ගාලු රදගුරු වසම සිය 130 වන වසර සපුරයි

ගාලු රදගුරු වසම සිය 130 වන වසර සපුරයි

1893 අගෝස්තු 25 වනදා "In hac beati Petri Cathedra" නම් සුදතුම් පිය නිල නිවේදනය මඟින් ස්ථාපිත කෙරුණු ගාලු රදගුරු වසම තම 130 වන සංවත්සරය පසුගිය අගෝස්තු 25 දින  සමරන්නීය.

ශ්‍රී ලංකාවේ දකුණු හා සබරගමු දෙපළාත් ආවරණය කරමින් බිහිවූ ගාලු පදවියට සතර කෝරළේ උතුරු මායිමේ මාවනැල්ල දක්වාත්, රුහුණේ මාගම් පත්තුවේ හම්බන්තොට දක්වාත් බස්නාහිරින් බෙන්තොට දක්වාත් ප්‍රදේශ අයත් වූ අතර වර්තමාන ගාල්ල , මාතර, හම්බන්තොට, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක පහෙන් එය සමන්විත විය.

ගාලු රදගුරු වසමේ ධර්මදූතික කටයුතු බෙල්ජියමේ ජේසු නිකායික ප්‍රාදේශීකයට භාර වූ අතර ඒ අනුව ප්‍රථම රදගුරු ලෙස බෙල්ජියම් ජාතික ගරු ජෝසප් වැන් රිත් (ජේ.නි.) පියතුමා 1895 මාර්තු 19 දා බෙල්ජියමේදී අබිසෙස් ලැබීය. එතුමන් හා එක්වූ ටී. නෙව්ට්, පී. වොලින් හා ජේ. කෲර්මන් යන ජේසු නිකායික පියතුමන්ලාත් වර්බෘග් සහෝදරතුමාත් 1895 ඔක්තෝබර් 16දා මෙරටට පැමිණ තම මෙහෙවර ඇරඹූහ.

ගාල්ල කලුවැල්ල පෝරක ගොඩැල්ල නම් කඳුගැටය මත ඉදිවූ දේවමාතාවන්ට කැපකළ අලංකෘත දේවස්ථානය පදවියේ ආසන දෙව්මැඳුර ලෙස නම් කෙරුණු අතර පසුකාලීනව මේ බිම්කඩ කල්වාරි කන්ද යන වඩා අරුත්බර නමින් වැහැරෙන්නට වන. ඒ ලන්දේසි පීඩන අවධියේ කතෝලික සැදැහැවතුන්ට මේ ක‍ඳුගැටය මත දඬුවම් දී ඇති බැවිනි. එසේම පදවියේ නාමසාන්තුවරයා ලෙස ශු. ජුසේ තුමන් නම් කෙරිණි.

අති උතුම් වැන් රීත් රදගුරු තුමන් පුරෝගාමී කර්තව්‍යයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මාහැඟි මෙහෙවරක් කළ අතර ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවිදි සොයුරියන්ගේ සේවාව ගාලු රදගුරු වසමට ලබාගත්තේ ය. එපමණක්ද නොව ස්වදේශීය පැවිදි නිකායක් ද බිහිකරමින් ශ්‍රී ලාංකික සභාවට සුවිශේෂී සේවාවක් ලබාදුන්නේ ය. 28 වසරක දිගු රදගුරු සේවාවකින් පසු එතුමා සගසුව දිනූ අතර මේ වර්ෂයට එතුමන් සගසුව දිනා සියවසක් සපිරේ.

ගාලු රදගුරු වසම හෙබවූ යහපත් එඬේරු

  1. අතිඋතුම් ජෝසප් වෑන් රීත් (ජේ.නි.) හිමිපාණෝ (1895-1923)
  2. අතිඋතුම් නික්ලස් මරිය ලෞදාදියෝ (ජේ.නි.) හිමිපාණෝ (1934-1964)
  3. අතිඋතුම් ඇන්තනී ද සේරම් හිමිපාණෝ (1965-1982) (ප්‍රථම ස්වදේශීය රදගුරුතුමා)
  4. අතිඋතුම් ඩබ්ලිව්. දොන් සිල්වෙස්ටර් හිමිපාණෝ (1982- 1995)
  5. අතිඋතුම් එල්මෝ නොයෙල් ජෝසප් පෙරේරා හිමිපාණෝ (1995- 2004) (ගාලු පදවිය තුළින්ම රදගුරුවරය ලද ප්‍රථමයා)
  6. අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණෝ (2005- 2009)
  7. අතිඋතුම් රේමන්ඩ් කිංස්ලි වික්‍රමසිංහ හිමිපාණෝ (2011 සිට)

ගාලු රදගුරු වසම ආරම්භයේ පටන්ම සුළුතර කතෝලික ප්‍රජාවක් නියෝජනය කළ බහුතර අන්‍යාගමික ජනතාවක් මැද දේව රාජ්‍යට සාක්ෂි දරන කිතුනු සැදැහැවතුන්ගේ සංඝයකි. භූගෝලීය පදනමින් ගත්කළ අතිශයින් විසුරුණු කිතුනු පිරිසකගේ එකතුවකි. තම දේවස්ථානය කරා බොහෝ දුරකතර ගෙවා පියමනින අහිංසක කිතුනුවෝ බහුල ප්‍රදේශයකි.

1995 දී සබරගමුව වෙනම රදගුරු වසමක් වීමත් සමඟ ගාලු රදගුරු වසම දකුණු පළාතට සීමා විය. වර්තමානයේ රදගුරු වසම තුළ මීසම් 17 ක් පවතින අතර ඒ බොහෝ මීසම් ආශ්‍රිතව පැවිදි සොයුරියෝ මාහැඟි මෙහෙවරක යෙදෙති. ඔවුන් යටතේ කන්‍යාරාම මඟින් සුවිශේෂී සේවාවක් ලැබෙන අතර ජේසු නිකාය හා තවත් නිකායන් කීපයක පියතුමන්ලා ඒ පැවිදි මෙහෙවර තවදුරටත් අරුත්ගන්වති.

ගාලු රදගුරු වසමින් නික්මී සිරිලක කිතු සසුන එලිය කළ පහන් ටැම්

  1. දයාවේ සොයුරියන්ගේ පැවිදි නිකාය - 1896 ගාල්ල කේන්ද්‍ර කරගනිමින් දියත් කළ දයාවේ සොයුරියන්ගේ කැපවූ සේවාව පදවියට සීමා නොවී දීපව්‍යාප්තව පැතිරුණකි. ගාල්ල සිරිහද හා මාතර සාන්ත මරියා කන්‍යාරාම පාසල්, සුපෙම් උයන විශේෂ දරුවන් වෙනුවෙන් කෙරෙන සේවාව, වැඩිහිටි නිවාසවල සේවාව මෙහිලා සිහිපත් කළයුතුමය.
  2. සුරදූත පැවිදි නිකාය - 1903 දී වැන් රීත් හිමිපාණන් ගත් අභීත තීරණයක ප්‍රතිඵලයක් වූ මේ ස්වදේශීය පැවිදි නිකාය අද මුළු රටේම පමණක් නොව විදේශවලත් පැතිරී ගිය දූතමෙහෙවරකට උරදෙන පැවිදි නිකායකි.
  3. සාන්ත ඇලෝසියස් විදුහල - 1895 දී ප්‍රථම රදගුරු තුමන්ගේ පුරෝගාමී කර්තව්‍යයක් ලෙස බිහිවූ මේ විදුහල එදා මෙදාතුර දිවයිනට ලබාදුන් යුග පුරුෂයන් අපමණය. එවන් විදුහල් කීපයක්ම ජේසු නිකාය යටතේ එකල ක්‍රියාත්මක විය.
  4. මාතර අප ස්වාමිදූ - මාතර කොටුවේගොඩ පිහිටා ඇති දේවමාතාවන්ගේ දේවස්ථානය නන්දෙසින් සැදැහැවතුන් කැන්දන සිරිලකටම ආශිර්වාදයන් ගෙන එන  සුවිශේෂී පුදබිමකි. ජාතික සිද්ධස්ථානයකි.
  5. හිනිදුම කල්වාරි පුදබිම - 1958 දී ආසිරි ගැන්වුණු හිනිදුම කල්වාරි සිද්ධස්ථානය මෙරට කල්වාරි පුදබිම් අතර කැපීපෙනෙන්නකි. චතාරික සමයේ මෙරට සිව්කොණින්ම ජනතාව රැස්කරවන පිංබිමකි.
  6. " ඔබට පසස ගී "  - ගාලු රදගුරු වසමේ සුවිශේෂී පූජක පුතෙක් වූ අතිගරු මොසැසි පෙරේරා මාහිමියන් විසින් සම්පාදනය කෙරුණු ගීතිකා නොගැයෙන දේවස්ථානයක් නැති තරම් ය. ජනවන්දනාව තුළ  එතුමන්ගේ දායකත්වය සුවිශේෂී තැනක් ගනි.

සිය රදගුරු වසමේ 130 වන සංවත්සරය සමරා දෙවිඳුන් පසසන්නට එක්වන දකුණු ලක ගාලු පදවියේ රාජගුරු ප්‍රසාදින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පූජක හැම හා අපිත් එක්වෙමු. සුභාශිංෂණය කරනෙමු.

සටහන ~ මාධව ජයකොඩි

ගාලු රදගුරු වසමේ කේන්ද්‍රස්ථානය ගන්නාවූ ගාල්ල කලුවැල්ල කල්වාරි කන්ද මත විරාජමානව වැජඹෙන ශු. ජපමාල මෑණියන්ට කැපකළ ආසන දෙව්මැදුර. ගරු බෙනඩික්ට් මාටින් ( ඕ.එස්.බී.) පියතුමන්ගේ මහත්වූ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිවූ මෙය 1876 දී ආසිරි ගන්වා ඇත.
ගාලු රදගුරු වසමේ පුරෝගාමී එඬේරාණන් වූ "ඔබගේ විධානය අනුව දැල් හෙලමි" යන තේමා පාඨය පෙරදැරිව දූතමෙහෙවර ඇරඹූ ජේසු නිකායික ධර්ම දූත කණ්ඩායමට නායකත්වය දුන් බෙල්ජියම් ජාතික අතිඋතුම් ජෝසප් වෑන් රීත් රදගුරු හිමිපාණන්
දෙවන රදගුරු අතිඋතුම් එන්.එම්.ලෞදාදියෝ (ජේ.නි.) හිමිපාණන්
තෙවන රදගුරු අතිඋතුම් ඇන්තනී ද සේරම් රදගුරු හිමිපාණන්
සිව්වන රදගුරු අතිඋතුම් දොන් සිල්වෙස්ටර් රදගුරු හිමිපාණන්
පස්වන රදගුරු අතිඋතුම් එල්මෝ පෙරේරා රදගුරු හිමිපාණන්
සයවන රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්
සත්වන රදගුරු අතිඋතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන්
නන්දෙසින් සැදැහැවතුන් තම පාමුලට කැන්දන මාතර අප ස්වාමිදූගේ ඓතිහාසික ප්‍රතිමාව
මාතර කොටුවේගොඩ වෙරළ පාරේ පිහිටි ජාතික සිද්ධස්ථානය
පදවියේ දැනට ඇති ඉපැරැණිම දේවස්ථානය වන කලේගාන සාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානය
හම්බන්තොට වික්ෂෝප මාතා දේවස්ථානය