තලවිල මාර්තු මංගල්‍යය හෙවත් ඔරු මංගල්‍යය

තලවිල මාර්තු මංගල්‍යය හෙවත් ඔරු මංගල්‍යය

කිතුනු දිවිය වනාහි වන්දනා ගමනකි. ස්වර්ගීය ජෙරුසලම කරා ඇදී යන්නාවූ වන්දනා නඩයකි, සංඝයකි, සභාවකි. මෙම වන්දනා ගමනේ පුර්ණත්වය වන්නේ වතට වත දී ජේසු සමිදාණන්ගේ සිරි වත මඩල දැකීමේ භාග්‍යයයි. සෑම කිතුනුවෙකු ම මෙලොව දිවිගෙවන්නේද , දිවිය ගෙවිය යුත්තේද, එකී යථාර්ථය පසක් කරගනිමින්ය. ලාංකේය කිතුනු ජනතාවගේ වන්දනා ස්ථාන අතුරින් දෙවන ප්‍රධාන වන්දනාස්ථානය ලෙස නම් වී ඇති තලවිල සන්තානා සිද්ධස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානකි. නිසරු වැලි කතරේ සයුරු තෙර හමුවේ නොසැලී දයාබරිත මාතාවන් ලෙස ජේසු සමිඳුන්ගේ මිත්තනිය හෙවත් ආච්චි අම්මා ලෙස සුදු සබයේ විරුදාවලියෙන් පිදෙන ශු .ආනා මෑණියන්ගේ පහස ලබන්නට සියවස් ගණනක් පුරාවටම ලාංකේය දේවජනතාවෝ මේ ශුෂ්ක කලාපයට නොයෙකුත් බාධක අවහිරතා මධ්‍යයේ වුවද මෙහි පැමිණෙන්නේ දම්වැලක පුරුක් මෙන්ද , ලෝහයක් කාන්දමක් කරා ඇදී එන්නා සේ ද ගසට පොත්තක් මෙන් පවතින ආකාරයටය. කල්පිටිය අර්ධද්වීපයේ මහා සයුරු තෙරින්ද මහා නුග රුප්පාවෙන්ද  වටවූ  අර්ධ ශුෂ්ක ප්‍රදේශයේ පිහිටි දැවැන්ත පෞරාණික දෙව්විමන, ඒ ඉදිරියෙන් ස්ථාපිත පෞරාණික ශ්‍රී කුරුසිය , ඒ තුලින් නිරන්තරයෙන් රැව් පිළි රැව් දෙන යැදුම් යාතිකාද පූජාසනයට ඉහළින් විරාජමානව තබා ඇති අසිරිමත්  සන්තානා මෑණියන්ගේ ඓතිහාසික ප්‍රතිමාව  තලවිල කියූසැනින්  සැම මතකයට නැගෙන්නාහ. වර්ෂයක් වර්ෂයක් පාසා ලක්දිව සතර කොනින් මෙම වන්දනා ස්ථානයට ගලා එන්නාවූ අපමණ ජනකායක් තුළින් ප්‍රකාශ වන්නේ මිත්තනියක් හමුවට ඇගේ දරු මුණුබුරු මිණිබිරියන්  පැමිණෙන්නා සේ සන්තානා මෑණියන්ගේ මහගෙදරට පැමිණෙන්නේ දේව ආදරයේ පහස විදින්නටය. මේ වන්දනා ස්ථානය  දුක් කරදර දොම්නස් දිවෙන දිවිමගේ නවාතැන්පොලක් සැලකුව හොත් එය නිවැරදි වන්නේය. වාර්ෂිකව මංගල්‍යයන් දෙකක් පවතින මේ සිද්ධස්ථානයේ චතාරික මංගල්‍යය පිළිබදව සහ අද පවා සැදැහැවතුන්ගේ අවධානයට සහ දැනුමට යොමු නොවූ ඇති එක් සුවිශේෂි මංගල්‍යයක් සහ එහි ඉතිහාසය පිළිබදව ද අපගේ අවධානය යොමු කරලීම වැදගත් යැයි බලාපොරොත්තු වෙමු.

ඉතිහාසය සහ විකාශනය

තලවිල සන්තානා වන්දනාව ලාංකේය කතෝලිකයන් අතර සහ විශේෂයෙන් මෝදර ග්‍රාමවාසින්ගේ වාර්ෂික වත්පිළිවෙත් සහ සිරිත් විරිත් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි. සියවස් තුනකට වඩා ඓතිහාසික පදනමක් පවතින තලවිල වන්දනාව ලාංකේය සැදැහැවතුන්ගේ ගෞරවාභිමානය ලබන දෙවන වන්දනා ස්ථානය වේ. වර්තමානයේ පවා මෝදර ග්‍රාමවාසීන්ගෙන් 90%ක් පමණ මේ මංගල්‍යයට සහභාගී වන අතර ,ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරාවටම සලාපුර රදගුරු වසම අතර පවතින්නේ සුවිශේෂී බැදීමකි. සෑම වසරක ම මාර්තු මාසයේ පවත්වනු ලබන මෙකී මංගලෝත්සවය  පෙර කලක " ඔරු මංගල්‍යය " යනුවෙන් ද හැදින්වූ අතර අද එය " කොරෝස්ම මංගල්‍යය " හෙවත් " චතාරික මංගල්‍යය " ලෙස ද හදුන්වනු ලැබේ. මේ සදහා  ප්‍රකට ඉතිහාසඥයෙකු වුද, පළමු සිංහල රාජගුරුප්‍රසාදි වුද, සලාපුර රදගුරු වසමේ පළමු එඩේරාණන් වූ  දේවධාර්මාචාර්ය අති උතුම් එඩ්මන්ඩ් පිරිස් (නි.ම.නි.) හිමිපාණන් විසින් රචිත " තලවිල සන්තානා මෑණියෝ " නම් කෘතිය මුලාශ්‍රය ලෙස භාවිතා කරමි.

සන්තානා සිද්ධස්ථානයෙහි වර්ෂයකට මංගලෝත්සව දෙකක් පවත්වනු ලබයි. එනම් මාර්තු මාසයේදී ශු. ජුසේ මුනිදුන්ගේ සහ ශු. ජුවකීනු මුනිදුන්ගේ මංගල්‍යයද , ජුලි මාසයේ 26 වන දිනට පසු පැමිණෙන ඉරුදින ශු. ආනා වහන්සේගේ මංගල්‍යය ද යනුයි. වන්දනා ස්ථානය ආරම්භයේ පටන් ජුලි මාසයේ මංගල්‍යය පවත්වන්නට යෙදී ඇත. එහෙත් මාර්තු මාසයේ මංගල්‍යය කුමන කලෙක ඇරඹිණි දැයි කිව නොහැක. මේ උත්සවයට ඔරුවලින් බොහෝ දෙන පැමිණුණ නිසා " ඔරු මංගල්‍යය " යන නමින් මංගල්‍යය හැදින්විණි.

කොළඹ මෝදර මහා සන්තියාගු අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානයට අයත් වන්දනාකාර පිරිසක් විසින් දෙන ලද පොරොන්දුවක සහතිකයක් අද දක්වා හලාවත පදවියේ කෞතුකාගාරයෙහි ඇත්තේය. එය ගෞ. ප්‍රැන්සිස් ගුරේ ( නි.ම.නි.) පියතුමන් විසින් ප්‍රංශ භාෂාවෙන් ලියන ලද්දකි. එය මෙසේය.
" ශුද්ධවූ ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය, කොළඹ මෝදර මහා සන්තියාගු මුනිදුන්ගේ දේවස්ථානයට අයිති කතෝලිකයෝ ශු. ජුසේ මුනි`දුන්ගේ මංගල්‍යය වසරක් පාසා ම සන්තානා පල්ලියේදී සිදුකරන්නට පොරොන්දු වෙන්නාහ. මේ උත්සවය නුවාන සහ ගායනා පුජාව ඇතුව සිදු කළ යුතුය...."  මේ ගිවිසුමට සිංහල අකුරෙන් අත්සන් තැබුවන්ගේ නාමයෝ " සිල්වෙස්ත්‍රි සිල්වා , මරියානු ( වාසගම නොපැහැදිලියි ) සහ දිනසාදු මැන්දිස් " යන අය වෙති. ගුරේ පියතුමා කල්පිටි මීසම භාරව සිටියේ ක්‍රි.ව. 1868 සිට 1874 දක්වා නිසා පෙරකී ලියවිල්ල ඒ අතරතුරේදී විය යුත්තකි.  

මාර්තු මාසයේ ශු. ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය සිදුකිරීමේදී මෝදර වාසී සෑම කතෝලිකයෙක්ම සහභාගී වූ නමුත් ක්‍රි.ව.1877 දී පමණ කොළඹ මෝදර ශු. ස්නාවක ජුවාම් මුනිදුන්ගේ දේවස්ථානයට අයත් කතෝලික පිරිසක් සහ කොළඹ " පිසර්ස් හිල් " හෙවත් ලුණුපොකුණ පෙදෙසේ විසු කතෝලික පිරිසක් තලවිල සන්තානා දේවස්ථානයෙහි මෝදර මහා සන්තියාගු මිසමට අයත් කතෝලිකයන් විසින් පවත්වන ශු. ජුසේ මුනිදුන්ගේ මංගල්‍යයට සතියකට පෙර උත්සවයක් පැවැත්වීමට අවසර ඉල්ලා යාපන විකාරියේ ( උතුරු අපෝස්තලික අනුපදවියේ ) අපෝස්තලික තැන්පත් අති උතුම් ක්‍රිස්ටෝෆර් අර්නස්ට් බොන්ජින් ( නි.ම.නි.) රාජගුරුප්‍රසාදින් වහන්සේට අයැදුම් පතක් ක්‍රි.ව. 1877 අප්‍රියෙල් මස 19  වන දින පිළිගැන්වුහ. අභිනව යෝජනාවට ඉදිරිපත් කළ කාරණාව නම්

"පෙර කී උළෙලට බොහෝ දෙනා ඔරුවලින් පැමිණෙන නිසා සියල්ලෝම එක උත්සවයට ම රැස්වීමෙන් වෙරළට ඔරු මෙපමණ රාශියක් ඇදගැනීම සහ වන්දනා කදවුරේ සියල්ලෝ ම එක හෙළා නවාතැන් ගැනීම අධික දුෂ්කරය...." යනුයි. මෙම අයදුම ඉදිරිපත් අයගේ නාමයන් නම්
"කයිතන් ප්‍රනාන්දු , ලියොන් ප්‍රනාන්දු, ජගරිස් ප්‍රනාන්දු, අන්තෝනි ප්‍රනාන්දු, පේදුරු සිල්වා , මිගෙල් ප්‍රනාන්දු, රොකීනු, අගුස්තීනු ප්‍රනාන්දු සහ පිලිප් පෙරේරා "ය. මාර්තු මස 10 වන දින ශු. ජුවකීනු මුනිදුන්ගේ මංගල්‍යය ආරම්භ වුයේ මෙලෙසිනි. ක්‍රි.ව. 1884 සිට 1888 දක්වා සිද්ධස්ථානය භාරව සිටියාවූ ගරු. හෙන්රි ජුලෑන් ( නි.ම.නි.) පියතුමන්ගේ ( මෙතුමාණෝ ක්‍රි.ව. 1893 දී  යාපන රදගුරු පදවියේ දෙවන රදගුරුතුමන් වුයේය) කෙටුම්පතක සදහන් කර තිඛෙන ප්‍රකාර ඉහත කාලයේදී ශු. ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය සිදුකරන ලද්දේ මාර්තු 19 වන දිනදීය. එහෙත් බොහෝ විට වාරකන් සුළග මේ කාලයේදී හමන්නට පටන් ගත් නිසා උත්සවය මාර්තු මස පස් වන දිනට නියම කරන ලදී. මෙකල මංගල දෙක සිදුවන්නේ මාර්තු 7 වන දින ශු. ජුසේ මුනිදුන්ගේ නාමයෙන් මෝදර මහා සන්තියාගු මුනිදුන්ගේ දේවස්ථානයට අයත් කතෝලිකයන් විසින් ද, මාර්තු 10 වන දින ශු. ජුවකීනු මුනිදුන්ගේ නාමයෙන් මෝදර ශු. ස්නාවක ජුවාම්  මුනිදුන්ගේ දේවස්ථානයට අයත් කතෝලිකයන් සහ මෝදර ලුණුපොකුණ ශු. අන්ද්‍රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානයට අයත් කතෝලිකයන් විසින්  ද වේ. මාර්තු මාසයේ මංගල්‍යය සදහා මුල් කාලයේ දී වන්දනාකරුවෝ 20,000 ක් පමණ පැමිණෙන්නාහ. ජුලි මාසයේ මංගල්‍යයේ දී පුරාණ කාලයේ සිටම මිගමුව, හලාවත නැමති මහා කතෝලික නගරයන් හි සැදැහැවතුන් පැමිණෙන්නෝය......."(තලවිල සන්තානා මෑණියෝ , දේවධාර්මාචාර්ය අති උතුම් එඩ්මන්ඩ් පිරිස් (නි.ම.නි.) හිමිපාණෝ , 1950 , පිටු 51-52 )

ඉහත සදහන් කරැති ප්‍රවීණ ඉතිහාසඥ සහ ලක්දිව පළමු රාජගුරුප්‍රසාදීන් වහන්සේ වන අති උතුම් එඩ්මන්ඩ් පිරිස් හිමිපාණන්ගේ වාර්තාවන් වලට අමතරව මෝදර ග්‍රාමවාසීන්ගේ තොරතුරු සහ ජනශ්‍රැති කතා පුවත් ප්‍රකාර මේ මංගල්‍යය ලන්දේසි සමයේ අවසාන කාල වකවානුවේදී ආරම්භ බවට සාධක පවතී. මෙහිදී අප වෙත ලැඛෙන තොරතුරු වලට අනුව වන්දනාකරුවන්ගේ මාර්ගය වුයේ  මුල් යුගයේ  මුහුදුමාර්ගයෙන් ද, පාරු සහ ඔරු ඔස්සේ ප්‍රථමයෙන් හැමිල්ටන් ඇළ හරහා මිගමු කලපුව , මා ඔය, ගින් ඔය, කුඩා වැව, මහවැව, දැදුරු ඔය හරහා බත්තුළු ඔය ඔස්සේ මුන්දල්ම් කලපුව හරහා පුත්තලම් කලපුව හරහා ගොස් පාලකුඩාටව හෝ එත්තාලේ හරහා සිද්ධස්ථානයට පැමි‚ බව සදහන් වේ. තවත් තොරතුරු වලට අනුව තොටළග සිට කරත්ත ඔස්සේ ලංසි අඩි පාර ඔස්සේ පැමි‚ බව සදහන් වේ. ඒ පිළිබදව මනා වාර්තාවක් අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන් ද ප්‍රදීපය ඔස්සේ පළ කරන ලදී. ඉහත සදහන් කෙරුණු මංගල්‍යයන් දෙක 1997 වසර දක්වා පැවති අතර,1998 වසරේ සිට ඉහත සදහන් කළ මාර්තුවේ පැවති මංගල්‍යයන් දෙක වෙනුවට එවකට සලාපුර රදගුරු අති උතුම් ප්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ නිර්දේශය මත එක් මංගල්‍යයක් ලෙස සමරන්නට වූ අතර , එය සෑම වසරකම මාර්තු මාසයේ දෙවන සතියේ පවත්වන්නට යෝජනා වුණි.

අධ්‍යාත්මික පෝෂණය

සන්තානා පල්ලි යෑම හෙවත් තලවිල වන්දනාව හුදු විනෝද ගමනක් නොවේ, එය අප ජිවිතේ වන්දනා ගමනක් මෙන් ම ධර්මවිවේක සමයකි.ඒ නිසා මෙය වරප්‍රසාදයේ සදා වර්ෂාවක් ලෙස සැලකුවහොත් එය නිවැරදිය. මේ වන්දනාවේ  යෙදෙන බොහෝ දෙනෙක් ඇලූම්කරන්නේ නිවෙස්වලට වඩා කුඩාරමක් ඉදිකිරීමටය. එම කුඩාරම් ඉදිකිරිම තුළ පුරාණ ගිවිසුමේ දේවජනතාවට වූ දේවාදරයේ සැලකු මෙන්ම නික්මයාමේ සිද්ධියද ජුදා මංගල්‍යයන් අතර පවතින කුඩාරම් මංගල්‍යයේ ශේෂයන් නිහඩව එමගින් කියාපායි. කොරොස්මය හෙවත් චතාරික සමය කිතුනු දේවවන්දනාව තුල වරප්‍රසාදිමය සමය ලෙස සැලකුව හොත් එය නිවැරදිය. දේවත්වයේ උත්තරීතර බව පසෙකලා මිනිසත්බව ගත් දේවපුත්‍රයාණන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ ශ්‍රී මරණය සහ මහිමාන්විත උත්ථානය සමරන්නට සෑදී පැහැදී සිටින දේවජනතාවක් ලෙස නොයෙකුත් භක්ති අභ්‍යාස සිදුකරන්නෙමු. ඒ සදහා තලවිල තෝතැන්නකි. වන්දනාවේ යෙදෙන සියල්ලන් ගත කරන සරල, සුගම දිවිය හා සුන්දරත්වය වචනයෙන් විස්තර කල නොහැක. මේ වන්දනා ගමන දේවජනතාවට විපුල ඵල ලබාදෙන ධර්මවිවේක සමයකි. තද, රෞද්‍ර, ගලක් වැනි සිත් පවා , ඉටිමෙන් දිය කරලමින් සමගිසන්ධානයේ සක්‍රමේන්තුව තුළ  යලිත් සමිඳුන් හා එක්කරලන්නට චතාරිකයේ අප සුදානම් වන ජේසු  සමිදාණන්ගේ පාස්කු අභිරහසට සුදානම් වන්නට මේ වන්දනා ස්ථානය ප්‍රධාන තැනක් ගනී. මෙහිදී ශු. ආනා මුනිශ්වරියගේ යැදුම් පිහිට හා මධ්‍යස්තිය ඉතා ප්‍රබල ලෙස වන්දනාකරුවෝ අත්දකින්නාහ. යාච්ඤා කිරීමට ඔබින මනරම් පරිසරයක් හා වටාපිටයක් තුළ  වෙනදාට වඩා ශු. දිව්‍ය පුජා යාගයට ද ජපමාල ධ්‍යානය, ශු.පැය, පාදනමස්කාරය යනාදී  ........ භක්ති අභ්‍යාස වලට ද ප්‍රමුඛස්ථානයක් ලබාදෙන තෝතැන්නකි.

මේ අනුව ලක්දිව සතර දිග් ප්‍රදේශයන්ගෙන් ඒකරාශි වන දේවජනතාව මෙහි ගත කරන්නාවූ දින කීපය පුරාවට හෝ බිදවැටි ඇති මානව සබදතා මෙන්ම ආධ්‍යාත්මික සබදතාද යළිදු තහවුරු කරගනිමින් දෙවිදුන් හා තම සහෝදරයන් හා සමග නැවත වරක් මිත්‍රශීලීවන්නට උත්සුක වන්නාහ. විශේෂයෙන් සමගිසන්ධානයේ සක්‍රමේන්තුව තුළ  ගල් මෙන් ඇති හිත් පවා ඉටිමෙන් දියකර ලන්නට මේ වන්දනා සමය වන්නේ මහගු රුකුලකි. මෙහිදී විශේෂයෙන්  පව්කාරයන්ගේ සරණය හා  ක්‍රිස්තියානින්ගේ පිහිට වන මරියෝත්තමාවන්ගේ මෑණියන් වූ ද ජේසු  සමිදාණන්ගේ මිත්තනිය වූ ශු. ආනා මුනිශ්වරියගේ යැදුම් පිහිට හා මධ්‍යස්ථීය කුමන වදනකින් කෙසේ හෝ විස්තර කල හැකිද? දුකින් පේළි පීඩිතව, නානා විධ පැතුම් හා බලාපොරොත්තු ඕතොමන් ඉදිරියේ තබන්නාවූ තම ආදර දරු කැලගේ අයදුම් හමුවේ , දෙව්පියාණන් ඉදිරියේ තබන්නාවූ ඒ සැම යැදුමක්, පැතුමක් ම වෙනුවෙන් අප වෙනුවෙන් දෙවිදාණන් ඉදිරියේ යදින්නාහ. අවසන් කොට  ඒ වරප්‍රසාදය අප මත වස්වා ලන මෙන් අයැදිමින් බැතිසිතින් යුතුව මෙම චතාරික වන්දනා ගමන කිතුනු අපගේ දිවියට මහගු රුකුලක් වේවා"යි බැතිබරව පතනු කැමැත්තෙමි.

සටහන : අසේල දසනායක
(2018 චතාරික මංගල්‍යය නිමිත්තෙන් මා රචනා කරන ලද ලිපියකි)