තේවත්තේ මහා පුදබිම

තේවත්තේ මහා පුදබිම

පෙබරවාරි 04 වන දිනය ශ්‍රී ලාංකීය අප සැමට ඉතාමත් වැදගත් දිනයකි. ඒ එදින අප එකම රටක ජනතාවක් ලෙස මහත් අභිමානයෙන් යුතුව අපගේ රටේ නිදහස් දිනය සමරණ බැවිනි. එදින තවත් වැදගත් අයුරකින් ඉතා වැදගත් දිනයක් වන්නේය. ඒ කතෝලික බැතිමතුන්ටය. අපගේ රට කැප කර ඇති ලංකා අප ස්වාමි දු මංගල්‍ය අප එකම කිතුනු පවුලක් ලෙස එදින සමරන්නේ ඉතා සාඩම්බරයෙනි.

එබැවින් තේවත්තේ පිහිටා ඇති ලංකා අප ස්වාමි දු බැසිලිකා සිද්ධස්ථානය පිළිබඳවත් එහි වර්තමානය මෙන්ම අතීතය පිළිබඳවත් මුද්‍රිත මාධ්‍යයෙන් කරුණු ගෙනහැර පෑම තුළින් අප ජාතික වස්තුවක් සේ සැලකෙන එය පිළිබඳව වැදගත් තොරතුරු අප මනස් තුළ ධාරණය කර ගැනිමට මෙම ලිපිය සුළු පමණකින් හෝ ඉවහල් වේය යන අරමුණ ඇතිව මෙසේ ලියමි. මෙකී කරුණු කතෝලිකයන් වන අප විසින් දැනගත යුතුමය යන්න මාගේ අදහසයි.

තේවතු පුදබිමේ ඉතිහාසය

මෙහි ඉතිහාසය ඇරඹෙන්නේ 1911 වසරේදී ලුර්දු මැණියන්ගේ ගෞරවය සදහා ඉදිකරනු ලැබු කුඩා පැල්පත් දෙව්මැඳුරකිනි. ඒ සඳහා මුලික වුයේ නිමල මරිය නිකායික ගරු ඒ. කීගර් පියතුමා සමඟ එකමුතු වු කුඩා ගිහි පිරිසකි. ඊට වසර 6 කට පසු, එනම් 1917 නොවැම්බර් 11 වන දින ගරු ඒ. කොලරෙක් නි.ම.නි. පියතුමන් විසින් මෙම පැල්පත් දෙව්මැදුර අසළ කුඩා ලුර්දු ගුහාවක් ඉදි කරන ලදි.

1930 වසරේදි මෙම කුඩා දෙව්මැඳුරත්, ලූර්දු ගුහාවත් පුළුල් කොට ඉදි කෙරුණී. ආරම්භයේදි මෙය රබර් වතු යායක් විය. එවකට මෙය හැඳින්වුයේ "ඔරෙන්ජ් හිල්" නමිනි. 1938 වසරේදි දෙවැනි ලෝක මහා යුද්ධය ඇරඹුනු අතර, හිට්ලර් විසින් යුරෝපය යටපත් කරගනිමින් ද, ජපානයේ හිරෝහිතෝ රජු විසින් කොරියාව, සිංගප්පූරුව, මියැන්මාරය, මැලේසියාව, පිලිපීනය ආදි රටවල් ආක්‍රමණය කොට තිබුණි. ඔහුගේ මීළඟ ඉලක්කය වුයේ ශ්‍රී ලංකාවයි. ඒ සඳහා වු බලවත්ම හේතුව නම් ත්‍රිකුණාමලය වරායේ සිට ඉන්දියාව තරම් විශාල රටක් වුවද ආක්‍රමණය කිරිමට එය ඉතා හොඳ බලකොටුවක් බව ඔහුන් දැන සිටිමයි.

එවකට කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණෝ තේවත්තේ කුඩා දෙව්මැඳුර වෙත ගොස් 1940 මැයි මස 26 දා දෙව්මව් මැදිහත්කම තුළ අප රට බේරා දෙන ලෙසත්, එයට තුති පීදිමක් වශයෙන් තේවත්ත භුමිය තුළ බැසිලිකා දේව මන්දිරයක් සාදන බවටත් බාර වුහ.
1924 අප්‍රේල් මස 5 වනදින පාස්කු ඉරුදින විය. එදින උදෑසන ගුවන් යානා 72ක් පැමිණ කොළඹ හා ඒ අවට බෝම්බ හෙලනු ලැබුවේය. දෙවැනි පිපිරිම සිදුවුයේ ත්‍රිකුණාමලය වරායේ පිහිටි තෙල් ටැංකියකට මරාගෙන මැරෙන ගුවන් නියමුවෙක් යානයක් සමඟ කඩා වැදීමෙන්‍ ය. මුළු දිවයිනම බියෙන් තැති ගත්තේය. එහෙත් අගරදගුරු හිමිපාණෝ දැඩි විශ්වාසයකින් යුතුව අපගේ දිවයින ආදර මෑණියන්ගේ සුරතට බාර කළේය. මුළු මහත් ලංකාද්වීපයම තම සුරතේ තබා රැකගත් අප ආදරණීය මැණියන් ඒ මහා සංග්‍රාමයෙන් අප රට බේරා දුන්නේ ප්‍රාතිහාර්යමය ලෙසිනි. කෙසේ වුවද යුද්ධය 1945 වසරේ අගෝස්තු මස නිමා විය.

මේසා විශාල විපතකින් අපරට බේරා ගත් ආදරණීය මෑණියන්ට පොරොන්දු වු පරිදිම එතුමියට කෘතගුණ සැලකීමක් වශයෙන් තේ වතු පුදබිම තුළ විශාල දෙව්මැදුරක් ඉදිකිරිමට අතිඋතුම් මසෝන් හිමිපාණෝ තරයේ අදිටන් කරගත් හ. ඒ සමඟම 1948 පෙබරවාරි 15 වනදා අතිඋතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණන් විසින් අප නිමල මරියෝත්තමාවන් "ලංකාවේ අප ස්වාමි දු" වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් දෙවි සමිඳාණන් වහන්සේගේ කැමත්තට ඉඩ දෙමින් එතුමාණෝ 1948 ජුලි 28 වන දින මෙලොව හැර දමා ගියහ.

බැසිලිකා දෙව්මැඳුර ඉදිකිරීම ඇරඹේ

ඉන්පසු මෙම තනතුරට පත් වුයේ අති උතුම් තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් ය. එතුමාණන්ගේ හද තුළ අප ආදර මෑණියන්ට ඇති භක්ති ආදරයේත්, තමන් වෙත පැවරූ භාරදුර වගකීමේත් ප්‍රතිඵලයක් වශයෙන් තේවත්ත බැසිලිකා දේව මන්දිරය ඉදිකිරිමේ කටයුතු ආරම්භ වුයේය. මේ සඳහා පැමිණි ප්‍රධානතම අභියෝග දෙකක් වුයේ, ඇතැමුන්ගේ කටුක විවේචන හා මුදල් හිඟයයි. නමුදු ඒ සැම දේව හස්තයට භාර කල එතුමාණෝ  ධෛර්යවන්ත ලෙස තම යුතුකම ඉටුකිරිමට ඉදිරිපත් වුහ.

බැසිලිකාවේ මුල් ගල තැබිම

බැසිලිකාවේ මුල් ගල තැබිම සිදුවුයේ 1951 පෙබරවාරි 4 වනදා  උදේ වරුවේ පැරණි ගුහාවේ පවත්වන ලද දිව්‍ය පුජා මෙහෙයකින් අනතුරුව ය. ඒ වන විට එම භුමිය ඉඳි, කැප්පෙට්ටියා, එරමිණියා වලින් ගහන වු අව් රශ්මියෙන් හොඳට පදම් වු පාලු කඳුකරයක් මෙන්‍ විය.

ලංකා අප ස්වාමි දු ප්‍රතිමාව අප මව්බිමට ගෙන ඒම

ලංකා අප ස්වාමි දු ප්‍රතිමාව අප මව්බිමට එන ඒම සිදුවුයේ, 1952 වසරේදිය. පාතිමා නුවර තෙඩිම් නම් වු ලී කැටයම් කරුවකු විසින් මෙය නිමවන ලඳුව එය ගරු. ක්ලොඩ් ලෝරන්ස් නි.ම.නි. පියතුමන් විසින් රෝමයට ගෙනයනු ලැබ, ඉන් අනතුරුව එම වසරේ නොවැම්බර් 5 වන දින 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ගෝවේ නුවරදි දෙසැම්බර් 6 වන දින එය අප කාදිනල් හිමිපාණන්ට දෙනු ලැබ එතුමාණන් විසින් එය දින 5 කට පසුව, එනම් දෙසැම්බර් 11 වැනි දින කොළඹ වරායට සැප්ත් වු "සෆිනා-එ-අරබි" නම් වු නෞකාවෙන් කොළඹට ගෙන එන ලදි. මේ අවස්ථාවට පුජක පැවිදි අයද , කොටහේන , කොච්චිකඩේ, මෝදර ආදි බැතිමත් මීසම් ජනතාවද විශාල පිරිසක් සහභාගි වුහ.

සැරයටිය අත දැරිම

ප්‍රතිමාව පිළිගැනිමේ කටයුතු සුළු යාච්ඥා මෙහෙයකින් ඇරඹුණ අතර එහිදි අගරදගුරු හිමිපාණන්ගේ නිල සැරයටිය අල්ලාගෙන සිටියේ ස්වර්ගස්ථ විශ්‍රාමික අගරදගුරු තැන්පත් අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ය. එතුමාණෝ සැරයටිය අත දැරූ පළමු අවස්ථාව එය වු අතර එන්පසු එය නිල වශයෙන්ම අතදරා සිටිමේ වරම එතුමාණන්ට හිමිවිය.

ප්‍රතිමාව තේවත්තට ගෙන යාම

ඉන්පසු ප්‍රතිමාව පෙරහරකින් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරට ගෙන යනු ලැබ, ඉන් අනතුරුව 1952 දෙසැම්බර් 12 වන දින අතිඋතුම් ඉග්නේෂස් ග්ලෙනි ජේ.නි. ත්‍රිකුණාමලය හිටපු රදගුරු හිමිපාණන් විසින් තේවත්තට ගෙන යන ලදි.

නව ලුර්දු ගුහාව

බැසිලිකා දෙව්මැදුරේ ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය ගල් වැඩි ප්‍රමාණයක් නව ලුර්දු ගුහාව පිහිටි බිම් කොටසිනි. එය මුල් බිම් කොටසට එක්වුයේ 1950 ජුනි 12 දිනදිය. මෙය විශාල ගල් පර්වතයකි. මෙම ගල් පර්වතය වෙඩි තබා බිදින විට එයින් මතු වු කුඩා දිය උල්පතක් ගුහාවේ දකුණු පසින් පිහිටා ඇත. මෙයින් කාන්දු වන පානීය ජලය එකතු කරගැනිමට කුඩා ටැංකියක් ඉදිකර තිබේ. නව ලුර්දු ගුහාව ආසිරි ගන්වන ලද්දේ, 1959 පෙබරවාරි 11 දින ලුර්දු මැණියන්ගේ මංගල්‍ය දිනදිය. ලුර්දු පුදබිමේ මෙන්ම තේවත්තේ ද ගුහාව පහළින් හා බැසිලිකාව ඊට ඉහළින් ඉදිකිරිම් කාදිනල් හිමිපාණන්ගේ අභිමතය වු අතර එය එසේම වීම භාග්‍යකි.

බැසිලිකාව කැප කිරිම

දේවාශිර්වාදයෙත්, අප්‍රතිහත ධෛර්යයෙත් ප්‍රතිඵලයක් ලෙසින් තේවත්ත බැසිලිකාවේ වැඩකටයුතු හමාර වුණු අතර, 1974 පෙබරවාරි මස 6 වැනි දින 6 වන පාවුළු ශුද්ධෝත්තම පියතුමන්ගේ අවසරය මත ලංකා අප ස්වාමි දු ප්‍රතිමාවට ඔටුනු පැළඳවිමේ බලය අප කාදිනල් හිමිපාණන් ට හිමි විය. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ හැම රදගුරු තුමකුම සහභාගි වීම කැපි පෙනුනි. පියතුමන්ලා බොහෝ දෙනෙකුගේ සහයෝගයෙන් වැඩ කටයුතු සංවිධානය වුණු අතර, එම කටයුතු නිරීක්ෂණය බාරව තිබුනේ අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ටය.

" කරුණාබර අත පා" ගීතිකාව

මෙම සුවිශේෂී අවස්ථාවට ඒ වෙනුවෙන්ම ගීතීකාවක් නිර්මාණය කරවා ගැනිම කාදිනල් හිමිපාණන්ගේ අරමුණ විය. මේ අනුව හියුබත් දිසානායක ශුරින්ගේ පද සංකල්පනාවක් හා සංගීත ඇඳුරු සුනිල් සාන්ත ශුරින්ගේ සත්සර මුසුවක ප්‍රතිඵලයක් වශයෙන් "කරුණාබර අත පා - යුධ රකුසා නෙරපා" ගිතිකාව ගුවනට මුසුවිය. එදා එම ගීතය ගායනා කරනු ලැබුවේ, ජනප්‍රිය ගායක අයිවෝ ඩෙනිස් ශුරින්‍ ය. අද වුවද මෙම ගිතිකාව සවන් වැකෙත්ම අපගේ ඇග කිලි පොලා යන්නේ එහි ඇති අපුර්ව වු සංකලනය නිසා පමණක් නොව , දෙව් මවුන්ගේ මඟ පෙන්විමත් මැදිහත් භාවයත් ඒ තුළ ගැබ් වී ඇති නිසා යැයි මට සිතේ.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ, මෙවන් ජාතික වස්තුවක උරුමකරුවන් වීමට අපි සැම භාග්‍යයවන්තයන් විය යුතු වෙමු. එබැවින් තේවත්ත බැසිලිකා දෙව්මැදුරේ අගය මැනවින් වටහාගෙන , එය පිළිබඳව දැනුවත් වීමත්, මුළු හදවතින්ම එයට ආදරය කිරිමත්, එය ආරක්ෂා කර ගැනිමත් අපගේ වගකීමයි. ඒ වෙනුවෙන් අපි සැමදින අප ආදර මෑණියන් ගේ මැදිහත්කම ලබා ගැනිමට එතුමිය අයදිමු.

ලංකා අප ස්වාමිදු මාතාවෙනි, අප රට උදෙසා මැදිහත් වුව මැනව!...

සටහන - ගරු එරංග ලක්ශ්‍රිත ද සිල්වා පියතුමා
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ