙල්කයිට්, රුමේනියානු වැනි සභා මෙයට අයත්ය. දිව්‍ය පූජාව "Divine Liturgy" ලෙස හැඳින්වෙන අතර, අයිකන බහුලව භාවිත වේ. පූජාසනය ජනතාවගෙන් වෙන් කරන "Iconostasis" නම් තිරයක් පවතී.
  • සිරියැක් පිළිවෙත : මැරොනයිට් (ලෙබනන්), සිරියැක් කතෝලික, සිරෝ-මලන්කරා සහ සිරෝ-මලබාර් (ඉන්දියාව) වැනි සභා මෙයට අයත්ය.

මෙම පෙරදිග සභාවල විවාහක පුරුෂයන්ට පූජකවරය ලැබීමට අවසර තිබීම (පූජකවරයෙන් පසු විවාහ වීමට නොහැකිය), දිව්‍ය සත්ප්‍රසාදය දීමේදී පූප සහ මිදියුස එකට ගිල්වා දිව මත තැබීම වැනි ලතින් පිළිවෙතට වඩා වෙනස් චාරිත්‍ර දැකිය හැකිය.

කතෝලික සභාවේ මෙම බහුවිධ ස්වරූපය, දෙවියන්වහන්සේගේ අනන්ත වූ ප්‍රඥාවේ සහ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති ප්‍රේමයේ පිළිබිඹුවකි. එයින් කියැවෙන්නේ ශුද්ධවන්තභාවයට එකම මාවතක් නොමැති බවයි. ඔබ බුද්ධිමතෙක්ද, කලාකරුවෙක්ද, කම්කරුවෙක්ද, ගුරුවරයෙක්ද, මවක්ද, පියෙක්ද, පැවිදිවරයෙක්ද, ගිහියෙක්ද යන්න නොසලකා, ඔබගේ ස්වභාවයට, ජීවන තත්ත්වයට සහ ආත්මික පිපාසයට ගැළපෙන මඟක් සභාව නමැති මේ මහා උද්‍යානය තුළ නිසැකවම සොයාගත හැකිය.

එබැවින්, අප කළ යුත්තේ එකම ඇදහිල්ලේ විවිධ ප්‍රකාශනයන් දෙස විවෘත මනසකින් බලා, ඒවාට ගරු කරමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ අපට ආරාධනා කරන පෞද්ගලික මාවත හඳුනාගෙන, එම මඟ ඔස්සේ ක්‍රිස්තුස් වහන්සේ වෙතට වූ අපගේ ගමන විශ්වාසයෙන් යුතුව යාමයි.

Read more

ආදරය කරන්නේ කෙසේද? ශුද්ධ වූ හොසේමරියා මුනිඳුන්ගේ පිළිතුර

"ආදරය" යනු මිනිස් ඉතිහාසය පුරා කවීන්, දාර්ශනිකයන් සහ සාමාන්‍ය ජනයා විසින් විමසන ලද, අර්ථකථනය කිරීමට උත්සාහ කළ ගැඹුරුම සහ බලවත්ම යථාර්ථයකි. එහෙ