දෙසැම්බර් 25 කියන්නේ ජේසු ඉපදුණු දවස නෙමෙයි?

දෙසැම්බර් 25 කියන්නේ ජේසු ඉපදුණු දවස නෙමෙයි?

සෑම වසරකම නත්තල ළඟා වෙද්දී, "දෙසැම්බර් 25 කියන්නේ ජේසු ඉපදුණු දවස නෙමෙයි. මිනිස්සුන්ට බොරු කියන්න එපා.", "දෙසැම්බර් 25 තියෙන්නේ මිත්‍යාදෘශ්ටික උත්සවයක්"  කියලා මූලධර්මවාදීන් කියනවා ඇහෙනවා.

අනිත් පැත්තට කතෝලිකයොත් ඒකට එක එක උත්තර සපයනවා. දැන් අපි මේ උත්තර හැම එකම සලකලා බලමු. මේ ලිපිය ටිකක් දිගයි. මොකද මූලාශ්‍ර ඔක්කොම එක ලිපියකට දාන්න සිද්ධ වුණා. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කියවන්න.

එඩේරුන්  එළිමහනේ බැටළුවන් රැක්කේ දෙසැම්බර් 25ට ආසන්නයේදී. ලූක් සුවිශේෂයට අනුව එඩේරු එළිමහනේ බැටලුවෝ රැක්කා. මේකේ තේරුම මේ දවස ශීත සෘතුවේ දවසක් නෙමෙයි කියන එක නෙමෙයි.

අතීතයේ ජුදා ජාතිකයන්ට විශාල ගෘහාශ්‍රිත ඉඩකඩක් තිබුණේ නෑ. ඒ නිසා ශීත සෘතුවේ ජුදයාවේ එලිමහනේ තමයි බැටළු රංචු හිටියේ. මේක අදටත් වෙන දෙයක්. කොටින්ම හිමපතනය වෙන රටවල්වල පවා.  මොකද බැටළුවොන්ගේ ලොම් නිසා එයාලට සීතල දරාගන්න පුළුවන්. ඔයාලට වැඩි විස්තර "winter sheep care" කියලා ගූගල් කලාම බලාගන්න පුළුවන්. අදටත් ඊශ්‍රායලයට ගියොත් ඔයාලට දෙසැම්බර් 25 වෙනිදා එඩේරු බැටළුවෝ අරන් එලිමහනේ ඉන්නවා බලාගන්න පුලුවන්.

මහාචාර්ය විලියම් හෙන්ඩ්‍රික්සන් විසින් බයිබල් විශාරදයෙක් වුණ හැරී මුල්ඩර්ට 1967, ජනවාරි 16 දාතම ලියූ ලියුමක මෙලෙස සඳහන් වෙනවා.

"අපි නත්තලට පෙර රාත්‍රියේ බෙත්ලෙහෙමේ කෙතක් අවට සැරිසරමින් සිටියදී, විශාල බැටළු රංචු කිහිපයක් අප අසලින් ගමන් ගත්තා. ඒ තුළ බැටළු පැටවුන් පවා හිටියා. ඉතින් ජේසුස් වහන්සේ දෙසැම්බර්වල ඉපදුනු කතාව බොරුවක් නොවේ."
(Jack Finegan, Handbook of Biblical Chronology, 2nd ed., §569).

රෝම මිත්‍යාදෘශ්ටික උත්සවයේ කථාව

කතෝලිකයෝ දෙසැම්බර් 25 තිබුණ මිත්‍යාදෘශ්ටික උත්සවයක් නත්තල බවට හැරෙව්වද?
සමහර ක්‍රිස්තියානි සභා මෙවැනි දෑ කලා. උදාහරණයක් විදියට කතෝලික අපේ හැලොවීන් සම්ප්‍රදායෙන් තරුණ ප්‍රොතෙස්තන්තවාදීන් ගලවා ගන්න එදිනට සමහර කිතුනු සභා අස්වනු නෙළීමේ මංගල්‍යය සහ රෙපරමාදු දිනය සමරනවා. ඉතින් මුල් කිතුනුවන් වෙච්ච කතෝලිකයෝ එහෙම කලා වෙන්නත් පුළුවන්.

නමුත් ක්‍රිස්තියානි උත්සවවලට මිත්‍යාදෘශ්ටික ආභාෂය තියෙනවා කියන එක මුලාවක්. උදාහරණයක් විදියට පාස්කුවට Easter කියලා ඉංග්‍රීසියෙන් කියද්දී හුඟ දෙනෙක් තර්ක කලා පාස්කුව ජර්මනියේ ඊස්ටර් කියන දෙවඟන සමරනන් උත්සවයක් කියලා. ඒත් පාස්කුව එංගලන්ත උත්සවයක් නෙමෙයි. ඒක ක්‍රිස්තියානි උත්සවයක්. පාස්කුව කියන වචනය ආවේ හෙබ්‍රේව් භාෂාවේ පේසාක් යන වචනයෙන්. ඉතින් මේක ජුදා ආභාෂයෙන් ආව එකක්.
ඉතින් නත්තල මෙහෙම මිත්‍යාදෘශ්ටික උත්සවයකින් ආව කියන කෙනෙක්ට ඒක ඔප්පු කරන්න දේවල් 2ක් කරන්න තියෙනවා.

  1. නත්තල මඟින් ආදේශ කරනු ලැබූ මිත්‍යාදෘශ්ටික උත්සවයක් හඳුන්වලා දෙන්න ඕනේ.
  2. ඒ උත්සවය තමයි නත්තල විදියට දෙසැම්බර් 25 සමරන්නේ කියලා පෙන්නලා දෙන්න ඕනේ.
    සමහරු කියනවා  රෝම උත්සවයක් වුණ ශනි දෙවියන්ව සමරන සැටුර්නාලියා කියන උත්සවය තමයි නත්තල ලෙස සමරන්න ගත්තේ කියලා. ඒත් මේ උත්සවය තියෙන්නේ දෙසැම්බර් 17ත් 23ත් අතර පමණයි. ඉතින් කාල වකවානුව අනුව මේක නත්තල නෙමෙයි.

මේ තර්කයට සුදුසම උත්සවය සොල් ඉන්වික්ටස් (ලතින්වලින් පැරදිය නොහැකි සූර්‍යයා කියන තේරුම) කියන රෝම උත්සවයයි. මේකනම් දෙසැම්බර් 25 තමයි සමරන්නේ. නමුත් මේ උත්සවය පැවැත්වීමේ අරමුණ ගැන තියෙන මූලාශ්‍ර අපැහැදිලියි. ක්‍රිස්තු වර්ශ 354දී ක්‍රිස්තියානි කාල නිර්ණය ග්‍රන්ථයට (The Christian Chronography of A.D. 354) අනුව ක්‍රි.ව. 354දී දෙසැම්බර් 25 "පරාජය කල නොහැක්කා"ගේ උපන්දිනය සමරලා තියෙනවා. මේ තැනැත්තා කවුද කියලා සඳහනක් නෑ. ඒත් The Christian Chronography of A.D. 354 ග්‍රන්ථය කතෝලික පොතක් වෙන නිසා මේක සූර්‍යයාගේ උපත නොවී ජේසුස් වහන්සේගේ උපත වීමට සම්භාවිතාවය වැඩියි.

නත්තල සහ සොල් ඉන්වික්ටස් යන දෙකම දෙසැම්බර් 25 වෙනිදා සමරන නිසා, නත්තල සොල් ඉන්වික්ටස්හි පදනම වෙන්න පුළුවන්. නැත්තං ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒත් ඔබට සොල් ඉන්වික්ටස් දිනය නත්තල සඳහා පාදක කර ගැනීමට අවශ්‍ය නම්, ඊට සාක්ෂි මූලාශ්‍ර තිබිය යුතුමයි. මේක වෙන්න අමාරු දෙයක්. මොකද සෝල් ඉන්වික්ටස් ගැන මුලින්ම සඳහන් වුණේ The Chronography of A.D. 354 ග්‍රන්ථයේ වෙන නිසා. සෝල් ඉන්වික්ටස් උත්සවය ගැන සඳහන් වෙන්නත් කලින් මුල් කිතුනුවෝ ජේසුස් වහන්සේගේ උපත ගැන පහත පරිදි අදහස් දක්වලා තියෙනවා.

කතෝලිකයෝ මේ උත්සවය පැවැත්වූ දෙසැම්බර් 25 දිනය,  නත්තලට ආදේශ කලානම්, එහෙම කරන්න කියලා උපදෙස් දීපු සභා පියවරු නිශ්චිතව සොයා ගැනීමට අවශ්‍යයයි.

කතෝලිකයෝ මිථ්‍යාදෘෂ්ටික උත්සවයක් නැතිකරන්න නත්තල ආදේශ කලා මොකක්ද ගැටලුව. මොකද නත්තල යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වන අතර, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම යහපත් දෙයක්.  ඒ වගේම මිත්‍යාදෘෂ්ටිය යටපත් කිරීමද එසේමයි. මුල් ක්‍රිස්තියානීන් මේ දෙකම එක සැරේ කළානම් ඒක ඇගයිය යුතු වැඩක්.

කෙසේ වෙතත් අවසාන වශයෙන් 16වන බෙනඩික් සුදතුම් පියා පවසන පරිදි මේ සාක්ෂි ප්‍රමාණවත් නෑ;

"දෙසැම්බර් 25 දිනය, මිත්‍රාස් මිත්‍යාවට පටහැනිව යොදාගත්තා හෝ තුන්වෙනි සියවසේදී රෝම අධිරාජ්‍යයන් විසින් නව අධිරාජ්‍යවාදී ආගමක් නිර්මාණය කිරීම අරභයා ප්‍රවර්ධනය කල අපරාජිත සූර්‍යයාගේ සංකල්පයට විරුද්ධව කතෝලිකයන් දැක්වූ ප්‍රතිචාරයක් වෙන්නත් පුලුවන්. කෙසේ නමුත් මේ පැරණි සංකල්ප තවදුරටත් වලංගු නැත"
(The Spirit of the Liturgy, 107-108).

ධර්මවේදය පිළිබඳව කාරණාවක් නෙමෙයි

දෙසැම්බර් 25 වන දින ජේසුස් වහන්සේ උපත ලැබුවා යන්නට කතෝලික සභාව දී ඇති පිළිතුරු මොනවාද?

මෙය ගැටලුවක් නොවේ. සභාව උන්වහන්සේගේ උපත දෙසැම්බර් 25 සැමරුවත්, එය තමයි නිවැරදි දවස යනුවෙන් ප්‍රකාශ කර නැත. ජනවන්දනා පිළිවෙතේ පවතින දිනයකදී, යම් දෙයක් එදිනම සිදු වූවා යැයි සභාව ප්‍රකාශ කරන්නෑ. උදාහරණයක් විදියට සාන්තුවරු මියගිය දවස ඔහුන්ගේ මංගල්‍යය දිනය ලෙස යොදාගත්තද, අප්‍රේල් 4 මියගිය ශුද්ධවු අම්බ්‍රෝස් මුනින්ද්‍රයාගේ මංගල්‍යය පැවැත්වෙන්නේ දෙසැම්බර් 7 වන දිනයි. කෙනෙක් ජනවන්දනා පිළිවෙතේ දෙසැම්බර් 25 නත්තල සමරන බව දැක්කත් ඔහුට ජේසුස් වහන්සේ ඉපදුණේ දෙසැම්බර් 25 කියා හෝ එය එසේ පිළිගන්නට ,සභාව නියෝග කල බවට කිසිම ලේඛනයක් හොයාගන්න බෑ. නමුත් උන්වහන්සේගේ උපත අපේ විශ්වාසයට විශේෂ දෙයක් වන නිසා, නිශ්චිත දවසක එය සැමරීම අපේ ධර්මයට වඩා ඉතිහාසයටයි වැදගත් වෙන්නේ. ඉතින් ක්‍රිස්තියානිකාරයෝ හැමදෙනාම දවස ගැන කරදර වෙන එක මෝඩ වැඩක්.

ක්‍රිස්තියානියට මෙය මරු පහරක්ද?

ජේසුස් වහන්සේ වෙන දවසක ඉපදුණා කීම කිතු දහමට මරු පහරක්ද? මේ තර්ක යොදාගෙන අපේ ආගමට ගහන්න පුළුවන් කතාව ඇත්තක්. ඒත් හැමෝටම එහෙම කරන්න වුවමනාවක් නෑ. සැබෑ අවංක කිතුනුවෝ මේ දවස ගැන ගැන තර්ක කරනවා ඕන තරම්. එතනින් සමහරු මේ මිත්‍යාදෘශ්ටික උත්සව කතාව විශ්වාස කරලා, කිතුදහම මිත්‍යාදෘශ්ටියෙන් බේරගන්න හදනවා.
ඒ වගේම සමහර කතෝලිකයෝ දෙසැම්බර් 25 දවස මුල් කිතුනු සභාවල තිබුණා කියලා තර්ක කරනවා. මොකද මරියතුමී හිටියා පලවෙනි කිතුනුසභාව ආරම්භයේදී. ඉතින් ඇය ජේසුස් වහන්සේ ඉපදුණු දවස හොඳටම දන්නවා. ඉතින් මුල් කිතුනුවෝ ඒ දවස වාර්තා කරගත්තා වෙන්නත් පුළුවන්.

ඒත් මේ තර්කය එක්ක ගැටලු කිහිපයක් තියෙනවා. මොකද ජේසුස් වහන්සේ ගැන තියෙන හුඟක් දේවල්වල මූලාශ්‍රවල නිරවද්‍යතාව පිළිබඳව ගැටලු තියෙනවා. අපි විශ්වාසදායීම මූලාශ්‍ර තමයි සුවිශේෂ හතර. ඒත් සුවිශේෂ ලියන කාලේ කතෘවරු අවධානය යොමු කරලා තියෙන්නේ ඉතාම වැදගත් කරුණුවලට විතරයි. ඉතින් ඔවුන් ජේසුස් වහන්සේගේ උපන්දිනය මඟ හැරලා තියෙනවා. කොටින්ම ලූක් සුභාරංචිය තුල විතරයි පොඩ්ඩක් හරි උන්වහන්සේගේ කුඩා කාලය ගැන කොටසක් තියෙන්නේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේගේ උපන්දිනය වැදගත් වෙලා තියෙනවා.
උන්වහන්සේගේ උපන්දිනය වාර්තා නොවෙන්න තව හේතුවක් වෙන්න පුළුවන් උපන්දින සැමරීම හැම සංස්කෘතියකටම පොදු නොවීම. විසිවන සියවසේ මුල මැදපෙරදිග සිටි බටහිර විද්වතුන්ට පුදුම හිතුනලු මැද පෙරදිග මිනිස්සු තමන්ගේ වයස, උපන්දිනය ගැන කිසිම අදහසක් නොමැතිවීම ගැන.

එදා ජුදා සමාජය උපන්දින සැමරුවේ නෑ. හේතුව රබ්බිවරුන් තර්ක කලා උපන්දින සැමරීම විජාතික පිළිවෙතක් කියලා. හෙබ්‍රෙව් ලියවිලිවල උපන්දිනයක් ගැන සඳහන් වෙන එකම තැන උත්පත්ති 40:20 ඊශ්‍රායෙල්වරුන්ට හානි කරපු පාරාවෝගේ උපන්දිනයයි. අනික ඔවුන් උපන්දිනය සමරන්නේ නැති වෙන්න හේතුව උපන්දින සැමරීම් නිසා ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ විපත්ති සහ ඒවායේ තිබූ දේවාපහාසාත්මක අංගයන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට 2 මකබි 6: 7 තියෙන විදියට රජ්ජුරුවොන්ගේ උපන්දිනේට ජුදෙව්වන්ව බිලිපූජා ලෙස ඔප්පු කරවීම පෙන්නන්න පුලුවන්.

කොටින්ම නව ගිවිසුමේ තියෙන එකම උපන්දින සැමරුම වෙන හෙරෝද් ඇන්‍ටිපාස්ගේ උපන්දිනය දවසේ ස්නාවක ජූවාම්තුමාට ජීවිතය අහිමි වුණා. (මතෙව් 14: 1 - 12)
ක්‍රි.ව. 241දී මුල් කිතුනු සභාවේ හිටපු ඔරිගන්තුමා පවා උපන්දින පිළිකුල් කරලා මෙසේ ලියා තිබෙනවා;

"කිසිම සාන්තුවරයෙක් ඔහුගේ උපන්දිනය දවස සමරලා නෑ. කිසිම කෙනෙක් තමන්ගේ පුතා හෝ දුවගේ උපන්දිනය දවසේ සතුටු වී නෑ. පව්කාරයන් පමණයි උපන්දිනයට සතුටුවන්නේ. පරණ ගිවිසුමේ පාරාවෝ, ඊජිප්තුවේ රජ උපන්දිනය සමරනවා අපි දැකලා තියෙනවා. නව ගිවිසුමේ හෙරෝද් උපන්දිනය සමරනවා අපි දැකලා තියෙනවා. කොහොමහරි දෙන්නම උපන්දිනය සැමරුවේ මනුෂ්‍ය ලේ හලලා. පාරාවෝ ඔහුගේ පූප සාදන්නාව මැරුවා. හෙරෝද් හිර අඩස්සියේ ශුද්ධවු දිවැසිවර ජුවාම්තුමාව මැරුවා. ශුද්ධාත්මයාණන්වගෙන් පූර්ණ සාන්තුවරු උපන්දින සමරන්නෑ. ඔවුන් ඒ දවසට ශාප කරනවා.
(Homilies on Leviticus 8:2).

මුල් කිතුනු සභාවේ ඔරිගන්තුමා පමණක් මෙම අදහස දැරුවේ නෑ. එම අදහස තිබෙන අනෙකුත් සංස්කෘතීන් පවා ඔහු පෙන්වා දුන්නා. එසේ නම් ඔවුන් මෙලෙස ජේසුස් වහන්සේගේ උපන්දිනය වාර්තා කරගත්තා යන තර්කය සාර්ථක නොවේ. මෙය මුල් කිතුනුවන් උන්වහන්සේගේ උපන්දිනය අමතක කලා යන අර්ථය නොව, අපි තවදුරටත් මූලාශ්‍ර පිරික්සිය යුතු යන අර්ථයයි.

බයිබලීය තර්කයන්

සමහරුන් පවසන ආකාරයට නව ගිවිසුම නිශ්චිත දිනයක් අපිට ලබා නොදුන්නද, එහි කරුණු මඟින් නිසි දිනයක් සොයාගත හැකිය. එය සිදුකරන්නේ මෙසේය.

ස්නාවක ජුවාම්තුමාගේ පියා වන සෙකරියස්තුමා දේවමාළිගාවේ පූජා ඔප්පු කල පූජක පේරු 24න් එකක් වූ අබියාගේ පේරුවට අයත් පූජකයෙක් විය. (ලූක් 1:5) ඔහු ස්නාවක ජුවාමිතුමාගේ පිළිසිඳගැනීම පිළිබඳව දුටු දර්ශනයෙන් පසු, ඔහු නිවස බලායයි, ඉන්පසු එලිසබෙත් තුමිය ගැබ්ගනී. (ලූක් 1: 23-25) ඊට සය මසකට පසු ගාබ්‍රියෙල් දේවදූතයා, මරියතුමීට දර්ශනය වී ජේසුස් වහන්සේගේ පිළිසිඳ ගැනීම ප්‍රකාශ කරයි. (ලූක් 1:26-31)  එමනිසා ජේසුස් වහන්සේගේ උපත සෙකරියස්තුමාගේ සේවාව අවසන් වී මාස 15කට පසු සිදු වූ බැවින්, සෙකරියස්තුමාගේ සේවාව අවසන් වූ දිනය දැනගැනීමෙන් අපට ජේසුස් වහන්සේගේ උපන්දිනය දැනගත හැකිය.  එය පහත පරිදි වේ.

  1. පූජක පේරුව දේව මාළිඟාවේ පූජා පවත්වන්නේ වර්ෂයකට දෙවතාවයි. එමනිසා සෙකරියස්තුමා මොන වතාවේ පූජාව පැවැත්වුයේද යන්න සොයා බැලීමෙන් අපට අනුමාන කිරීම මාස හයකට ලඝු කල හැකිය.
  2. විශාරදයන්ට මෙම පූජක පේරුව කුමන වෙලාවේ තේවා පුද කරන්නේද යන්න ස්ථිර වශයෙන් ප්‍රකාශ කල නොහැක. එමෙන්ම විවිධ තේවාවන් පැවතිණි. සෘතු අනුව සමහර ජුදා අවුරුදුවලට  13වෙනි මාසයක් පැවතිණි.
  3. තර්කයන්ට අනුව ජුවාම්තුමා පිළිසිඳගත්තේ සෙකරියස්තුමා නිවසට පැමිණීමත් සමඟය. නමුත් ලූක් සුභාරංචිය අනුව එලිසබෙත් තුමිය පිළිසිඳගත්තේ තෙදිනකට පසුවය. (ලූක් 1:24)
  4. තර්කයන්ට අනුව ගාබ්‍රියෙල් දේව මෑණියන්ට දර්ශනය වූයේ ජුවාමිතුමාගේ පිළිසිඳගැනීමෙන් මාස හයකට පසුවයි. ඒත් ලූක් සුභාරංචිය අනුව දූතයා දර්ශනය වූයේ මාස හයකට පසුව බවත් ඒ වන විටත් එලිසබෙත්තුමිය මාස පහක හෝ හයක ගැබිණියක් බවත් ය. (ලූක් 1:26 සහ 36) මේ අනුව දවස් තිහක අපැහැදිලිබවක් ඇත.
  5. තර්ක අනුව මරියතුමී ගාබ්‍රියෙල් දේවදූතයා කථා කලාත් සමඟම පිළිසිඳගැනීම සිදුවිය. ඒත් ඇත්තටම ගාබ්‍රියෙල් දේව දූතයා පැවසුවේ ඔබ පිළිසිඳගනීවි යන්නයි. (ග්‍රීක් වචනය සලේම්ප්සේ) එනම් ජේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම අනාගතයේ ඉපදෙනවා. ඒත් නිශ්චිත දවසක් නෑ.
  6. තර්කවලට අනුව ජේසු දේව මෑණියන්ගේ කුස තුල මාස 9ක් හිටියා. නමුත් සාමාන්‍ය ගර්භණී කාලය අවසාන ඩිම්බ මෝචනයෙන් සති 40ක්. සති හතලිහ, සති හතර ගාණේ බෙදුවොත් මාස 10යි. සලමොන්ගේ ප්‍රඥාව පොතේ තියෙන විදියටත් මාස 10යි කියලා එකල සමාජය ගණන් හැදුවේ. (සලමොන්ගේ ප්‍රඥාව 7:1-2) එමෙන්ම සාමාන්‍ය මනුෂ්‍ය ගැබ් ගැනීම සති පහ දක්වා දිගු වෙන්න පුළුවන්. එමනිසා දවස් තිස්පහක අවිනිශ්චිතතාවක් ඇති වෙනවා.

මේ අවිනිශ්චිතතාව නිසා මෙම තර්කය මඟින් ජේසුස් වහන්සේගේ උපන්දිනය සෙවීම අපහසු කරනවා.

කෙසේ නමුත්, මෙයින් අපට මාර්ගයක් පහදා දෙනවා. සෙකරියස්තුමාගේ  තේවාවන් දෙකෙන් එකක් අනුව ගණනය කිරීමෙන් ජැක් ෆිනගන් ජේසුස් වහන්සේගේ උපත දෙසැම්බර් සහ පෙබරවාරි අතර දවසක් කියා සොයාගන්නවා. මොකද බයිබලීය පසුබිම අනුව උන්වහන්සේ ඉපදෙන්නේ ශීත සෘතුවේයි. මොකද සෙකරියස්තුමාගේ අනෙක් තේවාවට ගණනය කිරීම් සිදු කළහොත් ජේසුස් වහන්සේ ඉපදෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේයි. (Handbook of Biblical Chronology, 2nd ed., §473)

සභා පියවරුන්ගේ බර තැබීම

නව ගිවිසුමේ නිශ්චිත දිනයක් නොමැති වුවද, සමහර සභා පියවරු ජේසුස් වහන්සේගේ උපන්දිනයට දිනයක් සොයාගෙන ඇත.

ක්‍රි.ව. 194දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්තුමා පවසන පරිදි ස්වාමීන් වහන්සේගේ උපතේ සිට කොමොඩස්ගේ (අධිරාජ්‍යයාගේ) මරණය දක්වා වසර 194යි මාස 1යි දින 13ක් දක්වා කාලයක් තිබුණි. (Miscellanies [Stromateis] 1:21:145:5). කොමොඩස්ගේ මරණය සිදුවූ ක්‍රි.ව. 192 දෙසැම්බර් 31 සිට කාලය ආපස්සට ගණනය කල විට අපට හමුවන්නේ ක්‍රි.පු. 3 නොවැම්බර් 18වන දිනයි. ක්ලෙමන්ට්තුමාගේ වාර්තා අනුව එය ඊජිප්තුව මාස ක්‍රමය අනුව පචොන් මාසයේ 25වන දින, එනම් එම වසරේ මැයි 20 වන දින සිදුවිය.(1:21:145:6). එමෙන්ම එතුමාගේ ගෝලයෙකු වූ බැසිලයිඩස්ට අනුව එය සිදුවූයේ ඵාර්මෞති නම් ඊජිප්තු මාසයේ 24 - 25 දිනවලදීය. එනම් අප්‍රේල් 19- 20 දිනවලදීය. (1:21:146:4).

මෙලෙස අපිට දෙවන ශතවර්ෂයේදී ජේසුස් වහන්සේගේ උපන්දිනයට දවස් කිහිපයක් යෝජනා වී ඇති බව පෙනී යයි.

ක්‍රි.ව. 204දී පමණ්, රෝමයේ ශා. හිපොලිටස්තුමා මෙසේ ලියා තිබුණි. "ඔගස්ටස්ගේ 42වන අවුරුද්දේදී (ක්‍රි.පු. 3 හෝ 2) ජනවාරි මස කලෙන්ඩ්ස් දිනට දවස් අටකට පෙර, සතියේ සතරවන දිනයේදී (බදාදා), බෙත්ලෙහෙමේදී, මාංශාකාරයෙන් අපගේ සමිදාණන් වහන්සේ මෙලොවට පළමුවරට පැමිණියා.(Commentary on Daniel 4:23:3). කලෙන්ඩ්ස් යනු මාසයේ පලමු දිනයයි. එසේනම් ජනවාරි 1ට දවස් අටකට පෙර දිනය දෙසැම්බර් 25යි. මෙය දෙසැම්බර් 25 දින සඳහන් වන පළමු සටහන වෙයි. මෙය සඳහන් වූයේ සොල් ඉන්වික්ටස් උත්සවය රෝම අධිරාජ්‍යයා ආරම්භ කිරීමට වර්ෂ 70කට පෙර වෙන අතර, ක්‍රි.ව. 354දී ක්‍රිස්තියානි කාලනිර්ණය පොතේ සොල් ඉන්වික්ටස් ගැන ලිවීමට වර්ෂ 150කට පෙරයි.

කාලනිර්ණයේ හයවෙනි කොටසේ සඳහන් වන ආකාරයට ජනවාරි 1ට දින අටකට පෙර අපරාජිතයාගේ උපන්දිනය සමරනු ලබන අතර, එදින තුරඟ තරඟ තිහක් පවත්වන්නට අණ කෙරුණි. මෙය මිත්‍යාදෘශ්ටික පිලිවෙතක් ලෙස සැලකුණද, කොන්ස්ටන්ටයින් කතෝලික වූවාට පසු එය අනිවාර්ය නොවීය.

කාල නිර්ණයේ 12 වෙනි කොටසේ, ප්‍රාණපරිත්‍යාගීන් සිහි කරන කොටසේ ජනවාරි 1ට දින 8කට පෙර ජුදයාවේ බෙත්ලෙහෙමේදී  ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවීම සමරන බවට සඳහන් වෙයි.
ක්‍රි.ව.386දී ජෝන් ක්‍රිසොස්තම්තුමා දෙසැම්බර් 20වන දින සා. පිලොගොනීයස්තුමාගේ මංගල්‍ය දිනයේ කරන ලද දේශනාවකට අනුව, ජේසුස් වහන්සේගේ මාංශගතවීම" දින පහකින්, එනම් දෙසැම්බර් 25වන දින ළඟාවන බවට පවසා තිබේ. (On the Incomprehensible Nature of God 6:23, 30).

අවසානයේදී, ක්‍රි.ව. 408 අගුස්තීනූ මුනිතුමාගේ ත්‍රීත්වය පොතේ මෙසේ සඳහන් විය. "සම්ප්‍රදායයට අනුව උන්වහන්සේ  දෙසැම්බර් 25වන දින උපත ලැබීය." (The Trinity 4:5).

කෙසේ නමුත් දෙසැම්බර් 25 දිනය පමණක් සභා සම්ප්‍රදාය තුල තිබුණේ නැත. ක්‍රි.ව. 375දී සලමිස් හී එපිපානියුස්තුමාගේ සටහන්වලට අනුව ජනවාරි මාසේ ඉඩෙස් දිනට (13වෙනිදා) දින අටකට පෙර උන්වහන්සේ උපත ලැබුවා ලෙස ලියා තිබෙනවා. එය ජනවාරි 5 සවස සිට ජනවාරි 6 අලුයම දක්වා පැවැත්වුණි.(Panarion 51:24:1). ඇලොගොයි නම් නිකායක්ද මෙලෙස උන්වහන්සේගේ උපත සමරන බවටද ලියා තිබේ.(51:29:2-5)

අවසානයේදී දෙසැම්බර් 25 සහ ජනවාරි 6 සභාවේ කැලැන්ඩරයට ඇතුළු වූ අතර මේ දින දෙක අතර කාලයේදී ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම සහ ජේසුස් වහන්සේගේ බෞතීස්ම ස්නාපනය සැමරීමටද යොදාගන්නවා.

අවසන් නිගමනය

මේ සියලු තර්කවලින් අපිට හැඟී යන්නේ කුමක්ද? එක අතකින් ජේසුස් වහන්සේ දෙසැම්බර් 25 වන දින උපත ලැබුවේ නෑ යන තර්ක බිඳ වැටෙනවා මෙන්ම දෙසැම්බර් 25 වන දින තිබුණේ මිත්‍යාදෘශ්ටික උත්සවයක් යන තර්කයද බිඳ වැටෙනවා. මුල් කිතුනුවන් දෙසැම්බර් 25 වන දින මිත්‍යාදෘශ්ටික උත්සවයක් බවට ප්‍රශ්න කරනවා අපි නොදකින අතර, "මිත්‍යාදෘෂ්ටික උත්සවය වෙනුවට නත්තල සමරමු." යනුවෙන් ඔවුන් ප්‍රකාශ කරනවාද අපට දැකිය නොහැකිය.
අනෙක් අතට, ශු. බයිබලය අපිට ජේසුස් වහන්සේගේ උපත ගැන ප්‍රමාණවත් තොරතුරු ලබා නොදෙන අතර, ඒ පිළිබඳව සභා පියවරුන්ගේ අදහස්ද වෙනස් වේ.

අතීතයේදී  දෙසැම්බර් 25 සහ ජනවාරි 6 සඳහන් වන අතර මේ කාලය ශීත සූර්යයාලෝකය, එනම්, අවුරුද්දේ අඳුරුම දිනය අවසන් වී සූර්යයාලෝකය වැටීමට ආරම්භ වන කාලයයි. සමහර විට සභා පියවරුන් මලාකි දිවැසිවරයාගේ අනාවැකියට අනුව (එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය.[මලාකි 4:2]) උන්වහන්සේගේ උපත, ලෝකයට ආලෝකය ලැබීම හඳුන්වන්නට උත්සාහ ගත්තා විය හැකිය.

කුමන දිනක හෝ උන්වහන්සේ උපත ලැබුවා. එය සමරන්නේ නැතුව හරි දිනය ගැන කුලල් කා ගන්නේ කුමටද? කිතුනුවන් ලෙස උන්වහන්සේව  සමරමු.
ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ.මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය. (මතෙව් 4:16)

අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන'ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.(යෙසායා 9:2)

~ නිමේෂ් පීටර්, මහෝපදේශය පිටුව වෙනුවෙන්.