මරිය වහන්සේ, දෙවියන් වහන්සේගේ අම්මාය.

මරිය වහන්සේ, දෙවියන් වහන්සේගේ අම්මාය.
Photo by engin akyurt / Unsplash

මරියෝත්තමාවෝ "දේව මාතාවන්" බව කතෝලික සභාවේ වේද සත්‍යයකි.එය ප්‍රතික්ෂේප කරන්නන් විජාතිකයින් හා ඇදහිල්ල අත්හැර දමා ගොස් ඇති අයවලුන් ලෙසින් ශුද්ධවූ සභාව සළකන්නීය;

[ සුවිශේෂ වල සඳහන් පරිදි "ජේසුස් වහන්සේගේ මව" එළිසබෙත් තුමිය විසින් මරිය තුමිය තම පුත්‍රයා ඉපදීමට පෙර ශුද්ධාත්ම පෙළඹවීම මත "මාගේ ස්වාමීන් වහන්සේගේ මෑණියෝ" යැයි පැවසීම තුළින් ප්‍රීති ඝෝෂා පැවැත්වීමෙන් පිළිගනියි. ශුද්ධාත්මයාණන්ගෙන් ඇය පිළිසිඳගත් මිනිස් දරුවා කවුරුවත් නොව සත්‍යයෙන්ම ඇගේ මිනිස් පුත්‍රයා දෙවි පියාණන්ගේ සදාකාලික පුත්‍රයාණෝය.ශුද්ධවූ ත්‍රිත්වයේ දෙවන තැනැන්වහන්සේය.ශුද්ධවූ සභාව පිළිගන්නේ මරියෝත්තමාවෝ සත්‍යයෙන්ම "දේව මාතාව" ( තියටකොස් ) ලෙසය. - කතෝලික සභා ධර්මෝපදේශය, 495 ]

තියටකොස් ( Theotokos ) නමැති ග්‍රීක වචනයේ අර්ථය, "දෙවියන් දරන්නී" ( God-bearer ) වේ.තවද "මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද?"යි - ( ශු.ලූක් 01:43 ), එළිසබෙත් තුමිය පවසන්නේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණවය - ( ශු.ලූක් 01:41 ).එබැවින් එළිසබෙත් තුමිය, "මරියෝත්තමාවෝ ජේසුස් සමිඳාණන් වහන්සේගේ මෑණියන් යැ"යි පැවසීම සැබවින්ම දේව අනාවරණයක් ලෙසින් සැළකිය හැකිය.එලෙසම ශුද්ධවූ ලියවිල්ල පුරා තවත් බොහෝ ස්ථාන වල ඕතොමෝ, "ජේසුස් වහන්සේගේ මෑණියන්" ලෙසින් හදුන්වා ඇත - ( උදා:- ශු.ජොහන් 02:01; 19:25, ශු.මතෙව් 13:55 ... ).කෙසේවෙතත් කතෝලික වේද විශ්වාසයෙන් පිට සිටින්නන් මරියෝත්තමාවෝ දේව මාතාවන් ලෙසට නොපිළිගනිති.ඔහුන් ඊට විරුද්ධව එල්ල කරන චෝදනා කිහිපයක්ද ඇත.එනම්;

( 01 චෝදනාව ) "දේව මාතාව" ලෙසින් කිසිදු වචනයක් බයිබලය තුළ හමු නොවේ.එලෙසම "මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන්" ලෙසින් එළිසබෙත් තුමිය සඳහන් කළේ දෙවියන් වහන්සේ පිළිබඳව නොවේ. මක්නිසාදයත් එහිදී "සමිඳාණන් වහන්සේ" සඳහා යොදා ඇති "කුරියෝස්" ( kurios ) නමැති ග්‍රීක වචනය බයිබලය තුළ විවිධ සන්දර්භයන්හි වෙනත් මානව පුද්ගලයින් සම්බන්ධයෙන්ද භාවිතා කර ඇත. නිදසුනක් ලෙස ජේසුස් වහන්සේ විසින්ම මිදි උයනේ ස්වාමියෙකුව හැදින්වීමට "කුරියෝස්" නමැති ග්‍රීක වචනය යොදාගෙන ඇත.

🕳️ පිළිතුරු:- "කුරියෝස්" නමැති ග්‍රීක වචනය ශුද්ධවූ බයිබලය තුළ විවිධ සන්දර්භයන් තුළ, විවිධ ස්වාමිවරුන් හැදින්වීම සඳහා යොදාගෙන ඇත. උදාහරණයක් ලෙස ක්‍රි.පූ.05-04 ත් සියවස් අතර ඇතෑන්ස්හි ජනයා මෙම ග්‍රීක වචනය ගෘහ මූලිකයන් හා තම නව ස්වාමි පුරුෂයාව හැදින්වීම සඳහා යොදාගෙන ඇත.කෙසේනමුත් මේ විවිධ ස්වාමිවරු අතරේ අපට ඇත්තේ එකම එක ස්වාමියෙකු පමණක් වන බවට ශුද්ධවූ පාවුළු තුමා පවසයි.ඒ ස්වාමියා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේය: සුරලොව හා නරලොව 'දෙවිවරුන්' යයි කියන අය ඇතත් මෙවැනි 'දෙවිවරුන්' හා 'ස්වාමිවරුන්' ( kurios ) බොහෝ දෙනෙකු සිටියත්, අපට ඇත්තේ එකම දෙවි වන පියාණන් වහන්සේය... තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එකම සමිඳාණන් වහන්සේය ( kurios ) - ( 01 කොරින්ති 08:05-06 ).මෙහි ජේසුස් වහන්සේ පිළිබඳ ඇති "එකම සමිඳාණන් වහන්සේ" ( kurios ) යන සඳහන, උන්වහන්සේගේ දේවත්වය පිළිබඳ සඳහනකි. මක්නිසාදයත් ජුදෙව් ඒක දේව වාදයේ හරය පිළිඹිඹු වන "Shema Yisrael" හි ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවියන් වහන්සේ, ඔහුන්ගේ එකම සමිඳාණන් වහන්සේ ( kurios ) ලෙසින් හදුන්වා ඇත: ඉශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේම ( kurios ) පමණක් දෙවියන් වහන්සේ වන සේක - ( ද්විතීය නීති සංග්‍රහය 06:04 ).ඉතින් බලන්න, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණව සිටි එළිසබෙත් තුමියගේ සමිඳාණන් වහන්සේ, අපගේ දෙවි සමිඳාණන් වහන්සේ නොවන්නේ කෙසේද? තවද හෙබ්‍රෙව් ශුද්ධවූ ලියවිල්ලේ "දෙවියන් වහන්සේ" සඳහා යොදා ඇති "යොහොවා" ( YHWH ) නමැති අක්ෂර සතරේ නිරූපකය, සෙප්ටුවාජින්ත ග්‍රීක පිටපතේදී "කුරියෝස්" ( kurios ) හෙවත් "සමිඳාණන් වහන්සේ" ලෙසින් 7000 වාරයකට වඩා පරිවර්තනය වී ඇත.එලෙසම එය නව ගිවිසුමේ කොයින් ග්‍රීක පිටපතේදී ජේසුස් වහන්සේව නිරූපණය කරමින් 740 වාරයකට වඩා පරිවර්තනය වී ඇත ( උදා:- මලාකි 03:06, 02 කොරින්ති 03:16-18, පිලිප්පි 02:11, ශු.මාක් 01:03; 11:09; 12:11; 05:19; 11:03, ශු.මතෙව් 21:42 ... )

( 02 චෝදනාව ) මරියතුමිය දෙවියන් වහන්සේගේ මෑණියන් නොවේ.ඇය මනුෂ්‍යයෙකු වූ ජේසුස් වහන්සේගේ මෑණියන් පමණයි.මක්නිසාදයත් ජේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ දේවත්වය අත්හැරය.ජේසුස් වහන්සේව පියාණන් වහන්සේ දේව පුත්‍රයා ලෙස තෝරා ගත්තේ ඔහු ස්නාවක ජොහන් තුමා අතින් ජොර්දාන් නදියේදී බෞතීස්ම ස්නාපනය ලබන විටදීය. එසේත් නැතිනම් ඔහු දෙවියෙකු බවට පත්වූයේ මරණයෙන් නැඟිට ස්වර්ගාරෝහණය වීමෙන් පසුවය.

🕳️ පිළිතුරු:- ශුද්ධවූ පාවුළු තුමා පිලිප්පිවරුන්ට ලියන ලද හසුන මඟින් දෙවියන් වහන්සේගේ මාංශගත වීමේ අභිරහස පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැකිය: උන්වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවකැයි නොසිතා, එය ඉවතලා ( තමන් වහන්සේම ත්‍යාජ කරගනිමින් ), වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක - ( පිලිප්පි 02:06-07 ).මින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මාංශගත වීමේදී දෙවි-බව අත්හල බව හෝ ශුන්‍යතාවයට පත්කර ගත් බව නොවේ. මෙහි යෙදී ඇති "කෙනෙඔ" නමැති ග්‍රීක ක්‍රියා පදයෙහි අර්ථය, "හිස්වීම" යන්නයි.ඉන් ගම්‍ය වන්නේ දෙවි-බවට හිමි තත්වයන් හා අයිතිවාසිකම් ස්ව කැමැත්තෙන්ම ත්‍යාජ කිරීමයි.එබැවින් මිනිසත් බව ගැනීම නිසා දේව පුත්‍රයාගේ දෙවි-බව අවලංගු වූයේ හෝ හානියට පත්වූයේ නැත.දේවත්වය එලෙසම පවතිද්දී, මිනිසත් බව එයට එකතු කර ගැනීම දෙවියන් වහන්සේගේ මාංශගත වීමේදී සිදුවිය.මේ නිසා ක්‍රිස්තුවේදයට අනුව ජේසුස් වහන්සේ තුළ 100% දේවත්වයද, 100% මනුෂ්‍යයත්වයද පවතින්නේය. මෙය කිසිවිටෙකත් අඩුවැඩි වීමක් සිදු වූයේ නැත. උන්වහන්සේ සැබෑම දෙවියන්ද, සැබෑම මනුෂ්‍යයාද වන සේක: මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය... මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන්වහන්සේගේ මිනිස් බවෙහිම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි - ( කොලොස්සි 01:19; 02:09 ).එලෙසම ජේසුස් වහන්සේ, මරියතුමියගේ කුස තුළ පිළිසිඳ ගත් මොහොතේ සිටම දෙවියන් වහන්සේය: මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටුවන පිණිසය.එනම්; "මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත," යනුය.ඒ නාමයේ අර්ථය නම්, "දෙවියන් වහන්සේ අප සමඟය" යනුයි... ධර්මයාණෝ දෙවියන් වහන්සේවම සිටි සේක... ධර්මයාණෝ මාංසගතව අප සමඟ වැඩ විසූ සේක. - ( ශු.මතෙව් 01:22-23, ශු.ජොහාන් 01:01;14 ).

( 03 චෝදනාව ) මරියතුමිය දේව මෑණියන් බවට මුල් කිතුනුවන් විශ්වාස නොකළේය.එය කතෝලික සභාව විසින් ක්‍රි.ව.431 දී එපීසි මන්ත්‍රණ සභාවේදී නිශ්පාදනය කර බෙදාහරින ලද නව නිපැයුමකි.

🕳️ පිළිතුරු:- "තියටකොස්" ( Theotokos ) හෙවත් "දෙවියන් දරන්නී" යන්න මුලින්ම අපට හමුවන්නේ රෝමයේ හිපොලිටස් තුමාගේ කාලයේදීය ( ක්‍රි.ව.170–235 ).එය ශුද්ධවූ සභාවේ ධර්මදානීය මූලාශ්‍රයේ මුල සිටම තිබූවකි.තවද ක‍්‍රි.ව. 431 දී එපීසි මන්ත‍්‍රණ සභාව පැවැත්වුයේ නෙස්ටෝරියස් නැමැති රදගුරුතුමා ක‍්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳව හා මරියාවන් නමැති මැවිල්ල දේවමාතාවන් වන්නේ කෙසේදැයි වේදභේදික ඉගැන්වීම් ඉදිරිපත් කළ නිසාවෙනි.මෙකී මතවාදයට එරෙහිව ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශුද්ධවූ සිරිල් මුනිතුමා පෙරටුකොට ගත් ශුද්ධවූ සභාව, මෙම මතය බිඳ හැර ශුද්ධවූ කන්‍යාවිය වන මරියෝත්තමාවෝ දේවමාතාවන් ලෙස හඳුන්වා ඕතුමියට බැති පෙම් දක්වන්නට නියෝග කරන ලදී.මේ නිසාම ජනවාරි මස පළමුවනදා පැවැත්වෙන පරිශුද්ධ දේවමාතාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යයට මුල සිටම සවිමත් අත්තිවාරමක් හා පදනමක් දේවධාර්මිකව මෙන්ම සභා සම්ප‍්‍රදායානුකූලව ලැබුණි.පරිශුද්ධ දේව මාතාවන් වහන්සේගේ මාතෘත්වය පිළිබඳව මුල් කිතුනු සභා පිය ඉගැන්වීම් තුළ ප‍්‍රබල ලෙසින් දැක්වේ;

[ දේව දූතයා විසින් ගෙනා, කන්‍යා මරියතුමිය විසින් කීකරු වූ උන්වහන්සේගේ වචනය වන්නේ, ඇය දෙවියන් වහන්සේව දරන බවේ සුභාරංචියයි - ලියොන්හි රදගුරු ශු.ඉරනේයුස් මුනිතුමා, Against Heresies, 5:19:1 - ක්‍රි.ව.189 ].

[ ඉදිරියේදී පැමිණීමට නියමිත උදාරතර තැනැත්තන්ගේ ක්‍රියා හා ඔහුන් පිළිබඳ මෙනෙහි කිරීම් දිවැසිවරුන්ගේ සෑම පරම්පරාවක්ම සිදුකර ඇත. මෙලෙසම ඔහුන් නිකැළැල් ලෙස හා දෙවියන් දරන්නී ( Theotokos ) වන මරියතුමිය මඟින් ඉපදී වැඩෙන දෙවියන් වහන්සේ මාංසගත වී මෙලොවට පැමිණීම ගැනද විස්තර කළහ - රෝමයේ හිපොලිටස් තුමා, Discourse on the End of the World 1 - ක්‍රි.ව.217 ].

[ මහළු මිනිසා ( සිමියොන් ) පිරී ඉතිරී ගිය මහා ශුද්ධවූ සතුටකින් ප්‍රමුදිත වන අතරතුරදී යොසායා දිවැසිවරයා විසින් ශුද්ධවූ දේව මාතාව පිළිබඳව කළින් රූපකයකින් කියා තිබූ දෙය දැන් පැහැදිලිම ඉටුවී තිබේ - ඔලිම්පස්හි ශු.මෙතෝඩියස් මුනිතුමා, Oration on Simeon and Anna 7 - ක්‍රි.ව.305 ].

[ දෙවියන් වහන්සේ සැබවින්ම එම්මානුවෙල් බවත්, මේ නිසා ශුද්ධ වූ කන්‍යාවිය දෙවියන් වහන්සේගේ මෑණියන් බවටත් යමෙකු විශ්වාස නොකරන්නේ නම්, ඔහු ශාප ලද්දෙකු වේවා! - ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු.සිරිල් මුනිතුමා, එපීස මන්ත්‍රණ සභාව - ක්‍රි.ව.431 ].

  • ️කිතුනු අපේ දේවධර්ම දිනපොත