මඩු පල්ලියේ ඉතිහාසය

මඩු පල්ලියේ ඉතිහාසය

දිගු කලක් අවහිර ව තිබුණු මඩු ගමන් මාර්ගය යළි විවෘත වීම සාමය උදා වීමෙන් මෙරට කතෝලික ජනතාව ලබන විශාල භාග්‍යයකි. මේ නව අවසරය නිසා දස දහස් ගණනින් අප සැදැහැවත් පිරිස මඩු වන්දනාවේ යන්නට දැනටමත් පටන් ගෙන ඇතැයි වාර්තා වේ. එහෙත් බාධා පැමිණීමට කලක පෙර සිට මඩු සිද්ධස්ථානයේ වඩාත් ම ජනප්‍රිය මංගල්‍යය වුයේ අගෝස්තු 15 වැනි දා පැවැත්වෙන මංගල්‍යයයි. එය පාසල් නිවාඩු සමයේම පැවැත්වෙන හෙයින් තම පාසල් යන දරුවන්ද එහි රැගෙන යාම පහසුවක්ම වී ඇත. මෙසේ දස දහස් ගණනින් වන්දනා කරුවන් එහි රැස් වුවත් මඩු සිද්ධස්ථානය ගැනවත් මඩු මෑණියන්ගේ ප්‍රතිමාව ගැනවත් වගතුග දන්නෝ ඉතා ස්වල්ප වෙතියි කීම අතිශයෝක්තියක් නම් නොවේ. ස්වල්ප දෙනෙකු ට හෝ ඒ සුළ මුල සැකවින්වත් දැනගැනිම පිණිස මෙම ලිපිය සකස් කරමි.

මඩු සිද්ධස්ථානය ගැන පැරණීම සඳහන ඇත්තේ ඔරතෝරියාන නිකායේ ලේඛන අතරය. ක්‍රි.ව. 1697 සිට 1721 දක්වා එහි දෙව්මැඳුර හෙවත් සිලේන - මරදමඩු දෙව් මැඳුර බාරව සිට ඇත්තේ ප්‍රේඩ්‍රො ෆෙර්‍රාඕ පියතුමන් ය. ආරම්භයේදි සිලේනා - මරදමඩු ලෙස හඳුන්වනු ලැබු මෙම භූමිය පසුව "සිලේනා -මඩු" යනුවෙන් පමණක් හැඳින්වනු ලැබිණි. ඒ ක්‍රි.ව. 1721 - 1727 අතර කාලයේ දීය. ක්‍රි.ව. 1746 - 1786 අතර කාලය වනවිට එම නාමය කෙටියෙන් "මඩු" යනුවෙන් ම බාවිතා විය.

මඩු දෙව්මැදුරේ ආරම්භය පිළිබඳ මුඛ පරම්පරාගත කථා දෙකක් තිබේ. එහෙත් පසුව ලැබී ඇති ලේඛන අනුව වඩාත් පිළිගත හැකි කථාව මෙසේය. ක්‍රි.ව. 1658 දී ඕලන්දයෝ මන්නාරම ඇතුළුව මුළු යාපනයම යටත්කැර ගත්හ. මන්නාරම ඔහුන් අතට පත් වුයේ 1658 පෙබරවාරි මස 22 වැනිදාය. එදා සිට ඔහුන් මන්නාරමේ කතෝලිකයන් වෙත දියත් කළේ දරුණු පීඩනයකි. කල්දේරා නමැති ජේසු නිකායික පියතුමකුගේ හිස ගසා දමන ලදි. තවත් එකොළොස් දෙනකු එල්ලා මරා ඉක්බිති ඔහුන්ගේ මළ සිරුර ගස්වල එල්ලා ප්‍රදර්ශනය කොට තබන ලදි.

තවත් වද හිංසා රැසක් වාර්තා වී ඇත. ඒ පසුපස ඕලන්දයෝ යාපනයේ ද බලය තහවුරු කැරගෙන පීඩනය ආරම්භ කළෝය. කතෝලික පියවරුන් කොරමන්දලයට පලා හැරියෝ ය. කතෝලික දෙව්මැදුරු සියල්ල විනාශ කැර දැමු අතර සමහර ගොඩනැඟිලි රෙපරමාදු දෙව්මැදුරු බවටත්, වෙනත් ඒවා බඩු ගබඩා බවටත් පරිවර්තනය කැර සෙසු සියල්ල ගිණිබත් කැර දැමුවෝ ය. ක්‍රි.ව. 1658 සැප්තැම්බර් මස 19 වැනි දා නිකුත් කල නියෝග අනුව කතෝලික පියතුමකුට ආරක්ෂාව සැපයීම මරණීය දණ්ඩනය ලැබීමට වරදක් විය.

දේවමාතාවන් වහන්සේගේ හෙවත් මඩු මෑණියන්ගේ ප්‍රතිමාව ප්‍රථමයෙන් ස්ථාපිත ව තිබුණේ මාන්තෙයි ය. මාන්තෙයි වනාහී ශ්‍රී ලංකාවේ පැරණීම නගරයක් විය. එහි පිහිටි වරාය නිසා දස සියවසරක කාලයක් තුළ එය දකුණු ආසියාවේ ජනප්‍රිය ම වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් වී තිබි ඇති බව පුරාවිද්‍යාඥයෝ පවසති. මාන්තෙයි නගරය පිහිටා ඇත්තේ මන්නාරම - පූනරින් මාර්ගයේ මයිල හයක් මන්නාරමට දුරින් ය. ක්‍රි.ව. 1614 මැයි මස 08 වැනි දින බෙටැන්කෝර් පියතුමා මුල් ගල තබා ආරම්භ කල මෙහි දෙව් මැඳුර කැප කරන ලද්දේ ජයලත් අප ස්වාමිදු නමටයි. එහෙත් වැඩි කලක් යන්නට පෙර නව ප්‍රතිමාව එහි ස්ථාපිත කිරීමත් සමඟ එම දෙව්මැඳුර "ආශ්චර්‍යමත් අප ස්වාමිදුගේ" දෙව්මැඳුර බවට පත් විය.

ඕලන්ද පීඩනය හේතුකොටගෙන මන්නාරමේ පවුල් 20 ක් පමණ වු කතෝලික පිරිසක් නුවර රාජධානියට අයත්ව තිබු මඩු ප්‍රදේශයට පලා ගොස් ඇත. මෙයට මාන්තෙයි - මාතොට සිටි කතෝලික පිරිසද එක් වී සියලු දෙනා මරුත මඩු වැව වටා ලැඟුම් ගෙන තිබේ. මෙය සිදුවු වග සඳහන් වී ඇත්තේ ක්‍රි.ව. 1899 පල කරන ලද දෙමළ ග්‍රන්ථයකයි. ඕලන්ද පීඩනය මේ වන විට යාපනයටද පැතිර ගොස් තිබිණි. ක්‍රි.ව. 1658 දී එහි සිටි කල්දියේරෝ පියතුමන් ඝාතනය කරන ලදි. අන් පුජාප්‍රසාදීන් වහන්සේ සියලු දෙනා රටින් පිටුවහල් කෙරිණි. යාපනය අර්ධද්වීපයේ සිටී 700 ක් වන කතෝලික පිරිසක් පුජාප්‍රසාදීන් වහන්සේ සත් දෙනෙකුද සමඟ කළපුව හරහා පූනරීනයට පැමිණ ඒ හරහා මඩු ප්‍රදේශයට සේන්දු වුහ. මෙය 1886 පළ කරන ලද ලේඛනයක සඳහන් වේ. මේ පියවරුන් ෆ්‍රැන්සිස්කාන නිකායේ පියවරුන් යැයි විශ්වාස කෙරේ. මෙසේ පැමිණි සරණාගතයින් ක්‍රි.ව. 1614 දී ප්‍රේඩ්‍රෝ ද බෙටැන්කෝර් පියතුමන් විසින් තනන ලද දෙව්මැඳුර ප්‍රතිසංස්කරණය කොට හෝ අලුතෙන් ම යළි ඉදිකොට හෝ මාන්තෙයි සිට ඔහුන් රැගෙන ආ දේව මාතා ප්‍රතිමාව තැන්පත් කළහයි විශ්වාස කළ හැකිය.

මඩු බිම් පෙදෙස ගැන මෙන්ම ප්‍රතිමාව ගැනද කතා පුවත මෙසේය. මෙහි මුලින් ම සඳහන් පරිදි අද "මඩු" යනුවෙන් හැඳින්වෙන බිම් පෙදෙස එදා හඳුන්වනු ලැබුවේ "සිලේන - මරඳ මඩු" යනුවෙනි. "සිලේන" යනු පුද්ගලයකු ගේ නාමයකි. "මරුට - මඩු" යන්නෙහි අර්ථය "කුඹුක් - ගස් - වැව" යනුයි. වන්නි සහ මන්නාරම් ප්‍රදේශයේ වැව් හඳුන්වනු ලැබුවේ "මඩු" යනුවෙනි.

සිලේනා යන නාමපදයේ නිරුක්තය පෙන්වා දෙමින් ඇතැමුන් කියා සිටින්නේ ඕලන්ද පීඩනයෙන් බේරීම පිණිස පළා ආ "හෙලේනා" නමැති බැතිමත් පෘතුගීසි කාන්තාවක් සිහිවීම සඳහා මෙය යෙදී ඇති බවයි. යාපනයෙන් පැන ආ එතුමිය එහි සිටි පෘතුගීසි උගත් නිළධරයකුගේ දියණියක් වු අතර මෙහි පැමිණ විවාහ වී සිටියේ මඩු ප්‍රදේශය බාරව සිටි නිළධරයා ය. ඕ ඉතා බැතිමත් තැනැත්තියක් වශයෙන් ජනප්‍රසාදයට පත්ව සිටියා ය. මෙම මතය වැඩියක් පිළිගනු නොලැබේ. ඊට හේතු වන්නේ "සිලේනා" යන විශේෂණය එතුමිය මෙහි පැමිණි කලට පෙරද භාවිත වී ඇති හෙයිනි.

මේ සම්බන්ධතාවයෙන් වෙනත් මතයක් ඉතිහාසඥ එස්. ඥානප්‍රගාසර් පියතුමා ඉදිරිපත් කරයි. එතුමාගේ පිළිගැනිම අනුව "සිලේන - මරුට - මඩු" වනාහී වී ගොවි ගම්මානයක් විය. එහි වැව වටා පිහිටි කුඹුක් ගස් නිසා එයට "මරුට - මඩු" යන නම තබා ඇති අතර මේ වැව් බිම් පෙදෙස පෙර කලෙක "සිලෙයිනා" නමැති මරක්කල කාන්තාවකට අයත්ව තිබු හෙයින් " සිලේනා" යන නම යෙදී ඇත. සාධක කිහිපයක් මත මෙම දෙවැනි මතය වඩාත් සත්‍ය බවට පිළිගත හැකිය. මඩු ප්‍රතිමාවේ ඉතිහාසයත් ඉතා රුචිජනකය. මෙම ප්‍රතිමාව නිර්මාණය කැර ඇත්තේ නාවත්තුරේ විසු අන්නකුට්ටි නමැති අකතෝලික කැටයම් කරුවෙකි. මෙය කපමින් සිටින විටදීම ප්‍රාතිහාර්යය කිහිපයක් සිදු වී ඇත.

ආරම්භයේ දී කොච්ච්න්හි ෆ්‍රැන්සිස්කෝ ද එස් . ඇන්ටෝනියෝ පියතුමන් දැව කොටසක් ලබාගෙන එයින් ශු. අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවක් කැටයම් කරන්නට වැඩ ආරම්භ කැර ඇත. එහෙත් යාපනයේ දී (යාල්පට්ටම්හි දි) ඒ අදහස මාරු වී ඒ වෙනුවට "ජයලත් අප ස්වාමිදුවගේ" ප්‍රතිමාවක් නිර්මාණය කැර දීම සඳහා එම ලී කොටය අන්නකුට්ටි වෙත පවරා දී ඇත.
තම නිවසේ මෙම කාර්යයෙහි යෙදී සිටි අන්කුට්ටි හමුවීම් වස් එන්බාගෝ නමැති අන්‍ය ලබ්ධිකයෙක් එහි පැමිණින. මොහුට සත්කාර කිරීම සඳහා වැඩ නවත්වා ගෙය තුළට ගිය විට අර අමුත්තා අන්නකුට්ටි රහිමින් සිටි ලී කොටය මත වාඩි ගත්තේය. සැණෙකින් ඔහු එයින් පිටතට විසි වී ගොස් එහි සිටි සියල්ලන් ඉදිරියේ බිම වැටී තිබේ. මෙයින් මහත් ලජ්ජාවට පත් මොහු යළි වරක් ගොස් ප්‍රතිමාව මත වාඩිගෙන ඇත්තේ තමන්ගේ ලජ්ජාවෙන් ජය ගැනිමට යි. එහෙත් මේ වතාවේ පෙරටත් වඩා වේගයෙන් ඔහු විසී වී ගොස් වඩාත් දුරින් වැටෙනු දැක ඇත. මේ මිනිසා ඇඳ සිටි වස්ත්‍ර ද වැතිර ගොස් ඔහු බිම වැටී දිගු වේලාවක් සිහි නැතිව සිටි බව වාර්තා වන්නේය.

නොසැලකිලිමත්ව වරක් තම බුලත් කෙළ ප්‍රතිමාව මත වැටෙන්නට සැළැසු අන්නකුට්ටි ගේම දියණියන්ද මෙවැනි ම පීඩනයකට පත් වු බව ක්වෙරෝස් ඉතිහාසඥයා සඳහන් කරයි. මේ සිද්ධීන් සියල්ල යාපනය ප්‍රදේශයේ මෙන්ම ඉන්දියාවේ ද ප්‍රචාරය විය. මේ හේතුවෙන් ප්‍රතිමාව වෙත අත තැබීමට පවා කැටයම්කරු බිය විය. මේ අනුව ඔහුගේ නිවෙසේ සිට දෙව්මැඳුර කරා එය ගෙන යාම සඳහා ගරු පියවරු ඉදිරිපත් ව ඒ සඳහා ගාම්භීර පෙරහරක් සංවිධානය කළෝය.

ක්‍රි.ව. 1614 ජුලි මස 24 වැනි දින මෙම පෙරහර ආරම්භ කිරිමට මොහොතකට පෙර රජ වාසල ඉදිරියෙන් ගමන් කිරිම වළක්වනු වස් එක්තරා අවිගත් පිරිසක් මහ මඟ සැරැසී සිටින වගක් බෙටැන්කෝර් පියතුමන්ට දන්වන ලදී. එතුමා රජුට මේ ගැන දන්වනු පිණිස ඇන්ටෝනියෝ අල්වාරේස් සහ ඇන්ටෝනියෝ ද ෆොන්සේකා නමැති පෘතුගීසි නියෝජිතයින් දෙදෙනකු යැව්වේය. මේ පුවත අසා අධික ශෝකයට මෙන්ම දැඩි කෝපයට පත් වු රජතුමා ප්‍රතිචාරය දැක්වුයේ " කිසිඳු බාධකයක් නැතිව මේ මාර්ගයේ පෙරහර ගමන් කළ හැකිවා පමණක් නොව, අවශ්‍ය නම් මමද මාගේ සෙනඟ ද පිරිවරා ගෙන ඒ ස්වාමි දු කැටුව පෙරහරේ යන්නට කැමත්තෙමි. මෙය කරුණාකර පියතුමන්ලාට දන්වන්න" කියාය. ජයලත් අප ස්වාමි දු ලෙස නම් කරන ලද මෙම ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහර රජ වාසල ඉදිරිපසින් ගමන් කරද්දී රජතුමා ද බිසව සහ දරුවන් ද සදැල්ලේ සිට ඉතා ගෞරවයෙන් යුතුව බලා සිටියහ යි වාර්තා වේ. ප්‍රතිමා වහන්සේ මෙසේ ගෙනවිත් දෙව්මැදුරේ තැන්පත් කරන ලදුව ක්‍රි.ව. 1620 දක්වා එහි රැඳී පිහිටි බව වාර්තා වන්නේ ය.

මඩු සිද්ධස්ථානය මෙතරම් අප ජනතාව අතර වන්දනීය පුජා බිමක් බවට පත්වුයේ කුමක් නිසාදැයි විමසන්නෝ වෙති. එහි තැන්පත්කොට ඇති දේව මාතා ප්‍රතිමාව නිසාත් එහි ආරම්භයේදි සේවය කල බැතිමත් සුපේශල පියතුමන්ලා නිසාත්යැයි බොහෝ දෙනා පවසති. අද දක්වාම එක්තරා "සමනසු ස්වාමි" හෙවත් "සුරදුතික ස්වාමි" යනුවෙන් හඳුන්වනු ලබන පියතුමකු ගැන පැරැන්නෝ කතා කරති. එතුමන් දෙව්මැදුර තුළ භූමදාන කැර ඇතැයි ද පවසති. එහෙත් අද දක්වා ඒ කවුරුන්දැයි ස්ථීර ලෙස හැඳින නැත. මඩු දෙව් මැදුර තුළින් ගෙන යන වැලි පස සුවදායි බව ආදියේ සිට අද දක්වා විශ්වාස කෙරේ. එයද මෙම "සමනසු ස්වාමි" භූමිදාන කැර ඇති නිසායැයි කියනු ලබයි. එහෙත් වඩාත් එයට හේතු වන්නේ මෙහි පළමු මීසම් භාර පියතුමා ලෙස සේවා කළ ඔරතෝරියාන නිකායික පේඩ්‍රෝ ෆෙර්‍රඕ පියතුමන් එහි පස ආශිර්වාද කළ නිසා බව පිළිගනු ලැබේ. මෙතුමා ක්‍රි.ව. 1697 සිට 1727 දක්වා මෙහි සේවා කොට බැහැරව ගොස් ස්වර්ගස්ථ ව පුත්තලමේ භූමදාන කරන ලදැයි වාර්තාවල දැක්වේ.

මඩු සිද්ධස්ථානයේ ජූලි මස පැවැත්වෙන මංගල්‍යය ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව.1866 දීය.  එ ගරු පවුසින් පියතුමන්ගේ ඉල්ලීම පරිදි අති උතුම් සැමේරියා රදගුරු හිමිපාණන්ගෙන් අවසර ලැබීමෙන් පසුවය. අගෝස්තු 15 වැනි දා පැවැත්වෙන මංගල්‍යය ආරම්භ වී ඇත්තේ කලකට පසුවයි. එය වඩාත්ම පාසල් සිසු-සිසුවියන් ගේ නිවාඩු පහසුව සලකා පැවැත්විණි. මේ සඳහා ප්‍රබල ඉල්ලීමක් කළෝ එවකට යාපනයේ සාන්ත පැට්‍රික් මහා විදුහලේ අධ්‍යක්ෂ ගරු චාර්ල්ස් සෝබ්‍රි මැතිව්ස් නි.ම.නි. පියතුමන් ය. මේ අනුව 4000ක් පමණ සිංහල බැතිමතුන් පැමිණ සිටි 1932 දී පවත්වන ලද මංගල්‍යයට එවකට කොළඹ සාන්ත ජෝශප් මහා විදුහලේ ගුරු මඬුල්ලේ සේවා කළ ගරු ටී.බී. කුරේ පියතුමන් ද (පසුව අප කාදිනල් උතුමාණෝ) සහභාගි වු බව වාර්තා වන්නේය. එතුමන් අගෝස්තු 14 වැනි දින සැන්දෑවේ ඉටිපහන් රැගත් පෙරහරින් ඉක්බිති ගුහාව ඉදිරිපස දේශනය පවත්වා ඇත.

(මෙම ලිපිය සකා කැර ගැනීම සඳහා ගරු ඒ.ජේ.බී. ඇන්ටනයිනස් පියතුමන්ගේ The Chronical of the Sanctuary of Our Lady Of Madhu නමැති ග්‍රන්ථයෙන් මෙන්ම ෆර්නාඕ ද ක්වෙයිරොස්ගේ Temporal and Spiritual Conquest Of Ceylon ග්‍රන්ථයෙන් දත්ත ලබ ගත් බව ගුණවත්ව සඳහන් කරමි.)

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
උපුටා ගැනිම - 2010 අගෝස්තු 15 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපය
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ