ද්විතීයික සම්මත ග්‍රන්ථ

ද්විතීයික සම්මත ග්‍රන්ථ
Photo by Rod Long / Unsplash

මෙම ද්විතීයික සම්මත ග්‍රන්ථ  අඩංගු වන්නේ  පුරාණ  ගිවිසුම තුළය. ක්‍රිස්තියානි සභාවන් අතර  පුරාණ  ගිවිසුමේ  සම්මත  ග්‍රන්ථාවලියේ වෙනස්කම් තිබුණ බව අප මුලින්ම  තේරුම් ගත යුතුය . නමුත්  2006 වසරේ දී කතෝලික සභාව සමග අනෙකුත් පිළිගත් කිතුනු සභා එකගත්වයකට පැමිණියත්  මූලධර්මවාදී  සභා  සහ ඇතැම් සමහර සභාවන් එම එකගත්වයට පැමිණ නොමැත.  ඒ අතරිනුත්  මූලධර්මවාදී  සභා  සිදු කරන්නේ එය විකෘති  කිරීමයි. එය එසේ වන්නේ එම සභාවන්  සම්මත යැයි  පිළිගන්නා  බයිබලීය පිටපත්  ආශ්‍රිතයෙනි. එහෙත් කිව යුතු කරුණක් නම් "පුරාණ ගිවිසුමේ  මුල්ම  පිටපත්  එකක්වත්  නොමැති  බව දැන ගත යුතුය. " මුල්  පිටපත්  ලෙස සමහරුන්  සලකන්නේ පොදු සම්මතයක්  අනුව  ගැනෙන පිටපත් ය.

එම පිටපත්  වර්ග තුනකි.

  1. මැසොරෙටික් වර්ගයේ  පිටපත්
  2. සෙප්ටුවාජින්ත  හෙවත් පැරණි ග්‍රීක්  පිටපත්
  3. මළ මුහුද ආශ්‍රිතව හමු වී ඇති  කුම්රාන් පිටපත්
  • මැසොරෙටික්  පිටපත්

මැසොරෙටික්  යන  වචනය  බිදී එන්නේ "මසොරි" නැමති ක්‍රි.ව 6 වෙනි  ශත වර්ෂයේ  සිට 12 වැනි ශතවර්ෂය  දක්වා  හදුන්වනු  ලැබු  ජුදෙව්  ප්‍රාඥයන් සදහා යෙදූ වචනයකිනි. එම "මසොරි" යන වචනය යෙදුණේ  "මසොරා"   හෙවත්  (ජුදෙව්) සම්ප්‍රදාය  ව්‍යාප්ත  කිරීමට  යුහුසුළු  වීම නිසාය. මොවුන්ගේ  කාර්යය  වූයේ ප්‍රාණාක්ෂර රහිතව මුලින්ම ලියැවුණු හෙබ්‍රෙව් පිටපත (බයිබලය) කියවීම පහසු කිරීමට ස්වර සටහන් සපයා දීමයි. එම  නිසා මොවුන් "මසොරිවරු" ලෙසත් හෙබ්‍රෙව් පිටපත  "මැසොරෙටික් පිටපත්" ⁣ලෙසත් හැදින්වේ . ලෙනින් ගාඩ්හි  මැසොරෙටික්  පිටපත (MT) පුරාණ  ගිවිසුමේ  සම්පූර්ණ  හා  පොදුවේ පිළිගත්  පිටපත ලෙස සැලකේ . එය  ක්‍රි.ව 1009 පමණ කාලයකට අයත්වේ. එහි ස්වර සහ උච්වාරණ  සලකුණු  අන්තර් ගතයි. නූතන පොත් ගණනය අනුව  එහි පොත් තිස්නවයකි.විවිධ භාෂාවලට ශුද්ධ  බයිබලය   පරිවර්තනය  කිරීම  සදහා යොදා ගැනෙන්නේ  මෙම පිටපත බව මතක තබා ගත යුතුය. සිරියාවේ අලෙප්පො  නගරයේ  ජුදා සිනගෝගයේ  ක්‍රි.ව 1947 දක්වා  සිංහාසනාරූඪ  කර තිබූ  මෙම  පිටපතෙහි පිටු  980කි. එහි අදට ඇත්තේ පිටු  590 කි.⁣ මෙම   පිටපත් ක්‍රි.ව 930 පමණ කාලවකවානුවකට  අයත්ය.

  • සෙප්ටුවාජින්ත  වර්ගයේ  පිටපත්

මෙම පිටපතෙහි  මුල් කොටස ( පංච පුස්ථකය ) ක්‍රි.පූ තෙවන සියවසට අයත්ය. සෙප්ටුවාජින්ත  යනු හැත්තෑව යන්නයි. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ  ජුදාවරු  පුරාණ  ගිවිසුමේ  සෙසු කොටස් ද තමන්ගේ  බයිබලය  ලෙස පිලිගත්හ .ඒවාට ද්විතීයික  සම්මත පොත් ඇතුළු  අසම්මතයි  කියන ලද පොත් ද අයත් විය. එතියොපියා ග්‍රන්ථාවලියද මෙම පොත් පිලිගත්හ.
මෙම සෙප්ටුවාජින්ත  පිටපත ඉතා පැරණි ලේඛන සම්ප්‍රදායක් නියෝජනය කරන අතර මෙය කුම්රාන්වලින්  හමුවූ බයිබල්  පිටපත් වලින් ද  තහවුරු විය.⁣

සෙප්ටුවාජින්ත  පිටපතට අයත් ප්‍රධාන  පිටපත් තුනකි. එනම් ;

  1. කොඩෙස්  සිනායිටිකස්
  2. කොඩෙස් වතිනාකස්
  3. කොඩෙස්  ඇලෙක්සැන්ඩ්‍රියානස්වෙ
    මෙහි වඩාත් සම්පූර්ණම  පිටපත වන්නේ "කොඩෙස්  වතිකානස්" ය .
  • කුම්රාන්  පිටපත්

කුම්රාන් පිටපත්  වර්ග තුනකි.

  1. බයිබලීය  පිටපත්
  2. බයිබලීය  ග්‍රන්ථ  විවරණ
  3. කුම්රාන් සංඝයට සම්බන්ධ  ලේඛන

ඉහත සදහන් ලේඛන වර්ග වල ලේඛන සියල්ලම ක්‍රි.ව 60 ට පෙර  ලියැවුණු ඒවා බව දැනගත යුතුය . එය වඩා ඉපැරැණි යැයි කියන්නේ එම නිසාය. මෙම ලේඛන මැසොරෙටික්  පිටපතට (හෙබ්‍රෙව් බයිබලයට  ) වඩා  අවම වශයෙන්  ශත වර්ෂ 12කට වඩා  පැරණිය. මෙහි  එස්තර්  පොත හැරුණු  විට අනික් සෑම පොතකම ද්විතීයික  සම්මත ග්‍රන්ථ ද ඇතුලත්  කොටස්  හමු වී ඇත. යෙසායා  පොත හැර අනික් පොත් සම්පූර්ණ නැත. එයින් බයිබලයේ  පොත්  ගණන සංසන්දනය  කරගත හැකි වන අතර එස්තර්  පොත නැති වීමට හේතුව  එහි දේව මාළිගාව ගැන  සදහන්  වීමයි. මමක්නිසාදයත්  කුම්රාන්වරු දේව මාළිගාවේ සිරිත් නොපිළිගත්  නිසායි. මෙයින් තේරුම් ගත යුත්තේ වඩාත් පැරණිම පිටපත සෙප්ටුවාජින්ත (ග්‍රීක් බයිබලය - පොත් 73 ) පිටපත බවයි. එය වඩාත්  සනාථ  වන්නේ   විසි වන ශත වර්ෂයේ  සොයා ගනු ලැබූ මළ මුහුද  අවට හමුවූ කුම්රාන්  ලේඛන  වලින්  බව බොහෝ  මූලධර්මවාදීන්  නොදනී .

02 වන ලිපිය

අපි මීට පෙර පළමු ලිපිය තුළින්  ශුද්ධ  වූ බයිබලයේ  පුරාණ  පිටපත්  ගැන , කෙටියෙන්  විග්‍රහ  කලහ.  ඒ  අනුව  පැරණිතම පිටපත් වන්නේ  ශුද්ධවු ලියවිල්ලේ ග්‍රීක පිටපත වන  සෙප්ටුවාජින්ත  පිටපතයි. එය වර්තමාන පර්යේෂණ  ඔස්සේද තහවුරු කර  හමාරය .
උදා :  කුම්රාන්  ලියවිලි  වලින්

(මෙම ලිපිය තුල සභා ඉතිහාසය  තුල  ද්විතීයික  සම්මත ගුන්ථ  ගැන  වාර්තාවක්  විගුහ  කිරීමට  බලාපොරොත්තු  වෙමු.)

මාටින්  ලූතර්  තුමාගේ නායකත්වයෙන්  සිදුවූ  ඒ  මහා  බෙදීම මෙම  ද්විතීක  සම්මත ග්‍රන්ථ කෙරෙහි   බලපෑ  බව අප මතක තබා ගත යුතුය. නමුත්  මාටින්  ලූතර්  තුමා හා  බොහෝ  ප්‍රොතෙස්තන්ත්‍ර පියවරු  ස්වකීය  ලේඛන වලට  එම ද්විතීයික සම්මත ග්‍රන්ථ  වලින් කරුණු  උපුටා ගෙන  ඇත. එබැවින් ලූතර් තුමාද එය කියවීමට  සුදුසු  යැයි  සැලකුවේය.

බයිබලයේ  සම්මත ග්‍රන්ථාවලියේ  පසුබිම

බයිබලයේ  "සම්මත'" ග්‍රන්ථාවලි  සදහා  ඉංග්‍රීසි භාෂාවෙන්  භාවිතා  වන්නේ "Canon" යන  පදයයි. මෙය බිදී එන්නේ "දිගු ලී දණ්ඩක්" හෝ "බටයක්" වැනි තේරුමක්  සහිත ග්‍රීක් පදයක්  වන "කනොන්" (Kanon) යන්නෙනි. මේ සදහා ඇති  හෙබ්‍රෙව් පදය "කානෙහ්" (qaneh)  යන්නයි. මෙය මිනුම්  දණ්ඩක් හෝ ප්‍රමිති සාධකයක් වැනි  අර්ථයක්  භාවිතා  වේ. ග්‍රීක බයිබලය තුළ මෙම වදන දෙවතාවක් යෙදී ඇත.
උදා:-  මීකා 7:5 , වීරාවලිය 13:6
නව ගිවිසුමේ මෙම වදන   හතර වතාවක්  සදහන්ව  ඇත.
උදා: - 2 කොරින්ති 10:13 , 15, 16 හා ගලාති 6:16 වේ.

පළමු  සහ දෙවන ශතවර්ෂ තුළ  මෙම  ග්‍රීක පදය භාවිතා  වූයේ (මුල් සභාව තුළ ) "විශ්වාසය  මනින මිනුමක්" හා "දේව අනාවරණයන් තුළ  ප්‍රකාශ  වූ කිතුනු  දිවියේ අනිවාර්ය  න්‍යායන්  හා සබාදියාව" පෙන්නුම් කිරීම සදහායි.  ⁣එම නිසා මූලධර්මවාදී  කණ්ඩායම්  මෙම වදන  කතෝලික  සභාවේ  නිර්මාණයක් නොවන   බව  වටහා ගත  යුතුය .

සභාවේ ළදරු  අවධියේ "කතොන්" යන පදය භාවිතා වී ඇත්තේ මුලින්ම  තිබූ අර්ථය  ඇතිවයි. මෙය කිතුනු දිවියේ  ප්‍රතිපත්ති සහ ගුණාංග  විදහා දැක්වීමට  භාවිතා කර ඇත.

පළමු වන ක්ලෙමන්ට් පාප්තුමා(ක්‍රි.ව 96) , පළමු  වන ඉනසන්ට්  පාප්  තුමා (ක්‍රි.ව 406) දී  පුරාණ  ගිවිසුමට පොත්  46ක්  හා නව ගිවිසුමට පොත්  27 ක් ඇතුලත්  කර තිබූ ග්‍රන්ථාවලියට සිය අනුමැතිය  ලබාදුන්නේය. ක්‍රි.ව 1442 දී  ෆ්ලොරන්ස්හි  මන්ත්‍රණ  සභාවේදී   ප්‍රකාශයට පත් කෙරූ  "කන්ටාටේ  දෝමිනො" ( Cantate  Domino ) නැමති  සභා  ප්‍රකාශනයේ  පුරාණ  ගිවිසුමේ  ග්‍රන්ථ  46ක් හා නව ගිවිසුමේ ග්‍රන්ථ  27 ක් ඇතුළුව පොත් 73 ක් ලැයිස්තු  ගත කලහ. නමුත්  ලූතර්  තුමාගේ විප්ලවය නිසා මේ පිළිබද  ගැටළු මතුවිය. එම ගැටළු සැලකිල්ලට  ගෙන  ත්‍රිදෙන්තීනු   මන්ත්‍රණ  සභාවේදී " දේ  කැනොනිචිස්  ස්ක්‍රිප්චුරිස්" ( De  canonicis  scripturis) නැමති ලේඛනය තුළ  පුරාණ  ගිවිසුමට පොත් 46ක්ද නව ගිවිසුමට පොත්  27 ක් ඇතුළුව ශුද්ධ  බයිබලයේ  පොත්  73 ක් ලෙස සම්මත ග්‍රන්ථාවලිය (ද්විතීය  සම්මත  ග්‍රන්ථ  7ක්, පූර්ව ග්‍රන්ථ 39 ක් හා නව ගිවිසුමේ  ග්‍රන්ථ 27 ක් ලෙස ) සම්මත කර  ඉදිරිපත්  කරන ලදී.

ඉන්පසුව  පැවැත්වූ  පළමු වතිකාන මන්ත්‍රණ   සභාවේ දී (1870) "ඩෙයි ෆිලියුස්  " (Dei Filius) යන ධර්මානුගත ව්‍යස්ථාවෙන් සහ 1965 දී පැවැත්වූ  දෙවන වතිකාන මන්ත්‍රණ  සභාවේදී  "ඩෙයි  වර්බුම්" (Dei  Verbum ) යන ධර්මානුගත වව්‍යවස්ථාවෙන්  ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ   සභාව විසින්  ප්‍රකාශයට පත් කරන ලද ශුද්ධ  බයිබලයේ  සම්මත ග්‍රන්ථා  වලිය නැවතත්   ස්ථීර  කරන ලදී.

මෙලෙස බයිබලයේ  සම්මත ග්‍රන්ථාවලියේ පෙළ ගැස්ම ඉතිහාසය තුළ වර්ධනය වූ බව මූලධර්මවාදීන්    නොදැනීම  මෙම විකෘතියට හේතු වී ඇත.

තෙවන ලිපිය තුළින්  මාටින්  ලූතර්  තුමා  මෙම පොත් හත  ප්‍රතික්ෂේප  කිරීම හා ජුදෙව්වරු මෙය ප්‍රතික්ෂේප  කිරීමට හේතුවූ සාධක  ඉදිරිපත්  කරනු ලැබේ.

03කොටස

ශු.බයිබලයේ   සම්මත  ග්‍රන්ථාවලියේ  ප්‍රධාන  බෙදීම්

එනම් ශු.බයිබලයේ සම්මත ග්‍රන්ථාවලිය ප්‍රධාන කොටස්  2 කි.

  1. පූර්ව  සම්මත  ග්‍රන්ථ - (Pro - Canonical books)
  2. ද්විතීය  සම්මත  ග්‍රන්ථ  - (Deutero- Canonical books)

නමුත්  මෙම  බෙදීම  ඇති  වූයේ ලූතර්  තුමාගේ විප්ලවය නිසා  බව බොහෝ  අය නොදන්නා කරුණකි.

🔸🔹 පූර්ව සම්මත ග්‍රන්ථ (Pro- Canonical Books) 🔹🔸

හෙබ්‍රෙව්  බයිබලයේ  අන්තර්ගත වී තිබූ  සියළුම ග්‍රන්ථ  පූර්ව සම්මත ග්‍රන්ථ ඝනයට ඇතුළත්  කර  ඇත. ඒ  අනුව  පුරාණ  ගිවිසුමේ  පූර්ව  සම්මත ග්‍රන්ථ 39 කි. ප්‍රොතෙස්තන්ත්‍ර විප්ලවයෙන්  පසු  නව ගිවිසුමේ ද ග්‍රන්ථ 20 ක්  පමණක් පූර්ව සම්මත ග්‍රන්ථ  ගණයට අයත්  වූ බව මූලධර්මවාදීන් නොදන්නා තවත් කරුණකි. ඒ පිළිබද   බොහෝ අය නොදනී .

🔸🔹 ද්විතීය  සම්මත  ග්‍රන්ථ (Deutero - Canonical Books) 🔹🔸

ද්විතීය සම්මත ග්‍රන්ථ පිළිබද  මූලධර්මවාදීන්  සහ ඔවුන්ගේ සබා වන්  නොදන්නා  කාරනාවක්  ඇත.එයට පැරණි  හා  නව ගිවිසුම්  පොත්  සහ සමහර කොටස්  අයත්.

(1) පැරණි ගිවිසුමේ  ද්විතීය  සම්මත  ග්‍රන්ථ  වන්නේ තෝබිත්, ජුදිත්, 1 මකබි , 2 මකබි , සලමොන්ගේ ප්‍රඥාව, උපදේශකයා  හෙවත්  සිරාක්, බාරුක් යන ග්‍රන්ථ  හත සහ දානියෙල් , එස්තර්  පොත්වල සමහර කොටස් වේ. ඒ අනුව පුරාණ ගිවිසුමේ ද්විතීය සම්මත ග්‍රන්ථ 7 කි.

(2) නව ගිවිසුම  තුළ ඇති  ද්විතීය  සම්මත ග්‍රන්ථ වන්නේ හෙබ්‍රෙව්  ලිපිය , ජාකොබ්  තුමාගේ ලිපිය, 2 පේදුරු ලිපිය , ජුවාම්  තුමාගේ දෙවන ලිපිය  , ජුවාම්තුමාගේ තුන්වන ලිපිය, එළිදරව්ව  පොත, සමහර සුභාරංචි පොත් වල කොටස් වේ. ඒ අනුව නව ගිවිසුමේ ද ද්විතීය සම්මත ග්‍රන්ථ පොත් 7 ක් ඇත.

එවිට  ගිවිසුම්  දෙකෙහිම පොත් 14 ක් ඇත. නමුත්  මූලධර්මවාදීන් දන්නේ  පුරාණ  ගිවිසුමේ  පොත් 7 පිළිබද පමණි.
මෙයට හේතු  වූයේ ක්‍රි.ව 1546 දී පමණ ප්‍රොතෙස්තන්ත්‍ර  සභාව ඉහත ග්‍රන්ථ  වල දේවානුභාවය  පිලිබද  ප්‍රශ්න  මතු කළ නිසා  බව දැන ගත යුතුය . නමුත්  ක්‍රි.ව 1646 දී වෙස්ට්මිනිස්ටර්  ධර්මාධිකරණයේ දී (Westminster  Synod) ඇන්ග්ලිකන්  හා කැල්විනිස්ත සභාවන් නව ගිවිසුම  තුළ ඇති ප්‍රභේදයන්  අතහැර දැමීම නිසා කතෝලික  සභාවේ  ග්‍රන්ථ 27 සම්මත ග්‍රන්ථාවලිය ලෙස ප්‍රොතෙස්තන්ත්‍ර සභාවන්ද පිළිගනු  ලැබූ බව සියළුම මූලධර්මවාදී සභාවන්ට  පිළිගැනීමට සිදුවේ.

🔸🔹ජුදාවරු  මෙම ද්විතීය  සම්මත  ග්‍රන්ථ  පිලිනොගත්තේ ඇයි  ? 🔸🔹

ජුදාවරුන් කොටස් දෙකක්  සිටි බව ඉතිහාසය  පෙන්වා දෙයි. එනම් ;

  1. ජෙරුසෙලමේ  සිටි සම්ප්‍රදායික  ජුදෙව්වරු
  2. හෙලනිස්ත  ජුදෙව්වරු ( ග්‍රීක්  සංස්කෘතිය  පිලිගත්  අය)

මෙම  පොත් (ද්විතීය සම්මත ග්‍රන්ථ )   හෙලනිස්ත  ජුදෙව්වන් ග්‍රීක  භාෂාවෙන්  රචනා කර  තිබූ නිසා ජුදා  රබ්බිවරු  ඒවා හෙබ්‍රෙව් ශුද්ධ  ලියවිල්ලට  ඇතුලත් කිරීමට  මැලි වූහ.

ජුදාවරුන්  හා පළමු  කිතුනුවන්  අතර පැවති වාද විවාද වලදී  එනම්  ජේසුස්වහන්සේගේ  දේවත්වය , මෙසියස්වහන්සේගේ  කාර්ය භාර්යය හා වෙනත්  ඉගැන්විම් සනාථ කිරීමට ග්‍රීක  පිටපත  විශේෂයෙන්ම  ද්විතීය  සම්මත ග්‍රන්ථ  මුල් කිතුනු සභාව භාවිතා  කලහ. මේ  හේතුවෙන්  පුරා වසර  400 ක් වැනි දිගු කලක් තුළ ජුදෙව්වන්  භාවිතා  කළ ග්‍රීක පිටපත ඉවත් කලහ. මේ පිලිබද ලිඛිත  සාක්ෂිය ක්‍රි.ව 150 දී පමණ වේද සාක්ෂික ජස්ටින් තුමා ලියූ "ජුදෙව්වන් සමග සංවාදය " ( Dialogue With Tryphon) පොතෙහි සදහන් වී ඇත. එහිදී දේව වාක්‍ය කපාහැර ඇති බවට එතුමා  චෝදනා කරයි.
පරිසිවරුන්  හා වෙනත් ආගමික කොටස් (එළිදරව්වාදීන්) අතර තිබූ  ඝට්ටන වලදී කිතුනුවන් මෙම පොත් භාවිතා  කලහ.

🔹🔸ද්විතීය සම්මත ග්‍රන්ථ වල ඇති වැදගත්කම 🔹🔸

(1) නව ගිවිසුමේ කතුවරුන් තමන්ගේ ග්‍රන්ථයන්   ලේඛන ගත  කිරීමේදී  බොහෝ විට භාවිතා  කර ඇත්තේ  ශුද්ධවු ලියවිල්ලේ ග්‍රීක පිටපතය. එහි දී උපුටා  ගැනීම් 350 න්  300ක් පමණ උපුටා ගෙන ඇත්තේ  ග්‍රීක පිටපතෙනි. එම උපුටාගැනීම් 300 න් ද  18 ක් ම  උපුටාගෙන ඇත්තේ ද්විතීය  සම්මත ග්‍රන්ථවලිනි.

(2) මෙම ග්‍රන්ථවල මරණින් පසු ජීවිතය ගැන සදහන් වේ. (ප්‍රඥා 3)

(3) වඩා පැරණි සෙප්ටුවාජින්ත  පිටපතෙහි  මෙම පොත් 7 මිශ්‍ර ව ඇත.

(4) මුල් කිතුනු සභාව මෙම පොත්  7 භාවිතා  කල බවට සාක්ෂි  ඇත.

මෙම ලිපියෙන්  ශුද්ධ  බයිබලයේ  ද්විතීය  සම්මත  ග්‍රන්ථ  පිලිබද අප ගෙන ආ ලිපි මාලාව අවසානයි. අප ඔබ වෙත ගෙන ආ මෙම ලිපි තුන කියවන විට වඩාත් පැරණි කුමන පිටපතද යන බවත් , මූලධර්මවාදීන්  මේවා ගැන නොදැන කතා කරන බවත් ඔබට වැටහෙනු ඇත.

ස්තූතියි
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව