පැරණි ගිවිසුමේ සැගවුණු ශුද්ධ වූ ත්‍රීත්වය

පැරණි ගිවිසුමේ සැගවුණු ශුද්ධ වූ ත්‍රීත්වය

ඒකත්වය

"ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේම (אֱלֹהֵינוּ: aleinu) පමණක් (אֶחָד: achd) දෙවියන් වහන්සේ වන සේක."
ද්ව්තීය නීති සංග්‍රහය 6:4

achd යන හීබෘ යන වචනය එක් පුද්ගලයකුට පමණක් හැඟවෙන වචනයක් සඳහා භාවිතා වන අතර පුද්ගල සමූහයක ඒකත්වය සඳහා ද භාවිතා වේ.
උදාහරණයක් ලෙස,

"...මෙලෙස ඔව්හු එක් (אֶחָד: achd) මාංසයක් වන්නෝ ය." (ආදම් සහ ඒව සදහා)
උත්පත්ති 2:24

"උන් වහන්සේ, ''බලන්න, මේ සියල්ලෝ එකම (אֶחָד: achd) ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එකම (אֶחָד: achd) භාෂාවක් කතා කරති."
උත්පත්ති 11:6

එමෙන්ම සමිඳාණන් වහන්සේ (אֱלֹהֵינוּ: aleinu) සදහා යොදා ඇති හිබෘ වචනයේ 'inu' ප්‍රතය අඩංගුය. ඉන් බහු වචනමය අර්ථයක් ගෙනදෙයි.

සමිඳාණන් වහන්සේගේ දූතයා

හීබ්ව් භාෂාවේ 'දූතයා (mlakim) ' වචනයේ අර්ථය ස්වර්ගයේ සිටින පියාපත් සහිත චරිතයක් නොවේ. ඒ තේරුම නියෝජනාත්මක පණිවිඩකරුවා යන්නයි.
උදාහරණයක් ලෙස,
"ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් (mlakim) යැවී ය."
උත්පත්ති 32:3

එසේනම්, යම් ස්ථානයක දූතයා (mlakim) යන වචනය කුමක් සදහා භාවිතා කරන ලද්දේ ද යන්න පිළිබඳව දැනගැනීමට පරිච්ඡේදයේ ඉතුරු කොටස කියවිය යුතුය.

උප්පත්ති 16හි මෙම කොටස සලකා බලමු

"එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා (mlakim) ඈට කතා කොට, ''නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ''යි කී ය. ඔහු තවදුරටත් මෙසේ කී ය. බොහෝ දරු පල මම ඔබට දෙමි. ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි."
උත්පත්ති 16:9-10

මෙහි සමිඳාණන් වහන්සේගේ දූතයා යනු සමිඳුන් විසින් එවන ලද පණිවිඩකරුවෙකු පමණක් නම් "මම ඔබට දෙමි" යන්නෙන් පවසන්නේ ඇයි? එහි අරුත පණිවිඩකරු සමිඳාණන් වහන්සේගේ දූතයා, සමිඳාණන්වහන්සේම බවයි.

එම පරිච්ඡේදයේම 13 වන වගන්තියේ "ඈ තමාට කතා කළ සමිඳාණන් වහන්සේ" ලෙස කීමෙන් ද එය තහවුරු කරයි.

මෝසෙස්තුමා ට දැවෙන  ගිනි පදුරක් මෙන් දෙවියන් වහන්සේ දර්ශනීය වූ අවස්ථාව සලකා බලමු,

"සමිඳාණන් වහන්සේගේ දූතයා (mlakim) පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.මෝසෙස්, ''මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි''යි තමාට ම කියාගත්තේ ය. ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, ''මෝසෙස්, මෝසෙස්'' කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ''මම මෙහි ය''යි කීවේ ය.
නික්මයාම 3:2

එහිදී සමිදානන් වහන්සේගේ දූතයා දැවෙන ගිනි පදුරක් ලෙස දර්ශනය වේ යැයි කීවද "මෝසස් මෝසස්" ලෙස ආමන්ත්‍රණය කරන්නේ සමිඳාණන් වහන්සේ බව පැවසීමෙන් සමිඳාණන් වහන්සේගේ දූතයා යනු සමිදානන් වහන්සේමැයි ඇගවේ.

මෙහි විශේෂත්වය නම් උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, ''මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි (I am who I am)." යන්න උන් වහන්සේව හදුන්වයි. ක්‍රිස්තුස් වහන්සේ "ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි. (I am)''යැයි වදාළ සේක. ඉන් තමන් වහන්නේ සමිඳාණන් වහන්සේගේ දූතයාත්, සමිඳාණන් වහන්සේමත් බව වදාළ සේක.

දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය

"සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්මවාක්‍ය පැවසුවේ ය."
සාමුවෙල් 10:10

මෙය පෙන්තකොස්ත දිනයේදී සිදු වූ දේට සමාන ය. දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක:

"අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවාලමි."
ක්‍රියා 2:17

දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය යන නාමය පුද්ගලබද්ධව පැරණි ගිවිසුමේ විවිධ ස්ථානවල මේ ආකාරෙයෙන් දැකගත හැක.

තවදුරටත්,
"මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි. දෙවි සමිඳාණෝ ("And now my Lord Yahweh, He sends me and His spirit.") සිය බලය මට දී මා එවූ සේකැ'යි...".
යෙසායා 48:16
මෙහිදී ද ත්‍රිත්වය නිරූපණය වේ.

මින් පෙනී යන්නේ ශුද්ධ වූ ත්‍රිත්වය ක්‍රිස්තුස් වහන්සේට පසුව අලුතින් ඇතිකර දෙයක් නොව පැරැණි ගිවිසුමේ ද මෙය සැඟවී සිටි සමිඳාණන් වහන්සේ, සමිඳාණන් වහන්සේගේ දූතයා, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය  එකම දෙවියන් වහන්සේව සිටි බවය.

උප්පත්ති 1:26හි "ඉන්පසු දෙවියන් වහන්සේ; ''අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු." යන්නෙහි "අපගේ සුරූපය" යනු ශුද්ධ වූ ත්‍රිත්වය බව පැහැදිලි වේ.