පාදුවහි ශුද්ධ වු අන්තෝනි මුනිතුමා

පාදුවහි ශුද්ධ වු අන්තෝනි මුනිතුමා

අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම උන්වහන්සේගේ ජීවිත ගමන ඇතුලු ප්‍රාතිහාර්ය කීපයක් ගැන කෙටි විස්තරයක් ♥️✝️

සාන්ත අන්තෝනි මුනිතුමා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සාන්තුවරයා, ඒකෙ දෙකක් නෑ.  එතුමාගේ පිහිටාශිර්වාදය පතා කොළඹ කොච්චිකඩේ, වහකෝට්ටෙ වගේ එතුමාට කැපකළ සිද්ධස්ථානවලටත් අනෙකුත් කුඩා පල්ලිවලටත් (බටගම,ලියනගේමුල්ල,කඩලන, දළුපොත ) ප්‍රතිමා අසලටත් ඇදෙන ජනගහනයෙන්ම ඒ බව පේනවා. කතෝලිකයන් සිරිතක් වශයෙන් අඟහරුවාදා දිනවලදී මේ ස්ථානවලට ඇදෙනවා. කතෝලිකයන් පමණක් නොවෙයි අන්‍යාගමිකයින් පවා. අන්තෝනි මුනිතුමා මියගොස් තිබෙන්නේ අඟහරුවාදා දවසක නිසා තමයි එදින එතුමාට කැපකළ දවසක් ලෙස සළකන්නෙ.

Fernando Martins de Bulhões  උපත ලබන්නෙ පෘතුගාලයේ ලිස්බන් නුවර බොහොම වැදගත් සල්ලිකාර පවුලක. අම්මගෙ තාත්තගෙ කැමැත්ත උනේ හොඳට උගන්වලා දරුවව ගුරුවරයෙක් කරන්න උනත් දරුවට ඕනවුනේ පියතුමෙක් වෙන්න. දරුවගෙ ආසාවට දෙමව්පියො ඉඩදීමත් සමග මාටිනස් කොලුවට පුලුවන් වෙනවා සෙමනේරියට ඇතුලු වෙන්න. පුහුණු කාලය අවසන් වීමෙන් පස්සෙ අගූස්තීනු නිකායික මාටිනස් පියතුමා තම සේවය පටන් ගන්නෙ කොයිම්බ්‍රා නගරයේ. එතුමාට පැවරුනු මුල්ම කාර්‍යය වුනේ තම දේවස්ථානයේ ආගන්තුක සත්කාර සේවය පවත්වාගෙන යාම. මෙසේ කාලය ගෙවී යද්දි තමයි එතුමාට ප්‍රැන්සිස්කන් නිකායික පියතුමන්ලා කීපදෙනෙක් මුණගැහෙන්නෙ. ඉතාලියෙ අසීසි වලින් පිටත්වුනු මේ පියතුමන්ලා යමින් සිටින්නෙ මුස්ලිම් රටක් වෙච්ච මොරොක්කෝවට. කොයිම්බ්‍රා දේවස්ථානයේ  ගිමන් හල  ප්‍රැන්සිස්කන් නිකායික පියතුමන්ලා පස්දෙනා සමග මාටිනස් පියතුමා හිතවත් වෙනවා. ප්‍රැන්සිස්කන් පියතුමන්ලාගෙ සරල දිවිය ගැන එතුමා පැහැදීමට පත්වෙනවා.

කතාවෙන් පොඩ්ඩක් පැනලා අගූස්තීනු නිකායික, ප්‍රැන්සිස්කන් නිකායික කියන්නෙ මොකක්ද තේරෙන්නේ නැති කෙනෙකුටයි මේ පැහැදිලි කිරීම. කතෝලික පැවිදි අය එක එක නිකායවලට අයිතියි. සියලුම දෙනා අනුගමනය කරන්නෙ එකම කතෝලික ධර්මය වුනත් පැවිදි ජීවිතයේදී තම නිකායෙ අරමුණුවලට මුල්තැන දෙනවා. උදාහරණයකට කියනවා නම් එක නිකායක අරමුණ වෙන්න පුලුවන් ළමුන්ට අධ්‍යාපනය ලබාදීම, තව නිකායක දේවස්ථානවල කටයුතු කිරීම මූලික අරමුණ වෙන්න පුලුවන්. නිකායට ආවේනික ඇඳුම් පැලදුම්වලින් ඒ ඒ උතුමන්ලාව වෙන්කර හඳුනාගත හැකියි. දැන් තේරෙන්න ඇති නේද?

ඊළඟ අවුරුද්දෙදි මාටිනස් පියතුමාට මේ පියතුමන්ලාව නැවත හමුවෙනවා.  ඒ මොරොක්කෝවේ සිට අසීසිවලට ආපසු යනගමන්. මොරොක්කෝවේදී ජීවිත පූජාකොට ජනතාවගේ කර මතින් යන තම හිතවත් පියතුමන්ලාව දකින මාටිනස් පියතුමාගේ හිත වෙනස් වෙනවා. දේවස්ථානයේ කටයුතු කරගෙන ඉන්නවාට වඩා තම හිතවතුන් ගිය මග යන්නට එතුමා කල්පනා කරනවා. විශේෂ අවසරයක් මත අගූස්තීනු නිකාය අතහරින එතුමා ප්‍රැන්සිස්කානු තාපසාරාමයට ඇතුළුවෙනවා. එම තාපසාරාමයේ යාච්ඤා ගෘහය කැපකර තිබූ ඊජිප්තුවේ ශු. අන්තෝනි මුනිතුමාගෙ නම ලබාගනිමින් තම නම අන්තෝනි ලෙස වෙනස් කර ගන්නවා.

තමුන්ගෙ නව නිකායට අවශ්‍ය විදිහට පුහුණුව ලැබූ අන්තෝනි පියතුමා තමුන්ගෙ අරමුණ කරා යන්න සූදානම් වුණා. නමුත් මොරොක්කෝ ගමනට ඔන්න මෙන්න තියෙද්දි එතුමාගෙ ජීවිතය උඩුයටිකුරු කළ අසනීප තත්වය ඇතිවෙනවා. අසාධ්‍ය තත්වය නිසාම ගමන පිටත්වීමට ලැබෙන්නේ නෑ. ඒ නිසා මොරොක්කෝ ගමන අතහැර තම නිකායෙ මූලස්ථානයේ සේවයට යාමේ අවස්ථාව එතුමාට ලැබෙනවා.

මොරොක්කෝ ගමන වැරදී ඉතාලියේ අසීසි නුවර බලායන මුත් දෛවය එයටත් හරස්වන්නේ ගමන් කළ නැව කුණාටුවකට අසුවීමෙන්. හදිසියේ මෙසිනා (Messina) නගරයට ගොඩ බසින එතුමාට එහි තාපසාරාමයට අනුයුක්තව සේවය කිරීමට සිදුවෙනවා. ඒත් සෞඛ්‍යය තත්වය තාමත් අයහපත් නිසා රොමානා (Romagna) නගරයේ තාපසාරාමයට මාරුවක් ලැබෙනවා. වැඩකට නැති ලෙඩෙක් විදිහට තමයි එහෙ අයත් එතුමාව දකින්නේ. ඒක නිසා වැදගත් යයි සැළකෙන කිසිම වැඩකට එතුමාව ගාව ගන්නේ නෑ. එතුමාට සිද්ධවෙන්නේ කුස්සියෙ වැඩවලට උදව් වෙන්න. හැම නරකකම හොඳක් තියෙනවා කියනවානෙ. කුස්සියෙ ඉවුම් පිහුම් ඉවරවුනාම වෙන වැඩකුත් නැති එකේ එතුමාට ඕන තරම් කාලය ලැබෙනවා පොත් කියවන්නයි යාච්ඤා කරන්නයි.

ඔහොම ඉද්දි තමයි එතුමාගේ ජීවිතයේ ඊළඟ පෙරළිය සිදුවෙන්නෙ. නගරයේ පූජාත්වරය ලැබීමේ උත්සවයක් සංවිධානය වෙනවා. පූජාත්වරය කියන්නේ නවක පියතුමන්ලා පත්කිරීමක්. ඒකත් මම කලින් කියපු ප්‍රසාද ස්නාපනය, පාපොච්චාරණය, දිව්‍ය සත්ප්‍රසාද ලැබීම, අභිවෘද්ධි ආලේපය ලැබීම වගේ ප්‍රසාද නිධානයක්. කලින් කියපුවා වගේ නෙමෙයි පූජාත්වරය මහෝත්සවාකාරයෙන් තමයි පැවැත්වෙන්නෙ.

ඉතින් මේ කියන පූජාත්වර උත්සවයටත් විශාල විද්වතුන් පිරිසක් වගේම විශාල ජනතාවක් සහභාගිවුනා. උත්සවය සංවිධානය කරලා තිබුනෙ දොමිනිකානු පියතුමන්ලායි ප්‍රැන්සිස්කන් පියතුමන්ලායි හවුලෙ. මේ අවස්ථාවෙ දේශනාවට සූදානම් වෙන එක දෙපැත්තෙන්ම මග හැරිලයි තිබුනෙ. ප්‍රැන්සිස්කන් පියතුමන්ලා හිතුවා දොමිනිකන් අය ඒක කරයි කියලා. දොමිනිකන් අය හිතුවා ප්‍රැන්සිස්කන් අය කරයි කියලා. කොහොම හරි අන්තිමේදී එදා උදේ දේශනාවට කෙනෙක් නැතුව ගියා. සූදානම් නොවී දේශනාව තියලා අනික් නිකායෙ අය ඉස්සරහ වගේම වැදගත් අය ඉස්සරහා සවුත්තුවෙන්න කවුරුත් කැමති උනේ නෑ.

ඔන්න ඔය වෙලේ තමයි තාපසාරාමයේ නායකතුමාට කුස්සියෙ මුල්ලෙ ඉන්න ලෙඩාව මතක්වෙන්නෙ. වෙන කවුරුත් නැති තැන අන්තෝනි පියතුමාට නියම වෙනවා දේශනාව තියන්න. මොනවා කරන්නද  කටට එන දෙයක් කියනවා කියලා හිතාගෙන එතුමා දේශනාව පටන් ගන්නවා. කුස්සියෙ මුල්ලෙ ඉන්න ලෙඩා මොනව දන්නවද කියලා හිතා හිටපු අයට හිතාගන්නවත් බැරිමට්ටමේ දේශනාවක් එතුමා කළාලු. එතුමා ඉදිරිපත් කළ ධර්ම කරුණුත් චතුර කථිකත්වයත් දැකපු මිනිස්සු පුදුම වුනාලු. මේ සිද්ධියෙන් පස්සෙ තමයි එතුමාට හැමෝම ගෞරව කරන්න පටන් ගන්නෙ. රටේ හැමතැනම එතුමාගේ නම ප්‍රසිද්ධ වෙන්නෙ.

ටික කලකින්ම නිකායේ තනතුරක් එතුමාට ලැබෙනවා.  පියතුමන්ලා පුහුණු කිරීමට මෙන්ම තම නිකායේ ලාබාල පියතුමන්ලාට අනුශාසනා කිරීමටත් එතුමාට බාරවෙනවා. ප්‍රංශයේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ වරමත් ලැබෙන්නෙ කුස්සියෙ මුල්ලෙ කොන් වෙලා හිටපු අන්තෝනි පියතුමාට. කොතරම් ප්‍රසිද්ධ වුනත් තමන්ගේ නිකායට අයිති දුගී ජීවිතය ගිලිහෙන්නේ එතුමාගෙන් නොවේ. ඒ වගේම එතුමාගේ රෝග පීඩාත් පස්සෙන්ම පන්නනවා.

ක්‍රි. ව. 1231  උදාවෙන්නෙ එතුමාගෙ අසනීපය උත්සන්න කරමින්. ටික කලකට සිය කටයුතුවලින් විශ්‍රාම ගන්නා එතුමා නැවත තම සේවයට හැරී එමින් සිටිනවා. නමුත් තම ගමනාන්තයට පැමිණීමට මෙවරද එතුමාට හැකිවන්නේ නෑ. 1231 ජුනි 13 වෙනිදා පාදුවාහි දිළිඳු ක්ලාරා තාපසාරාමයේදී එතුමා ස්වර්ගස්ථ වෙනවා.  ඒ වනවිට එතුමා ඉපදී වසර 36ක් ගෙවී තිබුනා.

එතුමා ජීවත්ව සිටියදීත් එතුමාගේ මැදිහත්කමින් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවූ බව සැළකෙනවා. ඒ නිසා තමයි එතුමා වඩාත්ම ප්‍රසිද්ධ වුනේ, "ප්‍රාතිහාර්‍යයේ සාන්තුවරයා" (Saint of Miracles) කියන අන්වර්ථ නාමය එතුමාට ලැබුනෙ. ජනප්‍රවාදවල කියවෙන හැටියට එතුමා මියගිය මොහොතේ පාදුවා නගරයේ සියලුම ළමයි එකවර අඬන්න ගත්තලු. පල්ලිවල සීනු ඉබේ නාදවෙන්න ගත්තලු.

එතුමා මියගිය පසුත් එතුමාගේ අනුහසින් සිදුවූ අධික ප්‍රාතිහාර්‍යය ප්‍රමාණය නිසා එතුමාව ශුද්ධවරයට  ඔසවන ලෙස බොහෝ ඉල්ලීම් ගලාඑන්නට උනාලු. මේ නිසාම සාමාන්‍යය ක්‍රියාවලියෙන් බැහැරව මියගොස් වසරක් යාමටත් පෙර පාදුවාහි ශුද්ධවූ අන්තෝනි මුනිතුමා නමින් එතුමාව ශුද්ධවරයට ඔසවා තිබෙනවා. එතුමාගේ මංගල්‍යය ජුනි මස 13 වෙනිදා පවත්වනවා. මම කලින් ලිපියකත් කිව්වනෙ එක් එක් කාරණාවලදී එක් එක් ශුද්ධවන්තයන්ට විශේෂයෙන් යාච්ඤා කරනවා කියලා. සාමාන්‍යයෙන් ශු. අන්තෝනි මුනිතුමාගේ මැදිහත්කම විශේෂයෙන් ඉල්ලන්නෙ නැතිවූ දේවල් සොයාදීමට. තමුන්ගේ වටිනා කියන දෙයක් නැතිවූ විට එතුමාට භාරහාර වීම අදටත් කතෝලිකයන් අතර සම්ප්‍රදායක්.

එතුමාගේ මංගල්‍යය ජුනි 13 වන දින සිදු කෙරේ.
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමාන්ට නුවානය
නොමිලේ බාගැනීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න

ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ට නුවානය.pdf


මීට අමතරව  වැඩිහිටියන්ගේත්, ධීවරයන්ගේත්, නාවිකයන්ගේත්, දුප්පතුන්ගේත්, පෘතුගාලයේත්, මඟීන්ගේත් ආරක්ශක සාන්තුවරයා ලෙස එතුමාගේ මැදිහත්කම බලාපොරොත්තු වෙනවා. මේ කතාවේ හොඳම හරිය, එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය ගැන ඊළඟ කොටසින් ලියන්නෙ දිග වැඩිවන නිසා.

පාරෙ යනකොට කහ පාට හා දුඹුරු පාට කොඩි තියෙන කොඩි ගහක් දැක්කොත් ඔයාලට මේ කතාව මතක් වේවි. මොකද ඒ කොඩිගස් ඔසවලා තියෙන්නෙ පාදුවාහි ශු. අන්තෝනි මුනිතුමාගෙ මංගල්‍යය වෙනුවෙන්

- හයාත් ‍‍රස්කින් -