කිතු දහම වැළඳගත් සරදියෙල්
නුවර පාර දිගේ නුවර බලා ගමන් ගෙන කඳුකරයට ළඟා වෙත්ම වම් පසින් පෙනෙන උස් කඳු ගැටයකි. එය හඳුන්වනු ලබන්නේ සරදියෙල් ගේ කන්ද කියා ය.
සරදියෙල් කවුරුන් දැයි අද බොහෝ දෙනෙක් නො දන්නවා විය හැකි ය. එහෙත් ඔහු කලෙක ලක්බිම හෙල්ලූ පුද්ගලයෙකි. සරදියෙල් ප්‍රසිද්ධ වූයේ බියකරු සොරකු සහ මිනීමරුවකු සැටියටයි.
සරදියෙල් ගේ පියා දීකිරිකෑවගේ අධර්සි අප්පු වූ අතර ඔහු ගේ මව පිචෝන හාමි විය. හාල්දඬු වන ජිවත් වූ පියා දුම්කොළ වෙළෙන්දෙකි. ඔහු මාවනැල්ලට වෙළඳාමේ ගිය අවස්ථාවක පිචෝනහාමි හමු වී ඈ සරණ පාවා ගත්තේය. එහිදී ඔවුන් දෙදෙනා ලද කුළුඳුලා සරදියෙල් ය. පසුව ඔවුන් හාල්දඬුවනට පැමිණ ජිවත් වූ කාලය තුළ තවත් පුතුන් තිදෙනෙක් ද, දුවක් ද
ලබා සිටි බව වාර්තා වන්නේය. පිචෝහාමි කලක් එහි සිට පෙරළා තම වැඩිමහල් පුත්‍රයාත් ( සරදියෙල් ) සමඟ තමන්ගේම උතුවන් කන්ද ග්‍රාමයට පැමිණියාය. මේ අනුව අධ්‍යාපනය සඳහා සරදියෙල් යවනු ලැබුවේ බෙලිගලම්මන පන්සලේ විදුහලට යි.
මීට කලකට පසු වන්දනාකරුවන් පිරිසක් රැගෙන තලවිල සාන්ත ආනා දෙව් මැඳුරට ගිය අධර්සි අප්පු එහි දී කිතු දහම වැළඳගෙන ප්‍රසාද ස්නාපනය ලැබුවේය. ඔහු ගේ දරුවන් සිව් දෙනා ද පේදුරු, මාර්තා, ගාබ්‍රියෙල් සහ අන්තෝනි යන කතෝලික නම් පවරා ප්‍රසාද ස්නාපනයෙන් කතෝලික සභාවට ඇතුළත් කර ගන්නා ලදි.
මාර්තා තරුණ කාලයේ දී ම මිය ගියා ය. පේදුරු දක්ෂ සුරුවම් ( ප්‍රතිමා) කැපුම්කරුවකු විය. පෑලියගොඩ දේව මාතාවන් ගේ දෙව් මැඳුර තුළ ඇති මරියෝත්තමාවන් ගේ ප්‍රතිමාව ඔහු විසින් කරන ලදැ යි පිළිගැනේ. මොහු ජා - ඇල අසල පමුණුගම කාන්තාවක් විවාහ කරගෙන එහි පදිංචි විය. එම වෘත්තියම ගෙන ගිය ඔහු ගේ පුතකු වූ " නික්ලස් බාස් " ක්‍රි.ව. 1953 දී මිය ගියේ ය.
සරදියෙල් මැරයකු වූයේ කුඩා වියේ දී මය. පාසල් වියේ දීම ඔහු අයුක්තියත්, අසාධාරණයත් නුරුස්සන පුද්ගලයකු සැටියටයි ක්‍රියා කැර ඇත්තේ. එහෙත් අවසානයේ දී ඒ යහ කල්පනය නොමගට යොමු වී ඔහු දරුණු දාමරිකයකු හා මිනීමරුවකු ද බවට පත් විය. සරදියෙල් ගේ කුඩා සිසුවියේ දීම ඔහු පාසල තුළත් අවට සමාජය තුළත් දුටුවේ අයුක්තිය යි. මීට නිදසුන් දෙකක් ඇත. සහ අසාධාරණය
වරක් ඔහු ගේ පාසල තුළ ධන - නිධාන දරු පිරිස් අතර වෙනසක් දුටු ඔහු පීඩිත පංතිය අසාධාරණයට පත්වන සැටි දුටුවේ ඔහුටම සිදු වූ අසාධාරණයකින් ය. ඉහත සඳහන් පන්ති භේදය හේතුකොට ගෙන නිතර ගැටුම් ඇති වී තිබේ. මේ එක් අවස්ථාවක රන්බණ්ඩා නමැති ශිෂ්‍යයෙක් සරදියෙල් ගෙන් දරුණු ලෙස බැට කෑවේය. ඔහු ප්‍රදේශයේ මුදලාලි කෙනෙකු ගේ දරුවකු මෙන්ම ගම්මුලාදෑනියා ගේ බෑනා ද විය.
මේ දරුවා එම ගැටීමේ දී ගලක් මත වැටී හිස තුවාල විය. මෙයින් තරමක ලේ ගැල්මක් ද ඇති වූ හෙයින් විශාල කෝලාහලයක් ලෙස ගම්මුලාදෑනියා විසින් පොලිසිය ඉදිරියේ එය වාර්තා කරන ලදී. මේ අනුව සරදියෙල් සහ ඔහුගේ කුළුපග මිතුරන් දෙදෙනෙකු වූ මම්මලේ මරික්කාර් සහ සිරිමලා ද පොලීසියට ගෙන යනු ලැබුවෝ ය. මිතුරන් දෙදෙනා එදින ම අවවාද කොට නිදහස් කැර යවන ලද නමුත් සරදියෙල් කුඩුවක දමා කිහිප දිනක් සිරගත කොට තබනු ලැබුවේය.
මෙයට වඩාත් හේතු වුයේ ඔහුට විරුද්ධ ව කරන ලද අසත්‍ය චෝදනාවකි. එනම් ඔහු රන්බණ්ඩා ගේ රන් සවඩිය සොරා ගත් බවට කරන ලද පැමිණිල්ල යි. මෙයින් අධික කෝපයට සහ සංවේගයට ද පත් සරදියෙල් මුළු සමාජය කෙරෙහි ම වෛරයෙන් බැඳුණේය. ඔහු වඩාත් උරණ වූයේ පාලන තන්ත්‍රයේ ධනවතුන් සමඟ ය. මෙතැන් සිට ධනපතියාට විරුද්ධව සටන් වැදීමට හේ ඉටා ගත්තේය.
මෙදා සිට සරදියෙල් සමාජ විරෝධී කැරැලිකරුවකු සොරකු, මිනීමරුවකු බවට පත් වී අසාධාරණ කරුවන් ගේ අන්ත සතුරකු බවට පත් විය. කිහිප වතාවක්ම ඔහු සිරබාරයේ තබන ලද නමුත් එයින් පැන යාමට ද සමත් විය. මේ කාර්යයන් සියල්ලකදී ම පාහේ ඔහු ගේ පාසල් මිත්‍ර මම්මලේ මරික්කාර් සහ සිරිමලා ගේ ද ආධාරය ඔහුට ලැබිණි. තිදෙනා ඉතා සමීප මිතුරන් සැටියට ක්‍රියා කළෝය.
මේ තුන් කට්ටුව කළ දාමරික ක්‍රියාවන් ගැන කට කතා රැසකි. මේ සියල්ල මැද සරදියෙල් ඉතා කාරුණික හදවතක් දැක්වූයේ දුප්පතුන් වෙත යි. අසාධාරණය නුරුස්සු මොහු බොහෝ විට තමන් ධනවතුන්ගෙන් පැහැර ගත් මිල මුදල් මෙන්ම බඩු බාහිරාදිය ද අසරණ දුගී දුප්පතුන් අතර බෙදා දුනි. අසාධාරණ වෙළෙන්දකුට ඔහු වරක් සිදු කළ දේ මෙයට නිදසුනෙකි. මසකට වරක් නුවරින් උතුවන් කන්ද ප්‍රදේශයට පැමිණ අසාධාරණ අධික මිලට බඩු භාණ්ඩ වෙළෙඳාම් කළ කට්ටු බාවා නමැති වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විය. එක් රාත්‍රියක මොහු නැවතී සිටි නිවෙසට කඩා වැදුණු සරදියෙල් ඔහු බැඳ තබා ඔහු වෙත තිබූ මුදල් සියල්ල ද එක් කරගත හැකි වූ බඩු භාණ්ඩ සියල්ල ද අර අසාධාරණ ලෙස සූරා කන ලද දුප්පතුන් අතර බෙදා දුන්නේය.
කල් යත් ම සරදියෙල් ගේ දාමරික ක්‍රියා වර්ධනය විය. හේ මුදල් සොරා ගැනීම මෙන්ම සුදුවට ද ලොල් විය. මෙයින් කිහිප වරක් සිරගත වූ ඔහු එයින් පැන යෑම සඳහා මිනීමැරීම් කිහිපයක් ද සිදු කළේය. මේ සියල්ල නිසා මහු ලුහු බැඳ සිටි පොලිසියෙන් ආරක්ෂා වීම සඳහා ඝන කැලය මැද උතුවන් කන්සේ පර්වතල මුදුනේ පිහිටි ගල්ලෙනට සේන්දු විය. මෙම ගල්ලෙනේ සිට ඔහු ගේ ඉදිරි ක්‍රියාදාමයන් සංවිධානය කළේ ය.
කන්ද මුදුනට වී සිටි සරදියෙල් කොළඹ - නුවර මාර්ගයේ ගමන් කළ රථ වාහත දුර සිට හොඳින් දුටුවේය. මෙය පහසුවක් කැර ගත් ඔහු තම මිතුරන්
දෙදෙනාත් සමග කන්දෙන් බැස ඇවිත් ඒවා
කොල්ලකන්නට පටන් ගත්තේය. වැඩියක් ම ඔහු ඉලක්ක කොට ගත්තේ රාජ්‍ය තැපැල් වාහනය යි. (කෝචය) එසේ ම මඟින් ගමන් කළ රථ වාහන නවතා ඔවුන්ගේ මිල මුදල් සහ කණ
කරද පැහැර ගත්තේය.
වඩාත් ම භයානක වූයේ ඔහු රඹුක්කත පොල්ගහවෙල දුම්රියට කඩා වැදීමයි. මේ සියල්ල මැද මෙය පාලකයින්ට හිසරදයක් වුවත් පොලීසිය අසරණ වූයේ ඔහු වෙස්වලාගෙන තැනින් තැන ගමන් කළ හෙයිනි. මෙම සොරකම් සහ පැහැර ගැනීම් රට පුරා පැතිරෙන්නට විය. මේ අනුව නුවර පාරේ ගමන් ගැනීම ඉතා අවදානම් හා අසීරු කාරියක් බවට පත්වුණි.
මෙය කෙසේ හෝ තිමාවකට පත් කිරීමට අදිටන් කැරගත් යටත් විජිත කටයුතු භාර ලේකම්වර ඩබ්ලිව්.සී. ගිබ්සන් මහතා සරදියෙල් අල්ලා ගැනීම සඳහා ඔත්තු සපයන අයකුට පවුම් සියයක් ත්‍යාග කරන බව පොරොන්දු විය. එසේ ම සරදියෙල් ගේ මිතුරන් සිව්දෙනා සම්බන්ධයෙන් ද ද එකකුට පවුම් 25 බැගින් පාරිතෝෂික මුදලක් පොරොන්දු විය.
මේ වන විට අන්තරාව දුටු සරදියෙල් ගේ මිතුරෝ එක එකා ඔහු හැර දමා පලා ගියෝ ය. ඔහු සමඟ අවසනාය දක්වා රැඳී සිටියේ මම්මලේ මරික්කාර් පමණ ය. සෙසු සියල්ලෝ ඔහු හැර ගියෝ ය.
ක්‍රි.ව. 1864 මාර්තු මස 17 වැනි දින සරදියෙල් තම මව සමඟ ඇය ගේ ගෙදර සිටිය දී පොලීසිය සහ ජන පිරිසක් ඔහු වටකැර ගත්තෝය. එහෙත් සරදියෙල් සහ ඔහුගේ එකම මිතුරු මම්මලේ මරික්කාර් සෙනඟට වෙඩි තබා එයින් ඇති වූ කැළැඹුණු තත්ත්වය මැද පැන ගියෝය. මේ දින වෙඩි තැබීමෙන් තවත් දෙදෙනෙක් මරණයට පත් වූහ.
මෙම සිද්ධිය හේතුකොට ගෙන සරදියෙල් වැටැලීමේ උත්සාහය වඩාත් තියුණු කරන ලදි. පාරිතෝෂික මුදල ද පවුම් 150 දක්වා වැඩි කෙරුණි. එසේම යුද හමුදා භටයින්ද මේ සඳහා යොදා ගැනිණ. පවුම් 150 හේ මුදල් දීමනාව අද මෙන් එදාත් මිතුරන් පාවාදීම සඳහා කදිම ඇමක් විය. එයට ලොල් වී පළමුවෙන් එකඟ වුයේ අන් කිසිවකු නොව සරදියෙල් ගේ කළණ මිතුරා වූ සිරිමලාමය.
මේ සඳහා සිරිමලා උපායක් යෙදුවේ ය. දිනක් මහා රාත්‍රියේ සරදියෙල් ගේ ගල්ලෙනට ගොස් දැන් පොලීසිය ඒ තැන දන්නා බවත් ඒ අනුව පසුදා ඔහු වට කරන බවත් කියා ඔහු බිය ගැන්වීය. මෙම අන්තරාවෙන් ගලවා ගැනීම සඳහා තමන් ආරක්ෂිත නිවෙසක් ඔහුට සුදානම් කර ඇති හෙයින් එහි පැමිණ මුළුතැන්ගෙයි අටුවට වී සැඟවී සිටින ලෙස අවවාද කළේය. සරදියෙල් මිතුරා ගේ උපදෙස පිළිගත්තේ ය. එහි පැමිණ සැඟවී සිටියේ ය.
එදින ක්‍රි.ව. 1864 මාර්තු 21 වැනිදා ය. පැමිණීම ගැන පොලීසියට ආරංචිය ලැබුණ විගස කණ්ඩායමක් ගෙය වැටලීමෙහි යෙදිණි. මෙය දැනුණු විගස තම අතට තුවක්කුව ගත් නමුත් ක්ෂණිකව ඔහු වෙත එල්ල කරන ලද වෙඩි පහරකින් කකුලේ තුවාල ලැබුවේ ය. එකෙණෙහි ම මිත්‍ර මම්මලේ මරික්කාර් තම තුවක්කුව ගෙන පොලිස් භටයකු මැරි වැටෙන්නට වෙඩි තැබුවේ ය. කෙසේ හෝ දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත් විය. මේ වන විට සරදියෙල් ගේ වයස වසර තිස් දෙකකි.
අල්ලා ගත් විගස නුවර බන්ධනාගාරයට ගෙන යන ලද දෙදෙනා නඩු විභාගයෙන් මිනීමරුවන් බවට ඔප්පු වී මරණීය දණ්ඩනය ලැබූහ. නඩු නියෝගය අනුව "බොටුවට වැල දමා එල්ලා තැබීමට '' පෙර ඔවුන්ගේ ආත්මික උපදේශකවරුන් හමුවීමේ නිදහස ඔවුනට ලැබුණි.
කාලයේ බෝගම්බර බන්ධනාගාරයේ කතෝලික උපාධ්‍යතුමන් වශයෙන් සේවා කළෝ ප්‍රංශ ජාතික ගරු ඒඩ්‍රියන් ඩූෆෝ නි.ම.නි. පියතුමෝ ය. නිතර සරදියෙල් හමු වූ එතුමන් පළමුව සුහද සාමිචියේ යෙදුනා මිස ආගම දහම ගැන කිසිවක් සඳහන් කළේ නැත. එහෙත් සරදියෙල් එතුමන්ගෙන් කිහිපයක් ලබාගෙන කියවා බලා ඉතා නැණවත් තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් එතුමන් වෙත යොමු කළේය.
මේ අතර සිර ගෙදර උපාධ්‍යවරයෙකු ලෙස සේවා කළ ගරු චොල්ඩෙක් නමැති රෙපරමාදු දේවගැති තුමෙක්ද සරදියෙල් ලුහුබැඳ ආවේය. සරදියෙල් තුළ ඩූෆෝ පියතුමන් කෙරෙහි ඇති වූ පැහැදීම හේතු කොටගෙන මෙ තුමන් නුරුස්සන සුලු හැඟීම ඇති වුවත් දේවගැති තුමාගේ පැමිණීම මරණය ආසන්න වන තෙක් ම නො නැවතී පැවතුණේය. කිතු සිරිතෙන් මනා ආශ්වාසයක් ලැබූ සරදියෙල් වඩාත් ම වටහා ගත්තේ කිතු සමිඳුන් මෙන් ම තමන් ද අග්‍ර මිතුරකු විසින් පාවා දෙනු ලැබූ වගයි. මේ අනුව සිරිමලාට තමා සමාව දෙන වගත් එහෙත් ඔහු ගේ දුෂ්ට ගති පැවැතුම් ඔහු අත්හළ යුතු බවත් කියා ඩූෆෝ පියතුමන්ගේ මාර්ගයෙන් පණිවුඩයක් යැවීය.
සියල්ලෙන් ඉක්බිති දඬුවමට පාත්‍ර වීමට පෙර දින සරදියෙල් ප්‍රසාද ස්නාපනය ලබා කතෝලික දහම වැළඳ ගත්තේය. සරදියෙල් යනු රටේ පතළ වූ නමින් ම කිතුනුවකු වී සිටින්නට කැමැති දැයි ඔහු ගෙන් ප්‍රශ්න කළ විට ඔහු ගේ පිළිතුර වුයේ "නැත. එය ඉතා කැළැල් වී ඇති නමකි. එය මගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කැර දමන්න '' යනු යි. මෙසේ ඔහු කතෝලික දහමේ කුලවද්දනු ලැබුවේ ජෝශෆ් කියාය.
ක්‍රි.ව. 1864 මැයි 7 වැනි දා ( ජෝශෆ් ) සරදියෙල් පෝරකයට ගෙන යනු ලැබී ය. ඔහු සමඟ ඩූෆෝ පියතුමන් ද ගමන් ගත්තේය. එසේම එදිනම එල්ලා මරනු ලැබූ මම් මලේ ද ඉස්ලාමීය පූජකවරයෙකු සමඟ ගමන් කළේය. සරදියෙල් බලා ගැනීම සඳහා එදින පත් දහසක පමණ විශාල ජනකායක් නුවර රැස් වී සිටි අතර සරදියෙල් එඩිතර ව පොතකින් යාච්ඤා උච්චාරණය කරමින් ඉදිරියට ගියේය.
එල්ලා මැරීමට පෙර සියලු දෙනා මවිතයට පත් කරමින් සරදියෙල් දණින් වැටී අන්තිම ක්ෂමාව ලබා ගත්තේය. එසේ කළ ඔහු ජනතාව වෙත හැරී උමතු නොවී තමන් ගෙන් පාඩමක් ඉගෙන ගන්නා ලෙස ආයාචනයක් කළේය. එසේම තමා ගත කළ පව්කාර ජීවිතය ගැන මනස්ථාප වන බවත් තම පව් සඳහා වන්දි ගෙවීමක් වශයෙන් මරණය සතුටින් පිළිගන්නා බවත් ප්‍රකාශ කැර " පරමණ්ඩලය" (ස්වර්ගයේ වැඩ සිටින...) යාච්ඤාව උච්චාරණය ආරම්භ කිරීමත් සමඟ මරණයට පාත්‍ර කෙරුණි.
(මෙම ලිපිය ලිවීම සඳහා ඩබ්ලිව්. එල්. ඒ. දොන් පීටර් මාහිමියන් ගේ ග්‍රන්ථ දෙකකින් ද, ඊ.ටී. කන්නන්ගරයන් " උතුවන්කන්දේ සූර සරදියෙල්" නමැති ග්‍රන්ථයෙන් ද දත්ත ලබා ඇත.)
~ Nalin Thomas