ප්‍රාණපරිත්‍යාගී ශු. තෝමස් බෙකට් මුනි මංගල්‍යය - දෙසැම්බර් 29

ප්‍රාණපරිත්‍යාගී ශු. තෝමස් බෙකට් මුනි මංගල්‍යය - දෙසැම්බර් 29

නත්තල් සතියේ සැමරෙන සාන්තුවර මංගල්‍යය අතර ප්‍රාණපරිත්‍යාගී මංගල්‍යය තුනකි. ඉන් එකක් වන්නේ දෙසැම්බර් 29 දාට යෙදෙන ශු. තෝමස් බෙකට් මුනිඳුන්ගේ මංගල්‍යයයි.

එංගලන්තයේ බිහිවූ සාන්තුවරුන් අතරින් කෙනෙක් වන තෝමස් බෙකට් තුමා (1118 - 1170) වනාහි කැන්ටබරියේ හිටපු අගරදගුරු තුමෙක් හා මහ බ්‍රිතාන්‍යයේ රජුගේ චාන්සෙලර්වරයෙකි. දේශපාලනයට අවශ්‍ය දේ දහම තුළ ඉටුනොකිරීමේ වරදට, රජුගේ සිතුම් පැතුම් තෘප්තිමත් නොකිරීමේ වරදට රාජ උදහසට ලක්ව මැරුම්කෑ සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෙකි.

ශාසන නීතිය පිළිබඳ හසල දැනුමකින් යුක්තවූ බෙකට් හට එංගලන්තයේ ආගමික නායකත්වය මඟින් අග්‍ර තේවාචාර්ය ධුරයත්, රාජ්‍ය නායකත්වය මඟින් චාන්සෙලර් ධූරයත් පිරිනමා තිබිණි. ඒ අනුව එතුමා බ්‍රිතාන්‍යයේ දෙවන හෙන්රි රජු යටතේ සේවය කරමින් සිටියේ ය. එකල මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන කතෝලික ගුරුවසම වූ කැන්ටබරියේ අගරදගුරු ධුරය පුරප්පාඩු වූයෙන් රජුගේ බලවත් පෙරැත්තය මත බෙකට් 1162 දී අකමැත්තෙන් එම තනතුර බාරගත්තේ ය. ඒ සඳහා පූජකවරය ලබාගන්නටද සිදුවූයේ එතුමා තේවාචාර්යවරයෙක් පමණක් වූ බැවිනි.

කැපීපෙනෙන වෙනසක ආරම්භයට, සුවිශේෂී පෙරැළියකට මඟ පෑදුණේ ඉන්පසුවය. එතෙක් ඉංග්‍රීසි රජුට අවනතව සේවය කරමින් සිටි බෙකට් තුමා ක්‍රිස්තු රජාණන්ට අවනතව සේවය කිරීම ඇරඹුවේ ය. රාජ්‍ය අනුග්‍රහය යටතේ ලද වරප්‍රසාද එතුමා ඉවතලෑවේය. රජුගේ වැරදිසහගත ක්‍රියා හමුවේ අභීතව පෙනීසිටියේය. අපිස් දිවියකට හුරුවූයේය. රජු හා අගරදගුරු අතර ගැටුමක් පැනනැඟිණි. බෙකට් තමාට යටහත් පහත්ව සේවය කරනු ඇතැයි රජතුමන් තුළ වූ සිතුවිල්ල ව්‍යර්ථ විය.

කලක් ප්‍රංශයේ රැකවරණය ඇතුව සිටි බෙකට් අගරදගුරු තුමා 1170 දෙසැම්බර් මුල පෙරළා  එංගලන්තයට ආ අතර තම ආසන දෙව්මැදුර වන කැන්ටබරියේ ආසන දෙව්මැදුර තුළදීම 1170 දෙසැම්බර් 29 දා රජුගේ නයිට්වරුන්ගේ මෙහෙයවීම මත කඩු මුගුරු වලින් පහරදී ඝාතනය කෙරිණි. ප්‍රාණපරිත්‍යාගීවරයෙක් ලෙස බුහුමනට පාත්‍රවූ එතුමා 1173 දී ශුද්ධවරයට ඔසවනු ලැබිණි.
දේශපාලනය හා ආගම අතර පවතින්නේ කැපීපෙනෙන වෙනසක් බවත්, මිහිපිට රජුන්ට සේවය කිරීම නොව සැබෑ රජුට සේවය කිරීම වඩා යෝග්‍ය බවත් තම ජීවිතයෙන්ම පසක් කළ කැන්ටබරියේ අගරදගුරු ශු. තෝමස් බෙකට් මුනි චරිතය අප හැමට ආදර්ශයකි.

ප්‍රකට ඉංග්‍රීසි සාහිත්‍යධරයකු වූ ටී.එස්.එලියට් 1935 දී නිර්මාණය කළ "Murder in the Cathedral" නාට්‍යයට පාදක වූයේ මෙම ඓතිහාසික පුවතයි. 1901 දෙසැම්බර් 29 දා එතුමාගේ මංගල්‍යය දා මෙරට ඉපිද එතුමාගේ නම දැරූ තවත් අගරදගුරු තුමෙක් වූයේ කොළඹ හිටපු අගරදගුරු දේවසේවක තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් ය.

සටහන ~ මාධව ජයකොඩි