මහනුවර සිංහල කතෝලික රැජිනිය

මහනුවර සිංහල කතෝලික රැජිනිය

පෘතුගීසින් මෙරට පැමිණ කාලය වනවිට කඳුකරය රජකරමින් සිටියේ සිංහල රජ පවුලට අයත් සේනාසම්මත වික්‍රමබාහුය. ඔහුගෙන් පසු ඔහුගේ පුත් ජයවීර බණ්ඩාර එම තනතුරට පත්වීය. එවකට සීතාවක රජ කළ මායාදුන්නේ රජ ඔහුටද තර්ජනයක් විය. මායාදුන්නේ රජුගේ තර්ජනයෙන් බේරීමට බුවනෙකබාහු රජතුමන් පෘතුගීසින්ගේ සහය පැතු ලෙසින්ම ජයවීර බණ්ඩාර ද පෘතුගීසින්ගේ පිළිසරණ සොයා ගියේ ය. එම සහාය ලබා ගැනීම සඳහා හේ කිතු දහම වැළඳ ගැනීමට සුදානම් විය. මේ අනුව ක්‍රි.ව. 1546 දී ෆ්‍රැන්සිස්කාන නිකායික ගරු ෆ්‍රැන්සිස්කෝ ද මොන්ටෙප්‍රන්ඩෝන් පියතුමන් අතින් නුවරදීම ප්‍රසාද ස්නාපනය ලබාගත්තේය. එහෙත් සීතාවකකින් පැවැති යුද තර්ජනය පහවී ගිය ඉක්බිති බහුල වු බෞද්ධ අප්‍රසාදයට බියෙන් හේ කිතු දහම අත් හළේය.

ක්‍රි.ව. 1511 සිට 1552 දක්වා වු ජයවීර බණ්ඩාර රජ කාලය නිමවීමත් සමඟ රජකමට පත්වුයේ ඔහුගේ පුත් කරලියද්දේ බණ්ඩාරයි. ක්‍රි.ව. 1552 සිට 1582 දක්වා රජකල මොහු ද තම පියා මෙන්ම සීතාවක තර්ජනයෙන් ආරක්ෂාව පතා ගියේ පෘතුගීසින් වෙතයි. මෙලෙස පෘතුගීසි හමුදාවන් සමඟ නුවරට පැමිණි කතෝලික පියතුමකු අතින් හේ ද දොන් ජුවාම් නමින් ප්‍රසාද ස්නාපනය ලබා කිතු දහම වැළඳ ගත්තේය. ඔහු කිතු දහමේ රැඳි සිටි නමුත් එහි ව්‍යාප්තිය සඳහා සහයෝගයක් දැක්වු බව නොපෙනේ. මීට හේතුව බහුතර ආගමික පිරිසගේ අප්‍රසාදය එයින් ලැබිය හැකි නිසා වන්නට පුළුවන.

අවසානයේ දී ඔහුගේ බිය සැබෑ කරමින් සීතාවක රාජසිංහ හෙවත් පළමු රාජසිංහ නුවර යටපත් කැර ගත්තේය. මෙතැන තම ආරක්ෂාව පතා කරලියද්ද සහ පවුලේ සෙසු අය පෘතුගීසින් වෙත පැන ගියෝය. මෙසේ ත්‍රිකුණාමලයට පැමිණි ඔවුන් වැඩි දෙනා වසූරිය රෝගය වැළදී මිය ගියෝය. එම කණ්ඩායමෙන් ඉතිරිවුයේ ළදරු වියේ සිට දියණියක් වු කුසුමාසන දේවිය හෙවත් පසුව දෝන කතරිනා සහ බෑණානන් වු යමසිංහයන් පමණී. පෘතුගීසින් විසින් මෙම දෙදෙනා මන්නාරමට ගෙන එන ලදි. කුමාරිකාව පෘතුගීසි පවුල් පරිසරයට හැදුණු වැඩුනු අතර යමසිංහ කුමරා ගෝවා නගරයට යවන ලදුව පසුව ඔහුද ඔහුගේ පුතුනුවන් ද දොන් පිලිප් සහ දොන් ජුවාම් නමින් ක්‍රිස්තියානි කරන ලදී.

ක්‍රි.ව. 1589 දී රාජසිංහ මහනුවර රාජධානියෙන් පන්නා ලදුව සිංහාසනය හිස් විය. තමනට එම රජකම ලබා දෙන ලෙස යමසිංහ කුමරා පෘතුගීසින්ගෙන් ඉල්ලුම් කලේය. කිහිප මසකට පසු එම රජකම යමසිංහ හෙවත් දොන් පිලිප් කුමරාට ලබා දුන් නමුත් ඔහු සැක සහිත මරණයකට පාත්‍ර විය. එවිට ඔහුගේ පුත්‍ර දොන් ජුවන් රජකමෙහි පිහිටුවන ලද නමුත් නුවර ප්‍රධානියකුව සිටී වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර විසින් ඔහු පහකර දමන ලදී.

කොනප්පු බණ්ඩාර ද රාජසිංහ විසින් මහනුවර අල්ලාගන්නා ලද අවස්ථාවේ නුවරින් පැන ගිය අයෙකි. ඔහුද පෘතුගීසින් විසින් ගෝවා නුවරට යවන ලදුව එහිදී කිතු දහම වැළැඳ ගත් පුද්ගලයෙකි. ඔස්ට්‍රියාවේ දොම් ජුවාම් නමින් ක්‍රි.ව. 1571 ඔක්තෝම්බර් මස 7 වැනිදා කිතු දහම වැළද ගත් ඔහු පෙරළා ලංකාවට පැමිණ පෘතුගීසින්ගේ හිතවතකු ලෙස පැවතියේ ය.

යමසිංහ රජකමට පත්වු විගස ඔහුගේ ආරක්ෂාව පිණිස හමුදා භට පිරිසක නායකයා වශයෙන් පෘතුගීසින් විසින් ඔහු මහනුවරට යවන ලදි. එහෙත් යමසිංහගේ සැක සහිත මරණය සමඟම ඔහුගේ පුත් කුමර දොම් පිලිප් රජකමට පත්වීම නුරුස්සු ඔහු (කොනප්පු බණ්ඩාර) දොම් ජුවාම් පළවා හැර විමලධර්මසූරිය නමින් තමන් රජ විය. එකෙණෙහිම ඔහු කිතු දහමද ප්‍රතික්ෂේප කොට පෘතුගීසිනට විරුද්ධව බුදු දහම සහ ජාතික සෛ වරීත්වය සඳහා සටන් වැදුණී.

පෘතුගීසින් මෙපිට කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා රජකමට පත් කිරීමට සටනක් ගෙන ගියත් එය ව්‍යාර්තක විය. විමලධර්මසූරිය ඔහුන් පරාජය කළේ ය. එසේ කැර මන්නාරමේ සිට පෘතුගීසින් විසින් නුවරට ගෙනෙන ලද දෝන කතරිනා සිය බිසව ලෙස සරණපාවා ගත්තේය.
විමලධර්මසූරියගෙන් පසුව රජකමට පත්වුයේ ඔහුගේම ඥාතියකු වු සෙනරත් ය. හේ ද වැන්දඹුව සිටි දෝන කතරිනා බිසව විවාහ කැර ගත්තේය. මෙම විවාහයන් හේතුවෙන් විමලධර්මසූරියට මෙන්ම සෙනරත්ට ද නුවර රජ පෙළපතේ ඥාතී සම්බන්ධය හිමිවිය.

කුසුමාසන දේවියට කුඩා කාලයේ සිටම තමා ඇති දැඩි වු කතෝලික පරිසරය අහිමි වී තිබුණ බව රහසක් නොවේ. කිතුනු නොවන සැමියන් දෙදෙනකු සමඟ ද එවැනිම ජනතාවක් සමඟද ජීවත්වීමට සිදුවීම නිසා ක්‍රියාකාරී කිතුනු දිවියක් ඇය සතු වී නොතිබුණී. එහෙත් ඇගේ හද තුළ කිඳා බැස, කිතු දහම ඈ තුළ රැඳී තිබු බව රහසක් නොවන්නේ බැල්ඩෙයුස් ඉතිහාසඥ සටහන් කර ඇති සාක්ෂිය නිසාය. ඔහු ලියා ඇත්තේ "එතුමී අවසානයේ දී දුක් මනස්තාපයෙන් යුතුව කිතුනුවකු සැටියට මිය ගියාය." (පී. බ්‍රොහියර්ගේ පරිවර්තනය පිටු 67-68)

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ නුවර රාජධානියට පවා වින කරන ලද්දේ අප රජවරුන්ගේම බලකාමය බවයි. මායාදුන්නේගේ සහ ඔහුගේ පුත්‍ර වු පළමු රාජසිංහ රජුගේ බලකාමය නිසා කෝට්ටේ බුවනෙකබාහු මෙන්ම නුවර නායකත්වය ද පෘතුගීසින්ගේ රැකවරණය හා සහයෝගය ද පතා ඇත්තේ අපගේම සිංහල රජවරුන්ගේ තර්ජනයන් ගෙන් බේරි සිටිම සඳහා ය. මේ සියල්ලෙන් පෙනි යන්නේ නුවර රාජධානියේ ද කිතුනු රජවරුන් - රැජිනියන් සිටි බවත්, එසේම බෙදී කුලල්කා ගැනීම අපට අමුත්තක් නොවන බවත් නොවේද?

(මෙම දත්ත වැඩියක් ලබා ඇත්තේ ඩබ්ලිව්.එල්.ඒ. දොන් පීටර් මාහිමියන්ගේ Historical Gleaning නමැති ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න)

ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ
Copyright : Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ