පාදුවාහී ශු. අන්තෝනි මුනිතුමා 2 කොටස

පාදුවාහී ශු. අන්තෝනි මුනිතුමා 2 කොටස

මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් 1 කොටස කියවලාම එන්න.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය පිළිබඳව. එතුමා ජීවත්ව සිටි කාලයේදී මෙන්ම මියගිය පසුත් ගණන් නොකළ හැකි තරම් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවී තිබෙනවා. ඔය ඔක්කොම ඉතින් මෙතන කියන්න බෑනෙ. ඒක නිසා එතුමාගේ ජීවිත කාලයේදී සිදුවූ ප්‍රාතිහාර්‍යය කීපයක් සඳහන් කරන්නම්. ඊට අමතරව ලෝ වැසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන එතුමාගේ ශු. ධාතු ගැනත් සඳහන් කරන්නම්. එහෙනම් ලිපියට යමු.

🔸මම කලින් ලිපියෙ මුලින්ම දාලා තිබුනු ශු. අන්තෝනි මුනිතුමාගේ පින්තූරය දකින්න ඇතිනෙ.  ඕගොල්ලො දන්නවනෙ රජ කෙනෙකුගේ හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ සිතුවමකදී අදාළ පුද්ගලයකුගේ ජීවිතයට සම්බන්ධ දේවල් නිරූපණය කරනවා. උදාහරණයකට කියනවා නම් බුද්ධදාස රජතුමාගේ සිතුවමක අඳින්නෙ වෙදකමට සම්බන්ධ දේවල්. ඉතින් ශුද්ධවන්තයන්ගෙත් එහෙම තමයි. සාන්ත අන්තෝනි මුනිතුමාව නිතරම නිරූපණය කරලා තියෙන්නෙ දුඹුරු පැහැ ප්‍රැන්සිස්කන් නිකායික ලෝගුව හා බිළිඳෙක්, පොතක්, ලිලී මල් කිනිත්තක් සහිතවයි. එතුමා පාන් ගෙඩියක් අත තබාගෙන සිටින සිතුවම්ද මා දැක තිබෙනවා. රෝසකුමාරි කලින් ලිපියෙදි මතක් කළා වගේ ඊට හේතු කියන්නයි මේ යන්නෙ. ඒ බිළිඳා තමයි ජේසු බබා. ක්‍රි. ව. එක්දාස් දෙසිය ගණන්වල මොන ජේසු බබෙක්ද? කියලා හිතෙනවා ඇති. මම පැහැදිලි කරන්නම්.

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එතුමා ප්‍රංශ විශ්ව විද්‍යාලයක උගන්වමින් සිටි කාලෙ. එක්තරා ප්‍රභූවරයෙක් ආරාධනා කරලා තියෙනවා එදින රාත්‍රියෙ තම මාළිගාවේ නවාතන් ගැනීමට.  ප්‍රභූවරයාගෙන් ලැබුණු රාත්‍රී කෑමෙන් පස්සෙ අන්තෝනි පියතුමා තමුන්ට වෙන්කරලා දුන්න කුටියට වැදිලා තියෙනවා. දවසේ සිදුවූ දෙවල් මෙනෙහි කළායින් පස්සෙ යාච්ඤා කරමින් තමයි එතුමා ඉඳලා තියෙන්නෙ. ඔය වෙලාවේ ගෙදර අයිතිකාර ප්‍රභූවරයා තමුන්ගේ නිදන කාමරයට ගමන් කරමින් ඉන්නෙ. මුලු මන්දිරයම අඳුරෙ තියෙද්දි අන්තෝනි පියතුමාගේ කුටියේ දොරේ සිදුරු වලින් ඉතා විශාල ආලෝකයක් දකින ඔහු  පුදුමයට පත් වී දොර සිදුරකින් එබී බලනවා. ඇස් අදහාගන්නටත් බෑ. ජේසු බබා අන්තෝනි පියතුමාගේ දෙවුර අල්ලාගෙන සිටිනවා. පියතුමා දණින් වැටී යාච්ඤා කරනවා. මුලු කාමරයම ජේසු බබාගෙ ආලෝකයෙන් බබලනවා.

සිද්ධියෙන් පසු අන්තෝනි පියතුමා දැනගන්නවා නිවසේ හිමිකරු සිද්ධිය දැනගත් බව.  එතුමා කැමතිවන්නේ නෑ මේ ගැන බාහිර ලෝකයා දැනගන්නවාට. තමාගේ මරණය තෙක් මේ රහස රැක ගැනීමට නිවසේ හිමිකරුව ගිවිසා ගැනීම නිසා අන්තෝනි පීයතුමාගේ මරණින් වසර 10ක් පසුවෙනතුරුත් මේ සිද්ධිය බාහිර ලෝකයා දැනසිටියේ නෑ.

එතකොට ලිලී මලක්?  ලිලී මල පිවිතුරුකමේ සංකේතයක් විදිහට තමයි හැඳින්වෙන්නෙ. ලිලී මල ඇවිත් තියෙන්නෙ මෙහෙමයි.  Corsica රටේ Marcasso කියන නගරය විප්ලවයකට අහුවෙලා තියෙනවා. ඒක නිසා කිතුනු පියතුමන්ලාව රටින් පිටුවහල් කරලා. ආගම් ඇදහීම තහනම් කරලා තිබිලා තියෙන්නෙ. ඒත් ගිහියො ටික මණ්ඩපයක් හදලා හොරෙන්ම ශු. අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලය පැවැත්වූවාලු.  දේව මෙහෙය අවසානයේ හදිසියේම ඔවුන්ට විසිර යාමට සිදුවූ නිසා මංගල්ලය පැවැත්වූ ස්ථානය අස්පස් කරන්න සිදුවෙන්නේ නෑ. කොහොමහරි නැවතත් පිරිසට එතනට එන්න වෙලා තියෙන්නෙ මාස 7කට පස්සෙ. ශු. අන්තෝනි මුනිතුමාගේ ප්‍රතිමාව අසල තිබූ අනික් සියලුම මල් පරඬැල් වී තිබුනත් ලිලී මල් සියල්ල එදා කැඩූ ඒවා මෙන් තිබුනාලු. මේ සිද්ධියත් සමග තමයි ලිලී මල අන්තෝනි මුනිතුමාට බද්ධවී ඇත්තෙ. ශු. අන්තෝනි මුනිතුමාගේ මංගල දිනදී ලිලීමල් ආශිර්වාදකොට බෙදාහැරීමත් සමහර රටවල චාරිත්‍රයක් ලෙස දැනටත් කරනවාලු. 1680දී ඔස්ට්‍රියාවෙ ප්‍රතිමාවක රැඳවූ ලිලී මලක් වසර පුරාම දැන් කැඩුවාක් මෙන් තිබුනාලු. එය ඉවත්කර ඊළැඟ අවුරුද්දේ මල් දෙකක් තැබූවිට ඒවාත් වසරපුරා එලෙසම තිබුනාලු.
පොත?  ශු. අන්තෝනි මුනිතුමාගේ ධර්ම ඥානය නිරූපණයට තමයි පොතක් ඇඳලා තියෙන්නෙ.

🔸කාලෙන් කාලෙට ආගම් වල වුනත්  විවිධ මතවාද ඇතිවෙනවනෙ. අන්තෝනි පියතුමා ජීවත්වෙච්ච කාලෙත් කතෝලික සභාවේ විවිධ කොටස් තුළ මතවාද ඇතිවෙච්ච කාලයක්. වඩාත් පැහැදිලිව කියනවානම් ඇල්බිජෙන්ස්වාදය (albigense) දරුණුවට පැතිරගිය කාලයක්. යම් කතෝලික පිරිසක් ආගමේ යම් යම් සංකල්ප විවේචනය කරමින් කල්ලියක් ඇතිකරගන්නවා. ඔවුන් කියන්නෙ දිව්‍ය සත්ප්‍රසාදය, පාපොච්චාරණය ආදී දේවල් පුහු දේවල් ලෙස. මේ ගැන ලොකුවට කියන්න ගියොත් ට්‍රැක් පනින නිසා ඔය ඇති කියා හිතනවා. ඇල්බිජෙන්ස්වාදයෙන් කතෝලිකයන් මුදවා ගන්න අන්තෝනි මුනිතුමා කරපු සේවය ප්‍රශංසනීයයි.

මේ සිද්ධිය වෙන්නෙ අන්තෝනි පියතුමාගේ ආශ්චර්යමත් දේශනාවට පස්සෙ. කලින් ලිපියෙ කිව්ව මතක ඇතිනෙ. ඒ කියන්නෙ අන්තෝනි පියතුමාට නගරයේ යම් පිළිගැනීමක් තියෙන කාලෙ.
රොමානා නගරයේ රිමිනි කියන ගමේ  මතවාදය සීඝ්‍රයෙන් පැතිරීමට පටන් ගන්නවා. විශාල වශයෙන් ජනතාව ඒ වටා රොක්වී සාම්ප්‍රදායික කිතුණු ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. පල්ලියෙන් ඈත්වෙනවා. එම පදවියේ රදගුරුතුමා කොපමණ උත්සාහ කළත් සාර්ථක වන්නේ නෑ. අවසානයේ එතුමා උදව් පතන්නේ රොමානා නගරයේ ප්‍රැන්සිස්කන් තාපසාරාමයෙන්. තාපසාරාමයේ අධිපති පියතුමා වගකීම පවරන්නේ චතුර කථිකත්වයක් ඇති අන්තෝනි පියතුමාට. රිමිනි ගමට ගොස් ජනතාව මිථ්‍යා මත වලින් ගලවාගෙන පැමිණීමට යවන්නේ අන්තෝනි පියතුමාව. අන්තෝනි පියතුමා ඉතා කැමැත්තෙන් වගකීම භාරගන්නවා.

අන්තෝනි පියතුමා යනවිට රිමිනි ගමේ පල්ලිය පාළුවට ගිහිල්ලා. එතුමා මිනිස්සුන්ට දේශනා කිරීමට උත්සාහ කරනවා. හරි වැරැද්ද පැහැදිලි කිරීමට යනවා. මිථ්‍යාමතයක පැටලී ඇති  රිමිනිහි මිනිස්සු ඒවා තුට්ටුවකටත් ගණන් ගන්නේ නෑ. කවුරුවත් තමුන්ගේ දේශනා නොඇසීම ගැන හොඳටම කලකිරුණු එතුමා රිමිනි ගම අසලින් ගලා ගිය Marecchia ගඟ ළඟට එනවා. ගඟ දෙසට අත් ඔසවා "මාළුවනේ වරෙල්ලා, දේව වචනය අහපල්ලා. බොරුමත වලින් අන්ධවෙලා ඉන්න මේ මිනිස්සුන්ට ලජ්ජා කරපල්ලා" කියමින් මාළුන්ට අඬගසනවා.

අහන් හිටපු මිනිස්සුන්ට හිතෙන්නැති මේ මිනිහට පිස්සු කියලා. ඒත් ටික වෙලාවකින් වටේ හිටපු මිනිස්සු පුදුමයට පත් කරමින් ගඟේ හිටපු මාළු ඔක්කොම දියමතුපිටට පැමිණෙනවා. වටේ පිටේ මිනිස්සු ගඟ ළඟට දුවගෙන එන්නෙ මොකද මේ ආශ්චර්‍යය බලන්න. ඒත් මාළු නෙමෙයි හෙල්ලෙන්නෙ. අන්තෝනි පියතුමා දෙවියන් වහන්සේගේ තේජස හා කරුණාවන්තකම ගැන මාළුන්ට දේශනා කරනවා. මාළු ටික යන්නෙ දේශනාවෙන් පස්සෙ අන්තෝනි පියතුමාගෙ ආශිර්වාද ද ලබාගෙන. අන්තෝනි පියතුමා හැරී එනවා. ජනතාව තමුන්ගෙ මිත්‍යාමත අතහැරදමනවා.

🔸මේ තවත් කතාවක්. Ferrara නගරයේ එක්තරා ප්‍රභූ පවුලක හිටපු ප්‍රභූවරයෙකුට හිටියා ඉතාම රූමත් භාර්යාවක්. මේ කාන්තාව හරිම සමාජශීලීයි හැමෝ එක්කම හරිම ප්‍රියමනාපව කථාබහ කළා. නමුත් ඇගේ සැමියට මේක දිරෙව්වෙ නෑ. ඇයව නිතරම සැක කළා. ඇගේ කුසට පැමිණි දරුවාගේ පිතෘත්වය ප්‍රතික්ෂේප කරමින් ඇයට හිරිහැර කරන්න වුණා. කාලෙකට පස්සෙ ළමයා ඉපදුනාම තත්වය හොඳටම දරුණු උනා.

අන්තෝනි පියතුමා  Ferrara නගරයට එන්නෙ ප්‍රභූවරයා තම භාර්යාවත් අලුත් ඉපදුන දරුවාත් මරන්න කුමන්ත්‍රණය කරමින් ඉන්දැද්දි. ප්‍රශ්නය විසඳා ගැනීමට අන්තෝනි පියතුමාගේ මැදිහත්කම පතන්න තීරණය කළ දරුවාගේ මවත් ආච්චීත් එතුමා බැහැදකින්න යනවා. අන්තෝනි පියතුමා ප්‍රභූවරයා හා කතාකොට එකඟතාවයක ඇති කරගැනීමට පොරොන්ඳු වනවා.

හවස්යාමේ ප්‍රභූවරයාට පැයගණනක් තිස්සේ කළ කරුණු පැහැදිලි කිරීම සාර්ථක වන්නේ නෑ. ඒ කාලෙ D.N.A. පරිස්සන තිබ්බෙත් නෑනෙ. "ළදරුවා අරගෙන එන්න" අන්තෝනි පියතුමාගෙ ඉල්ලීමෙන් හෙදිය ළදරුවාත් රැගෙන අන්තෝනි පියතුමාත් ප්‍රභූවරයාත් සිටි කුටියට පැමිණෙනවා. අන්තෝනි පියතුමා කථාකරන්නෙ අලුත උපන් බිළින්ඳාට "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් මට කියන්න දරුවෝ කවුද ඔයාගෙ තාත්තා."

අලුත උපන් දරුවා "මේ ඉන්නෙ මගේ තාත්තා" කියමින් ප්‍රභූවරයාගේ දෙසට දිගුකරන ඇගිල්ල දැකීමෙන් ඔහුගේ ඇස් කඳුලින් තෙමෙනවා.  දරුවත් වඩා ගන්න ඔහු ගෙදරට යන්නෙ සියලු සැක සංකා දුරුකරගනිමින්.


🔸පියතුමෙක් වුනාම ජනතාවගේ පාපොච්චාරණ අහනවනෙ.  මේ ඒ වගේ වෙලාවක වුනු වැඩක්. දාහක් සිල්වතුන්ට වඩා පසුතැවිලිවී පාපයෙන් හැරී එන පව්කාරයා වටිනවා කියනවානෙ. අන්තෝනි පියතුමා තමුන්ගෙ අසනීපකම් නොතකා පාපොච්චාරණය ඇසීමට දවසේ බොහෝ වේලාවක් වැය කළාලු. දවසක් පාපොච්චාරණය කරන්න ආපු මිනිසෙක් තමුන්ගේ පව් ගැන කෙතරම් පසුතැවිලි වුනාද කියනවා නම් තමුන්ගේ පව් කියාගන්න බැරි වුනාලු. මිනිසාගේ අවංක පසුතැවිල්ල හා අපහසුතාවය දුටු එතුමා "දරුවා කියන්න අපහසු නම් පව් ටික කොළයක ලියාගෙන ඇවිත් මට දෙන්න" පැවසුවාලු.

දෙවෙනිවර පාපොච්චාරණයට ඔහු ආවෙ කොළයත් රැගෙන. අන්තෝනි පියතුමාගේ උපදෙස් පරිදි කොළේ බලාගෙන පව් කියද්දි කියවන කියවන පව කොළෙන් අතුරුදහන් වුනාලු. අන්තිමට ඉතිරිවෙලා තියෙන්නෙ හිස් කොළේ.


🔸කලින් ලිපියෙදි මම කිව්වනෙ රෝගී තත්වය උත්සන්න වුනාම  එතුමා Camposampiero ගමට විවේක ගන්න ගියා කියලා. තිරිඟු කෙතක් අසල තිබූ ගසක තැනූ අට්ටාලෙක තමයි එතුමා විවේක ගන්න හිටියෙ. ඒත් මොන විවේකයක්ද ? එතුමා ආවා කියන ආරංචියට දහස් ගණන් මිනිස්සු එතනට ආවලු. තිරිඟු කෙත ඉවරයිලු. දහස් ගණන් මිනිස්සුන්ගෙ පයට පෑගිලා තිරිඟු වගාවෙ ගන්න දෙයක් තිබුනෙ නෑලු. එදා හැන්දැකොරේ ආපු කෙතේ අයිතිකාරයා මේ ගැන එතුමාට පැමිණිලි කළාලු.

"හොඳයි, මිනිස්සු එන්න කලින් හෙට උදෙන්ම ඇවිත් අස්වැන්න කපා ගන්න" අන්තෝනි පියතුමා කිව්වෙ එච්චරයි. කීම විශ්වාස කරපු අයිතිකරු මෙහෙකරුවෝ සමග පහුවදා කෙතට ඇවිත් බලනකොට හොඳට පැහිච්ච තිරිඟු අස්වැන්න දිලිසි දිලිසි තිබ්බලු.

🔸මම උඩින්ම කිව්වනෙ ඇල්බිජෙන්ස්වාදය පිළිගත්තු මිනිස්සු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ විශ්වාස කළේ නෑ කියලා. රිමිනි වල හිටපු ඇල්බිජෙන්ස්වාදියෙක් අන්තෝනි පියතුමාට අභියෝගයක් කළාලු. අන්තෝනි මුනිතුමාව අපහසුතාවයට පත්කරන්න යොදපු උපයක් ඒක. "මම මගේ අශ්වයාව නගරයට අරගෙන එන්නම්. ඔබතුමා දිව්‍ය සත්ප්‍රසාදය අරන් එන්න. මගේ අශ්වයා දිව්‍ය සත්ප්‍රසාදයට වැන්දොත් මම මගේ මතය අහක් කරගන්නම්" මිනිසාගේ අභියෝගය අන්තෝනි පියතුමා පිළිගත්තාලු.

ගෙදර ගියපු මනුස්සයා තමුන්ගෙ අශ්වයාව දින තුනක් තිස්සෙ කුසගින්නෙ තියලා නගරයට ගෙනාවලු.  මේ ආරංචියට බොහෝ ජනකායක් නගරයට රැස් වුනාලු. දිව්‍ය සත්ප්‍රසාද කරඬුවත් රැගෙන අන්තෝනි පියතුමා එද්දිම ඇල්බිජෙන්වාදියො එකතුවෙලා බඩගිනි වෙච්ච අශ්වයා ඉදිරිපිටට කෑම දැම්මලු. දින තුනක් තිස්සෙ බඩගින්නෙ හිටියත් ඌ නෙමෙයිලු කෑම ගණන් ගත්තෙ. අයිතිකාරයගෙ ඇස් අරවමින් ඌ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට වැඳගෙන හිටියාලු.

ඔන්න ප්‍රාතිහාර්‍යය ගොන්නෙන් හයක්ම කිව්වා.  තව ඕනතරම් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් කියවන මටත් ලියන ඔයාලටත් එපා වෙයි. ඒක නිසා මෙතනින් නවතින්නම්.

- හයාත් රස්කින් -