සාන්තුවර වීරාවලියේ නොදිරන සිරුරු - පළමු කොටස

සාන්තුවර වීරාවලියේ නොදිරන සිරුරු - පළමු කොටස
Photo by Nils / Unsplash

ශුද්ධ වූ ධාතූන් ගෞරවයට පත් කිරීමේ සම්ප්‍රදාය බොහෝ මූලධර්මවාදීන්ට අශිෂ්ට හෝ මිථ්‍යා විශ්වාසයන් ලෙස පෙනෙයි. නමුත් කතෝලික සභාව  සැමවිටම දෙවියන් වහන්සේට සුදුසු නමස්කාරය සහ සාන්තුවරයන්ට සුදුසු ගෞරවය අතර පරෙස්සමින් වෙනසක් කර ඇත.සභාව සාන්තුවරයන් තුළින් දෙවියන් වහන්සේට දක්වන ගෞරවය සහ සාන්තුවරයන්ගේ ධාතුන්ට ගෞරව කිරීම අතර වෙනස හඳුනාගෙන ඇත.

4 වන සියවසේ ශු.ජෙරොම් තුමා ඉගැන්වූයේ මෙසේයි,

“අපි ධාතූන් වන්දනා නොකරන්නෙමු, අපි ඒවාට නමස්කාර නොකරන්නෙමු. නමුත් අපි දිවි පිදූවන්ගේ ධාතුන් හට ගෞරවය පුද කරන්නෙමු."

ආදරණීයයෙකුගේ ඡායාරූපයක් හෝ වටිනා සිහිවටනයක් සිපගන්නා ආකාරයටම, කතෝලිකයන් වන අපද ශුද්ධවත් ජීවිත ගත කළ සාන්තුවරයන්ගේ ධාතූන් හට ගෞරවය පුද කරන්නෙමු.එබැවින් සාන්තුවරුන්ගේ ධාතූන් හට ගෞරවය පුද කිරීම එම සාන්තුවරයාට සහ දෙවියන් වහන්සේට අප දක්වන ප්‍රේමයේ ලකුණකි.

බයිබලය තුළ ධාතූන් සැරිසැරූ ආකාරය සොයා බලමු

මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.
2 රාජාවලියේ 13:21 NRSV
දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක. ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ.
ක්‍රියා 19:11‭-‬12 NRSV

ඉහත බයිබල් පාඨ මගින්ද පෙනී යන්නේ එලීෂා දිවැසිවරයාගේ ධාතු වලින් පවා මිනිසුන් සුවය ලැබූ බවයි.කොටින්ම දෙවියන් වහන්සේ පාවුලු තුමන් ස්පර්ශ කළ තුවාය තුළින්ද ප්‍රාතිහාර්ය කළ බව ශුද්ධ බයිබලය තුළ පැහැදිලිවම සදහන් වේ...
කතෝලික සභා ධර්මෝපදේශය තුළ මෙසේ සදහන් වේ...

“The religious sense of the Christian people has always found expression in various forms of piety… such as the veneration of relics, visits to sanctuaries, pilgrimages…etc.” (CCC 1674)

කතෝලික සාන්තුවරයන්ගේ ධාතූන් පිළිබදව කෙටියෙන් සොයා බලමු

වර්ෂ 1447 දී උපත ලබා වර්ෂ 1510 දී සගසුව දිනු ඉතාලියේ ජෙනෝවා හි කැතරින් භුමියගේ සිරුර භුමදානය කිරීමෙන් පසු දහඅට මාසයක් ඇවෑමෙන් බලද්දි තෙත් බරිතව තිබිණ. එතුමියට අන්දවා තුබු මිනී ඇඳුම දිරාපත්ව තිබුණ ද සිරුරට කිසිදු හානියක් වී තිබුණේ නැත.

වර්ෂ 1779 දී ඉපිද වර්ෂ 1865 දී සගසුව දිනූ ප්‍රංශයේ සා. මැඬලීන් සොෆී බරාට් තුමියගේ සිරුර 28 වසරකට පසු ගොඩගත්තේ ය. දිරාපත්ව තිබු මිනී පෙට්ටියත් එතුමිය ඇඳ සිටි වස්ත්‍රාභරණයන්හිත් පුස් බැඳී ඒවා තෙතබරිතව තිබිණ. එහෙත් සිරුරට කිසිදු හානියක් නොවී ජීවමාන අන්දමින් දිස්වන්නට වූයේ කොයි කවුරුන්වත් පුදුමයට පත් කරවමිනි.

වර්ෂ 1582 දී සහසුව දිනු අවිහි සා, තෙරේසා තුමියගේ සිරුර භූමදාන කිරීමෙන් නවසෙකට පසු ගොඩ ගන්නා ලදී. දේහය තැන්පත් කර තිබු පෙට්ටියේ උඩ පියක මුළුමනින්ම දිරා ගොස් වළේ තෙත බරිත පස් සිරුරට වැටී සිරුර ඉන් වැසී ගොස් තිබිණ. එතුමියගේ වස්ත්‍ර දිරා ගොස් කිළුටු රෙදි කැබලි වලින් සිරුර සැරසී තිබිණි. සිරුර ගොඩ ගෙන පිරිසිදු වතුරෙන් සෝදා පවිත්‍ර කළ විට නව මසකට කලින් භූමදාන කළ මළ සිරුරක පෙනුමක් නොවී ය. නැටුම් ජීව ගුණයෙන් පිරී මළ සිරුරක් ලෙස එය දිස් වන්නට වූ අතර මේ නොදිරු සිරුරෙන් ඉමිහිරි සුවඳක් වහනය වන්නට පටන් ගත්තේය.

වර්ෂ 1876 දී සග සුව දිනු පුදුම පදක්කමේ බැතියේ නිර්මාතෘවරිය වු ප්‍රංශයේ සා. කැතරින් ලබෝරේ මුනි තුමියගේ සිරුර භූමදානයෙන් වසර පනස් හයකට පසු එනම් 1932 දී සිරුර ගොඩ ගත් අවස්ථාවේ දී මිය ගිය අවස්ථාවේ සිරුර පැවැති අයුරින් ම පැවැතිණ. එතුමියගේ දේහය තැන්පත් කළ දෙන කොටස් තුනකින් යුක්ත විය. සොහොන් ගැබේ දැඩි තෙතමනය ජලය වෑස්සීම් හේතුවෙන් සිරුර බහා තුබු ඒ ත්‍රිත්ව මිනී පෙට්ටියේ විවරයන්ගෙන් ජලය ගලා විත් සිරුර ආක්‍රමණය කර තිබුණ ද - සිරුරේ වස්ත්‍ර දිරා ගොස් තෙත් බරිත වුවද ද සිරුර මිය ගිය අවස්ථාවේ දී මෙන් නැවුම් බවක් ප්‍රකට කළේ ය. මෙහි සුවිශේෂී සිද්ධිය ව තිබුණේ එතුමියගේ දැතට මිනී පෙට්ටියේ පියනේ කො ටත් වැටී තිබුණත් ඉන් කිසිදු හානියක් සිරුරට සිදු නොවී තිබීමයි. මේ බැව් ඒ අවස්ථාවට සහභාගිවූ වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලදී.

කැපටුවා හි භාග්‍යවන්ත රේමන්ඩ් තුමීයගේ සිරුර වැස්සට නිරාවරණයට පැවැති අතර මොන තරම් ඉන් හානියක් විය යුතු දැයි කියා පෑවේ එතුමියගේ සිරුරේ අවමංගල්‍යය වස්ත්‍රාභරණ යි. ඒවා මුළුමනින් දිරා ගොස් තිබුණ ද සිරුරට හානියක් වී තිබුණේ නැත. එය විස්මය දනවන කාරණයක් බැව් අදාල සිද්ධිය දැසින් දුටුවෝ පැවසූහ.

සියෙනා හි සා. බර්නඩින් තුමියගේ මළ සිරුරටද වැස්සෙන් බරපතල ලෙස පීඩා ගෙන දී තිබුණ ද සිරුර ගොඩ ගත්විට සිරුරට කිසිදු හානියක් කිරීමට වැසි ජලය සමත් නොවීම බොහෝ දෙනාගේ විමතියට හේතු වූයේ වැසි ජලය මළ සිරුරු දිරා යෑමට තුඩු දෙන කාරකයන්ගෙන් බහුල බැව් විද්‍යාත්මකව සනාථ කර ඇති හෙයිනි.

ඉහතින් දැක්වුණේ සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස භූමදාන කළ හෝ සොහොන් ගත කළ සිරුරු පිළිබඳව ය. 1012 දී ඔස්ට්‍රියාවේදී ඔත්තුකරුවකුයැයි සැකකොට මරා දැමු සා, කොලොමන් තුමාගේ සිරුර ඊට ඉඳුරාම වෙනසස් ය. එතුමන්ගේ සිරුර ගසක එල්ලා සති ගණනාවක් පැවැති අතර සිරුර දිරාපත් වීමක් හෝ ඉන් දුගඳක් පිට නොවීම නිසා නගර වාසීහු ප්‍රාතිහාර්යාත්මක , වෙනස් සිද්ධියක් ලෙස සැලකූහ. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ මළ සිරුරක් සොහොන් ගැබක තැන්පත් කර හෝ සුසාන භූමියක භූමදාන කර තිබෙනවාට වඩා වේගයෙන් වාතයට නිරාවරණය ව තිබියදී දිරා පත් වන බවයි. එය අට ගුණයකින් වැඩි බැව් විද්‍යාඥ මතය වන්නේ වාතයේ බහුලව පවතින ක්ෂුද්‍රජිවින් ඉතා වේගයෙන් සිරුරේ අභ්‍යන්තර අවයව වලට කඩා වදින නිසාවෙනි.

මේ අතර පෝලන්ත ජාතික සා. ජොසපාත් මුනිඳුන් ප්‍රාණ පරිත්‍යාග වීමෙන් අනතුරුව ( මරා දැමීමෙන් පසු) එතුමන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර අසල තිබු ගඟට විසිකර දැමී ය. පුරා සතියකට අධික ගංගාවේ පාවෙමින් තුබූ සිරුර දිරාපත් වුයේ නැත. පසුව එය ගොඩ ගෙන භූමදාන කරන ලදී. ඉන් පස් වසරකට පසු අහම්බෙන් මෙන් භූමදාන කළ සිරුර යළි ගොඩ ගනිද්දී දිය සීරාවෙන් හා තෙතමනයෙන් බහුලව පිරී තිබුනි.නමුත් වලේ තුබූ සිරුර ට කිසිදු උපද්‍රවයක් සිදු නොවී නොදිරන තත්වයේ පැවතුන ද එතුමන්ගේ වස්ත්‍ර දිරාපත්ව තිබිණ.

ඉහතින් දක්වා ඇති කිසිදු ධාතුවක් කිසිම ආකාරයක මමීකරනයට හෝ රසායනික ද්‍රව්‍ය යෙදීමක් සිදුකර නැත.මෙය හුදෙක්ම දෙවියන් වහන්සේ සිදු කළ ප්‍රාතිහාර්යන් පමණක් ය.

(මෙම සාන්තුවර චරිතයන් පිළිබදව තොරතුරු උපුටාගෙන ඇත්තේ ශිරාන් මෛත්‍රී මහතා විසින් රචිත " සාන්තුවර වීරාවලියේ නොදිරන සිරුරු " යන ග්‍රන්ථය තුළිනි)

කතෝලිකයන් ලෙස අපි ශුද්ධ වූ ධාතුන් වන්දනාව නොකරමු.නමුත් නිසි ගෞරවය තුළින් ප්‍රාතිහාර්ය අත් දකිමු.
ජේසු පිහිටයි.