බයිබලය ඉංග්‍රීසියට හැරවූ වරදට විලියම් ටින්ඩේල් කතෝලික සභාවෙන් මරණයට පත් කලාද?

බයිබලය ඉංග්‍රීසියට හැරවූ වරදට විලියම් ටින්ඩේල් කතෝලික සභාවෙන් මරණයට පත් කලාද?

ලතින් බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම නිසා "කතෝලික සභාව" විලියම් ටින්ඩේල් යන හිටපු කතෝලික පූජකවරයා මරා දැමූවා යැයි ඉතිහාසය හරි හැටි නොදත් සමහර ප්‍රොතෙස්තන්තවාදීන් පවසා ඇති බව දුටුවා. ඔහු මරණයට පත් කිරීමට ඇන්ග්ලිකන් සභාවේ නිර්මාතෘ 8 වෙනි හෙන්රි රජතුමා එම චෝදනාව යොදා ගත්තත්, එසේ කලේ තමාගේ වෛරය පිරිමසා ගන්නට ගන්නා පියවර සාධාරණීකරනය කර ගැනීමට බව ඔබ සත්‍ය ඉතිහාසය කියවා දැනුවත් ව සිටිනවාද?

අන්තිම වචන

ටින්ඩේල්ගේ මරණයට පත් කිරීමට කලින් ඔහු විසින් කී අවසාන වචන මොනවාද කියා දන්නවාද? ""Lord! Open the King of England's eyes." - එනම් "දෙවියනි, එංගලන්තයේ රජුගේ දෑස් විවර කල මැනව!" "කතෝලික සභාව" විසින් ඔහුට මරණ දඬුවම ලබා දුන්නේ නම් ඔහුගේ අන්තිම වචන රජු ගැන වූයේ ඇයි?

ඔහුව මරණයට පත් කලේ ශු.රෝම අධිරාජ්‍යයා වන 5 වන චාල්ස් විසින් එංගලන්තයේ 8 වැනි හෙන්රි රජතුමාගේ කීමට බව ඔබ දන්නවාද? ඊට හේතුව ඔහු බයිබලය පරිවර්තනය කිරීම නොවේ! කෙසේ හෝ මරණ දඬුවම සාධරණීකරණය කිරීම සඳහා ටින්ඩේල් බයිබලය පරිවර්තන කිරීම යොදා ගත්තේ - එක්තරා රටක හිටපු යුධ හමුදාපති ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පලිගෙන ඔහු සිරබත් කිරීමට එක්තරා ජනාධිපතිවරයකු 'රාජකාරි සේවා කාලය තුල දේශපාලනය කිරීම' යන චෝදනාව යොදා ගත්තා වාගේ ය.

වියරුවට හේතුව

ටින්ඩේල් විසින් 8 වැනි හෙන්රි රජු ආර්ගොන් හි කැතරින් සමග ඇතිකරගත් විවාහය අවලංගු කිරීමට එරෙහිව, එය ශුද්ධවූ වචනයට එරෙහිව යාමක් සහ හත්වන ක්ලෙමන්ට් පාප්වහන්සේ සමග අනවශ්‍ය පැටලීමක් ඇති කරගැනීමට හේතුවක් වන බව කරුණු දක්වමින් "The Practice of Prelates" නමින් ලේඛනයක් ලියා ප්‍රසිද්ධ කලා. මෙය හෙන්රි රජු ගේ ඉමහත් කෝපයට හේතුවූ අතර ආරක්ෂාව පතා එංගලන්තයෙන් පිටත ගොස් සැඟවී සිටි ටින්ඩේල්ව වහාම අත් අඩංගුවට ගෙන එංගලන්තයට භාර දෙන ලෙස ඉල්ලමින් එකල ශු.රෝම අධිරාජ්‍යයාවූ 5 වන චාල්ස් රජතුමා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කලා. අධිරාජ්‍යයා එසේ ඔහු එංගලන්තයට භාර දෙන්නට සාක්ෂියක් අවශ්‍ය යැයි දැනුම් දුන් විට හෙන්රි රජු විසින් ටින්ඩේල් පරිවර්තනය කල බයිබලය අධිරාජ්‍යයාට ලබා දුන්නා. එංගලන්තයේ බයිබල් පරිවර්තනයට එරෙහිව මරණ දණ්ඩනය පනවමින් සිනෝඩයක් පවත්වා තීරණය ප්‍රසිද්ධ කර තිබූ නිසා පැවති නීතියට පටහැනි දෙයක් ටින්ඩේල් විසින් අනවසරයෙන් කල නිසා නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ දීමට චාල්ස් රජතුමාට සිදුවුනා.

ටින්ඩේල්ට පෙර බයිබලය ඉංග්‍රීසියට පරිවර්තන කිරීම

ටින්ඩේල් බයිබලය පරිවර්තනය කිරීමට වසර 150 කට පමණ පෙර ජෝන් වයික්ලිෆ් නැමැත්තෙක් විසින් ලතින් බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය කල අතර, එය පරිවර්තන දෝෂ බොහෝමයක් අඩංගු වූ නිසා වැරදි ඉගැන්වීම් බොහෝමයක් අඩංගුවූවක් වුනා. මේ පිලිබඳ තීරණයක් ගැනීමට ඔක්ස්ෆර්ඩ් හි පැවති සිනෝඩයකට භාර වු අතර එහි තීරනය වූයේ වයික්ලිෆ් පරිවර්තනය වැරදි ඉගැන්වීමක් ලෙස ස්ථීර කොට සියලු පරිවර්තන විනාශ කර දමන ලෙස නියෝගයක්ද ලබා දීමයි. එලෙසම මින් ඉදිරියට නිසි අවසරයකින් තොරව බයිබල් පරිවර්තන සිදුකිරීම මරණීය දණ්ඩනය ලැබෙන වරදක් බවට පත්කරමින් නියෝගක් පනවන ලදී.

හෙන්රි ‍රජුගේ කෝපය

ඉහත ඔක්ස්ෆර්ඩ් හි සිනෝඩය තමාගේ වාසියට යොදාගත් හෙන්රි රජතුමා ටින්ඩේල් එංගලන්තයට ගෙන්වා ගැනීමටත්, ඔහුට මරණ දණ්ඩනය ලබා දීමටත් - ඒ නීතිමය හිඩැස යොදා ගත්තා. වයස අවුරුදු 17 දී එංගලන්තයේ රජකමට පත් 8 වන හෙන්රි රජු තමට ඇති අභියෝග ඉවත් කිරීම සඳහා මිනි මැරීමට පටන් ගත්තේ රජකමට පත්වී දවස් දෙකකින් පසු තම පියාගේ ඉතා විශ්වාසවන්ත ඇමතිවරුන් දෙදෙනෙක් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා මරා දැමීමෙන්. බයිබලය පරිවර්තනය මරණීය දණ්ඩනයට සඳහා වලංගු වරදක් යන කාරණාව ඔහු විසින් යොදා ටින්ඩේල් මරා දැමූයේ ටින්ඩේල් රජු තමාගේ අභිමතය මත කැතරින් රැජිණ දික්කසාද කිරීමට එරෙහිව ලියූ ලිපිය නිසා මිස සත්‍ය වශයෙන්ම බයිබලය පරිවර්තනයෙන් සිදුවූ ආගමීක කාරණාවක් මත නොවේ.
ශුද්ධ රෝම අධිරාජ්‍යයා හෙන්රි රජතුමාගේ ඉල්ලීමට එකඟ වූයේ නීතිමය වශයෙන් සාක්ෂි සහිතව

කෙනෙකු වරදකාරයෙක් බව පාර්ශවයන් දෙදෙනාගෙන් ඕනෑම කෙනෙක් තම පාලන ප්‍රදේශය සැඟවී සිටින වරදකරුවෙකු නීතියට ඉදිරිපත් කිරීම සඳහා භාර දීමට එකඟ වෙමින් කැම්බ්‍රයි හි ගිවිසුම නම් ගිවිසුමකට එංගලන්ත රජු සමග අත්සන් තබා සිටි නිසා මිස රෝමයේ පාප් වහන්සේගේ නියමය මත බයිබලය පරිවර්තනය කිරීමේ මහා පාපකර්මය නිසා නොවේ.

අවස්ථාවාදී වියරු වාදියා

කෙසේ වෙතත් තමා විවේචනය කල ටින්ඩේල් 1536 දී මරා දැමූ 8 වැනි හෙන්රි රජතුමා, යම් කිසි සරදමකට මෙන්ම වාගේ ටින්ඩේල්ගේම 1528 දී එලිදැක්වූ ලියවිල්ලක් වූ "ක්‍රිස්තියානි මිනිසාගේ කීකරුකම" යන ලිපිය භාවිතයට ගනිමින් ටින්ඩේල් මරා දැමීමට වසර 6 කට ප්‍රථම රෝමයෙන් වෙන්වීමය අවශ්‍ය සාධාරණීකරණය ලබා ගෙන තිබීමයි.

හැරී බලන විට අවසානයේ ටින්ඩේල් හට සිදුවූයේ හෙන්රි රජතුමා රෝමයෙන් වෙන්වීමට අවශ්‍ය අඩිතාලම දැමීමට යම් කිසි දේවධර්මික පදනමක් ලබා දීමත්, ඒ රජතුමාගේ ම රෝමයෙන් වෙන්වීමට ගත් තීරණයට මූලික වූ දික්කසාදය ගැන කතා කිරීමට ගොස් ජීවිතය නැති කරගැනීමත් ය.

මෙනිසා මෙවන් වටාපිටාවක් සහ ඉතිහාසයක් ඇතිව එංගලන්තයේ රජුගේ වියරුව නිසා මැරුම් කෑ ටින්ඩේල් ගැන කතෝලික සාන්ත ඔගස්තීනු හෝ ඇක්වයිනස් තුමන්ලා අදහස් ප්‍රකාශ කිරීම අනවශ්‍ය අතර පාප් වහන්සේලාට සම්බන්ද දෙයක් නොවන නිසා පාප්වහන්සේලාද අදහස් ප්‍රකාශ කිරීමේ කිසි අවශ්‍යතාවයක් නැති බව ඔබ සැබෑ ඉතිහාසය අධ්‍යනය කලොත් දැනගන්නා බව ස්ථීරයි!

ඔබට ජේසු පිහිටයි!

~ Kithunu LK