යුද්ධයෙන් බේරුණු දේශය ඉටුකළ බාරය

යුද්ධයෙන් බේරුණු දේශය ඉටුකළ බාරය

තේවත්ත ජාතික බැසිලිකාවේ සිද්ධස්ථානයේ ඉතිහාසය ගැන දන්නෝ වෙති. නොදන්නෝ ඊට වැඩි වෙති. එම නිසා යළි වරක් එහි ඉතිහාසයෙන් බිඳක් මතක් කැර දිම වැදගත් යැයි සිතමි.
"බැසිලිකා" යන වචනය රාජකීය යන අරුත ඇති ග්‍රීක වචනයකි. ආදියේදී කිතුනුවනට තම වන්දනාමාන කැරගැනිම සඳහා දෙව් මැදුරු නොවීය. මේ හේතුවෙන් ඔවුහු ඉඩ කඩ ඇති නිවෙස්වල රැස්වී යාච්ඥා කළහ. දිව්‍ය පුජා පැවැත්වුහ. කල්ගත වීමත් සමඟ ධනවත් අය වඩා ඉඩ කඩ ඇති තම නිවෙස්වල මේ කටයුතු සඳහා පහසුකම් ලබා දුන්හ.

ක්‍රමයෙන් විශාල ශාලාද මේ සඳහා භාවිතා විය. කිතුනු ජනතාව ව්‍යාප්ත වීමත් සමඟ වන්දනා කටයුතු සඳහාම ගොඩනැගිලි ඉදිකරන ලදි. මේවා බොහෝදුරට අර පැරණි නිවෙස් මෙන්ම සැලසුම් කරන ලදි. එසේම ජුදා සිනගෝග සහ රෝමානු දේවාලයන් ගෙන් වෙනස දක්වනු පිණිස මේ සියලු ගොඩනැගිල්ලක්ම නම් කරන ලද්දේ "බැසිලිකා" යනුවෙනි. ක්‍රමයෙන් මේවාගේ සැලැස්ම ද පරිවර්තනය විය. ප්‍රමාණය ද විශාල විය.

මේ අනුව විශාල උස් වහල දරා තැබිමට කනු පේලි සහිත ගොඩනැඟිලි ඉදිකරන ලදි. මෙයින් ගොඩනැඟිල්ලේ ප්‍රධාන කොටස තුනට බෙදුනි. මැද කොටස පලල් වු අතර දෙපස කොටස් දෙක පටු විය. මේ හේතුවෙන් එම කොටස් දෙක පටු විය. මේ හේතුවෙන් එම කොටස් වෙන් වෙන් කණ්ඩායම්හි වන්දනා කටයුතු සඳහා යොදා ගැනුණු අතර දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවන් හිදි සත්ප්‍රසාද පෙරහැර ගමන් ගත්තේ මෙම කුළුණු රවුම වටාය.

කල් ගත්වීමත් සමඟ මෙවැනි විශාල දෙව්මැදුරු රැසක් ඉදිවිය. ඒ සියල්ල බැසිලිකාවන් ලෙස හැඳින්විණි. සභාවේ පරිපාලනය වඩාත් සංවිධානාත්මක වීමත් සමඟ මෙම දෙව්මැඳුරු වර්ග කිරිමක් සිදුවිය. මහා බැසිලිකාවන් සහ කුඩා බැසිලිකාවන් ලෙස මේවා වර්ග කොට බැසිලිකා යන ගෞරව නාමය දෙව් මැදුරු සඳහා ප්‍රදානය කිරිම සීමා කරන ලදි.

ඉතිහාසයේ පළමු "බැසිලිකාව" ඉදි කරන ලද්දේ ක්‍රි.පු. 184 දීය. කාටෝ අධිරාජ්‍යා විසින් රෝමයේ ඉදිකරන ලද මෙම ගොඩනැඟිල්ල රෝම ෆෝරමේ (පොදු රැස්වීම් හලේ) අනුකරණයකි. මේ සම්ප්‍රදාය අනුව කතෝලික වන්දනා රැස්වීම් පැවැත්වුනු සියලු ගොඩනැඟිලි ද සිව් වැනි සත වසර දක්වා බැසිලිකා ලෙස හඳුන්වනු ලැබුවත් සොළොස් වැනි සත වසරේ සිට එය විශේෂ හේතුන් මත තෝරාගන්නා ලද දෙව් මැඳුරුවලට පමණක් පවරන ලද ගෞරව නාමයක් ලෙස සීමා විය. අවසාන කොට ක්‍රි.ව. 1918 පළකරන ලද "සභා නීති සංග්‍රහය" අනුව ආදියේ සිට එසේ නුවුයේ නම් කිසිදු දෙව් මැඳුරක් ශුද්ධාසනයේ අනුමැතිය නොමැතිව බැසිලිකාවක් ලෙස හැඳින්වීම තහනම් කරන ලදි.

බැසිලිකා දෙව් මැඳුරකට සාමාන්‍යයෙන් වරම් රැසක් හිමිවන්නේය. පූර්ණ ඵල ලබා ගැනිම මින් එකකි. පාප් වහන්සේගේ අවසරය හුවා දැක්වෙන රතු - කහ වර්ණයේ කොටස් පිහිටා ඇති මුතු කුඩයක් භාවිත කිරිම මෙන්ම කුඩා සීනුවක් සවි කරැති යෂ්ටියක් පෙරහැරේ ගෙන යෑමද බැසිලිකා දෙව් මැඳුරක විශේෂ ලක්ෂණ වන්නේය. එසේම පාප් වහන්සේගේ නිල ලාංජනය මහා දොරටුව අසල සවි කැර තිබිමද තවත් සම්ප්‍රදායකි.

මෙලෙස ලංකාවේ එකම බැසිලිකා දෙව්මැදුර වන ලංකා අප ස්වාමිදුගේ බැසිලිකාව ඉදි කිරිමේ අවසරය දානය කරන ලද්දේ ක්‍රි.ව. 1946 ඔක්තෝම්බර් මස 14 වැනි දීය. එවකට කොළඹ අගරදගුරු තැන්පත්ව සිටි අතිඋතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණන් එය ලබා ගත්තේ 12 වැනි පියුස් ශුද්ධෝත්තම පාප් වහන්සේගෙන්‍ ය. මෙහි ජාතික හා ඓතිහාසික ද විශේෂත්වය සලකා එම වරම දානය කරන ලදි.

ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස පළමු දින දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ විය. මුළු ලොවටම තර්ජනයක් වු අඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාට්සි වාදය උතුරු අප්‍රිකාව හරහා අවුත් ලංකාවටත් තර්ජනයක් විමේ බිය පහළ විය. මේ අනුව ක්‍රි.ව. 1940 මැයි මස 26 වන දින අතිඋතුම් ජේ.එම්. මසෝන් අගරදගුරු හිමිපාණන් ලංකාවේ ආරක්ෂාව පතා දේව මාතාවන් වහන්සේට බාර විය.
ජපානයද යුද්ධයට සහභාගි වීම හේතු කොටගෙන යුද තත්ත්වය උග්‍රවුයෙන් ක්‍රි.ව. 1942 මාර්තු මස 16 වැනි දින අගරදගුරු හිමිපාණෝ අප රට "ආරක්ෂාකර දිමේ ප්‍රාතිහාර්යය" සිදුකර දෙන ලෙස යාච්ඥා කරන්නැයි අප කුඩා දරුවන් වෙත විශේෂ ඉල්ලීමක් කලහ. ලංකා අප ස්වාමිදුගේ බැසිලිකාව මෙසේ විශේෂ වරම් ලැබීමට හේතුවන්නේ එය අප ජාතික ආරක්ෂාව ලබාදිමේ සංකේතයක් වු නිසාය.

එතුමෝ බාරය ද යළි ප්‍රකාශ කළේය. ජපන්නු දෙවරක් ලංකාවට බෝම්බ හෙලු නමුත් අපට සිදුවු විපත ඉතා ස්වල්ප විය. ක්‍රි.ව. 1942 අප්‍රේල් මස 5 වැනි දින කොළඹ අහසේ සිදු කරන ලද සටනින් ජපනුන් අන්ත පරාජයක් ලැබු බවත්, එම පරාජය ඔහුන්ගේ ඉරණම විපතට හැරවු බවත් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් පැවසුවේය. ලංකා අප ස්වාමිදුගේ බැසිලිකාව මෙසේ විශේෂ වරම් ලැබීමට හේතුවන්නේ එය අප ජාතික ආරක්ෂාව ලබා දිමේ සංකේතයක් වු නිසාය.

ක්‍රි.ව. 1947 ජුලි 28 දා අති උතුම් මසෝන් අගරදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වුයෙන් මෙම බාරය ඔප්පු කිරිමේ වගකිම පැවරුනේ අතිඋතුම් තෝමස් කුරේ අප පළමු ශ්‍රී ලාංකික අගරදගුරු හිමිපාණන් වෙතයි. උන්වහන්සේ ඒ සඳහා ක්‍රි.ව. 1951 පෙබරවාරි මස 04 වැනි දින මුල් ගල තබා අති දුෂ්කරතා සහ විරෝධතා ද මැද එම කාර්‍ය උපරිමයෙන් ඉටු කළ බව රහසක් නොවේ. මරිය මද්දලේනා කිතු සමිඳුන්ගේ දෙපා ආලේප කළ අවස්ථාවේ එයට විරෝධය පාමින් "මෙම මුදල් දුප්පතුනට දිය හැකි නොවේදැයි" ජුදාස් පැවසු සේම සභාව තුළම ඇතැම් අය මේ කළ ගුණ සැලකිමේ මහඟු කර්තව්‍යයට විරෝධය පෑහ. එහෙත් දේව භක්තියෙන් සහ පුර්ණ දේව විශ්වාසයෙන් ක්‍රියා කල කාදිනල් හිමිපාණෝ ඒ කිසිවෙකින් නොසැලී තම යුතුකම ඉෂ්ට කළෝය. කුඩා දරුවන්ගේ දායකත්වය පවා ලබා ගෙන එතුමෝ ඒ කාර්‍යයේ මුලික පියවර නිම කළෝය. ඒ දරු දැරියන් විසින් ගල ගල බැගින් මිලදි පරිත්‍යාග කරන ලදි. එසේම ඒ සඳහා කුඩා පරිමාණයේ ලොතරැයියක් ද පවත්වන ලදි.

මෙම ලොතරැයිය ගැන රසවත් කතාවක්ද ඇත. ඒ සඳහා රජයේ අවසරය අවශ්‍ය වු බැවින් එය ලබා ගන්නට ඉල්ලුම් කළ නමුත් එවකට ස්වදේශ කටයුතු බාරව සිටි ඒ. රත්නායක ඇමති තුමා හේතු රහිතව ඉල්ලිම ප්‍රතික්ෂේප කළේය. අවසානයේදී එවකට අගරදගුරු පදවියේ භාණ්ඩාගාරිකවද දෙව් මැඳුරේ ගොඩනැගිලි කටයුතු බාරව ද සිට ගරු ජෝසප් ප්‍රනාන්දු පියතුමා මේ බව කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පී.ඒ. කුරේ මැතිදුනට දන්වා සිටියේය. එතුමා මෙය ලබා දෙන බවට ප්‍රතිඥා දී පියතුමාට පැවසුවේ "පියතුමෙනි, මම මේ අනිසි විරෝධය පාන ඇමති හමු වී එක්කෝ මෙය ලබා දෙනවා, නැතිනම් මම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී එනවා " කියාය.

ඇමති හමුවු අවස්ථාවේදී හේ එය යළිත් වලකාලන්නට තැත් කළේය. එවෙලේම කඩදාසියක් ඉල්ලාගත් කුරේ මන්ත්‍රී තුමා තම ඉල්ලා අස්වීමේ ලිපිය කෙටුම්පත් කළේය. මේ ගැන තිගැස්සුණු රත්නායක ඇමති " අනේ එක විසිකරන්න, මම අවසර දෙන්නම්" යැයි කියා ලොතරැයිය අනුමත කලේය. එය බැසිලිකාව ඉදි කිරිම සඳහා පමණකින් හෝ අස්වැසිල්ලක් වු බව රහසක් නොවේ.
ඉතාමත් දුර දැක්මෙන් යුතුව සැලසුම් කොට ඇති බැසිලිකා දෙව් මැඳුර ද එය වටා ඇති ශුද්ධ භුමියද දිනපතා අලංකාර වෙමින් සැදෑවතුන්ගේ ආධ්‍යාත්මික සෙත සලසන කෙම් බිමක් බවට අද පත් වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
උපුටා ගැනිම - 2010 පෙබරවාරි 07 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපය                                                                   Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ