ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කායික මරණය පිළිබඳ
Photo by Free Walking Tour Salzburg / Unsplash

මෙම ලිපිය ඇමෙරිකානු වෛද්‍ය සංගමය මගින් පළ කරන වෛද්‍ය සඟරාවේ (Journal of American Medical Association) 1986 වර්ෂයේ මාර්තු මස 21 දින පළ කෙරුණු 255 වන වෙළුමේ අංක 11 දරන ‘On the Physical Death of Jesus’ යන ශීර්ෂය යටතේ ඇති ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට දරන ප්‍රයත්නයකි. මෙම ලිපියේ කතුවරුන් ලෙස  William D. Edwards, MD; Wesley J. Gabel, MDiv; Floyd E. Hosmer, MS, AMI යන මණ්ඩලය කටයුතු කර ඇත. ඇතැම් අවස්ථා වලදී පරිවර්තනයට එහා ගිය අනුවර්තනයක් භාවිතා කිරීමට සිදු වූ අවස්ථා හි දී මුල් ලිපියේ අර්ථයට හානි වන අයුරින් කිසිදු අනුවර්තනයක් සිදු කර නොමැති  බව සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙම පරිවර්තනය හෝ එහි යම් කොටසක් කිසිදු වාණිජමය අරමුණක් සඳහා හෝ ප්‍රචාරාත්මක කටයුත්තක් සඳහා හෝ තම ආගමේ නිරවද්‍යතාව පිළිබඳ තර්ක කිරීම සඳහා හෝ භාවිත නොකරන  ලෙසත්, දේව ධාර්මික අධ්‍යාපනය සඳහා  සහ තම විශ්වාසය හා අධ්‍යාත්මය පෝෂණය කර ගැනීම සඳහා පමණක් මෙය උපයෝගී කර ගන්නා ලෙසත් කාරුණික ව ඉල්ලා සිටිමි.

පළමුවන කොටස

නාසරෙත්හි ජේසුස් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම්  ලෝකයේ ප්‍රමුඛතම ධර්මයක (ක්‍රිස්තියානි ධර්මයේ) පදනම ලෙස මානව ඉතිහාසයට සැලකිය යුතු ප්‍රමාණයේ  බලපෑමක්  සිදු කර ඇති අතර ඒ හා බැඳුණු ගිලන්වූවන් සඳහා වූ අනුකම්පා සහගත ආකල්ප නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සඳහා ද දායක වී ඇත. ජේසුස් වහන්සේ ඓතිහාසික පුද්ගලයෙකු වශයෙන් ඉස්මතු වීමත්, උන්වහන්සේගේ දුක් විඳීම සහ මරණය හා සබැඳි මතභේදාත්මක කාරණාත් හේතු  කොට ගෙන  අන්තර්විෂයාත්මක වශයෙන් උන්වහන්සේගේ කුරුසපත් කිරීම හා බැඳුණු  තත්වයන් විමර්ශනය කිරීමට  අපි පෙලඹුනෙමු. ඒ අනුව අපගේ අරමුණ වන්නේ ජේසුස් නමැති පුද්ගලයාගේ කායික මරණය පිළිබඳ ව දේව ධාර්මික නිබන්ධනයකට ඔබ්බෙන් වූ වෛද්‍ය විද්‍යාත්මක සහ ඓතිහාසික වශයෙන් නිරවද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම ය.

මූලාශ්‍රය

ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පිළිබඳ මූලාශ්‍රය ගණනාවක් පවතින බැවින් යමෙකු භාවිත කරන මූලාශ්‍රය මත ජේසුස් වහන්සේගේ මරණය පිළිබඳ සංවාදයේ විශ්වසනීයත්වය රඳා පවතියි. මෙම සමාලෝචනය සඳහා මූලාශ්‍රය ලෙස  පුරාණ ක්‍රිස්තියානි සහ ක්‍රිස්තියානි නොවන කතුවරුන්ගේ පඨිත මෙන් ම වර්තමාන කතුවරුන්ගේ පඨිත ද උපයුක්ත කර ගෙන ඇති අතර, ඊට අමතර ව ටියුරින්හි සළුව ද භාවිත කර ගෙන ඇත. විද්‍යාත්මක විමර්ශනවල නෛතික-ඓතිහාසික ක්‍රමයට අනුව මෙම ඓතිහාසික  පඨිතවල විශ්වසනියත්වය සහ නිරවද්‍යතාව විද්වතුන් විසින් සනාථ කරනු ලැබ ඇත.

නව ගිවිසුමේ සුවිශේෂයන් වන මතෙව්, මාක්, ලූක් සහ ජොහන්හි  ජේසුස් වහන්සේගේ මරණය ඉතා පුළුල් සහ විස්තරාත්මක ලෙස ඉදිරිපත් කර  ඇත. නව ගිවිසුමේ ඉතිරි ග්‍රන්ථ 23 ආධාරකයන් ලෙස පැවතියත් සුවිශේෂයන්හි කරුණු දියුණු කිරීමක් සිදු නොකරයි.සමකාලින ක්‍රිස්තියානි, ජුදෙව් සහ රෝමානු කතුවරු විශේෂ කොට පළමු සියවසේ ජුදෙව් සහ රෝමානු නෛතික ව්‍යුහයන් ගැන මෙන් ම කසපහර සහ කුරුසපත්කිරීම පිළිබඳ අමතර කාරණා මතුකර දක්වති.සෙනෙකා (Seneca), ලිවී (Livy), ප්ලුටාක් (Plutarch)  වැන්නවුන් සිය ලියවිලි තුල කුරුසපත්කිරීමේ විධි පිළිබඳ සඳහන් කර ඇත. විශේෂයෙන් ම ජේසුස් වහන්සේ ගැන (හෝ උන්වහන්සේගේ කුරුසපත් කිරීම ගැන) රෝමානු ඉතිහාසඥයන් වූ කොර්නේලියස් ටැසිටස් (Cornelius Tacitus), (කුඩා) ප්ලිනි (Pliny the Younger) සහ ස්වෙටෝනියස් (Suetonius) ද, රෝමානු නොවන ඉතිහාසඥයන් වන තැලස් (Thallus) සහ ප්ලේගන් (Phlegon) ද, සමොසටාවේ ලුෂියන් (Lucian of Samosata) ද, (රබ්බිනික ජුදා දහමේ කේන්ද්‍රීය ග්‍රන්ථය හා ජුදෙව් නීතියේ සහ ජුදෙව් දේව ධර්මයේ ප්‍රාථමික මූලාශ්‍රය වන) ජුදෙව් තල්මුඩ් (Jewish Talmud) යන ග්‍රන්ථය ද, ජුදෙව් ඉතිහාසඥයෙකු වන ෆ්ලෙවියස් ජෝසේෆස්  ද සඳහන් කර ඇති අතර අවසාන මූලාශ්‍රයෙහි එනම්, ෆ්ලෙවියස් ජෝසේෆස්ගේ වාර්තාවෙහි යම් යම් කොටස්වල විශ්වසනීයත්වය පිළිබඳ ගැටළු පවතියි.

ටියුරින් හි සළුව ජේසුස් වහන්සේගේ සැබෑ භූමදාන රෙදිකඩ නියෝජනය කරන බවට බොහෝ විශේෂඥ මත  පළ වී ඇති අතර ජේසුස් වහන්සේගේ මරණය පිළිබඳ  වෛද්‍ය විද්‍යාත්මක ප්‍රකාශන රැසක් සඳහා එම උපකල්පන මත හා සබැඳි කරුණු පාදක වී ඇත්තේ ය. ටියුරින්හි සළුව සහ මෑත කාලීන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් මගින් රෝමානු කුරුසපත් කිරීම් විධි පිළිබඳ  වැදගත් කාරණා හෙළිදරව් කර දී ඇත්තේ ය. පළමු ශතවර්ෂයේ නොපැවති, නවීන පර්යේෂකයන්ගේ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාත්මක දැනුම  පාදක කොට ගත් අර්ථකතන මගින් ජේසුස් වහන්සේගේ මරණය සිදු වන්නට ඇති යාන්ත්‍රණය පිළිබඳ  දැනුමක්  ගොඩනැගිය හැකිය.

මේ අනුව බලන කල , ඇතැම් කාරණා තුළින් එනම් ක්‍රිස්තියානි දහමට පක්ෂ සහ විරුද්ධ ඉපැරණි සහ  විස්තරාත්මක  සාක්ෂි ද ජේසුස් වහන්සේගේ ඓතිහාසිකත්වය පිළිබඳ විශ්වීය පිළිගැනීම; සුවිශේෂකවරුන්ගේ ආචාර ධර්ම, සහ සිද්ධීන් සහ පටිතයන් අතර කාලමය වශයෙන් ඇති ආසන්න බව; සහ ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින් තහවුරු කරන ලද සුවිශේෂ වල අඩංගු  වාර්තාවන් මගින් තහවුරු කෙරෙන නිරවද්‍ය සාක්ෂි මත ජේසුස් වහන්සේගේ මරණය පිළිබඳ නවීන වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනයක්  ලබා දිය හැකි ය .

ගෙත්සෙමනි

ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් සමග නිරිතදිග ජෙරුසලමේ පිහිටි නිවසක ඉහළ මාලයේ දී  පාස්කු භෝජනය අනුභව කිරීමෙන් අනතුරු ව නගරයේ ඊශාන දෙසින් පිහිටි ඔලීව කඳු මුදුන වෙත ගමන් කළ සේක. ( දින දර්ශකයේ විවිධ සැකසුම් හේතුවෙන් ජේසුස් වහන්සේගේ උපත සහ මරණය සිදු වූ වර්ෂ පිළිබඳ අදහස්  මතභේදාත්මක ය. කෙසේ නමුත්, ජේසුස් වහන්සේ ක්‍රි. පූ. 4 හෝ 6 හි පමණ උපත ලදුව  ක්‍රි.ව. 30 දී මිය ගියේ යැ යි උපකල්පනයකට ඉඩක් පවතියි. ක්‍රි.ව. 30 පාස්කු මංගල්‍යය සැමරීමේ දී අවසාන රාත්‍රී භෝජනය බ්‍රහස්පතින්දා දිනෙක, එනම් අප්‍රේල් 6 [නිසාන් 13] පවත්වන්නට ඇති බවත්, ජේසුස් වහන්සේ අප්‍රේල් 7 [නිසාන් 14] වන දින කුරුසපත් කෙරෙන්නට ඇති බවත් උපකල්පනය කළ හැකි ය.) ගෙත්සෙමනිය ආසන්නයේ දී තම මරණය ආසන්න බව දැනුණු  හෙයින් ජේසුස් වහන්සේ ප්‍රබල මානසික පීඩාවකට ගොදුරු වූ බව වාර්තා වන අතර වෛද්‍යවරයෙකු වූ ලූක් (සුවිශේෂක) සඳහන් කරන්නේ උන්වහන්සේගේ දහදිය රුධිරය මෙන් වූ බව ය.

මෙය ඉතා විරල සංසිද්ධියක් වුවත්, රුධිරය සහිත දහදිය (hematidrosis හෝ hemohidrosis) ඉතා සංවේදී අවස්ථාවල දී හෝ රුධිරාබාධ සහිත පුද්ගලයන්ට ඇති විය හැකි ය. දහඩිය ග්‍රන්ථි තුළට රුධිරය වහනය වීම නිසා සම ඉතා දුර්වල සහ මෙලෙක් බවට පත්  වෙයි. ලූක්ගේ වාර්තාව පිළිබඳ ව සලකා බලන කල, ‘eccrine chromidrosis’ (දුඹුරු හෝ කහ මිශ්‍ර කොළ පැහැති දහඩිය) රෝගය හෝ ‘stigmatization’ ( අත්ලෙන් හෝ වෙනත් ස්ථානවලින් රුධිරය වහනය වීම) රෝගයට වඩා  ‘hematidrosis’ රෝග විනිශ්චයට වඩාත් සමීපතාවක් ඇත. ඇතැම් කතුවරුන් යෝජනා කරන අයුරින් ‘hematidrosis’ රෝගය නිසා ‘hypovolemia’ තත්වයක් ඇති වන්නට හැකි වූවත්, බක්ලින් (Bucklin)  පවසන ලෙස ජේසුස් වහන්සේගේ සැබෑ රුධිර වහනය ඉතා අවම වන්නට ඉඩ ඇති බව අපි පිළිගනිමු. කෙසේ නමුත්, සීතල රාත්‍රියක වාතයේ සිසිල් බව ද එයට හේතු වන්නට ඇත.

ජුදෙව් නඩු විභාග

මධ්‍යම රාත්‍රිය පසු වනවාත් සමග ම දේව මාලිගාවේ පාලකයන් විසින් ගෙත්සේමනියේ දී ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරු ව පළමුව අන්නස් සහ පසු ව එම වසරේ ජුදෙව් උත්තම පූජකයා වූ කයාපස් වෙත ගෙන යනු ලැබිණි. පාන්දර එක සහ අලුයම අතර කයාපස් සහ දේශපාලනික සැන්හෙඩ්රින් මන්ත්‍රණ සභාව ඉදිරියේ විභාග කරනු ලැබ දේව අපහාසකිරිම යටතේ වරදකරුවෙකු කරන ලදි.පසු ව ආරක්ෂක සෙබළුන් විසින් ජේසුස් වහන්සේගේ දෑස්  වසා, කෙළ ගසමින් සහ දෑත් මිට මොලවමින්  මුහුණට පහරදෙන ලදි. හිරු උදාවෙන් අනතුරු ව, බොහෝ විට දේව මාලිගයේ ආගමික සැන්හෙඩ්රින් මන්ත්‍රණ සභාව ඉදිරියේ දී  (පරිසිවරුන් සහ සද්දුසිවරුන් ඇතුළත් ව) ජේසුස් වහන්සේව විභාග කරන ලදුව මරණීය දණ්ඩනය ලැබිය හැකි අපරාධයක් වූ  දේව අපහාස කිරිම  යටතේ නැවතත් වරදකරුවෙකු කරන ලදි.

රෝමානු නඩු විභාග

මරණ දණ්ඩනය සඳහා අවසරය පැමිණිය යුත්තේ (ජුදෙයාව එවකට පාලනය කළ) රෝමානු පාලනයෙන් වූ බැවින්, උදෑසනින් ම දේව මාලිගාවේ පාලකයන් විසින් ජුදෙයාව භාර ව කටයුතු කළ පොන්ටියුස් පිලාත් ආණ්ඩුකාරයාගේ නිල වාසස්ථානය සහ විනිශ්චයාසනය (governmental seat) පිහිටි අන්තෝනියා බලකොටුවේ ප්‍රෙටෝරියම වෙත ජේසුස් වහන්සේ රැගෙන යන ලදි. නමුත්, ජේසුස් වහන්සේව පිලාත් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ දේව අපහාසකරුවෙකු ලෙස නොව, තමා විසින් තමාව ම රජෙකු ලෙස පත් කර ගෙන රෝමානු අධිකාරීත්වය  බිඳ හෙලීමට තැත් කරන්නෙකු ලෙසිනි. පිලාත් ජේසුස් වහන්සේ මත කිසිදු වරදක් නොපටවා ජුදා දේශයේ උප පාලකයෙකු වූ හෙරෝද් ඇන්ටිපස් වෙත යවනු ලැබී ය. හෙරෝද් ද කිසිදු නීත්‍යනුකුල වරදක් ජේසුස් වහන්සේ පිට නොපටවා නැවතත් පිලාත් වෙත යවනු ලැබී ය. නැවතත් පිලාත් හට ජේසුස් වහන්සේ පිළිබඳ කිසිදු නෛතික වරදකට තුඩු දෙන කාරණයක් සොයා ගැනීමට නොහැකි වුවත්,  රැස් ව සිටි ජනයා විසින් උන්වහන්සේ කුරුසපත් කරන ලෙස කළ ඉල්ලීම් ඉතා දැඩි විය. අවසානයේ දී පිලාත් ඔවුන්ගේ ඉල්ලීමට එකඟ වී ජේසුස් වහන්සේට කස පහර දීමට සහ කුරුසපත් කර මරා දැමීමට අවසර ලබා දුන්නේ ය.

ජේසුස් වහන්සේගේ සෞඛ්‍ය තත්වය

ජේසුස් වහන්සේගේ දූත මෙහෙවරේ කර්කශභාවය (පලස්තීනය පුරා පා ගමනින් සංචාරය කිරීම ) හේතුවෙන් ප්‍රබල ගණයේ ශාරීරික රෝගයක් හෝ දුර්වල ශාරීරික තත්වයක් පැවතීම වැළැක්වී ඇත්තා සේ ය. ඒ අනුව, ගෙත්සෙමනිය වෙත යාමට ප්‍රථම ජේසුස් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්වයකින් සිට ඇත. කෙසේ නමුත්, බ්‍රහස්පතින්දා ප.ව. 9 සිට සිකුරාදා පෙ.ව.9 අතර පැය දොළහක කාලයේ දී උන්වහන්සේ දැඩි චිත්ත පීඩනයකට ( hematidrosis රෝගයට සාක්ෂි වශයෙන්) , තම සමීපතමයන් (ශ්‍රාවකයන් ) විසින් අත්හැර දමනු ලැබීමකට, සහ පහර කෑමකට (පළමු ජුදෙව් නඩු විභාගයෙන් පසු ව) ලක් වූ හ. ඒ සමග ම , කම්පන තත්වයක් සහ නිදි වර්ජිත රාත්‍රියකින් අනතුරු ව,  නඩු විභාග කෙරුණු විවිධ ස්ථාන වෙත සැතපුම් 2.5 ( කි.මී. 4ක් ) ට වැඩි දුරක් ඇවිද යාමට සලස්වා ඇත. මෙම ශාරීරික සහ මානසික තත්වයන් මත කස පහර දීමේ දී ඇති විය හැකි  අහිතකර රුධිර වහනයකට ජේසුස් වහන්සේ  නිරාවරණය වන්නට ඇත.
කස පහර දීම

කස පහර දීමේ ක්‍රම

කස පහර දීම රෝමානු මරණ දණ්ඩනයේ නෛතික පූර්විකාව වූ අතර කාන්තාවන්, රෝමානු සෙනෙටර්වරු හෙවත් සනාතන මණ්ඩල සභිකයන් හෝ සොල්දාදුවන් (රැකියාව හැර දමා ගොස් තිබෙන්නේ නම් හැර) යන කණ්ඩායම් මෙම දණ්ඩනයට යටත් නොවිණි. මේ සඳහා සාමාන්‍යයෙන් භාවිත කළ ආයුධ වූයේ කුඩා යකඩ බෝල හෝ මුවහත් බැටළු අස්ථි කැබලි ඇමිණූ විවිධ ප්‍රමාණයේ සම් පටිවලින් යුත් ‘කෙටි කසය’ යි ( Flagrum නැතහොත් Flagellum). ඇතැම් විට මුගුරු ද මේ සඳහා යොදා ගැනිණි. කස පහර දීමේ දී අපරාධකරුවාගේ ඇඳුම් ඉවත් කොට, ඔහුගේ දෑත් කෙටි කණුවක ගැට ගසනු ලැබ ඇත (මුහුණ හා ශරීරයේ ඉදිරිපස කණුවට මුහුණට මුහුණ සිටින සේ). ශරීරයේ පිටුපස, තට්ටම් සහ කකුල්වලට කස පහර දීම සිදු කෙරෙනුයේ සොල්දාදුවන් දෙදෙනෙකු (lictors) හෝ විටින් විට පහර දීමේ ස්ථානය මාරු කරන තනි සොල්දාදුවෙකු විසිනි. කස පහර දීමේ බරපතලකම පහර දෙන සොල්දාදුවන්ගේ ස්වභාවය මත රඳා පැවති  අතර එහි අරමුණ වූයේ  අපරාධකරුවා මරණයට ඉතා ආසන්න දුර්වල තත්වයකට අඩපණ කර දැමීම ය. කස පහර දීමෙන් අනතුරු ව බොහෝ විට සොල්දාදුවෝ එම අපරාධකරුවා සමච්චලයට ලක් කිරිමක් ද සිදු කළ හ.
කස පහර දීම ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්

රෝමානු සොල්දාදුවන් නැවත නැවතත්  අදාළ අපරාධකරුවාගේ පිටුපස ප්‍රදේශයට තදින් පහර දීම නිසා යකඩ බෝල මගින් දරුණු තැලීම් ද, සම් පටි සහ බැටළු අස්ථි මගින් මතුපිට සම සහ චර්මභ්‍යන්තර පටල (subcutaneous tissues) දක්වා කැපුම් තුවාල ද සිදු වන්නට ඇත. එසේ ම, කස පහර දීම සිදු වෙමින් පවතින අවස්ථාවේ දී මෙම කැපීම් අස්ථි මාංසපේශින් (skeletal muscles) දක්වා ගැඹුරු වීමත්, එතුලින් වෙව්ලන රුධිරය වෑහෙන මස් වැදලි  ඇති වීමත් සිදු වන්නට ඇත. වේදනාව සහ රුධිරය වහනය වීම සාමාන්‍යයෙන් සංසරණිය කම්පන තත්වයක් (circulatory shock) ඇති වීම සඳහා හේතු වන්නට ඇත. රුධිරය වහනය වන ප්‍රමාණය මත අපරාධකරුවා කුරුසයේ කොපමණ වේලාවක් සිටී ද යන වග තීරණය වන්නට ඇත.

ජේසුස් වහන්සේට කස පහර දීම

ප්‍රෙටෝරියමේ දී ජේසුස් වහන්සේට ඉතා දරුණු ලෙස කස පහර දීම සිදු කර ඇත. (කසපහර දීමේ දරුණු බව ශු.සුවිශේෂයන් සතරෙහි සාකච්ඡා කර නොමැති වූවත්, එක් අපෝස්තලික ලිපියක [1 පේදුරු 2: 24] සඳහන් ව ඇත. මෙම  වගන්තියේ පැරණි ග්‍රීක වචන සැකැස්ම පිළිබඳ ගැඹුරු අධ්‍යයන මගින් පෙන්වා දී ඇති පරිදි ජේසුස් වහන්සේට කස පහර දීම විශේෂයෙන් ම ඉතා දරුණු අන්දමින් සිදු කර ඇත.) ජුදෙව් නීතියට අනුව කස පහර ප්‍රමාණය 39කට  සීමා කෙරුණා දැ යි දැන ගැනීම අපහසු ය. රෝමානු සොල්දාදුවෝ, මෙම දුර්වල කරන ලද මිනිසා රජෙකු යැ යි පැවසූ බව අසා පුදුමයට පත් වී, ඔහුගේ කර මත සළුවක් පළඳා, කටුවලින් සෑදූ ඔටුන්නක් හිස පළඳා, ලී කෙවිටක් රාජ යෂ්ටිය ලෙස දකුණු අතෙහි රඳවා  උසුළු විසුළු කිරීමට පටන් ගත් හ. ඉන් පසු ව ඔවුන් ජේසුස් වහන්සේට කෙළ ගසා, ලී කෙවිටෙන් හිසට පහර දී ඇත. තව ද, සොල්දාදුවන් පළඳන ලද සළුව ජේසුස් වහන්සේගේ පිටෙන් ඉරා දැමූ පසු  නැවතත් කස පහර දීමේ තුවාල නිරාවරණය වන්නට ඇත.

මෙම දරුණු කස පහර දීම මෙන් ම එමගින් ඇති වූ දැඩි වේදනාව සහ රුධිර වහනය ද බොහෝ දුරට ජේසුස් වහන්සේ පූර්ව කම්පන තත්වයකට පත් කරන්නට ඇත. එසේ ම, hematidrosis රෝගී තත්වය  නිසා උන්වහන්සේගේ සම ඉතා මෙලෙක් වන්නට ඇත. රෝමානුවන් සහ ජුදෙව්වන් විසින් සිදු කළ ශාරීරික සහ මානසික වධ හිංසා හේතුවෙන් මෙන් ම ආහාර, ජලය සහ නින්ද නොලැබීම හේතුවෙන් ද උන්වහන්සේ ඉතා දුර්වල තත්වයක සිටින්නට ඇත. එම නිසා කුරුසපත් කිරීමට පෙර පවා ජේසුස් වහන්සේගේ සෞඛ්‍ය තත්වය ඉතා තීරණාත්මක ලෙස බරපතල සහ අසාධ්‍ය වන්නට ඇත.

ජේසුස් වහන්සේගේ කුරුසපත් කිරීම සහ මරණය පිළිබඳ විස්තරය  ඉදිරි කොටසින් බලාපොරොත්තු වන්න...

කෝකිල ප්‍රනාන්දු සා.බෙ. නි සහෝදරතුමා
විශේෂ ස්තුතිය : රිද්මි හඳපාන්ගොඩ