ගිවිසුම් කරඩුව

ගිවිසුම් කරඩුව
Photo by Igor Rodrigues / Unsplash

සමස්තයකට ගත් කල පුරාණ ගිවිසුමේ දේව වන්දනාවේ සංකේන්ද්‍රය වූයේ ගිවිසුම් කරඬුව වේ. එය හිබෲ බසින් אֲרוֹן הַבְּרִית (aron ha-brit) ලෙස ද , ග්‍රීක බසින් Κιβωτός της Διαθήκης ලෙසද හැඳින්විණි.

ගිවිසුම් කරඩුවෙන් සංකේතවත් වූයේ යාවේ දෙවියන් වහන්සේගේ වැඩසිටීම වේ. දේව වචනයට අනුව ගිවිසුම් කරඬුව තුළ තැන්පත් කර තිබුණේ " මන්නා දැමූ රන් බදුනත්, ආරෝන්ගේ දලු ලෑ සැරයටියත් සහ දස පනතේ පුවරු දෙකක් වෙයි" ( හේබ්‍රෙව් 9/ 4)

දේව මාලිගාව ගොඩනැඟීමට පෙරාතුව දේව ජනතාවක් බවට සීනයි ගිවිසුමෙන් පත්වූ ඊශ්‍රායල් ජනතාව ස්වාමීන් වහන්සේට පූජාසනයක් ද, ශුද්ධස්ථානයක් ද ඉදිකොට ( නික්මයාම 26 - 40 දක්වා වූ පරිච්ඡේද ) දසපණත ගිවිසුම් කරඩුව තුළ බහා , ස්වාමීන් වහන්සේට මණ්ඩපයක් තනා වන්දනාමාන කළ බව සඳහන් වේ. නික්මයාම ගමන තුළ ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම දේවජනතාව අත්දුටුවේ ඒ මත වලාකුළක් පතිත වීම තුළිනි. දේව වචනය තුළ සඳහන් වන්නේ " මෙම මණ්ඩපය සමිදාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේය. එම නිසා මෝසෙස් තුමාට වත් ඒ තුළට ඇතුළුවීමට නොහැකි වූ බවයි ." ( නික්මයාම 9/15- 23, 40/ 34) .

ඒ එසේ නම් ස්වාමින්වහන්සේගේ ගෘහය , උන්වහන්සේ වැඩ සිටින ස්ථානය වේ. එය මුළුමනින්ම ශුද්ධ වන අතර ඒ තුළ කිසිදු අපවිත්‍ර දෙයක් නොමැත. එය අපවිත්‍ර කළ ද නොහැකිය.  කිතුනුවන් ලෙස මෙය අප මැනවින් ම වටහාගත යුතු සත්‍යතාවක් වේ. ඒ අනුව පුරාණ ගිවිසුමේ ම ස්වාමින්වහන්සේගේ සම්මුඛ මණ්ඩපයේ සිට , පසුව දේව මාලිගාව ද, සිනගෝග හෙවත් ධර්මශාලා සම්ප්‍රදාය ද ගලා ආවේ මෙම ශුද්ධත්වය සහ ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීමයි. එම නිසාම පුරාණ ගිවිසුම තුළ විවිධාකාර යුදමය වාතාවරණයන් පැවති සමයන්හිදී ගිවිසුම් කරඬුව රැගෙන යාමෙන් දෙවියන් වහන්සේ අප සමග ය යන හැඟීම මිනිසුන් තුළ ජනිත වී තිබුණි.

ගිවිසුම් කරඬුව තුළ අන්තර්ගත වූ   " මන්නා දැමූ රන් බදුන තුළින් ස්වර්ගීය භෝජනය ද, ආරෝන්ගේ දලු ලෑ සැරයටිය තුළින් අඛණ්ඩ පූජක, රාජකීය සහ ස්වාමින් වහන්සේට කැපවූ  පෙළපත ද  සහ දස පනතේ පුවරු දෙක තුළින් දේව වචනය ද අපට පෙන්නුම් කරයි. (හේබ්‍රෙව් 9/4)

නව ගිවිසුම තුළ ගිවිසුම් කරඬුව වන්නේ මරිය වහන්සේ ය, ස්වර්ගීය භෝජනය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වන අතර ද, ආරෝන්ගේ දලු ලෑ සැරයටිය අපෝස්තුලුවරුන්ගේ සම්ප්‍රදාය ඔස්සේ එන්නාවූ ශු. සභාව නම් ක්‍රිස්තුස් වහන්සේ ද පුරාණ ගිවිසුමේ දස පනතේ පූවරු දෙක වෙනුවට නව ගිවිසුමේ සුභාරංචිය වන ක්‍රිස්තුස් වහන්සේ පිළිබිඹු වේ, සංකේතවත් වෙයි.

පොදුවේ ගත් කල මරිය වහන්සේ තුළින් ලොවට ජන්තිව පරිපූර්ණ දේව පුත්‍රයාණන් වහන්සේ පිළිබඳ සංකල්පය මෙමඟින් ධ්වනිත වේ.

සටහන - අසේල දසනායක