ශ්‍රී ලංකාවේ පැරණිතම කිතුනු සලකුණ - අනුරාධපුර කුරුසිය

ශ්‍රී ලංකාවේ පැරණිතම කිතුනු සලකුණ - අනුරාධපුර කුරුසිය

අප රටේ ධජ,බැනර, පදක්කම්, නිල ලකුණු යනාදිය ආදියේ සිටම භාවිතයේ තිබුණු බව සටහන් වන්නේය. මේ අතර කතෝලික කොඩිද කිහිපයක් වු බව වාර්තා වේ. මින් දෙකක් ඊ.ඩබ්ලිව්.පෙරේරා මැතිඳුන් ක්‍රි.ව. 1916 පළකළ "සිංහල ධජ සහ නිල ලාංජන" නමැති ග්‍රන්ථයේ පෙන්නුම් කොට ඇත. මින් එකක පැරණි හස්ති සහ හිරු සඳ ලාංජනයට අමතරව කුරුසිය, දිව්‍ය සත්ප්‍රසාද කරඬුව සහ දිව්‍ය සත්ප්‍රසාද කරඬුව සහ දිව්‍ය සත්ප්‍රසාද කුඩා බඳුනක් (පික්ස්) යන ලාංජනද යොදා ඇත. (ග්‍රන්ථයේ 57 වන් රූපය.) දෙවන ධජයේ යොදා ඇත්තේ පාදමක් මත පිහිටුවා ඇති කුරුසියක් වටා මල් සහ කරුවලින් සරසා ඇති ලාංජනයකි. (58 වන රූපය) මෙම කොඩි ලංදේසි පීඩනයට බියෙන් මනම්පිටිය විල්ලුවේ තමංකඩුව ග්‍රාමයේ වැවක් අද්දර පදිංචිව සිටි ලංකාවේ මුහුදුබඩ ජීවත්වු කතෝලික පිරිසකගේ කොඩි දෙකක් යැයි විශ්වාස කෙරේ. එහෙත් තත්කාලීන පර්යේෂණ අනුව මෙය ඊටත් පැරණී යුගයක අනුරාධපුර, සීගිරිය ආදී ප්‍රදේශවල සිටි පිරිසකගේ විය හැකි දැයි ප්‍රශ්න කෙරේ.

එය කුමක් වුවත් අදට සුදුසු ධජයක් අප කතෝලිකයන් යොදා ගත යුතු බව පොදු අපේක්ෂාව විය. මෙතෙක් බොහෝ දුරට කතෝලික උත්සවයන්හිදි අප යොදාගත්තේ "පාප් ධජයයි" මෙය මුල සිට පාප් වහන්සේගේ නිළ ධජය වුවත් ක්‍රි.ව. 1929 වතිකානය ඉතාලියෙන් වෙන්කොට වෙනම රාජ්‍යයක් සැටියට (ලෝකයේ කුඩාම රාජ්‍යය) පිහිටුවීමත් සමඟ අතිඋතුම් එකොළොස් වැනි පියුස් සසුනිසුරාණෝ එය වතිකාන රාජ්‍යයේ නිල ධජය බවට පත් කළේය. මෙතැන් සිට එය රාජ්‍යය කොඩියක් බවට පත් විය. මේ අනුව අප කතෝලික උත්සවයන්හිදි අන්‍ය රාජ්‍යයක කොඩියක් ඔසවීමට වඩා අපගේම නිල කොඩියක් එසවීම යෝග්‍ය බව පිළිගත් ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලය අප කතෝලික කොඩිය අනුමත කලේය. මෙසේ වෙසෙසින් අප ජාතික කොඩිය (සිංහ කොඩිය) ඔසවන අවස්ථාවලදී ඒ සමඟම අප ශ්‍රී ලංකා කතෝලික ධජය ඔසවීම වඩාත් යෝග්‍ය වන්නේය.

මෙම ධජයේ යොදා ඇති කුරුස ලාංජනය ගැන යමක් සඳහන් කළ යුතුයි. මෙම කුරුස ලාංජනය අති විශේෂයි. එය අනුරාධපුර නටඹුන් අතරේ තිබී ක්‍රි.ව. 1912 දී සොයා ගනු ලැබුවේ මුහන්දිරම් පී.ඩී.ඒ. වික්‍රමසුරිය මැතිඳුන් විසිනි. එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සැලසුම් ශිල්පියා වු එතුමා එය එවකට පුරා විද්‍යා කොමිසාරිස් ධුරය දැරූ ඊ.ආර්. අයර්ටන් වෙත ඉදිරිපත් කළේය. අයර්ටන් මෙය පෘතුගීසින්ගේ කුරුසියක් විය හැකියැයි සැක කළේය. එහෙත් අයර්ටන්ගෙන් පසු එම තනතුරට පත්වු ඒ.එම්. හොකාට් මේ ගැන ගැඹුරු අධ්‍යයනයක යෙදි 1924 තමන් පළකළ "පුරා විද්‍යා සමීක්ෂණයේ" සටහන් කැර ඇත්තේ සැකෙවින් මෙසේය. 'F 7, හි බිම් මට්ටමේ කුරුසියක ලාංජනය කොටා ඇති ඝෘජුකෝණාශ්‍ර කණුවක කොටසකි. එහි පඩි සහිත පාදමක් මත මලක ස්වරූපය ගත් කුරුසියක් පිහිටුවා දෙපයින් අං දෙකක් බඳු පළබර රුකක අතු පිහිටා ඇත."

"මෙය ගෙදරක කුළුණක් යැයි නොපිළිගත හැක. මෙය මෙහි අසල පිහිටි විශාල ගොඩනැගිල්ලක කොටසක් විය හැකිය. මා සිතන හැටියට එය දෙව්මැදුරක කුළුණක් විය යුතුයි."
එසේ කීවත් හොකාට් ද සිතා සිටියේ මෙය පෘතුගීසි දෙව්මැඳුරක කොටසක් බවයි. එහෙත් හොකාට්ගේ මතය සම්පුර්ණයෙන් සාවද්‍ය බව කිව යුතුයි. මීට හේතුන් කිහිපයකි. එනම් -
පළමුව 17 වැනි සතවසරේ මුල් කාලය වනතුරුත් පෘතුගීසින්ට අනුරාධපුරය සොයාගත නොහැකිව තිබීමයි. අනුරාධපුරය ගැන පළමුව සටහන් කර ඇති යුරෝපීයයා ක්‍රිස්තු වර්ෂ 1610- 1629 දක්වා ලංකාවේ විසූ ප්‍රැන්සිස්කානු නිකායට අයත් ගරු නෙග්රාඕ නම් කතෝලික පියතුමෙකි. වියත් ඉතිහාසඥ ක්වෙයිරොස් ද සඳහන් කර ඇත්තේ පෘතුගාල රජු නියෝග කර තිබුණත් පෘතුගීසිනට අනුරාධපුරය සොයාගත නොහැකි වූ බවයි.

දෙවනුව හොකාට් අනුරාධපුර කුරුසිය සසඳා බලා සමානකම් දුටු කෝට්ටේ කුරුසිය පෘතුගීසින්ගේ කුරුසියක් නොවේ. එය ශුද්ධවු  තෝමස් අපෝස්තුළුවරයාණන්ගේ  කුරුසියකි.එය පෘතුගීසින් මෙහි එන්නටත් පෙර තිබූ එකකි. මෙලෙස ශුද්ධවූ තෝමස් අපෝස්තුළුවරයාණන්ගෙන් නිර්මාණය ආරම්භ වූ කුරුස දෙකක් ලක්බිම තිබී හමුවී ඇත. ඉතිහාසඥ ක්වෙයිරොස් මෙය සටහන් කොට ඇත. එතුමා මෙසේ ලියා ඇත. " කොළඹ උපනාගරික පෙදෙසක ශුද්ධවු තෝමස් මුනිවරයාණන් ගේ ගෞරවය සඳහා කැප කරන ලද කිතුනුවන්ගේ පියතුමා වැඩ සිටි, දෙව්මැදුරක එම ප්‍රභාමත් මුනිවරයාණන් විසින් සියතින්ම කුඩා ගල් කණුවක කැටයම් කරන ලද කුරුසියක් ආරක්ෂිතව තබා තිබුණි. මෙය ලංකාවේ තිබුණු එවැනි දෙවන කුරුසිය යි." (ක්වෙයිරොස් 715 වැනි පිටුව)

ශ්‍රී ලංකාව ගැන භාරතයේ සිරියානු පිළිවෙත් අනුගමනය කරන කිතුනු කණ්ඩායම් ගැනත් ගැඹුරු අධ්‍යනයක් කරැති වියත් ඉතිහාසඥ එච්. ඩබ්ලිව් කොඩ්රින්ටන් මෙම අනුරාධපුර කුරුසිය ශුද්ධවූ තෝමස් මුනිවරයාණන් ගෙන් දහම උගත් පරිසියාන කිතුනුවන්ගේ කුරුසයක් බවත්, එය ශුද්ධවු තෝමස් මුනවරයාණන් විසින් දකුණු ඉන්දියාවේ මයිලපුර්හි තනන ලද කුරුසියට සර්වසම බවත් ලියා ඇත.මයිලපුර්හි කුරුසිය පෘතුගීසින් විසින් සොයාගනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1547 දීය.
මෑතදී කරන ලද පරීක්ෂණ අනුව මෙම අනුරාධපුර කුරුසය නෙස්ටෝරියානු කිතුනු නිකායේ කුරුසියක් නොවන බවත්, එය කතෝලික බැතිමතුන්ගේ කුරුසයක් බවත් සනාථ වී ඇත.

නෙස්ටෝරියානුන්ගේ කුරුස ඉහළින් ශුද්ධාත්ම පරවි ලාංඡනය යොදානු ලැබේ. මෙහි එවැන්නක් නැත. ලංකාවේ මෙතෙක් හමුවී ඇති පැරැණිතම කිතුනු සලකුණ මෙයයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ආදියේ සිට අපගේ පැවැත්ම සංකේතවත් කොට සිහිපත් කිරීමට එය කතෝලික කොඩියේ යොදා ඇත.

සටහන - ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
උපුටා ගැනිම - 2009 දෙසැම්බර් 20 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපය