සොබාදහමේ මුනිඳා අසීසියේ ශු. ෆ්‍රැන්සිස් තුමා

සොබාදහමේ මුනිඳා අසීසියේ ශු. ෆ්‍රැන්සිස් තුමා

උතුරු ඉතාලියේ අසීසියෙන් ලොවට තිලිණ වූ ශු. ෆ්‍රැන්සිස් මුනිතුමා සොබාදහමේ නාමසාන්තුවරයා මෙන්ම සතුන්ගේ ආරක්ෂක මුනිවරයා ලෙස බුහුමන් ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සත්ත්ව දිනය ලෙස නම්කර ඇත්තේ එතුමාගේ මංගල්‍යය යෙදෙන ඔක්තෝබර් 04 වන දාය.
එතුමන් තමන්ව හඳුනාගත්තේ සොබාදහමේම එක් කොටසක්, තවත් පුරුකක් ලෙසිනි. හිරු, සඳු, තුරුලතා, සතා සීපාවා එතුමන්ට පෙනුණේ තම සොයුරු සොයුරියන් ලෙසිනි. සිය පැවිදි වත ලෙස එතුමන් තෝරා ගත්තේ මහ පොළොවේ පැහැය ගත් දළ රෙදි කඩකි.

එතුමා සිය කුටිය සමීපයේ ළැග උන් පක්ෂියකු අමතා දේව ප්‍රශංසා ගයන ලෙස ඉල්ලූ බවත්, තවත් විටෙක තම දෙසුම ඇසීමට වැහිළිහිණි රංචුවක් යොමුකරගත් අයුරුත් එතුමාගේ දිවිපෙවෙත අපට ඉදිරිපත් කරයි.

අසීසියේ ගුබියෝ ගම බියෙන් තැතිගැන්වූ වෘකයෙක් වෙත දේව කරුණාව හා සෙනෙහස පා "වෘක සොහොයුර" යනුවෙන් ඌ අමතා දමනය කළ නියාවද අපට හමුවේ.එදා පටන් ඌ නුවරුන්ගේ සෙනෙහස ලබමින් විසූ බවද කියැවේ.

එතුමන් හැම මැවිල්ලක්ම දුටුවේ මැවුම්කරුවාණන්ගේ සටහනක්, ස්වරූපයක් හා සලකුණක් ලෙසිනි. සොබාදහම දෙවිඳුන්ගේ වැඩ විසීම ප්‍රකාශ කරන අතර එය උන්වහන්සේ වැඩසිටින ශුද්ධස්ථානයකි. සෑම ජීවී පදාර්ථයක්ම එකම මූල ධාතුවකින් එනම් දෙවිඳුන්ගෙන් නික්මෙන නිසා ඒ හැම නෑදෑයන් ලෙස සැලකීම එතුමන්ට අපහසු නොවුණි.

එතුමන් හා නන් අයුරින් සහ සම්බන්ධ වූ විවිධ සතුන්, කුරුල්ලන් පිළිබඳ තතු රාශියක් එතුමාගේ ජීවිත කතාවෙ හමුවේ. සහචර ශ්‍රමණයින් හට දර පිණිස සම්පූර්ණ ගස් කැපීම එතුමා තහනම් කළේ පසුව දළු ලෑමට ඒවාට ඉඩ තැබිය යුතු නිසාය. මල් සිටුවීම, මායිම්වල තණකොළ ඉතිරි කිරීම ආදිය එතුමා දිරිගැන්වූයේය.

පළමු ගවලෙන නිර්මාණය කළ එතුමා එහි සජීවී සතුන් තැබූ බව කියැවේ. එලෙසම එතුමන් නමට ආරෝපිත විවිධ කවි පැබැඳුම්වල සොබාදහමේ අගය, මැවිල්ලේ වෙසෙස මොනවට කියාපාන බව පෙනේ.

මේ සියල්ල මැද අසීසියේ පරිසර හිතකාමියා අදටත් අප හමුවේ තබන අභියෝගය නම් දෙවිඳුන් අපට උරුමකර දුන් මේ අගනා සොබාදහම පණ මෙන් සුරැකීමයි. අප එහි පාලකයින් නොව එහිම කොටස්කරුවන් බව මැනවින් වටහා ගෙන පරිසරය රකිමින් ඊළඟ පරපුරටද දායාද කිරීමය.

සටහන - මාධව ජයකොඩි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව