ජපමාලයේ අප මාතාවේ

ජපමාලයේ අප මාතාවේ

🎲 ජපමාලය උච්චාරණය කිරීම කතෝලික ජනතාව අතර පවතින විශේෂ යැදුම් අභ්‍යාසයක් වන අතර එය දීර්ඝ කාලයක් පුරා පැවත ගෙන එන යැදුම් මෙහෙයකි. දේවමාතාවන්ට "ජපමාලයේ අප මාතාවෝ" යන නාමය ලැබීම හා කතෝලික සභාවේ ජපමාල මාතාවන්ගේ මංගල්‍යය සැමරීම හා සම්බන්ධව විශේෂ සිද්ධීන් දෙකක් ඇත.

1️⃣.  ප්‍රංශයේ ධර්මදූත සේවාවේ ප්‍රධාන වශයෙන්ම නිරතව සිටියේ ඩොමිනිකන් නිකායෙහි ගරු පියවරුන්ය. වර්ෂ 1206 දී ප්‍රංශයේ ප්‍රොයිල් (Prouille) නැමති ප්‍රදේශයේ ජීවත් වූ 'ඇල්බිගනේසියන්' (Albigenesian) නැමති ආදි ජනතාව නැවතත් කතෝලික දහම සඳහා රැගෙන ඒමට ශුද්ධවූ ඩොමිනික් මුනිතුමන්ට අවශ්‍ය විය. නමුත් මෙම ජනතාවගේ නූගත්කම නිසා එම කාර්යය කිරීමට ශු. ඩොමිනික් මුනිතුමාට අපහසුවිය. එවිට දේවමාතාවන් ශුද්ධවූ ඩොමිනික් මුනිතුමන්ට දර්ශනයවී ජපමාලය ලබාදී ඇති බවත්, එම ජපමාලය උච්චාරණය කිරීමේ භක්ති අභ්‍යාසයට ඔවුන් යොමු කිරීම තුළ නැවතත් ඔවුන්ව කතෝලික දහමට රැගෙන ඒමට ශුද්ධ වූ ඩොමිනික් මුනිතුමන්ට හැකිවූ බවත්, ඩොමිනික් සම්ප්‍රදාය තුළ කියැවේ. ජපමාලයක් ලබාදීම නිසා එම මාතාවන් "ජපමාලයේ අප මාතාවන්" ලෙස හඳුන්වන ලදී.

2️⃣.පහලොස් වන ශතවර්ෂයේදී තුර්කියේ 'ඔටෝමාන් සුල්තාන්' අධිරාජ්‍යයා (Ottoman Sultan) ඉතා ප්‍රබල යුධ නායකයෙකු ලෙස සිටි බව ඉතිහාසය තුළ අපි දකින්නෙමු. ඔහු විසින් ඉස්ලාමීය හමුදාව සමඟ ඉතාලිය ආක්‍රමණය කිරීමට පැමිණුන විට දී, වර්ෂ 1571 දී පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන්, ස්පාඤ්ඤයේ සහ අනෙකුත් ක්‍රිස්තියානි රටවල උදව්ව ඇතිව ඔහුගේ ආක්‍රමණයට විරුද්ධව නැගී සිටි ඇති බව පැහැදිලිය. විශේෂයෙන්ම සයිප්‍රසයේ සිරවී සිටි ක්‍රිස්තියානින් බේරා ගැනීමත්, ඉතාලිය ආක්‍රමණය කිරීමට ඔවුන්ට ඉඩ නොදීමත් පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන් ගේ අභිලාෂය විය.

🎯 මේ සඳහා ඉතාලියේ මෙසිනා හා සිසිලියා වරායන් අසලින් යුදනැව්, 1571 ඔක්තෝම්බර් මස 7 දා පිටත්ව ගිය අතර එම නාවික හමුදාව හඳුන්වන ලද්දේ 'ශුද්ධවූ සේනාංකය' (Holy League) ලෙසය. ඉතාලියේ ලෙපන්තො හිදී ඔටෝමාන් ගේ නාවික හමුදාව සමග යුද්ධයකට යොමුවූහ. මෙය හඳුන්වන්නේ 'ලෙපන්තෝ යුද්ධය' ( Battle of Lepanto) ලෙසය. යුද්ධය යන අතරතුර සියලුම කතෝලික ජනතාවට ජපමාලය උච්චාරණය කරන ලෙස ශුද්ධෝත්තම පියාණන් ඉල්ලා සිටි අතර, යුද්ධය ජය ගනු සඳහා රෝමයේ ජපමාල රැලියක් ද පවත්වන ලදී. පැය 5 ක යුද්ධයකින් පසුව 'ශුද්ධවූ සේනාංකය' ජයගත් අතර දේවමාතාවන්ගේ මැදිහත් බව එහිදී අත්දුටු බැවින් දේවමාතාවන් "ජයග්‍රහණයේ මාතාවෝ" (Our Lady of Victories) ලෙස හඳුන්වන ලදී. අදටත් 'ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය' ලෙස පාසලක් මොරටුවේ ඇත.

🎯 එබැවින් පස්වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් මුලින්ම "ජයග්‍රහණයේ මාතාවන්ගේ මංගල්‍යය" සැමරීම ආරම්භ කරන ලදී. 1573 දී දොළොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් විසින් "ජයග්‍රහණයේ මාතාවන්ගේ මංගල්‍යය", "ජපමාල මාතාවන්ගේ මංගල්‍යය" ලෙස වෙනස් කළ අතර පළමුව එය සමරන ලද්දේ ඔක්තෝබර් මස පළමු ඉරිදාය. මෙම මංගල්‍යය පළමුව රෝමයේ හා ස්පාඤ්ඤයේ සැමරූ අතර 1671 දී දහවන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් මුළු ලෝකය පුරාම සමරනු ලබන මංගල්‍යයක් බවට එය පත් කරන ලදී. 1913දී දහවන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙය ඔක්තෝබර් 7 සමරනු ලබන මංගල්‍යයක් බවට පත් කරන ලදී.

🎯 අද අප ද නපුර සමග, අදෘශමාන, අයහපත් බලවේග සමග නිරතුරුවම සටන් කරන නිමා නොවන යුද්ධයකට මැදිවී සිටිමු. "ජපමාලයේ අප මාතාවන්" අප කැඳවන්නේ එම යුද්ධය ජය ගැනීමට ය. ජපමාලයේ බලය ඒ තුළ අප අත්දැකිය යුතුය. "ජපමාලයේ අප මාතාවනි - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.

✍️ ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 14/05/2010).